රජයේ ආහාර දෙපාර්තමේන්තුව 1942 වසරේ ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඒ යටතේ පැවති බොරැල්ල එලියට් පාරේ පිහිටි මුළුතැන්ගෙය හා බේකරිය රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ කොමිසම හෙවත් පර්ක් ආයතනයට පැවරෙන්නේ 2002 වසරේදීය. ඒ එම මුළුතැන් ගෙයින් සහ බේකරියෙන් වැඩක් නොගෙන අතහැර දමා තිබුණු පසුබිමකය.
මෙම මුළුතැන්ගෙය හා බේකරිය පිහිටියේ අක්කර ගණනක් පුරා විහිදුණු ඉඩමකය. පැරණි ගොඩනැඟිලි කිහිපයක් සමඟ වල්බිහි වී තිබුණු එම භූමියෙන් කාලයක් තිස්සේ වැඩක් ගත්තේ නම් මැගසින් පාරේ තරුණයන්ය. ඒ ඔවුන්ට ක්‍රීඩාංගණයක් නොමැති අඩුව ඒ තුළින් සපුරා ගනිමිනි. මැගසින් පාරේ තරුණයන් දේශපාලනඥයන් පස්සේ වැද වැටෙමින් කාලයක් තිස්සේම උත්සාහ ගත්තේ මෙම හිස් භූමිය පොදු ක්‍රීඩාංගණයක් බවට පත්කර ගන්නටය. එම උත්සාහයන් ගඟට කැපූ ඉනි බවට පත්වන්ණේ ඒ වන විටත් පිඹුරුපත් සකස් වෙමින් පැවතුනේ වාණිජමය වශයෙන් ඉහළ වටිනාකමක් පැවති මෙම ඉඩම, රජයට ආදායමක් ලැබෙන සුදුසු ආයෝජන කටයුත්තකට යෙදවීමට වූ බැවිනි.
පර්ක් ආයතනය පසුකාලයේ වසා දැමීමෙන් පසු එම ඉඩම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන්නේ නාගරික සංවර්ධන අධිකාරියයි. අක්කර දෙකකට වැඩි භූමියකට හිමිකම් කී මෙම ඉඩමේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මධ්‍යම පාන්තික ආදායම්ලාභීන් සඳහා වූ තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකිරීම කෙරෙහි ඒ අනුව යෝජනා වන්නේ මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ පාලන සමයේදීය. එවකට නාගරික සංවර්ධන විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ පාඨලී චම්පිකය. 2017 වසරේ නොවැම්බර් 21 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් මඟින් ඒ නිවාස ව්‍යාපෘතිය සඳහා අනුමැතිය හිමි වන්නේ නිවාස ඒකක 400කින් යුත් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙනි. එම නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර ඉදිකිරීම හා මූල්‍යනය සඳහා වන බදු රහිත රුපියල් මිලියන 7,799ක වටිනාකමක් සහිත කොන්ත්‍රාත්තුව විදේශීය ඉදිකිරීම් සමාගමකට භාරදීමට ද එහිදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණේය.
ඊට අනුව එලියට් මාර්ගය පුළුල් කර කාපළු අතුරා ලොකු උත්සවයක් පවා පවත්වා එම නිවාස ව්‍යාපෘතිය ඉදි කිරීමට මුල්ගල් පවා තැබුවේය. මධ්‍යම පාන්තික යැයි කීවාට මධ්‍යම පාන්තිකයන්ට හිතන්නවත් බැරි විශාල මිලගණන් සහිත ඒ නිවාස ව්‍යාපෘතියේ ආරම්භය වැඩි කල් නොගොස් හුදෙක් උත්සවයක් බවට පමණක් පත්වන්නේ සැලසුම් කළ පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙනි. ඒ අනුව එම කොන්ත්‍රාත්තුව අවසන් කර එම ව්‍යාපෘතිය 2020 වසරේ ඔක්තෝබර් 08 වෙනිදා ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නැවතත් කැබිනට් පත්‍රිකාවක් මගින් පැවරෙන්නේ දේශීය සමාගමක් වෙතය. ඒ රුපියල් මිලියන 9368ක බදු රහිත මුදලකටය. එවකට විෂයභාර අමාත්‍යවරයා වූයේ අග්‍රාමාත්‍යධුරය දැරූ මහින්ද රාජපක්ෂයන්ය.
