Home » ජවිපෙ ආසන 39න් 03 ට වැටුණු හැටි

ජවිපෙ ආසන 39න් 03 ට වැටුණු හැටි

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

න්දේ ලකුණු කරනකං ඌ ජේවීපී කාරයෙක්’ මේ කතාව පසුගිය කාලය පුරාම පැවැති සෑම මැතිවරණයකදීම කියවුණ හාස්‍ය මුසු ප්‍රසිද්ධ කතාවක්. මගේ මතකය නිවැරදි නම් මේ කතාව වඩාත් ප්‍රකට වුණේ 2014 වසරේ පැවැති ඌව සහ දකුණු පළාත් සභා මැතිවරණවලදී. යුද ජයග්‍රහණයේ උණුසුම සමඟ පැවැති ජනාධිපතිවරණය සහ 2010 මහ මැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් පිරිහෙමින් තිබුණ සමයක් වුණ නිසා මෙම පළාත් දෙකේ මැතිවරණයේදී විපක්ෂය වෙත වැඩි අවධානයක් යොමු වුණා. එජාපයේ නායකත්වය වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන හරීන් ප්‍රනාන්දු ගන්න කොට ජවිපෙ සමන්ත විද්‍යාරත්න ඇතුළු කල්ලියම ඌවට, විශේෂයෙන් බදුල්ලට දැඩි අවධානයක් යොමු කළා.

ඉතා උණුසුම් සටනක් වුණ ඌව පළාත් සභා මැතිවරණයෙන් විපක්ෂය, විශේෂයෙන් ජවිපෙට සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගනී කියලා බොහෝ දෙනෙක් හිතුවේ ඒ වන විට ජවිපෙ ජාතික හා සමාජ මාධ්‍ය අවකාශය තුළ වගේම ජනරැලි ඇතුළු සෑම තැනකදීම ‘ඉහළින්ම’ කැපී පෙනුණ නිසා.

ඒත් මැතිවරණ ප්‍රතිඵල ලැබුණු විට ජවිපෙ අපේක්ෂා ‘පුස්ස බින්දා වගේ’ වුණා. වඩාත් අවධානය දිනාගත් බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය 47.37%ක් ලබා ගෙන ආසන 09ක් සහ එක්සත් ජාතික පක්ෂය 44.79%ක් ලබා ගෙන ආසන 08ක් දිනා ගන්නා විට ජනතා විමුක්ති පෙරමුණට ලබා ගත හැකි වුණේ සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 4.67%ක් හෙවත් ඡන්ද 20,625ක් පමණයි. සියයට පහටත් අඩු ‌මේ ඡන්ද ප්‍රතිශතයට එක් ආසනයක් පමණක් හිමි වුණා.

මොනරාගල ගැනත් ජවිපෙ දැඩි උනන්දුවක් දැක්වූවා. නමුත් මොනරාගලින් පවා ජවිපෙ ලබා ගත හැකි වුණේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද සංඛ්‍යාව වූ ඡන්ද 241,426න් ඡන්ද 15,955ක් හෙවත් 6.61%ක් පමණයි. මේ ප්‍රතිශතයට එක් මන්ත්‍රී ධුරයක් හිමි වුණා.

