රම්‍යා වනිගසේකර අපට සමීප වූයේ බොහෝ දෙනා අගයන රංගන ශිල්පිනියක හෝ නිවේදිකාවක වශයෙන් නොවේ. ජ්‍යෙෂ්ඨ වෘත්තීය සගයෙකු හැටියටය.අපි ඇය හා එකම මැදිරියක වැඩ කළෙමු. එකම ආපන ශාලාවක ප්‍රීති සාද පැවැත්වීමූ.
රම්‍යයක්කා වෘත්තිය වෙනුවෙන් කැප වූ කෙනෙකි. ඇය අතින් වෘත්තීය වැරදි වූවාදැයි මම නොදනිමි. කෙසේ නමුත් ගුවන් විදුලි සංස්ථාවේදීට ඇය අපට මාහැඟි පූර්වාදර්ශයකි. “රම්‍යාගේ ගානට ප්‍රවෘත්ති කියවන්න පුළුවන් නම් ඒක තමයි ඉලක්කය.” නවකයන් ලෙස අප එදා කල්පනා කළා මතකය. විනාඩි දහයට ප්‍රවෘත්ති පිටපතේ පේළි සියයක් කියවීම සාමාන්‍ය ඉලක්කයයි. සමහරු අසූවකි. සමහරු අනූවකි. ඇතැම් අය හරියටම 100 කියවයි. නමුත් වචනයක්වත් වරද්දන්නෙ නැතිව හැම වචනයම තේරෙන විදිහට රම්‍යා අක්කා පේළි එකසිය දහයක් කියවයි. ඇය පළමු පන්තියේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස වෘත්තීය ජීවිතයෙන් සමු ගත්තේ 2006දීය. නමුත් ඇය ප්‍රවෘත්ති කියවූ හැටි ශ්‍රාවකයෝ අදටත් ගෞරවයෙන් සිහිපත් කරති.
රම්‍යක්කා ගායිකාවක් බව බොහෝ අය දන්නේ නැත. ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ නූර්ති ගී ගායන ශිල්පිනියකි. 1974 දී ඇය මුලින්ම කරළියට පිවිසියේ වේදිකා නාට්‍ය පසුබිම් ගායිකාවක් හැටියටය. ඒ චන්ද්‍රා ගුණතිලක ගේ “හේවායෝ” නාට්‍යයෙනි.ඇගේ සුගායනීය කටහඬ මැනවින් ඉස්මතුවූයේ රංජිත් ධර්ම කීර්තිගේ “අංගාරා ගඟ ගලා බසී” නාට්‍යයේ කේමදාසයන්ගේ සංගීතයටය. රම්‍යා වනිගසේකර රංගන ශිල්පිනියක ලෙස රට හඳුනාගත්තේ ‘මනරංජන වැඩ වර්ජන” නාට්‍යයෙනි. ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ චන්ද්‍රා කලූආරච්චි ගැබ්බරවූයෙන් ආර් ආර් සමරකෝන් ශූරීන්ගේ “කැලණි පාලමේ” “මැටිල්ඩා” වන්නට ඇයට හැකි විය. එම චරිතය ඇය වසර 41ක් එක දිගට රඟපෑවාය. කැලණි පාලමෙන් පසු සමරකෝන්ගේ අහසින් වැටුණු මිනිස්සු, දූවිලි, ඉඩම, ජේලර් උන්නැහේ ආදී නාට්‍යවල රඟපෑවාය. නාට්‍යවල රඟපෑමෙන් නොනැවතී වසර 1987 දී ඇය සමරකෝන් බිරිඳගේ චරිතයටද පණ පෙව්වාය.ආදරණීය දියණියකගේ මවක වූවාය. “මුහුදු පුත්තු” ඇතුළු ශ්‍රී ලංකාවේ සුපතල තවත් වේදිකා නාට්‍ය ගණනාවක ප්‍රබල චරිත නිරූපණ ගණනාවකට දායක වන්නට ඇයට හැකි විය. වේදිකාවේ නොනැවතී සිනමාවට ද අනතුරුව ටෙලි නාට්‍යයට ද ඇය සංක්‍රමණය වූවාය. ඇය සම්මානයට පාත්‍ර වූ “කන්දේ ගෙදර” සහ කූඹියෝ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය ගණනාවක් ඇයගේ රංගන දායකත්වය ලබාගෙන තිබේ.