දේශීය සමාගමට මෙම ව්‍යාපෘතිය භාරදීමත් සමඟ එවකට විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් නැවතත් උත්සවයක් පවත්වා ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇතත් සැලසුම් කළ පරිදි ඉදිකිරීම් තවමත් අවසන්ව ඇති බවක් දක්නට නැත. ඒ මෙම ඉඩමේ මූලික ඉදිකිරීම් සිදු කර ගොඩනැඟෙමින් තිබියදී ඉඩමට අයිතිවාසිකම් කියමින් පිරිසක් අධිකරණය හමුවට යන්නට වූ බැවිනි. ඒ මෙම ඉඩමට අයත් ඔප්පුවක් ද ඉදිරිපත් කරමිනි. 2022 වසරේදී ඇරඹි මේ නඩු කටයුත්තේදී නාගරික සංවර්ධන අධිකාරිය පවා සිටියේ දැඩිව අසරණ තත්ත්වයට පත්වය. ඒ ඔවුන්ට මෙම ඉඩමේ හිමිකාරිත්වය පැහැදිලිවම අධිකරණය හමුවේ සනාථ කිරීමට නොහැකිවය. හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, කැබිනට් මණ්ඩලයේ මැති ඇමතිවරු රැසක්, නාගරික සංවර්ධන අධිකාරිය, ඇතුළු 40 දෙනෙකු පමණ වගඋත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබුණේ මෙම ඉඩමට හිමිකම් කී 12 දෙනකු විසින් ඇටෝනියකින් බලය පවරා තිබුණු ගලේවෙල, තලකිරියාගම, පහළවැව පදිංචිකරුවෙක් වන රත්නායක මුදියන්සේලාගේ රත්නසූරිය රත්නායක නැමැති අයකු විසිනි. මෙකී පුද්ගලයාට බොරැල්ල එලියට් පාරේ ලිපිනයකින් ලියාපදිංචි සමාගමක්ද ඇත්තේය. ඔහු පෙනී සිටියේ එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ලෙසිනි.
ඉඩමේ හිමිකාරිත්වය සනාථ කරමින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ 1977 වසරේ දෙසැම්බර් 14 වෙනිදා දඹුල්ල ප්‍රසිද්ධ නොතාරිස් බී. එස්. පෙරේරා විසින් ලියා සහතික කරන ලද ඔප්පුවක මුල් පිටපතකි. එම ඔප්පුව ලියාපදිංචි කර ඇත්තේ මාතලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේය. එම ඔප්පුවට අනුව මෙකී ඉඩම කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිට කෝරලේ පල්ලේපත්තුවේ වැලිකඩ බොරැල්ල ගමේ එළියට් පාරේ පිහිටි “බෝගස්වත්ත එළුගාල“ නැමැති වරිපනම් අංක 30 දරන අක්කර දෙකයි තුන්කාලක ඉඩමකි. මෙම ඉඩමේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා රත්නායක මුදියන්සේලාගේ රත්නසූරිය රත්නායක නැමැත්තාට ඇටෝනියකින් බලය පැවරීමෙන් වන්නේ මෙහි එක් පාර්ශ්වකරුවෙක් වන උඩබාගේ විදානලාගේ රංජිත් නන්ද කුමාර නොහොත් රංජිත් උඩබාගේ නැමැති අය විසිනි. තර්ක කරනු ලබන්නේ පිය උරුමයෙන් එළියට් පෙදෙසේ පිහිටි මෙම ඉඩම ඔහුට හිමිව ඇති බවය. ඔහුගේ පියා මෙම ඉඩමේ බේකරියක් පවත්වාගෙන ගොස් ඇති බවට ඉතිහාසයක් ද මේ අය ඉදිරිපත් කර ඇත්තේ එය බිඳ හෙළීමට නොහැකි තරමේ සාක්ෂි ගොන්නක්ද ඉදිරිපත් කරමිනි. ඉඩමේ කොනක බෝගසක් තිබුණු බවත් පසු කාලයේ එම ස්ථානය වන්දනා මාන කිරීමට යොදාගත් බවත් ඒ අතර කියැවෙයි. එළියට් පෙදෙස කෙළවරේ මැගසින් පාරේ බෝ ගසක් ඇති අතර එම ස්ථානයේ අදටත් මැගසින් පාරේ වැසියන් වැඳුම් පිදුම් කරති.