සමස්තයක් ලෙස ජවිපෙ ඌව පළාතෙන් ලබා ගත්තේ මුළු ඡන්ද සංඛ්‍යාව වූ ඡන්ද 682,797න් ඡන්ද 36,580ක් හෙවත් 5.357%ක ප්‍රතිශතයක් පමණයි. මොනරාගල ආසනයත් එක්ක මුළු ආසන 34න් ආසන 02ක් පමණයි ජවිපෙ දිනා ගත්තේ ඒ කියන්නේ 2014දී අතිශය තීරණාත්මක සහ දැඩි මැතිවරණ උණුසුමක් පැවැති ඌව පළාත් සභා ඡන්දයෙන් ජවිපෙට ලබා ගන්න පුළුවන් වුණේ ආසන්න වශයෙන 5.3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ජවිපෙ සියලු සිහින බොඳ කළත් ජවිපෙ ඉන්න ‘නියම තැන’ පෙන්වා දුන් මේ මැතිවරණ ප්‍රතිඵලයත් එක්ක තමයි ‘ඡන්දේ ලකුණු කරනකන් ඌ ජේවීපී කාරයෙක්’ කියන හාස්‍යජනක කතාව සමාජගත වුණේ. මේ ගැන ජවිපෙ නායකයන් පවා නිරන්තරයෙන් චෝදනා මුඛයෙන් කතා කරනවා අද පවා ඇහෙනවා. ඒ නිසා තමයි ජවිපෙ කියන්නේ ‘අනේ අපටත් දීලා බලන්න’ කියලා.

ජවිපෙ කියන තරම් බලවත් ද?

අද, වර්තමානය වන විට ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ සටන මෙහෙවන්නේ ජවිපෙ, JVP සාම්ප්‍රදායික වාමවාදී පක්ෂයේ ‘හැව’ ගලවලා ‘ජාතික ජන බලවේගය’ ලෙස බව අපි කවුරුත් දන්නවා. මේ දේශපාලන සන්ධානය තුළ ජාතික තලයේ දේශපාලන පක්ෂයකට තිබෙන්නේ ජවිපෙ විතරක් බවයි පෙන්න තිබෙන්නේ. ජජබ වටා ඒකරාශී වී සිටින සෙසු සියලු දෙනා විවිධ කණ්ඩායම් බවයි පැහැදිලිව පේන්න තියෙන්නේ. ඒ නිසා වත්මන් ජජබ ශක්තිය ගැන දළ අදහසක් ලබා ගන්න අපිට ජවිපෙ මැතිවරණ ඉතිහාසය සහ එහි ප්‍රවණතා ගැන විශ්ලේෂණයක් කරන්න වෙනවා. ඊට හේතුව තමයි ඕනෑම දේශපාලන පක්ෂයක ‘පාක්ෂික ඡන්ද පදනම’ තමයි අවසානයේ දී තීරණාත්මක වෙන්නේ. උදාහරණයක් ලෙස සියයට 35%ක පමණ ස්ථිර ඡන්ද පදනමක් තිබෙන එජාපයට (සජබ ඇතුළත්ව) සහ ශ්‍රීලනිපය (පොහොට්ටුවත් ඇතුළත්ව) මැතිවරණයක් ජයග්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ඡන්ද ප්‍රතිශතය ලෙස සැලකිය හැකි 45%ක සීමාව පසුකර යාමට කුඩා පක්ෂ සහ සුළුජන පක්ෂ සමඟ සන්ධානගත වීම්, දැවැන්ත මැතිවරණ ප්‍රචාරණ යන්ත්‍රණයක් මෙහෙයවීම සහ තවත් අනපේක්ෂිත සිදුවීම් කිහිපයක් තුළින් හැකියාව ලැබෙනවා.

ඒත් 5%කට අඩු හෝ ඊට ආසන්න ඡන්ද පදනමක් ඇති පක්ෂයකට 45%ක් කරා ළඟා වීමට 09 ගුණයකින්, 900%කින් ඡන්ද පදනම වැඩි කර ගන්න සිදුවෙනවා. මෙවැනි වර්ධනයක් ලබා ගත් දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ නැති තරම්.

