ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින මොහොතක නව පණක් ගෙන ඒමට සංචාරක කර්මාන්තය මේ වන විට සමත් වී තිබේ. ඒ ලංකාව විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්වෙමින් තිබෙන නිසාය. ඉකුත් වසරේ සංචාරකයන්ගේ පැමිණීමේ දෛනික වාර්තාව අනුව එය 3,000 ට කිට්ටු අගයක් ගත්තේය. නමුත් මේ වන විට එය දිනකට 7,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඉකුත් පෙබරවාරි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 115,328 කි. එසේම ගෙවුණු දින අතර පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයන්ගේ දිනයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 9,443 කි. මෙම ප්‍රවණතාව වසර පුරාම පවත්වා ගැනීම සංචාරක සංවර්ධන අධිකාරියේ අරමුණ වී තිබේ. කොවිඩ් සමයට පෙර වර්ෂය එනම් 2018 වසර ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ වඩාත්ම ප්‍රගතියක් පෙන්නුම් කළ වසර ලෙස සැලකිණි. එම වසරේ මෙරටට පැමිණ තිබු සංචාරකයන් ප්‍රමාණය 2,333,796කි. එසේ වුව ද මේ වන විට පවතින තත්ත්වය අනුව 2024 වර්ෂය මෙතෙක් මෙරට සංචාරක ව්‍යාපාරයේ වඩාත්ම ප්‍රගතිය පෙන්නුම් කරන වර්ෂය බවට පත්වෙමින් තිබේ.
මේ පිළිබඳව අප වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් පවසා සිටියේ. “අප ගිය වසරේ අපේක්ෂා කළේ මිලියන 1.55ක්. නමුත් අපිට යන්න පුළුවන් වුණේ මිලියන 1,487,000 වෙනකම් විතරයි. 13,000ක් අඩු වුණා. ඊට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපෑවා. ඉන් එකක් ඊශ්‍රායල පලස්තීන යුද්ධය නිසා රටට එන්න තිබුණු ඊශ්‍රායල් ගුවන් ගමන් සියල්ල නතර වීම. අනෙක් හේතුව වුණේ ඊශ්‍රායල් ගුවන් සමාගමක් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් සේවාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම. එහෙම නොවෙන්න අනිවාර්යයෙන්ම මිලියන 1.5 හ අබිබවා යනවා. මේ වසරේ අපේ අපේක්ෂාව මිලියන 2.3ක්. පසුගිය වසරේ අපේ සංචාරක ක්ෂේත්රයේ ආදායම ඩොලර් බිලියන 2ක ඉක්මවා තිබුණා.
මේ වසරේ අපට හොඳ ආරම්භයක් ලැබුණා. පසුගිය වසර සමඟ මේ ජනවාරිය සංසන්දනය කර බැලුවොත් සියයට සීයක වර්ධනයක් පෙනෙන්න තියෙනවා. ජනවාරි සිට මේ දක්වා සංචාරකයන්ගේ පැමිණීම ලක්ෂ හතර ඉක්මවලා. පෙබරවාරි මාසය අවසානය වන විට ලක්ෂ දෙකකට වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. සංචාරක ක්ෂේත්රයේ රැකියා පැත්ත බැලුවම ලොකු වර්ධනයක් පෙනෙනවා. නමුත් සංචාරක ක්ෂේත්රය පිළිබඳ නිපුණතාවෙන් යුතු පිරිස විදියට අපට ඉන්නේ සියයට පනහක පමණ පිරිසක්. නමුත් අපට තව පුහුණුව ලැබූ සියයට පනහක පිරිසක අවශ්‍යතාව පවතිනවා. තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය පුහුණු වීම් ලබා දෙන්න අප ආයතනය වගේම වෙනත් පෞද්ගලික ආයතන කිහිපයක් මේ වන විට කටයුතු කරමින් සිටිනවා.
මේ වන විට අපේ හෝටල්වල තත්ත්වය ඉතාම හොඳ මට්ටමක පවතිනවා. දකුණු පළාත ගත්තොත් මාර්තු අප්‍රේල් වනතෙක් හෝටල්වල නවාතැන් ගැනීමට අවස්ථාවක් නැහැ. ඒ සෑම හෝටලයක්ම සංචාරකයන්ගෙන් පිරිලා. ඒ වගේම මධ්‍යම, වයඹ, උතුර, උතුරු මැද, නැගෙනහිර මේ හැම පළාතක්ම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථාන බවට පත්ව තිබෙනවා. ලෝකය පුරා අප විසින් ගෙන ගිය සංචාරක ප්‍රවර්ධන කටයුතු මේ සඳහා බෙහෙවින් බලපා තිබෙනවා. එහි ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳිමින් ඉන්නේ. මේ වසරේ අප සිදු කරමින් තිබෙන ප්‍රවර්ධන වැඩසටහන් පසුගිය වසරට වඩා සාර්ථක වී තිබෙනවා. ඒ නිසා ඉදිරි වර්ෂයන්වලදී අපට ප්රශස්ත මට්ටමේ බලාපොරොත්තු තබාගත හැකියි.
