Home » චොකලට් අස්සේ ආ කෝටි 10ක අයිස් අල්ලන්න එස්ටීඑෆ් ගහපු ගේම

චොකලට් අස්සේ ආ කෝටි 10ක අයිස් අල්ලන්න එස්ටීඑෆ් ගහපු ගේම

by thanushika
March 9, 2024 12:30 am 0 comment

පොලිස් විශේෂ කාර්ය බළකායද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා සුවිශේෂ වැටලීම් කීපයක්ම පසුගිය දිනවල සිදු කළේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමත් සමඟ එලෙස පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ද දිවා රෑ වෙහෙසෙමින් මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගනිද්දී පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ නිලධරයෝද ඒ සඳහා ඉමහත් දායකත්වයක් සපයති.

විශේෂයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ ප්‍රධානම කාර්යයන් වනුයේ සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ඇතුළු සියලුම ආකාරයේ නීති විරෝධි ජාවාරම්වල තොරතුරු එක්රැස්කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමයි. එවන් වටපිටාවක පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික සිල්වාට බුද්ධි තොරතුරක් ලැබෙන්නේ ඉන්දියානු සහ මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් එක්ව සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැනයි. ඒ මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමකි. කලක් තිස්සේ ඉතා සූක්ෂ්ම ලෙස සිදුකරන මෙම ජාවාරම ගැන තොරතුර ප්‍රධාන පොලිස් පරීක්ෂක නදිකට ලැබෙන්නේ මීට මාස තුනකට පමණ පෙරදීය.

එම තොරතුර එලෙස තිබියදී එම කොට්ඨාස නිලධරයෝ කුඩා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටි පුද්ගලයන් රැසක්ද පසුගිය කාලයේ අත්අඩංගුවට ගත්හ. ඒ සියලු අත්අඩංගුවට ගැනීම්වලදී සිදුකරන ලද පුද්ගල ප්‍රශ්න කිරීම්වලින් මීට මාස තුනකට පෙරදී ලැබී තිබුණු මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරේ බොහෝ ‘අහුමුලු‘ හෙළිදරව් වෙමින් තිබිණි.

ඒ ඉකුත් මාර්තු 2 වැනිදාය. එදින ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ මහා පරිමාණ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යොදාගෙන සිදුකරන ජාවාරමක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුවන බවට තොරතුරක් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරින්ට ලැබිණි.

එම තොරතුර පිළිබඳව ප්‍රධාන පොලිස් පරීක්ෂක නදික එස්ටීඑෆ් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර දැනුම්වත් කිරීමත් සමඟ ඔහුගේ උපදෙස් මත බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එම්.කේ. විජේසිංහගේ මඟපෙන්වීම පරිදි බුද්ධි, විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක සහ සංවිධානාත්මක අපරාධ මර්දන සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකරගේ ඍජු අධීක්ෂණයෙන් එම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම වැටලීමට ක්ෂණික මෙහෙයුමක් දියත් කැරිණි.

පසුගිය මාර්තු 2 වැනිදා දහවල් 1ට පමණ එස්ටීඑෆ් නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව කිරිබත්ගොඩ, දළුගම ඉන්ධන පිරවුම්හල අසලදී සුදු පැහැති CAJ-5793 දරන වෙසල් රථය පරීක්ෂා කැරිණි. එම රථයේ ‘කිට්-කැට්‘ වර්ගයේ චොකලට් බහාලන ලද කාඩ්බෝඩ් ඇසුරුම් කීපයක් තිබිණි. එම චොකලට් ඇසුරුම් පරීක්ෂාවේදී ලැබුණු තොරතුර ‘තිත‘ටම නිවැරැදි බව තහවුරු වූයේ එස්ටීඑෆ් නිලධාරින්ද මවිතයට පත් කරමිනි.

එහි චොකලට් බහාලු ඇසුරුම්වල කිලෝ 5යි ග්‍රෑම් 25ක් බරැති අයිස් මත්ද්‍රව්‍ය පැකට් 5ක් තිබී හමු විය. රථයේ සිටියේ එක් පුද්ගලයෙකි. ඔහු කුරුණෑගල පදිංචි 60 හැවිරිදි අයකු වුවද ගණේමුල්ල, කඩවත සහ හැඳල ප්‍රදේශවල බහුලව සැරිසරන සිදම්බරම් පංචලිංගම් නමැති අයකු බව හෙළි විය. පංචලිංගම් කලක සිටම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නෙක් බව අනාවරණය වූයේ ඔහුගෙන් ප්‍රශ්න කරද්දීය.

“කොහෙන්ද මේ අයිස්…?“ එස්ටීඑෆ් නිලධරයෝ සැකකරුගෙන් විමසූහ.