මෙම ඉඩමේ අයිතිය කියා ඉදිරිපත් කර ඇති ඔප්පුව අධිකරණය හරහා පරීක්ෂා කිරීමට පවා නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත. ඊට මාතලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් පිළිතුරු ලැබී ඇත්තේ එකී ඔප්පුව දිරාපත්ව ඇති බවකි. ඔප්පුව ලියූ නොතාරිස් ගැන සොයා බැලීමේදී හෙළි වන්නේ ද ඔහුද කලකට පෙර මිය ගොස් ඇති බවකි. ඉඩමේ මේ වන විට විශාල මුදලක් වැයකර ගොඩනැඟිල්ලක් ඉදි කරමින් පවතින බැවින් නාගරික සංවර්ධන අධිකාරියේ ඇතැම් උදවිය උත්සාහයක නිරත ව ඇත්තේ මෙම ගැටලුව ගොඩින් බේරා ගන්නටය. ඒ ඉඩමේ වටිනාකමට සරිලන යම් මුදලක් ගෙවා දමමිනි. දෙපාර්ශ්වයේ එකඟතාව මත එම වටිනාකම ගණනය වී ඇත්තේ රුපියල් කෝටි 220ක් ලෙසිනි. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ට තිබී ඇත්තේ ලොකු උනන්දුවකි. සාමාන්‍ය වේගයට වඩා ලියුම් කියුම් හුවමාරුව ද සිදුවී ඇත්තේ අධිවේගයෙනි. ඒ අනුව මෙම නඩුව ඉදිරි නඩු වාරයකදී සමථයකට පත්වීමට නියමිතව තිබී ඇත්තේ ඉඩමේ හිමිකාරිත්වය ඉදිරිපත් කරන පාර්ශ්වයට රුපියල් කෝටි 220ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක මුදලක් ගෙවා දැමීමටය.
මාතලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලේඛනගාරය සතුව තිබූ වෙළුම් සහ පැරණි ඔප්පු සැක සහිත ලෙස වෙනස්කර කූට ලේඛන සාදා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වන බැවින් ඒ ගැන විමර්ශනයක් ඉල්ලා මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේට මාතලේ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉඩම් රෙජිස්ට්‍රාර් රත්නායක මුදියන්සේලාගේ අජිත් කුමාර රත්නායක විසින් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලබන්නේ මේ අතරතුරදීය. ඒ හරියටම 2023 වසරේ නොවැම්බර් 24 වෙනිදා දාතමිනි. ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා එහිදී ඉඩම් ඔප්පු 17ක් සම්බන්ධයෙන් සැක මතු කර තිබුණේය.
මාතලේ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මෙම ලිඛිත පැමිණිල්ල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබමින් මේ සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු පවරනු ලබන්නේ මාතලේ විශේෂ අපරාධ විමර්ශන අංශයටය. ඒ මාතලේ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් අජිත් කුමාර රත්නායකගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාරට අවශ්‍ය උපදෙස් හා පහසුකම් ලබාදෙමිනි.
ඒ අනුව පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර වැඩ පටන් ගන්නේ මාතලේ දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් පමෝදිත අමල් බණ්ඩාර විජේරත්න මහතා මුණ ගැසී ප්‍රශ්නගත ඉඩම් ඔප්පු 17 සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු ඇතුළත් ප්‍රකාශයක් ලබා ගනිමිනි.