ඉතින් 1970 දී සන්නද්ධ අරගලයෙන් රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට සූදානමින් සංවිධාන වූ පක්ෂයක් ලෙස ජවිපෙ මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පැමිණෙන්නේ 1982 ජනාධිපතිවරණයේදී. ඒ වන විට 5/6ක පාර්ලිමේන්තු බලයක් සහිතව ආණ්ඩු බලය හිමි කරගෙන සිටියත් ජේ. ආර්. ජයවර්ධන ‘ජනාධිපති ධුරයට’ පත්වන්නේ 1978 ව්‍යවස්ථාව නිසා මිස ජනාධිපතිවරණයකින් නොවෙයි. ඒ වගේම ආරම්භක යුගයේ සිට ජේ. ආර්. ජයවර්ධන ‘ජනප්‍රිය’ නායකයෙක් නොවෙයි. ඒ වගේම 1982 වන විට ආණ්ඩුව සැලකිය යුතු ලෙස ජනතාව අතර අප්‍රසාදයට ලක්ව තිබුණා. ඒ නිසා 1982 ජනාධිපතිවරණය ජේ. ආර්ට මෙන්ම ජවිපෙ නායක රෝහණ විජේවීරටත් තමන්ගේ ‘සැබෑ ශක්තිය’ ගැන වැටහීමක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් වුණා.

1982 ජනාධිපතිවරණයෙන් ජේ. ආර්. ජයවර්ධන 52.‍91%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා විට ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව 39.07%ක් ද ජවිපෙ නායක රෝහණ විජේවීර 4.19%ක ඡන්ද ප්‍රතිශතයක් ද (ඡන්ද 25,48,438) ලබා ගත්තා. 1988 ජනාධිපතිවරණය ජවිපෙ විසින් වර්ජනය කළ අතර ඔවුන් සිය දෙවැනි සන්නද්ධ අරගලය ආරම්භ කර තිබුණා. එහිදී එජාප ආපේක්ෂක රණසිංහ ප්‍රේමදාස 50.43%ක් ද ශ්‍රී ලනිප ආපේක්ෂිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 44.95%ක ද ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. 1994 ජනාධිපතිවරණයේදී ජවිපෙ සිය අපේක්ෂකයා ඉල්ලා අස්කර ගත්තත් ඔවුන්ගේ ආශීර්වාදය ලැබූ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණේ ආපේක්ෂක නිහාල් ගලප්පත්ති 0.30%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා.

1982න් පසු ජවිපෙ යළි ජනාධිපතිවරණයකට ඍජුව මුහුණ දුන් 1999 හතර වැනි ජනාධිපතිවරණයේ දී ජවිපෙ ආපේක්ෂක නන්දන ගුණතිලකට ලබා ගන්න හැකිවන්නේ ඡන්ද 3,44,173ක් හෙවත් 4.08%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ඊට පසුව පැවැති 2005 ජනාධිපතිවරණයේ දී ජවිපෙ පූර්ණ සහාය මහින්ද රාජපක්ෂටත්, 2010 ජනාධිපතිවරණයේදී එජාපයේ තෝරා ගැනීම වූ සරත් ෆොන්සේකාටත් හිමිවන විට 2015 දී මෛත්‍රීපාල සිරිසේනට හිමි වුණා.

නැවත වසර 20කට පසු ජවිපෙ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ 2019 දී. ඒත් වර්තමානයේ මෙන් ජවිපෙ නමින් නොව NMPP නම් දේශපාලන සන්ධානයක් යටතේයි. ඒ ජවිපෙ වත්මන් නායක, ජජබ ජනාධිපති අපේක්ෂකයා බව කියන අනුර කුමාර දිසානායකයි. අතිශය තීරණාත්මක වූ එම මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ 52.25%ක් ද සජිත් ප්‍රේමදාස 41.99%ක්ද ඡන්ද ලබා ගන්නා විට අනුර කුමාර දිසානායක ලබා ගත්තේ ඡන්ද 418,553ක් හෙවත් 3.16%ක් පමණයි.