“සර්… මට මේවා දුන්නේ කාර් පාක් එක ගාවදී (ඔහු කිරිබත්ගොඩ ජනප්‍රියම රෙදිපිළි වෙළෙඳසලක නම කීවේය) දෙන්නෙක් ආවා… ඒ අය සුදු පාට මයික්‍රෝ කාර් එකකින් ආවේ… එච්චරයි මං දන්නෙ සර්…“ යැයි පංචලිංගම් එස්ටීඑෆ් නිලධරයන්ට පැවැසුවේය.

ඔහු එම මෝටර් රථයේ අංකයද පැවැසීය. එම රථයේ අංකය CBF-5330ය. එස්ටීඑෆ් නිලධාරින් එම රථය සොයා මෙහෙයුමක් දියත් කළේ ක්ෂණිකවය. එස්ටීඑෆ් නිලධාරින් අනාවරණය කරගත්තේ එම රථය කොළඹ – මීගමුව මාර්ගයේ මීගමුව දෙසට ගමන් කරන බවය. වහා ක්‍රියාත්මක වූ එස්ටීඑෆ් බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආර්. ඒ. ඩී. ඒ. රණසිංහ ඇතුළු කණ්ඩායම කටුනායක 18 කණුව, ගුවන් පාලම අසලදී එම රථය කොටු කරගන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය.

එම රථයේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙක් සිටියේය. එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 190ක් සොයා ගැනීමට එස්ටීඑෆ් නිලධරයන්ට හැකි විය. එම අයිස් තොගය සමඟ රාගම පදිංචි 33 හැවිරිදි අහමඩ් ඉරාම් සහ කටුනායක පදිංචි 41 හැවිරිදි කාංචනා මධුකා යන යුවළ අත්අඩංගුවට ගැනිණි.

ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී දෙදෙනා නතරව සිටි කටුනායක ඔන්රිච් හෝටලයේ කාමරයක සඟවා තිබී තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 266ක් අත්අඩංගුවට ගැනීමට එස්ටීඑෆ් නිලධාරින්ට හැකි විය.

ඒ අනුව ස්ථාන තුනකදී එකම ජාවාරමකට අයත් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 9යි ග්‍රෑම් 706කි. එහි වෙළෙඳපොළ වටිනාකම කෝටි 10කට අධික බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් පංචලිංගම්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කැරෙන්නේ ඒ අතරතුරදීය.

“සර් මං ගෙවල් දෙකක් බලාගෙන ඉන්නේ…“ ඔහු පැවැසීය.

එම නිවෙස් දෙක හැඳල, වැලිඅමුණ මාර්ගයේ සහ ගණේමුල්ලේ පිහිටා ඇත. නිවෙස් දෙක අයත් වනුයේ දොන් නන්දසිරි හෙවත් නන්දසේනටය. ඔහු කලක සිටම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කෝටිපතියෙකි. නන්දසේන මෙරට සහ පිටරටද වාසය කරන්නෙකි. එම නිවෙස් දෙකද එස්ටීඑෆ් නිලධාරින් පරික්ෂා කළේය. හැඳල නි‍ෙවසේ කිසිවෙක් නැත. සුඛෝපභෝගී කෝටි ගණනක් වටිනා එම නි‍ෙවස පාපැදිවලින් පුරවා තිබිණි.

ගණේමුල්ල නි‍ෙවස ද පිහිනුම් තටාක ද සහිත සුඛෝපභෝගී නි‍ෙවසකි. ඒ සියලු දෑ පිළිබඳ පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයද විමර්ශන ඇරැඹීය. එම නි‍ෙවස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නවාතැන් පොළක් ලෙසට ද සැලැකේ.

මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ඇළකන්දේ පදිංචිකරුවෙක් වන මේ වන විට ඩුබායිහි වාසය කරන බවට සැල වන කපුරුබණ්ඩාගේ දොන් නිපුන චමින්ද උදයංග හෙවත් ඩුබායි නිපුන බවද එස්ටීඑෆ් නිලධාරින් අනාවරණය කර ගැනිණි. නිපුන ඩුබායි සිට ඉන්දීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මඟින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන අයිස් මත්ද්‍රව්‍ය ගුවන් තොටුපොළ රථවාහන අංගණය තුළදී මෙරට ජාවාරම්කරුවන්ට දෙමින් කලක සිටම ජාවාරම සිදුකර ඇත්තේ චොකලට් පෙට්ටි තුළ සඟවා චොකලට් මෙරටට ගෙනෙන ආකාරයටයි.

මෙකී ජාවාරම කලක සිටම ආරක්ෂක අංශවලට වසන්ව සිදුකර තිබූ මත්ද්‍රව්‍ය ජාවාරමකි. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සීසීකඩ විසිරි සිටින හෙයින් මෙකී ජාවාරම කොටුකර ගැනීමට පහසු වූ බව වැටලීමට එක්වූ නිලධාරියෙක් පැවැසීය.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division