ඒ ඔස්සේ පොලිස් පරීක්ෂක සුමේධ බණ්ඩාර මෙම ප්‍රශ්නගත ඉඩම් ඔප්පු 17 ගැන මෙන්ම සිදුවී ඇති සැක කටයුතු ක්‍රියාවලිය ගැන යම් අවබෝධයක් ලබාගෙන සිය නිලධාරීන් වන උප පොලිස් පරීක්ෂකවරුන් වන තිලක් ප්‍රේමරත්න, රංජිත් අතපත්තු, චන්ද්‍රා බණ්ඩාර සෙනෙවිරත්න සහ පොලිස් සැරයන් විජේරත්න (29971) යන නිලධාරීන් සමඟ එක්ව මුලින්ම විමර්ශනයට ලක් කරනු ලබන්නේ එක් ඔප්පුවක් සම්බන්ධයෙනි. එය දඹුල්ල නාලන්දා ජලාශය ආසන්නයේ පිහිටි ඉඩමකි. දීර්ඝ ලෙස කරනු ලැබූ එම විමර්ශනයේදී පෙනී යන්නේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ මුල් ලේඛන වෙනස්කර ව්‍යාජ ලේඛන මඟින් එම ඉඩම අත්පත් කරගෙන ඇති බවකි. එකී ඔප්පුව ලියා ඇති නොතාරිස්වරයා කවුරුන්දැයි සොයා බැලීමේදී හෙළි වන්නේ ඔහු ජීවතුන් අතර නොමැති බවය. මිය ගිය නොතාරිස්වරු විසින් ලියන ලද ඔප්පු යොදාගෙන ඉඩම් කච්චේරියේ ඇති ලේඛන වෙනස් කරමින් ඉතා සැලසුම් සහගතව සිදු වන ඉඩම් ජාවාරමක් ගැන තොරතුරු එළියට එන්නේ ඒත් එක්කමය. ඊට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේද දූෂිතයන්ගේ සහාය ලැබෙන බව පෙනී ගියත් සුමේධ ඇතුළු නිලධාරීන් ඒ අය පස්සේ පැන්නීමට පෙර මෙම ඔප්පුව ව්‍යාජ ලෙස සකස් කළ පුද්ගලයා කවුරුන්දැයි සොයා ගන්නට දැඩි වෙහෙසක් ගත්තේය.
රත්නායක මුදියන්සේලාගේ රත්නසූරිය රත්නායක නැමැති ගොඩපෙරකදෝරුවෙක් ගැන තොරතුරක් අහඹු ලෙස නිලධාරීන්ට දැනගන්නට ලැබෙන්නේ එකී විමර්ශන අතරතුරදීය. ගලේවෙල, තලකිරියාගම, පහළ වැව පැත්තේ පදිංචිකරුවෙක් වූ ඔහු ගැන පොලිස් පරීක්ෂක සුමේධ ඇතුළු නිලධාරින් සොයා බැලීමේදී අනාවරණය වන්නේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන තැනැත්තෙක් බවය. මිල අධික සුඛෝපභෝගී වාහන පරිහරණය කරන ඔහුගේ දරුවන් තිදෙනාම ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටින බවට තොරතුරු ද ඒත් එක්කම සුමේධ ඇතුළු නිලධාරීන් සොයා ගත්තේය. ඒ අනුව තීරණය කරනු ලබන්නේ ප්‍රශ්න කිරීම සඳහා ඔහුව පොලිස් භාරයට ගන්නටය. තොරතුරු සොයා බලන විට හෙළි වන්නේ ඔහු ගලේවෙල පැත්තේ පදිංචිව සිටින බවය. එම නිවෙස සොයා සුමේධ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අවස්ථා කිහිපයකදීම කඩා වැදුණ ද ඔහුව කොටු කර ගැනීමට හැකියාවක් නොලැබෙන්නේ ඔහු එම නිවෙසේ නොසිටි බැවිනි. අනතුරුව මේ කියන තැනැත්තා ගැවසෙන බවට තොරතුරු ලද අලවතුගොඩ ඇතුළු හැම තැනකටම ගොස් පරීක්ෂා කළ ද ඒ කිසිදු තැනකින් ඔහුව සොයා ගන්නට නොවීය. අවසානයේදී ඔහුව කොටුවන්නේ පූජාපිටිය පොලිස් වසමේ අඹතැන්න දිවාන වත්තේ පිහිටි කුලී නිවසක රැඳී සිටියදීය. ඒ පසුගිය පෙබරවාරි 29 වෙනිදාය.
පොලිස් පරීක්ෂක සුමේධ ඇතුළු නිලධාරීන්ට රුපියල් කෝටියක් දෙකක් අත මිට මොළවා ගැලවෙන්නට හැකියාවක් සොයා ඔහු එහිදී ඉඟිපෑවත් ඊට එම නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොවීය. එබැවින් ඔහුට සිදු වන්නේ පොලිස් අත්අඩංගුවට පත්වන්නටය.
මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සුමේධ ඇතුළු නිලධාරීන් ඔහුව කොටුකරගත් මුළු නිවෙසක පිරී සෝදිසි කරන්නට වූයේ ඒ තුළ තිබුණු සැකකටයුතු ලියවිලි ගොන්නක්ම සිය භාරයට ගනිමිනි. ඒ අතර හැට හැත්තෑව දසකයේ මුද්දර, ඔප්පු සකස් කිරීමට ගන්නා විවිධ වකවානුවලට අදාළ කඩදාසි, පැරණි ඔප්පුවල මුල් පිටපත්, නොතාරිස්වරයෙකු විසින් ලියන ලද ඇටෝනි බලපත්‍ර කිහිපයක් ද ඇතුළු ලේඛන ගොන්නකි. සංඛ්‍යාත්මකව ගත් කල ඒ ප්‍රමාණය 70කට වැඩිය.
එම ලේඛන අතර මාතලේ ඉඩම් කච්චේරියේ ඇති ඉඩම් ලියාපදිංචි කිරීමේ ලේඛන පොතින් ගැලවූ පත්තිරු සහ ඔප්පු කිහිපයක් ද තිබුණේය. එහෙත් ඒ අතර නාලන්දා ජලාශය ආසන්යේ ඇති ඉඩමට අදාළ ලේඛන කිසිවක් නොවීය. ඒ අතර තිබුණු විශේෂ අවධානයකට යොමුවන ලේඛනයක් වූයේ මාතලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලේඛනාගාරයේ ඇති ඔප්පු ලියාපදිංචි කරන පොතින් ගැලවූ 260 අංකය දරන ඔප්පුවට අදාළ ලේඛනයයි. බොරැල්ල එලියට් පෙදෙසේ පිහිටි ඉඩමට අදාළ ඔප්පුවේ අංකය වූයේ ද 260ය. හැබැයි මෙම 260 ඔප්පුවේ සඳහන්ව ඇත්තේ බොරැල්ල එලියට් පෙදෙසේ ඉඩම ගැන නොව, 1962 වසරේ ජනවාරි 13 වෙනිදා ප්‍රසිද්ධ නොතාරිස් කේ. ටී. ඒ. පියදාස තිලකරත්න විසින් ලියා සහතික කරන ලද මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු කොට්ඨාසයේ වග පනහ පල්ලේසිය පත්තුවේ දඹුල්ල පිහිටි ඉඩමක් ගැනය. මෙම ඉඩම දඹුල්ල රජමහා විහාරයේ රාජකාරියට යටත් ඉඩමකි. එම ඉඩම ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදවය.
මාතලේ ඉඩම් කච්චේරියේ නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම ඔප්පුව ගැන කළ දීර්ඝ විමර්ශනයේදී හෙළි වන්නේ කච්චේරියේ ලේඛන පොතේ මෙම ඉඩමට අදාළ ලේඛන වෙනුවට ඇත්තේ බොරැල්ල එලියට් පෙදෙසේ ඇති ඉඩමට අදාළ ලේඛන බවය. ඉතා සියුම් ලෙස කළ විමර්ශනයේදී පෙනී යන්නේ දඹුල්ල විහාරයට අයත් මෙම ඉඩමට අදාළ ලේඛන සටහන්කර ඇති පිටුව ගලවා ඒ වෙනුවට දඹුල්ල විහාරයට අයත් ඉඩමේ ලියාපදිංචි අංක සහ ඔප්පු අංක යොදා බොරැල්ල එලියට් පෙදෙසේ ඉඩමට අදාළ තොරතුරු ඇතුළත් කර ඉඩම් රෙජිස්ට්‍රාර් ලේඛන පොත වෙනස් කර ඇති බවය. සැබෑ ලේඛනවලට අදාළ දඹුල්ලේ ඉඩම මේ වන විටත් වන්නිආරච්චිලාගේ ජයන්ත පුෂ්පකුමාර නැමැති අය විසින් භුක්ති විඳින බව ද පොලිස් පරීක්ෂක සුමේධ ඇතුළු නිලධාරීන් තහවුරු කර ගත්තේය. එම ඉඩම ඔහුට හිමිවී ඇත්තේ පියාගෙනි. පියා මිය යාමෙන් පසු එම ඉඩම බුක්ති විඳින ඔහු පොලිස් පරීක්ෂක සුමේධ ඇතුළු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ ඉඩමේ කොටසක් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් විසින් පූජා භූමිය හා නව නගර සංවර්ධන වැඩසටහන යටතේ අත්පත් කරගෙන ඇති බවය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කල්තබා ගැනීමේ සීත ගබඩාවක් ද එහි ඉදිකර ඇති බව ද පොලිස් පරීක්ෂක සුමේධ ඇතුළු නිලධාරීන්ට මෙහිදී පෙනී ගියේ ස්ථානීය පරීක්ෂාවකදීය.
