Home » කවුරුවත් මම මේ කරපු දේ කරන්න එපා කෙට්ටු වෙන්න කියලා

කවුරුවත් මම මේ කරපු දේ කරන්න එපා කෙට්ටු වෙන්න කියලා

මධුෂාණී වික්‍රමසිංහ

by thanushika
March 9, 2024 12:30 am 0 comment

මධුෂාණි වික්‍රමසිංහ කියලා කියන්නේ නිරූපණ ශිල්පිනියක වගේම රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන් කෙනෙක්. ඒ එක්කම ඇය සමාජ මාධ්‍යයට එකතු කරන ජායාරූප නිසාම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. මේ කාලයේ ඇයගේ අලුත්ම විස්තර දැනගන්න අපි මධුෂාණිට කතා කළා.

වේදිකාව එක්ක කාර්යබහුලයි වගේ

ඔව් මේ දවස්වල ගිහාන් ප්‍රනාන්දු අයියාගේ “ලොක්කා ලෙඩ වෙලා” නාට්‍යයේ පුහුණු වීම් සිදු වෙනවා. වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ ඒ වෙනුවෙන්. “ලොක්කා ලෙඩ වෙලා” ජනගත වෙන්නේ අප්‍රේල් 5 එල්ෆිල්ස්ටන් රඟහලේදී.

අනෙකුත් වැඩ කටයුතු මොනවද?

සිනමාවෙන් “කොටකෙතන” චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක අධ්‍යක්ෂණය කරන්නේ ජනක දෙහිවල ලියනගේ. ඒ චිත්‍රපටයේත් පෙර නිෂ්පාදන කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා.

එතකොට පුංචි තිරයට ඔබ සමබන්ධ වෙලා නැද්ද?

පුංචි තිරයේ නිර්මාණවලට නම් මම එකතු වෙනවා හරි අඩුයි. නිර්මාණයක් වෙනුවෙන් මහන්සි වෙන්න කැපවෙන්න කාලයක් ඕනේ. ටෙලි නාට්‍යය චරිත වෙනුවෙන් කැපවෙන්න ලැබෙන කාලය හරි අඩුයි. වේදිකාවේ සහ සිනමාවේ මම කාර්යබහුල නිසා පුංචි තිරය මඟහැරෙනවා.

කොහොමද කලාවට එන්නේ

මම එන්නේ වේදිකාවෙන්. නාට්‍ය හා රංග කලාව ගැන සහ තියටර් අධ්‍යයනය ගැන ජාතික තරුණ සේවා සභාවේ 2007 දී පූර්ණය කාලීනව මම පුහුණුව ලබනවා. ඒ නිසා වේදිකාව එක්ක තමයි මම වැඩිපුර වැඩ කරන්නේ. මගේ අලුත්ම නාට්‍යය “ලොක්කා ලෙඩ වෙලා”.

සිනමාවේ මුල්ම අත්දැකීම මොකක් ද?

හිතුමතේ ජිවිතේ චිත්‍රපටය. ඒක රූපගත කළේ 2018දී. පළමු අත්දැකීම තුළ තිබ්බෙ රේප් සිදුවීමක්. පාලිත සිල්වා මහතා සහ මම ඒ කොටසට රංගනයෙන් දායක වුණේ. ඉතා සුළු කොටසක් වුණත් ඒ තුළින් මම ලබපු අත්දැකීම ජිවිතේ කවදාවත් අමතක නොවන අත්දැකීමක් වුණා.

චරිත තෝරා ගනිද්දී සිමාමායිම් නැද්ද?

චරිතවලදී මම සීමාමායිම් සලකන්නේ නැහැ. හැබැයි දැනට මම තීරණය කරලා තියෙනවා වැඩිහිටියන්ට පමණයි චරිත මම කරන්නේ නැහැ කියලා. ඒක ආනගතයේ දී වෙනස් වෙන්න පුළුවන්. දැනට මම තරුණ කෙනෙක්. තවම විවාහ වෙලා නැහැ. ඒ නිසා කවදා හරි මගේ සැමියාගේ කැමැත්ත මත හෝ අපි දෙගොල්ලන් ගෙවල්වල අයට ප්‍රශ්නයක් නැත්නම් මම ඒ නිර්මාණ භාරගන්න ඉඩ තියෙනවා.

ඔබේ ළමා කාලය, පාසල් කාලය කොහොමද ගත වෙන්නේ

මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා සහ මම විතරයි. මම පවුලේ එකම ළමයා. කොස්ලන්ද ජාතික පාසලට සහ බණ්ඩාරවෙල විශාකා විද්‍යාලයට මම ගියේ. ඒ කාලයේ ඉඳන්ම මම නර්තනයට ඩ්‍රාමාවලට තමයි වැඩි ඉඩක් දුන්නේ.

පවුලේ එකම ළමයා කලාවට එද්දී ලැබුණු සහයෝගය කොහොමද?

අම්මා නම් මුලින්ම කැමැති වුණේම නැහැ. දැන් මම වැඩ කරන විදිය බලලා තේරුම් අරන් තියෙනවා. ඒ හින්දා දැන් මට ලොකු සහයෝගයක් දෙනවා. ඒ දෙන්නා තමයි දැන් මගේ ලොකුම රසිකයෝ.

මධුෂාණි කියන්නේ හිතුවක්කාර චරිතයක් ද?

ඔව්. ටිකක් විතර හිතුවක්කාර චරිතයක්. මට අවශ්‍ය නම් දෙයක් කරන්න ඒක මම කරනවා. රටේ මිනිස්සු මොනවා හිතයි ද කියන එක මම අදාළ කර ගන්නෙම නැහැ.