ජර්මනියේ පැවති වාර්තා චිත්‍රපට තරඟයකදී මෙම නාට්‍යයට රන් පදක්කමක් හිමි විය. ඒ 1983දී ය. පසුව, ඇය කන්දේ ගෙදර, පළිඟු මැණිකේ, මැණික් නදිය ගලා බසි, දෙනුවර මැණිකේ, පබා, අලුත් ගෙදර වැනි ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවල සහ ප්‍රහසන කතා මාලාවක් වන “ඉයර්ස් බොස්” හි විචාරක පැසසුමට ලක් වූ චරිත රාශියක රඟපෑවාය. ඇය ප්‍රහසන රංගනයටද අතිශයින් දක්ෂය. ධම්ම ජාගොඩගේ පළිඟු මැණිකේ චිත්‍රපටයේ ඇයගේ රංගනය ඇයගේ ටෙලිනාට්‍ය දිවියේ සන්ධිස්ථානය බව බොහෝ අයගේ විශ්වාසයයි.
හොඳම ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස 1994-95 කාලයේ ජනාධිපති සම්මානයෙන් පුද ලැබුවාය. කාර්යාල ජීවිතයේ ඇය අතිශයින්ම සුහද මිත්‍රශීලී විනෝදකාමී චරිතයකි. ඇය සමඟ ගත කරන සෑම මොහොතක්ම ප්‍රීති සාගරයකි. කාර්යාල පරිශ්‍රයේ බොහෝ පීඩාවන්ගෙන් හෙම්බත්වී සිටි අප සිනහ ගන්වන්නට ඇය අපූරු හැකියාවෙන් යුක්තය. කාටුන් චිත්‍ර ශිල්පියකුට වඩා දක්ෂ ලෙස ඇයගේ මුහුණින් එක් එක් පුද්ගලයන් මුහුණේ හැඩය නිරූපණය කිරීමට ඇයට පුළුවන. බොහෝ විට ගුවන් විදුලි ආපනශාලාවේ අපි හමුවීමු. බුම්මාගෙන සිටින කවර හෝ කෙනෙකු අප අසල සිටියොත් වහාම ඇය ගේ මුහුණින් එම මුහුණ ප්‍රතිරූපණය කරයි. එබඳු අවස්ථාවක අදාළ පුද්ගලයාට නොදැනෙන සේ අපේ සිනහව සඟවා ගන්නට මහත් වෙහෙසක් දැරීමට සිදුවෙයි. අප ආයතනයේ කවර හෝ ප්‍රධානියෙකු ගේ අකටයුත්තක් පිළිබඳව කතා කරන්නේ නම් දැඩි නිහඬතාවයකට පිවිසෙන ඇය ඇගේ මුහුණ ප්‍රධානියාගේ මුහුණසේ මවා ගනියි. ආවේගය සහ අසාධාරණය අමතක වී සියල්ලෝ සිනාසෙති. ප්‍රශ්නය එතැනින් අවසන් වෙයි.
රම්‍යා වණිගසේකර වැනි අය දුර්ලභය. අපට නැතිවුණේ දුර්ලභ ගණයේ මනුෂ්‍ය දුවකි.
එතුමියගේ දේහය ගෞරව දැක්වීම පිණිස අද සවස 6 සිට, ඉරිදා සවස 2 දක්වා බොරැල්ල, ඒ. ෆ්. රේමන්ඩ් මල්ශාලාවේ. තැන්පත් කෙරේ.
අවසන් කටයුතු ඉරිදා (මාර්තු 10) සවස 3.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.
චන්දන තිලකරත්න