මේ අනුව දැන් හැම දෙයක්ම පොලිස් පරීක්ෂක සුමේධ ඇතුළු නිලධාරීන්ට පැහැදිලිය. ඒ මාතලේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති දඹුල්ල රජමහා විහාරයට අයත් ඉඩමේ ලියාපදිංචි විස්තර ඉවත් කර ඒ වෙනුවට එම ඉඩමේ ලියාපදිංචි අංක යොදා බොරැල්ල එලියට් පෙදෙසේ ඇති රජයේ ඉඩමට හොර ඔප්පුවක් සකස් කර ඇති බවකි. ඒ බව සනාථ කිරීමට ඉඩම් කච්චේරියේ ඇති ලේඛන පවා ඉතා සූක්ෂ්ම ලෙස වෙනස් කර ඇති බව ද සුමේධ ඇතුළු නිලධාරීන්ට පෙනී ගියේය. ඊට අදාළ ලේඛන ද දැන් ඇත්තේ දිරාපත්ව ගොසිනි. එසේ ලේඛන දිරාපත් කර ඇත්තේ ද සැලසුමකට අනුවය. ඒ රසායනික ද්‍රව්‍ය යොදාය. මෙසේ ලේඛන දිරාපත් කිරීමෙන් පෙන්වීමට උත්සාහ දරා ඇත්තේ කඩදාසි දිරාපත් වන තරමට එම ලේඛන පැරණි බවය. එසේ කඩදාසි දිරාපත් කරවන්නේ සැකයක් ඇති නොවන ලෙසටය. මෙය ඉඩම් ජාවාරම්කරුවන්ගේ ගේමකි. මෙසේ මාතලේ ඉඩම් කච්චේරියේ ලේඛන පොතේ ඇති තවත් ඉඩම් රැසකට අදාළ පිටු දිරාපත්ව ගොසිනි. ඉඩම් රෙජිට්‍රාර්වරයා පොලිසියට විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටියේ එවැනි ප්‍රශ්නගත ඔප්පු 17ක් සම්බන්ධයෙනි. බොරැල්ල එලියට් පෙදෙසේ ඉඩමට කළ වංචාව මෙසේ එළියට ඒවි යැයි ඉඩම් කච්චේරියේ අය මෙන්ම මෙම වංචාවට සම්බන්ධ වූවෝ පවා සිහිනෙකින්වත් සිතන්නට නැත.
මෙහි ඇති පුදුමය වන්නේ බොරැල්ල එලියට් පෙදෙසේ ඇති ඉඩමට හිමිකම් කියා ඇටෝනියකින් බලය ලබාගෙන නීතිමය කටයුතු කරන රත්නායකත් අත්අඩංගුවට ගත් රත්නායකත් දෙදෙනාම එක් අයකු වීමය. බැලින්නම් ඔහුට ඇටෝනියකින් බලය පැවරූ ඉඩමේ පාර්ශ්වකරුවන් 12 දෙනාගෙන් 11 දෙනෙකුම බොරැල්ල එලියට් පෙදෙසේ ලිපිනයක් සහිත රත්නායක කළමනාකරණ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන බව කියන සමාගමේ අධ්‍යක්ෂකවරුන් වීමය. ඒ බව හෙළි වන්නේ පොලිස් පරීක්ෂක සුමේධ මෙම සමාගමේ ලියාපදිංචි විස්තර සොයා එහි අධ්යක්ෂ ලැයිස්තුව පරීක්ෂා කිරීමේදීය.