ඒ වගේම සංචාරකයන් ආකර්ෂණය කිරීම සඳහා විවිධ වැඩසටහන් අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඇඩ්වෙන්චර් පැත්තෙන් බැලුවොත් ‘පෙකෝ ට්‍රේල්’ එක වැඩසටහනක්. මෙහිදී හන්තානෙන් පටන් අරන් කිලෝමීටර් තුන්සීයක් පමණ පයින් ගමන් කරනවා. ලෝකෙ තියෙන හොඳම ට්‍රේල් එකක් හැටියට එංගලන්තයේදී මේ සඳහා සම්මාන පවා හිමි වුණා. ඉස්සර වගේ අනුරාධපුරය බලන්න එන්න, පොලොන්නරුව බලන්න එන්න, සීගිරිය බලන්න එන්න කියල කියන්නේ නැහැ. ඇඩ්වෙන්චර් ටුවරිසම්, ස්පොට් ටුවරිසම්, එකෝ ටුවරිසම්, හෙල්ත් ටුවරිසම්, නේචර් ටුවරිසම්, වෙල්නස් ටුවරිසම්, ස්පිරිචුවල් ටුවරිසම්, මෙරයින් ටුවරිසම් ආදී වශයෙන් විවිධ අවශ්‍යතාවන් සඳහා එන සංචාරකයන් ඉලක්ක කරගෙන වසරේ දින 365 පුරාම මේ කර්මාන්තය පවතින ආකාරයට තමයි ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නේ.
උදාහරණයකට මෙරයින් ටුවරිසම් ගත්තොත් අපේ රට වටේම මූද පතුළේ ගිළුණු නැව් සියයකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ලෝකේ ඉන්න ධනවත් සංචාරකයන් මේවා නරඹන්න හරිම ආසයි. ලංකාවට එන ඕනම සංචාරකයකුට තමන්ට හිතෙන ඕනම දෙයක් කරන්න, විඳින්න පුළුවන් වන ආකාරයට නූතන ලෝකයට ගැළපෙන ආකාරයට මේ වන විට සංචාරක ව්‍යාපාරය උසස් තලයකට පැමිණ තිබෙනවා.‘
2024 වසර තුළ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය මඟින් උපයා ඇති මුදල රුපියල් බිලියන 7ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අධ්යක්ෂ ජනරාල් නලින් පෙරේරා සිළුමිණට අනාවරණය කළේය. ඒ නැව්ගත කිරීමේ ගාස්තු වලින් රුපියල් බිලියන 5.18ක් සහ සංචාරක සංවර්ධන බද්දෙන් රුපියල් බිලියන 2,087ක් ලෙසය. ඉකුත් වසරේ සංචාරකයන්ගේ සාමාන්‍ය දෛනික පැමිණීම් 3,000ක් පමණ වූ අතර මේ වන විට එය 7,000ක් දක්වා වැඩි වී තිබෙන බවත් සංචාරක කර්මාන්තය නුදුරේදීම ඉහළම විදේශ විනිමය උපයන්නා බවට පත් වන බවත් හෙතෙම පෙන්වා දෙයි. මෙයින් 70%ක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට (SLTPB)ත්, 14%ක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට (SLTDA) සහ 12%ක් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට (SLITHM) වෙත ද ඉතිරිය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සඳහා ද වැය කරයි.
මෙරටට විදේශ ප්‍රේෂණ උපයා දෙන පළමු ක්ෂේත්රය විදේශගත ශ්‍රමිකයන් වන අතර දෙවන ක්ෂේත්රය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයයි. කොවිඩ් සමයට පෙර පැවති මට්ටම හා සසඳා බලන විට සංචාරක පැමිණීම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, නුදුරේදීම මෙම කර්මාන්තය විදේශ ශ්‍රමිකයන් අබිබවා ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයන්නා බවට පත් වනු ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
මෙම වර්ෂය තුළ සංචාරක ක්ෂේත්රයේ ආදායමේ වැඩිවීමක් මෙන්ම මේ ආශ්රිත රැකියා අවස්ථාහි ද වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සහ පාර්ශ්වකරුවන්ගේ අඛණ්ඩ ප්‍රවර්ධන ප්රයත්නයන් සමඟ සංචාරක ක්ෂේත්රය මෑත කාලයේ සැලකිය යුතු වර්ධනයක් අත්කර ගෙන තිබෙන අතර මේ කාලය තුළ යුරෝපීය සංචාරකයන්ගේ කැපී පෙනෙන වර්ධනය ද පෙන්නුම් කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ දිගු කාලයක් ඔවුන් මෙහි රැඳී සිටීමයි.