1982 සිට 2019 දක්වා මැතිවරණ ඉතිහාසය දෙස පුළුල්ව බලනවිට අපට මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ, ජවිපෙ ලෙස හෝ සන්ධාන ලෙස ඉදිරිපත් වුවත් ඔවුන්ගේ උපරිම ඡන්ද පදනම 5%ක අගය ඉක්මවා නොගිය බවයි. මේ බව 1982 සිට 2019 දක්වා පැවැති ජනාධිපතිවරණවල ප්‍රතිඵල විශ්ලේෂණය කරන කහ පැහැති වගුවෙන් මනාව පැහැදිලි වේ.

ජවිපෙ 1998 සිට 2019 දක්වා පැවැති ජනාධිපතිවරණ 08න් 05කටම විවිධ හේතු මත සිය අපේක්ෂකයන් ඉදිරිපත් නොකළ ද ඔවුන් ඉදිරිපත් වූ මැතිවරණ තුනේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතය අතිශය සුළු අගයක් ගන්නා බව ඉහත වගු සටහනින් මනාව පැහැදිලි වේ. මේ ප්‍රතිඵල විශ්ලේෂණය අනුව ජවිපෙ 2024 ජනාධිපතිවරණය ගැන ‘යම් කිසි’ විශ්වාසයක් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් 04%ක් වන සිය ඡන්ද පදනම ආසන්න වශයෙන් 50%යි එක ඡන්දයක් දක්වා 10 ගුණයකින් හෙවත් 1000%කින් වර්ධනය කරගත යුතුව ඇත. මෙවැනි ‘විස්මිත’ වර්ධනයක් ජවිපෙ වැනි බිහිසුණු සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන්, ආරම්භක යුගයේ, 1970 මහ මැතිවරණයේ සිට ශ්‍රීලනිපයට (1970,1994, 2005) හෝ එජාපයට (2010 සහ 2015) සහාය ලබා දී සිය අපේක්ෂකයන් ඉදිරිපත් කර ‘දේශපාලන සුජාතභාවය’ විනාශ කර ගත් වාමාංශික පක්ෂයකට ලැබෙන්නේ නම් 1000%ක වර්ධනයක් ‘දේශපාලන විශ්මයක්ම’ විය යුතුය.

පාර්ලිමේන්තු බලය

ජනතා විමුක්ති පෙරමුණ යනු ‘පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය’ විශ්වාසය කරමින් දේශපාලන බලය දිනා ගැනීමට ආරම්භ කළ පක්ෂයක් නොව ඉතාම පැහැදිලිවම ‘සන්නද්ධ අරගලයක්’ මඟින් ධනපති පන්තිය සතු දේශපාලන බලය අත්පත් කර ගැනීමට හෝ ‘පැහැර ගැනීමේ’ මූලික අභිප්‍රායෙන් ආරම්භ කළ දේශපාලන පක්ෂයක්. රාජ්‍ය බලය ‘පැහැර ගැනීම’ සඳහා 1979 සහ 1986-90 සන්නද්ධ අරගල දෙකකට නායකත්වය දුන් ජවිපෙ එම සන්නද්ධ අරගල දෙක මඟින් සිදු කළ විනාශය ගැන මේ දක්වා ‘සමාව ගැනීමක්’ හෝ අවම වශයෙන් පසු විපරමක් කර නැති වුව ද ඔවුන් ‘ප්‍රජාතන්ත්‍රවාදී’ ප්‍රවාහයට පිවිසීම රටට, විශේෂයෙන් සිංහල බෞද්ධ තරුණයන්ගේ වාසනාවක්.

ඒ කොහොම වුණත් ජවිපෙට හෝ ජවිපෙ නායකත්වය දෙන දේශපාලන සන්ධානයකට මැතිවරණයක් මඟින් රාජ්‍ය බලය දිනා ගැනීමට සැබෑ හැකියාවක් තිබෙනවාද? යන්න අද දක්වාම තිබෙන ප්‍රශ්නයක්. මොකද ඔවුන් ඉදිරිපත් වූ ජනාධිපතිවරණ තුනේදීම 4%ක පමණ ඡන්ද පදනමකයි හිටියේ. මේ තත්ත්වය පාර්ලිමේන්තුව සහ පළාත් සභාව තුළත් ‘වැඩි වෙනසකින්’ තොරව තිබෙන බවකුයි මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ 2014 ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලවලින් මනාව පැහැදිලි වන්නේ.

