Home » තීරු බදු නොගෙවා පිට කරන්න හැදූ රුපියල් ලක්ෂ හතළිස් තුනක හොර සිගරැට් ඇල්ලූ මෙහෙයුම

තීරු බදු නොගෙවා පිට කරන්න හැදූ රුපියල් ලක්ෂ හතළිස් තුනක හොර සිගරැට් ඇල්ලූ මෙහෙයුම

by thanushika
March 9, 2024 12:30 am 0 comment

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාව වෙත පිවිසීමේ රන් දොරටුවයි. මෙම දොරටුවෙන් රටට මහඟු වැඩදායක පුද්ගලයන් මෙන්ම රටට අවැඩක් කිරීමේ අදහසින් නොයෙකුත් නීතිවිරෝධී ද්‍රව්‍ය රැගත් පුද්ගලයෝ ද පැමිණීමට උත්සාහ කරති.

එවැනි අනර්ථකාරී පුද්ගලයන් පිළිබඳ දවසේ පැය 24 පුරා සොයා බලා වාර්තා කිරීම සඳහා විශේෂ බුද්ධි නිලධාරීන් පිරිසකගෙන් සමන්විත කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයක් කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් ජේප් විසින් ක්‍රියාත්මක කරමින් පවත්වාගෙන යනු ලබමින් තිබේ.

ඒ අනුව ඉකුත් 20 වැනිදා මධ්‍යහ්නය පසුවෙමින් පවතිද්දී ස්ථානාධිපතිවරයා වෙත බුද්ධි තොරතුරක් හදිසියේම ලැබුණේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් නීතිවිරෝධී ලෙස තීරු බදු නොගෙවා පිටකර ගෙන යෑමට සූදානම් වන බවයි.

වහාම ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීහු කණ්ඩායමක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණියහ.

ඒ වනවිටත් මෙම ව්‍යාපාරිකයෝ දෙදෙනා මෙම දුම්වැටි තොගය සිය වාහනවලට පැටවීමට සූදානම් වෙමින් සිටියහ. එහෙත් මේ සියල්ල අබිබවමින් නැගී සිටි පොලිස් නිලධාරීහු මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා සහ ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙනවිත් තිබූ විදේශීය දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත රැගෙන යාමට පියවර ගත්හ.

පොලිසියට රැගෙන ගිය මෙම ගමන්මලු තොගය එකින්එක විවෘත කර පරීක්ෂා කිරීම ආරම්භ වූ අතර ඒවා තුළ රුපියල් හතළිස් තුන් ලක්ෂ හතළිස් දෙදහසක් වටිනා “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 33,400ක් තිබී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ව්‍යාපාරිකයන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සහ 29 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ‘ෆිට්ස් එයාර්’ ගුවන් සේවයේ 8 ඩී. – 832 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී මෙම දුම්වැටි සියල්ල රාජසන්තක කිරීමටත්, මොවුන් දෙදෙනාට රුපියල් 175,000 ක දඩ මුදලක් ගෙවන ලෙසටත් නියෝග කෙරිණි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් ජේප්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ධම්මික, උප පොලිස් පරීක්ෂක චන්දන, කාන්තා සැරයන් (5696) ප්‍රියදර්ශනී සහ සැරයන් රියැදුරු (3669) ප්‍රියන්ත යන නිලධාරීන් විසින් සිදු කැරිණි.

කටුනායක ටී. කේ. ජී. කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division