තුෂාර තෙන්නකෝන්ගේ “නිකිණි කුසුම්” ටෙලි නිර්මාණයේ මිස් ජෙනට් ඇගේ රංගන දිවියේ විශේෂ සංධිස්ථානයකි. දශකයකට වැඩි රංගන ඉතිහාසයකට හිමිකම් කියන ඇය කලාවට පිවිසියේ ළමා නිළියක ලෙසිනි. ‘අලි පැටියෝ ඔයයි මමයි‘ සිනමා නිර්මාණය හරහා කුලුඳුල් රංගන අත්දැකීම ලබා ගනිමින් කලාවට පිවිසී ඇය. මේ වනවිට ටෙලි නිර්මාණ මෙන්ම සිනමා නිර්මාණ රැසකට දායකත්වය සපයා ඇත ඇය නමින් අමායා වර්ෂාය.
නිකිණි කුසුම් ටෙලි නිර්මාණයේ ගැහැනු ළමුන්ගේ බෝඩිමේ හිමිකාරිය වන මිස් ජෙනට් අමුතුම තාලේ බෝඩිම් හිමිකාරියකි. බෝඩිම් පහසුකම් ලබාදෙන්නේ ගැහැනු ළමයින්ට පමණක් වීම මිස් ජෙනට්ගේ විශේෂත්වයයි. එයද හතර දෙනෙකු සඳහා පමණකි. ආකර්ෂණීය ලෙස අඳින පලඳින මිස් ජෙනට්ගේ කතා විලාසය ද මනබඳිනසුලුය. විටෙක යෙහෙළියක් මෙන් හැසිරෙන ඇය තව විටෙක කඩාපනිනසුලුය. වයස් භේදයකින් තොරව මේ තරම් ආදරයක් මිස් ජෙනට්ට ලැබේයැයි කිසිවිටෙක නොසිතූ බව පැවසූ අමායා එහි ගෞරවය අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන්ට හිමිවිය යුතු බව ද පැවැසුවාය. මීට පෙර ඔහුගේ රාවණා ටෙලි නිර්මාණයට ලැබුණු ආරාධනාව වෙනත් රූගත කිරීමක් නිසා මඟහැරුණු බැවින් නිකිණි කුසුම් සඳහා ලැබුණු ආරාධනාව ඉතාම සතුටින් බාරගත් බවද පැවැසුවාය.
“රාවණා කියන්නෙ තුෂාර තෙන්නකෝන්ගේ ගවේෂණාත්මක ටෙලි නිර්මාණයක්. ඒ සඳහා මට ආරාධනා ලැබීමම සතුටක්. ඒත් ඒ මොහොතෙ මං වෙනත් නිර්මාණයක රූගත කිරීමක හිටිය නිසා මට ඒ සඳහා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒ මතකය නිසාම වෙන්න ඇති නිකිණි කුසුම් සඳහා මට ආරාධනා ලැබෙන්නේ. ප්‍රධාන චරිතවලින් නොවුණත් මේ වෙද්දි මං ටෙලි නිර්මාණ වගේම සිනමා නිර්මාණ විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා.