ඒත් මේ බව තවදුරටත් තහවුරු කර ගැනීමට අපිට පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණයකින් හැකියාව ලැබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ නිල වෙබ් අඩවිය ඇතුළු වාර්තාවලට අනුව ජනතා විමුක්ති පෙරමුණේ මූල බීජය 1965 දී රෝපණය වුණත් ‘ජනතා විමුක්ති පෙරමුණ’ නමින් දේශපාලන පක්ෂය බිහිවන්නේ 1970 මහ මැතිවරණ සමයේදී. ජවිපෙ වාර්තාවලට අනුව 1970 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය ලබා දීමට රෝහණ විජේවීර ඇතුළු කණ්ඩායම විසින් මුද්‍රණය කළ පත්‍රිකාවක තමයි මුල්වරට ‘ජනතා විමුක්ති පෙරමුණ’ යන නම සඳහන් වන්නේ. ඒත් ඔවුන් 1970 මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ. 1977 මහ මැතිවරණය වන විට ජවිපෙ නායකයා ඇතුළු බහුතරය ඉන්නේ සිරගත කර. ඒ නිසා 1977 මහ මැතිවරණයට ජවිපෙට ඉදිරිපත් විය නොහැකි වුණා. 1982 දී පැවැත්විය යුතුව තිබෙන මහමැතිවරණය ‘ජනමත විචාරණය’ හරහා කල් දැමූ නිසා යළි මහමැතිවරණයක් පැවැත්වෙන්නේ 1988 දී. ඒත් ජවිපෙ 2වැනි සන්නද්ධ අරගලය ආරම්භ කර තිබූ නිසා සමස්ත මැතිවරණ ක්‍රියාවලියම තීරණාත්මක ලෙස වර්ජනය කරනවා. ඊට පසු පැවැති 1994 මහමැතිවරණයට ජවිපෙ ඉදිරිපත් වන්නේ ‘ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ’ නමින්. එහිදී ඡන්ද 90,078ක් ලබා ගන්නා ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණට එක් පාර්ලිමේන්තු ආසනයක් හිමිවෙනවා. ඒ තමයි ජවිපෙ ‘නොනිල’ මුල්ම පාර්ලිමේන්තු නියෝජනය.

2000 වසරේ ඔක්තෝබර් 10 වැනිදා පැවැති 11 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 5,18,774ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 10කට හිමිකම් කියනවා. එදා ජවිපෙ ලබා ගත්තේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 5.99%ක ප්‍රතිශතයක්.

ජවිපෙ සමඟ පැවති ‘පරිවාස’ ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු 2001 දෙසැම්බර් 05 වැනිදා පැවැත්වූ 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජවිපෙ ඡන්ද 8,15,353ක් ලබාගත් අතර එය සමස්ත ඡන්දවලින් 9.10%ක ප්‍රතිශතයක්. මෙහිදී ජවිපෙ මන්ත්‍රී ධුර 16ක් හිමිවෙනවා.