වංචාවේ තරම ඒ අනුව පැහැදිලිකර ගත් සුමේධ ඇතුළු නිලධාරීන් මෙම ඉඩමේ 12 පාර්ශ්වකරු කවුරුන්දැයි සොයා බැලුවේය. සිය පියා බේකරියක් මෙම ඉඩමේ කළ බව කියමින් පියාගෙන් මෙම ඉඩම තමාට උරුම වූ බව කියා තිබුණේ ඔහුය. උඩබාගේ විදානලාගේ රංජිත් නන්ද කුමාර නොහොත් රංජිත් උඩබාගේ යැයි කියන්නේ එම පුද්ගලයාටය. මේ තැනැත්තා කවුරුන්දැයි කියා තවමත් සොයා ගන්නට නැත. මේ පුද්ගලයා සැබෑ පුද්ගලයෙක්ද? නැතිනම් ඔප්පු සකස්කළක් මෙන් නිර්මාණය කළ පුද්ගල නාමයක්දැයි පොලිස් පරීක්ෂක සුමේධ ඇතුළු නිලධාරීන්ට මේ වන විට ගෙන දී ඇත්තේ ගැටලුවකි.
මෙතෙක් කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ මාතලේ කච්චේරියේ ඉඩම් ලියාපදිංචි පොතේ තිබුණු දඹුල්ල විහාරයේ ඉඩම ලියාපදිංචි කර ඇති විස්තර ඇතුළත් කොළය ගලවා ඊට බොරැල්ල එලියට් පෙදෙසේ ඉඩමේ විස්තර ඇතුළත් කර ඇත්තේ 2021 වසරේදී බවය. එම ව්‍යාජ ලේඛන පවා සකස් කර ඇත්තේ දඹුල්ලේ ඉඩමේ නොතාරිස්වරයාගේ නමිනි. ඒ වන විටත් එම නොතාරිස්වරයා සිට ඇත්තේ මිය ගොසිනි. එසේ මියගොස් ඇති නොතාරිස්වරයකුගේ නමින් මෙම ව්‍යාජ ලේඛන සකස් කර ඇත්තේ ගැටලුවක් පැන නැඟුණු විට ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ විමසීමට ඔහු ජීවතුන් අතර නොමැති බැවිනි. කච්චේරියේ ඇති ලේඛනය පවා රසායනික ද්‍රව්‍ය මඟින් දිරාපත් කරවන්නේ ද එම ලේඛන අධිකරණ කටයුත්තකට හෝ පරීක්ෂා කිරීමකට අවශ්‍ය වුවහොත් ඊට ඉඩක් නොලැබෙන ලෙසිනි. මේ හැම දෙයක්ම සැලසුම්වී ඇත්තේ සංවිධානාත්මකවය. එය හුදෙක් රත්නායක විසින් තනිවම කළ කටයුත්තක් නොවන බව සුමේධ ඇතුළු විමර්ශන නිලධාරීන්ට පෙනී ගොස් හමාරය. මේ පිටුපස ඊට වඩා බලවත් අය සිටිය යුතුය. එසේ නොමැතිව මෙතරම් ලොකු වැඩකට රත්නායක තනිවම අත ගසන්නේ නැත. මෙහි අවසාන ඉලක්කය වී තිබී ඇත්තේ රුපියල් කෝටි 220ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් අත්පත්කර ගන්නටය. එම සැලසුම ව්‍යර්ථ වන්නේ පොලිස් පරීක්ෂක සුමේධ ඇතුළු නිලධාරීන් විසින් කළ විමර්ශනයකදී අහඹු ලෙස හමුවන මාතලේ ඉඩම් රෙජිස්ට්‍රාර් පොතේ කඩදාසියකිනි.
මෙම සංවිධානාත්මක ජාවාරමේ මහ මොළකරුවන් තවමත් සිටින්නේ නිදැල්ලේය. ඒ අය කොටුකර ගැනීම සුමේධ ඇතුළු විමර්ශන නිලධාරීන්ගේ ඊළඟ මෙහෙයුම බවට පත්ව හමාරය.
ඡායාරූප – තිලක් පෙරේරා, ප්‍රියන්ත සුමනසේන
ගයාන් කුමාර වීරසිංහ