“අර බලන්න සර්.. ඩෙනිමයි කමිසෙයි ඇඳපු අර මෑන් දැන් සෑහෙන වෙලාවක් තිස්සේ තානායමේ ගේට්ටුවට පාරෙන් අනික් පැත්තේ අරලියා ගහකට හේත්තු වෙලා මේ පැත්ත බලාගෙනම ඉන්නවා..‘‘
වේටර් ප්‍රියන්තගේ කීමට මම තානායම් ගේට්ටුව පාරෙන් එහා පැත්ත බැලුවා.
‘‘…දැක්කා නේද සර්.. ඒ මෑන් අපේ ගේට්ටුවෙන් ඇතුළට එන්න වගේ බෙල්ල දික්කර කර එබිකම් පාන හැටි..‘‘
ඇත්ත තමයි.. පිළිවෙළක් නැති අවුල් වෙච්ච කොණ්ඩය. වයස තිස් පහක විතර පෙනුම.. තානායම් ගේට්ටුව ඉදිරියේ එහාටත් මෙහාටත් සක්මන් කරනවා.
‘‘..මෙහේ ඩයල් එකක් නම් වෙන්න බෑ…“
ප්‍රියන්ත තව තවත් සිය සැකය තහවුරු කරනවා.
‘‘..කියන්න බෑ සර්.. අද සිද්ධවෙන දේවල්වල හැටියට… මෑන් කට පුංචි එකක්වත් සාක්කුවේ දාගෙන ඇවිත් රැකලා ඉන්නවද දන්නෑ තානායමට එන කවුරු හරි ටාගට් කරලා.. කට.. කට.. ගාලා වටේටම පත්තු කරන්න..“
කිචන් එකේ මංජු ප්‍රියන්තගේ සැකයට භීතියත් මුසු කරනවා.
‘‘..යමු බලන්න අපි මෑන් එක්ක කතා කරන්න..“මංජුත් මා එක්ක මිදුලට බැස්සා.
දුක්වින්ද පෙනුමැති ඒ කෙසඟ අමුත්තා අපිව මඟ හරින්නට මෙන් පාරේ අනික් පැත්ත බලා ගත්තා.
කොළඹ නුවර පාරේ මීක් නොමැතිව වාහන ගමන් කරමින් තිබුණා. අමුත්තා අප දැක ඉතා බය පක්ෂ ලීලාවෙන් අප හා සිනාසුණා.
‘‘..සමාවෙන්න.. ඔබතුමා ගොඩක් වෙලා නේද මෙතැන?…“
‘‘..ඔව් සර්.. මං මේ අපේ වාහනයක් එනතුරු ඉන්නවා.
‘‘..වාහනයක්..?..“
මට එක සැරේටම අපේ වේටර් මංජුගේ කට පුංචි ගිනිඅවි කතාව මතක් වුණා.
විදුලි වේගයෙන් තමා ඉණේ සඟවාගෙන සිටිනා පිස්තෝලය ඉණෙන් පිටතට ගන්නා ඔහු යන්ත්‍රයක් මෙන් ඒ මේ අතට හැරෙමින් පට පට හඬින් හතර වටේටම වෙඩි වරුසාවක් පිට කරනා හැටි මට මැවී පෙනෙන්නට වුණා.
‘‘..වාහනයක් කීවේ..“
‘‘..ඔබතුමා මේ තානායමේ ලොකු සර් නේද?..‘‘මා හිසවනා අභිනයෙන් එය සනාථ කළා.
‘‘..මම ඉන්නෙ සර්.. තානායමට වාහනේක එන කට්ටියක්ව මුණ ගැහෙන්න..“කෙසඟ තරුණයා නිරවුල් හඬින් පිළිතුරු පෑවා.
‘‘..අපි හිතුවා… ඉතින් ඇයි ඔයා මෙතන.. තානායමට එන පිරිසක් මුණ ගැහෙන්න ආවා නම් තානායම ඇතුළට ඇවිත් හිටියට කමක් නෑනේ.. එන්න ඇතුළට..“
මා කුලුපග ලෙස අමුත්තාට ආරාධනා කළා.