2001 මහමැතිවරණයෙන් සිය දේශපාලන ඉතිහාසයේ ඉහළ ඡන්ද සංඛ්‍යාව, ප්‍රතිශතය හා මන්ත්‍රීධුර සංඛ්‍යාව දිනා ගන්නා ජනතා විමුක්ති පෙරමුණ 2004 අප්‍රේල් 02 වැනි පැවැති මහමැතිවරණයට තරග කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් යුත් ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය’ යටතේයි. මේ තීන්දුව ජවිපෙ දේශපාලනයේ තීරණාත්මක ලක්ෂ්‍යයක් වන්නේ ඔවුන් ප්‍රථම වරට ප්‍රධාන ධාරාවේ ජාතික දේශපාලන පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත වී පුළුල් පෙරමුණක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ නිසයි. මෙහිදී අතිශය සටකපට මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යන ජවිපෙට තම අපේක්ෂකයන් ඉදිරිපත් කළ සෑම දිස්ත්‍රික්කයකින්ම මුල් මනාප හිමියන් අතරට පැමිණීමට පමණක් නොව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්කවලින් ජවිපෙ අපේක්ෂකයන් තිදෙනකු බැගින් ජයග්‍රහණය කරවා ගැනීමට හැකි වෙනවා.

උදාහරණයක් ලෙස එ.ජ.නි.ස සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවේ මුල්ම තිදෙනා බවට විමල් වීරවංශ (මනාප 237,185) සුනිල් හඳුන්නෙත්ති සහ ලක්ෂ්මන් නිපුණආරච්චි පත්වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ මුල්ම ජයග්‍රාහකයා ලෙස විජිත හේරත් (මනාප 215,540) තෙවැනි ස්ථානයට සිරිපාල අමරසිංහ සහ සිව්වැනි ස්ථානයට අන්ජාන් උම්මා පත්වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ නන්දන ගුණතිලක මුල් ස්ථානයට පත්වෙනවා. ඒ අනුව සමස්තයක් ලෙස ජවිපෙ අපේක්ෂකයන් 39 දෙනකු පාර්ලිමේන්තුවට පත්වන අතර ඔවුන්ට ලැබුණු මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 41ක් බවට පත් වෙනවා. ඒත් මේ දැවැන්ත ජයග්‍රහණය හමුවේ මන්ත්‍රී ධුර 02ක් පරිත්‍යාග කිරීමට පවා ජවිපෙ පරිත්‍යාගශීලි වෙනවා.

2004 මහමැතිවරණයේදී ජවිපෙ අතිශය සටකපට ලෙස තම අපේක්ෂකයන්ට පමණක් මනාප ලබා දීම සහ ශ්‍රීලනිප ඇතුළු සන්ධානයේ මනාප ජවිපෙ නායකයන්ට ලැබීම හේතුවෙන් ‘පිමිබී ගිය’ අසාමාන්‍ය පාර්ලිමේන්තු නියෝජනයක් හිමි වුවත් එම ‘විස්මිත’ ජයග්‍රහණය අවසානයේ ජවිපෙට ‘ඛේදවාචකයක් වන්නේ ජවිපෙ වර්තමාන නායකයෙක් වූ විමල් වීරවංශ ඇතුළු විශාල පිරිසක් ජවිපෙ අතහැර ආණ්ඩුවට එක්වී පසුව ඔවුන් ‘සදාකාලික’ ජවිපෙ විරෝධීන් වූ නිසයි.

ඇතැම් දේශපාලන විචාරකයන් කියන ආකාරයට 2004 විස්මිත පාර්ලිමේන්තු ජයග්‍රහණය ජවිපෙට ‘අවාසනාව’ ගෙනා අතර පක්ෂයට වර්ණවත් හා දක්ෂ කථිකයන් අහිමි කිරීම මෙන්ම ජවිපෙ ගැන ‘පොදු ජනතාව’ අතර පැවැති පැහැදීම, විශ්වාසය බිඳ වැටීමකට හේතු වුණා. ඒ වගේම ජවිපෙ දේශපාලන ‘සුජාතභාවය’ මේ සමඟ විනාශ වූ අතර, ඇතැමුන්ට අනුව ජවිපෙ විප්ලවවාදී මාවත පාවාදුන් ‘දේශපාලන ගණිකාවකගේ’ තත්ත්වයට පත් වුණා.