පාසල් කාලෙ වේදිකා නිර්මාණ රැසකට සම්බන්ධ වුණත් ප්‍රසිද්ධ වේදිකාවෙදි සම්බන්ධ වුණේ ජයසේකර අපෝන්සුගෙ එක් වේදිකා නිර්මාණයකට පමණයි. අධ්‍යක්ෂ වී. සිවදාසන්ගේ ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ජාතික රූපවාහිනියේ විකාශය වුණු බොරලු පාර ටෙලි නිර්මාණයේ චරිතයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. අහසින් වැටුණු ගැහැනියක් වගේම මෑතකදී විකාශය වුණු දිය මකුළුවා ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගිය නිර්මාණ. තිත්ත ඇත්ත, ගෝරි, ඩබල් ගේම් වගේ චිත්‍රපටත් ගොඩක් ජනතාව වැලඳ ගත්තා. ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමා පට දෙකක් තියෙනවා. සිදාදියේ සමනලියෝ ටෙලි නිර්මාණයටත් මේ වෙද්දි ආරාධනා ලැබිල තියෙනවා.“
නර්තනයට සහජ හැකියාවක් ඇති අමායා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ද නර්තන කණ්ඩායමක සාමාජිකාවක් ලෙසින් ප්‍රසංග වේදිකාවේ දස්කම්පාමිනි. එය ඇයට ටෙලි නිර්මාණ සඳඟා ආරාධනා ලැබීමට හේතුවක් වී තිබිණි. ටී. එන්. එල් නාලිකාවේ සවනට ගී මධු වැඩසටහනෙන් නිවේදන කලාව ස්පර්ශ කළ ඇය නිකිණි කුසුම්හි මිස් ජෙනට් තමන්ට වාසනාව ගෙන ආ චරිතයක් බව ද පැවසුවාය.
“ඇත්තටම තුෂාර සර් මගේ තියෙන හැකියාව මිස් ජෙනට් හරහා එළියට ගත්ත කිව්වත් හරි. ගොඩක්ම ප්‍රතිචාර ලැබුණෙ “ඔයා හොඳටම ඒ චරිතය කරනවා“ කියලා.
“කොහේද ඔයා මෙච්චර කල් හැංගිල හිටියෙ“ කියල අහපු අයත් හිටියා. ඇත්තටම ෆීල්ඩ් එකට ඇවිත් ලොකු කාලයක් ගත වුණත් මගේ හැකියාව හරියටම හඳුනගත්තෙ කිහිපදෙනයි. ඒ අතර තුෂාර තෙන්නකෝන් ප්‍රමුඛයි. මගේ හැකියාව පෙන්නන්න අවස්ථාව ලැබෙනව නම් මං කැමැතියි ඒ සඳහා කැපවෙන්න.“
කන්ද උඩරට ඉපදී හැදීවැඩුණු අමායා කොළඹට පැමිණෙන්නේ කලාවට ඇති කැමැත්තට වුවත් එය අමායාගේ ජීවිතයේ දෛවෝපගත ගමනක් වූවාය.
“ආදරය කියන්නෙ මට මාවම අහිමි කළ පරාජිත හැඟීමක්. ඇත්තම කිව්වොත් මං ඉන්නෙ ලොකු කලකිරීමකින්. විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් අවුරුදු 11ක් මං කෙනෙකුට ආදරේ කළා. එයත් අපේම ගමේ කෙනෙක්. ඒත් අපි අහම්බෙන්
මුණගැහෙන්නෙ කඩවතදී. අවුරුද්දක් විතර යාළුවො වගේ ආශ්‍රය කරලා පස්සෙ අපි පෙම්වතුන් බවට පත්වුණා. අවුරුදු 11ක් ගිහින් කෙනෙක් වෙනස් වෙනව කියන්නෙ දරාගන්න අමාරු දෙයක්. ටිකෙන් ටික එයා මාව මඟහරින්න ගත්තෙ පැහැදිලි හේතුවක් නැතුව. පස්සෙ එයා වෙන කෙනෙක් එක්ක විවාහ වුණා කියන ආරංචිය මං දැනගන්නෙත් මාසෙකට විතර පස්සෙ. එදා ඇති වුණු කලකිරීම ගැන කියන්න මට වචන නෑ. ඒත් මං එයාට කවදාවත් වෛර කළේ නෑ. මං තනියම ඉන්නව කියන තීරණය ගත්තෙ එදා. කොහොමහරි ඊට පස්සෙ දවසක අහම්බෙන් වගේ ගමේදිම හමුවෙලා එයා මං ගැන පුදුම විදිහට දුක් වුණා. ඊටත් අවුරුදු දෙකකට විතර පස්සෙ එයා හදිසි අනතුරකින් නැති වුණා කියන ආරංචිය ආවා. එදා නම් මට පුදුමාකාර දුකක් දැනුණා.
නාමලී ගමගේ