‘‘… ඒක හරියන්නෑ සර්..ඒ එන්නෙ ලොකු නෝන මහත්තයලා කට්ටියක්.. එයාලා එන්නට කලියෙන් මං ඇවිත් තානායම ඇතුළේ ඉන්න එක කොහෙත්ම හරි නෑ.. අපි පොඩි උදවිය නේ සර්..“
‘‘..නෑ.. එහෙම එකක් නෑ… ඔයා මෙහෙම අපේ ගේට්ටුව ගාව එහාට මෙහාට වෙවී ඉන්න එක නම් අපිට හරි නෑ. ඒකයි..“
ඒ නිසා ඇවිත් අපේ ගාර්ඩ්න් එකේ කොන්ක්‍රීට් බංකුවකවත් වාඩි වෙලා ඉන්න..“ අමුත්තා මගේ වචනය ඉවත දමන්නට බැරිකම නිසාදෝ තානායම දෙසට පා එසවූවා.
‘‘..ඔයා මේ පළාතෙ නෙමෙයි නේද?…“
‘‘..නෑ සර්.. මම යාළුවෙලා ඉන්න ගෑනු ළමයා ගෙදර වැඩපළ කරන්නේ පුස්සැල්ලාව පැත්තේ ලොකු බංගලාවක… ඒ බංගලාවෙ මැඩම්, මහත්තයත් එක්කම අද හදිසි කාරණාවකට කොළඹ යනවා.. ඉතින් මැඩම්ලා කොළඹ යනකොට අනිවාර්යයෙන්ම තේ බොන්න වොෂ්රූම් යන්න නතර කරන්නේ මේ තානායමේ…
ඉතින් අද කීයට හරි ඒ නෝනලා තානායමට එන බව දන්න නිසයි මම මේ උදේ ඉඳන් මඟ රැකගෙන ඉන්නේ…
අද මට මගේ ගෑනු ළමයා හමුවෙන්නම ඕනෑ.. එයා මැඩම්ලා එක්ක වාහනේ යද්දි ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ.. ඒකයි දැන් එයාලා කොයි හරියෙද කියලාවත් දැනගන්න විදිහක් නැත්තේ..“ තානායම් මිදුලේ ගල් බංකුවක අසුන්ගත් අමුත්තා සියල්ල මා ඉදිරියේ තබනවා.
‘‘… මොකද අද මං මේක දෙකෙන් එකක් තීරණය කරගන්නම ඕනෑ සර්..“
අමුත්තාගේ එම වගන්තියත් සමඟ මට අපේ වේටර් මංජුගේ පූර්ව නිගමනය නැවත සිහිවුණා. එය කොතරම් නිවැරදිද?
කිසියම් තැනැත්තෙකු දෙකෙන් එකක් බේරා ගැනීමට පුල පුලා සිටින විට ඔහු වෙතින් නික්මෙන යම්කිසි තරංග විශේෂයක් ඇතුවා වත්ද?
අපේ වේටර් මංජු මෙම අමුත්තාගේ හැසිරීම දුටු පළමු මොහොතේම කට පුංචි පිස්තෝලයක් ගැන සඳහන් කළේ ඔහුට යමක් සන්නිවේදනය වූ නිසා නොවේද?
ඒ අනුව අමුත්තා දැන් සිටින්නේත් කිසියම් ආයුධයක් සඟවාගෙන වත්ද?
‘‘..දෙකෙන් එකක්..? ඒ කිවුවේ..“
මා කුතුහලය රැඳි දෑසින් තරුණයා ගෙන් විමසුවා.
‘‘..මෙහෙමයි සර්.. ඒ බංගලාවෙ නෝනා බයයි මගේ චන්ද්‍රානි මාව කසාද බැන්දාම ඒ ගෙදර වැඩකාරකමෙන් අයින් වේවිය කියලා.
ඒ නිසා එයාලා ලයින් කරන්නේ ඒ ගෙදරම වාහනේ වැඩ කරන ඩ්රැයිවර්කාරයාට වන්ද්රානිව ජෝඩු කරන්නයි… ගෙදර ඩ්‍රැයිවරුයි සර්වන්ට් කසාද බන්දලා දීලා බංගලාව තියෙන සද්දන්ත තේ ඉඩමෙ කෙළවරක තියෙන සොල්දර ගෙදර දෙන්නා පදිංචි කර ගත්තාම නාකි ජෝඩුවට හොඳයි නේ..
එහෙම උනොත් මං දෙන්නම බාවනවා සර්..“ අමුත්තාගේ වියළුණු දෙතොල කෝපයෙන් වෙවලුවා.