ඉරණම සොයා යාම

සිදුවිය යුතු ලෙසම ජවිපෙ 2010 දී සිය දේශපාලන ප්‍රතිවාදියා වන එක්සත් ජාතික පක්ෂය සමඟ දේශපාලනය කළා. ඒ තමන් විසින් ම බලයට පත්කරන ලද මහින්ද රාජපක්ෂව තීරණාත්මක ලෙස පරාජය කිරීම ඉලක්ක කර ගනිමින් ජෙනරාල් සරත් ‌ෆොන්සේකාට ‘පූර්ණ’ සහාය ලබා දෙමින්. සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම සමඟ පැවැති මහමැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වුණේ Democratic National Alliance හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ලෙසයි. එම පක්ෂයේ නායකත්වය සරත් ෆොන්සේකා විසින් ද දැරූ අතර පක්ෂ ලේකම්වරයා වූයේ ජවිපෙ විජිත හේරත්. මෙම මැතිවරණයේදී DNA ආසන 07ක් දිනා ගත් අතර (ජාතික ලැයිස්තු 02ක් සමඟ) ජනතා විමුක්ති පෙරමුණට හිමි වුණේ මන්ත්‍රී ධුර 03ක් පමණයි. ඊට වසර හයකට පෙර පැවති මහමැතිවරණයෙන් මන්ත්‍රී ධුර 39ක් දිනා ගත් ජවිපෙ තම ‘ගරාවැටීමේ’ උපරිමය 2010 දී සිදු කළ ‘අවස්ථාවාදී’ දේශපාලන දීගකෑම සමඟ ආරම්භ කළ අතර ‘රෑ වැටුණ වළේ නැවතත් වැටීමට ද’ නොබිය වුණා. ඒ නිසාම 2015 ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දී 2015 අගෝස්තු මැතිවරණයේදී ඊට වන්දි ගෙවමින් දිස්ත්‍රික් පදනමින් මන්ත්‍රී ධුර 04ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02ක් සමඟ මන්ත්‍රීධුර 06ක් දිනා ගත්තා. එම මහමැතිවරණයේදී ජවිපෙ ලබා ගත්තේ 4.87%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. නමුත් 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණවලදී ජවිපෙ විසින් 5.76%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා.

ජවිපෙ නාය යාම දිගටම සිදුවන බව පැහැදිලි කරමින් 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජවිපෙ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03 දක්වා ‘අවම’ අගය වාර්තා කළා.

ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පිවිසි 1982 ජනාධිපතිවරණයේ සිට 2019 ජනාධිපතිවරණය දක්වා කාලය තුළ ‘තනිව’ තරග කළ සෑම මැතිවරණයකදීම සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 5%ක අවම සීමාව පවා ඉක්මවා යාමට අසමත්ව ඇති බව ඉහත විශ්ලේෂණයෙන් මනාව පැහැදිලි වෙනවා. ඒ පදනම මත ඉදිරි ජනාධිපතිවරණයකදී හෝ මහමැතිවරණයකදී ආසන්න වශයෙන් 1000%ක වර්ධනයක් ලබා ගැනීමට ජවිපෙ හෝ ජජබට හැකියාව ලැබුණහොත් එය ‘දේශපාලන ආශ්චර්යයක්’ බවට පත්වනු ඇති අතර එය බොහෝ විට ශ්‍රී ලංකාව තුළ 1931 සිට අඛණ්ඩව ක්‍රියාත්මක වූ ‘ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය’ පරීක්ෂාවට ලක්කරන ‘ලිට්මස්’ පරීක්ෂාවක් ද විය හැකියි. මේ තත්ත්වය තුළ නැවත අවධාරණය කළ යුතු වන්නේ ‘ඡන්දේ ලකුණු කරනකන් ඌ ජේවීපී කාරයෙක්’ කියන කතාවමයි. ඊට එහා පැහැදිලි කතාවක් ජවිපෙ ඉතිහාසයෙන් සොයා ගත නොහැකියි.

මාධව විජේසේන

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division