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය මෙම වසරේ විදේශීය සංචාරක ප්‍රදර්ශන කිහිපයකට සහභාගී වූ අතර ඒ සමඟම සමාජ මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරය සහ සිදු කරන ලද බලපෑම්කාරී වැඩසටහන් ද සංචාරකයන්ගේ පැමිණීම් ඉහළ නැංවීමට ඉවහල් වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව සියලුම සංචාරක ආකර්ෂණ ස්ථාන ලබාදෙන විශේෂ ශ්‍රී ලංකා ජාතික ඇප් එකක් මේ මාසයේදී එළිදක්වන බව නලින් පෙරේරා අනාවරණය කළේය.
ඉහළම වෙළෙඳ පොළවල් තුනකට එනම් ඉන්දියාව, රුසියාව සහ එක්සත් රාජධානිය ආදී රටවලින් 2024 වර්ෂයේදී සංචාරකයන් මිලියන 2.3ක් හෝ ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් සංචාරක ක්ෂේත්රයේ සියලු පාර්ශ්වකරුවන් ඒකායන අරමුණකින් ක්‍රියා කිරීම තුළින් සපුරා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය දැඩි විශ්වාසයකින් පසු වේ.
ඉන්දියාව විසින් ශ්‍රී ලාංකාව වෙත දියත් කරන ලද UPI යෙදුම ඉන්දියානුවන් පැමිණීම් වැඩිවීමේ සෘජු ප්‍රතිඵලයක් බවත් එය තවත් ඉන්දියානු පැමිණීම් ආකර්ෂණය කර ගැනීමට ප්‍රධාන වාසියක් වනු ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චාලක ගජබාහු පෙන්වා දෙයි.
ප්‍රථම වරට ගෝලීය බෞද්ධ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විශේෂ බෞද්ධ දුම්රියක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ගුවන් ගමන් වැඩිවීමට සමගාමීව කෲස් නැව් පැමිණීම් ද වැඩිවෙමින් පවතින අතර 2024 පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ශ්‍රී ලංකාව වෙත කෲස් නැව් ඇමතුම් 50 ක් ඇත. මෙම නෞකාවන් ප්‍රධාන වශයෙන් කොළඹ වරායට පැමිණෙන අතර ඊට අමතරව හම්බන්තොට සහ ත්‍රිකුණාමලය වරායන්හි ද නැංගුරම් ලා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් බී.එච්.ආර් ෂරිෆ්ෆොඩීන් පෙන්වා දෙයි.
මේ සෑම කෲස් නෞකාවකම සංචාරකයන් 1,000ක් පමණ සිටින බවත් ඔවුන් දින දෙකක් පමණ ශ්‍රී ලංකා වරායන්හි නැංගුරම් ලා සිටීමට බලාපොරොත්තු වන බවත්, මෙම යාත්‍රා මෙහෙයුම් මේ වසරේ සංචාරක පැමිණීම් සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවනු ඇති බවත් ෂරිෆ්ෆොඩීන් පෙන්වා දුන්නේය.
ජනවාරි 10 සිට 14 දක්වා නෙදර්ලන්තයේ Utrecht හි Jaarbeurs හි පැවති Vakantiebeurs සංචාරක ප්‍රදර්ශනය ඇතුළුව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය මෙම වසරේ විදේශීය සංචාරක ප්‍රදර්ශන කිහිපයකට ද සහභාගී විය. මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනවලින් පසුව 2024 පෙබරවාරි 4 සිට 6 දක්වා ඉතාලියේ BIT මිලාන් පැවැත් වූ අතර, පසුව 2024 පෙබරවාරි 8 සිට 10 දක්වා මුම්බායි හි OTM ප්‍රදර්ශනය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවට හොඳ පිළිගැනීමක් ලැබිණි. මේ සතියේ නවදිල්ලියේ SATTE ප්‍රදර්ශනයට සහ ලබන මාසයේ ජර්මනියේ විශාලතම සංචාරක ප්‍රදර්ශනය වන ITB 2024 මාර්තු 5 සිට 7 දක්වා සහභාගී වීමට සැලසුම් කර ඇත.
ගමනාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා බොහෝ ආකර්ෂණීය ස්ථාන ඉස්මතු කරමින් SLTPB විසින් 2024 ජනවාරි සිට අප්‍රේල් දක්වා සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා SLTPB සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන්ගේ සහය ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය විසින් චොප්ස්ටික් ට්‍රැවල් වෙතින් මෙගා සූපශාස්ත්‍ර සංචාරක බලපෑම්කරුවකු වන ලූක් මාටින් හට ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර ගවේෂණය කිරීමට ආරාධනා කර ඇත. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් මිලියන 4 කට අධික ගෝලීය සමාජ මාධ්‍ය අනුගාමිකයින් සමඟ, ලූක් 3 වන වරටත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමි අතර විවිධ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් නිර්මාණය කිරීමට ඔහු අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව පිළිබඳ ඔහුගේ නවතම බ්ලොගය https://www.facebook.com/chopsticktravel/videos/eating-with-sri-lankas-vedda-indigenous-tribe/763431331410082 / (SLTPB සමඟ සහයෝගයෙන්) ගෝලීය වශයෙන් මිලියන 35 කට අධික පිරිසක් නරඹා තිබුණි.
රසික කොටුදුරගේ