‘‘..පිස්සු වැඩ..හොඳයි කියන්න බලන්න කවුද ඒ දෙන්නා.. බංගලාවෙ නෝනයි මහත්තයයිද?.. මෝඩ වැඩ කරන්න තියා හිතන්නවත් එපා.
‘‘..ඔන්න සර් කාර් එකක් නම් තානායමට හරවන්න වගේ සිග්නල් දාගෙන ඈතින් එනවා..“ අමුත්තා ගල් බංකුවෙන් නැගිට තීක්ෂණ දෑස හකුළුවමින් කීවා.‘‘
‘‘..රයිට් සර්.. බඩුම තමා.. ඔය එන්නේ බංගලාවෙ වාහනේ..“ හැල්මේ ඇදී ආ මෝටර් රථය තානායම් ගේට්ටුවෙන් ඇතුළු වී නතර වුණා.
වහා එහි පසුපස වීදුරුව වෙත ළංවූ අමුත්තා වාහනයේ පසුපස අසුනේ අසුන්ගෙන සිටිනා බංගලාවේ නෝනා වෙත යටහත් සිනාවක් පෑවා. එසැණින් වීදුරුව ස්වයංක්‍රීයව පහත් වී ජනේලය විවර වුණා.
‘‘..මේ මොන කෝලමක්ද?.. ඇයි ඔයා මෙතන.. අද වන්ද්රානිට අපි එක්ක එන්න විදිහක් නෑ. බංගලාවෙ වැඩකරන අනික් ගෑනු මනුස්සයාටයි ඩ්‍රැයිවර්ටයි දෙන්නාටම වයිරස් උණ හැදිලා.. අපි මේ පිට ඩ්‍රැයිවර් කෙනෙක් හයර් කරගෙනයි අද ආවේ. එයාලාගෙ සාත්තුවට චන්ද්‍රානි බංගලාවෙ නතර වුණා.
‘‘..පුදුමයි නේ මැඩම් .. චන්ද්‍රානි මට එහෙම කතාවක් කීවෙ නෑනේ..” අමුත්තා චකිතයකින් තොරවම විමසනු පෙනුණා.
‘‘..කියන්නෙ කොහොමද?.. චන්ද්රානිගෙ ෆෝන් එක අද උදේ බිම වැටිලා කැඩුණා.. අපි එයාට යනකොට කොළඹින් ෆෝන් එකක් අරගෙන යනවා..”
බංගලාවේ මැඩම් රිය තුළම සිට උස් හඬින් පවසා වාහනයේ ජනෙල් වීදුරුව වසා දැම්මා.
‘‘..හරි ඒකත් එහෙමද? බලාගමු මැඩම්..“ තරුණයා තානායම් ගේට්ටුව අසල සිට දත් මිටි සපද්දී වාහනය ඇදී ගොස් තානායම් පෝටිකෝව යට නතරවනු පෙනුණා.
‘‘..තැන්කි යූ සර්.. මං මෙතනින්ම නුවර බස් එකක එල්ලිලා ගිහින් පුස්සැල්ලාවට යනවා..“
‘‘..ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ..”
‘‘..මගේ චන්ද්‍රානි ඩ්රැයිවරයාගෙ සාත්තුවට තියලා මහ එවුන් ඇවිත් තියෙන්නේ.. දැන් බලද්දි මට චන්ද්‍රානිත් ෂුවර් නෑ.. ඇයි ඒකි මට වෙනත් ෆෝන් එකකින්වත් මේ බවක් නොකිවුවේ.. අද මං මේක දෙකෙන් එකක් කරගන්නවා..”
තරුණ අමුත්තා තානායම් ගේට්ටුවෙන් මහ පාරට වේගයෙන් ඇවිද යමින් කෝපයෙන් ගැහෙමින් හඬ නඟා කීවා.
‘‘…අන්න සර් නුවර බස් එකක් එනවා….මං කැපෙනවා සර්..”
පය ලා සිටිනා ගෙවුණු රබර් සෙරෙප්පුවේ හෑරුණු ලප කැලැල් සමාජයට නිරාවරණය කරමින් නාඳුනන තරුණ අමුත්තා මහනුවර දකුණ ඩිපෝවට අයත් බසයක පසුපස දිවගොස් පාපුවරුවේ එල්ලෙනු පෙනුණා.
රන්ජන් ගාමිණී ජයවර්ධන