ඒ කියන්නේ කටකතා, ගොසිප් ගැන තැකීමක්ම නැහැ

කොහෙත්ම නැහැ. මම මේ ළඟදී ත් දැක්කා මගේ ෆොටෝ කිහිපයක් සෝෂල් මිඩියාවල වයිරල් වෙලා තියෙනවා. මම ඒවා ගණන් ගන්නෙම නැහැ. මම ඒවට දාලා තියෙන කමෙන්ට්ස් කියවනවා. එක එක මිනිසුන්ගෙ මානසික මට්ටම් විවිධාකාරයි. ඒ කමෙන්ට්ස් කිරීම තුළිනුත් ඒ අය ලබාගන්නේ පොඩි විනෝදයක්. මම ඒ දේවල් මගේ ගමනට අදාළ කර ගන්නෙම නැහැ.

ආදරේට තියෙන අත්දැකීම් කොහොමද?

මම ආදරේ කළා මීට අවුරුදු කිහිපයකට කලින්. දැන් නම් මම ආදරවන්තියක් නෙවෙයි. මට ආදරවන්තයෙක් හොයලා දෙන්න දැන් මහන්සි වෙන්නේ මගේ අම්මා තාත්තා. ආදරේ ගැන මට තියෙන අදහස නම්, ආදරේ කියන්නේ අනෙක් කෙනාගේ සතුට සහ නිදහසයි.

කොහොමත් මම කෂේත්‍රයෙන් පරිබාහිර කෙනෙක්ට තමයි කැමැති.

ඇයි ඒ

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ අයගේ ජිවිතේ මුල් තැන වෙන්නේ කලාව. පවුල වෙනුවෙන් කියන කාරණාව දෙවනුව එන්නේ. ඒ අය ජිවත් වෙන්නෙම කලාව වෙනුවෙන් කියලා හිතලා ජිවත් වෙන නිසා. මොකද ඕනෙම කෙනෙක් මේ ක්ෂේත්‍රයට මාරම ආදරෙයි. ගොඩක් කලාකරුවන්ගෙ පවුල් ජිවිතවල ප්‍රශ්න ඇති වෙන්න මුලික හේතුවක් වෙන්නේ ඔය දේ වෙන්නත් පුළුවන්. ඒ නිසා මම කැමැතියි මම කලාව තුළ ඉන්න නිසා කලාවෙන් පිට කෙනෙක් මගේ සහකරු වෙනවට.

මධුෂාණි ෆැෂන් දකින්නේ කොහොමද?

මම හරිම කැමැතියි ෆැෂන් කරන්න. හැබැයි ඒ මම යන තැන අනුව. ඒ නිසා මගේ ෆැෂන්වලට ලිමිට් එකක් නැහැ.

ෆැෂන් කරන්න ගිහින් අපහසුතාවට පත්වුණු තැන් තියෙනව ද?

එහෙම අවස්ථා තියෙනවා. ඒ මම ඒ ෆැෂන් එක කරපු තැන අනුව නෙවෙයි. ඒ ෆැෂන් එකේ ෆොටෝ සමාජ මාධ්‍යයට එකතු කිරීමෙන් පස්සේ වැටෙන කමෙන්ට් එක්ක වයිරල් වෙලා පොඩි විනාශයක් වුණු තැන් තියෙනවා. ඒක මට බලපෑවෙ නැහැ.

පසුගිය කාලේ මහත් වෙලා හිටිය මධුෂානී දැන් කෙට්ටු වෙලා මොකද කළේ?

ඇත්තටම ඒ ගැන කියන්නම ඕනේ. කවුරුවත් මම මේ කරපු දේ නම් කරන්න එපා ඇඟ කෙට්ටු වෙන්න කියලා. මට කාලයක් තිස්සේ සෑහෙන මානසික පීඩනයක් තිබ්බා මහත් වීම එක්ක. මොකද ගොඩක් අය කතා කරලා ඔයා මහතයි කොහොමද වැඩකට ගන්නේ. ඔයාව තමයි කාස්ට් කරලා තිබ්බේ ඒත් දැන් මහත නිසා වෙන කෙනෙක් ගන්න වෙනවා. ඔය වගේ දේවල් නිසා මම හිටියේ මානසික පීඩනයක. මට ඕනේ වුණේ කොහොම හරි කෙට්ටු වෙන්න. ඒ හින්දා මම මාස හතරක් පහක් යනකම් කෑවේ නැහැ. මම කළේම කෝපි සහ දෙහි බිව්ව එක. හැබැයි මම ඒකෙන් පස්සේ ගොඩක් දුර්වල වුණා. දැනට වුණත් මට පහුගිය කාලේ තිබ්බ එනජි එක නැහැ. පොඩි දෙයක් කළත් මට මහන්සි දැනෙනවා. ඒ නිසා මම අනුමත කරන්නේ නැහැ මම කරපු දේ. ඒ නිසා කවුරුවත් මේ දේ කරන්න හිතන්නවත් එපා.

දැන් කෙට්ටු නිසා නිර්මාණ ලැබෙනව ද?

කෙට්ටු වුණු අලුත නම් ඔයාගේ යුනික් ඇඟ නැහැනේ. අපරාදෙනේ වගේ කිව්ව අයත් හිටියා. හැබැයි දැන් නම් හුරුවෙලා කලින්ට වැඩිය වැඩ තියෙනවා. ඒ ගැන සතුටක් තියෙනවා. හැබැයි මම වගේ තියෙන තරහට කෙට්ටු වෙන්න යන්න එපා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division