ලංකාවෙ බහුතරයක් තරුණ තරුණියො කසාද බඳින මූලිකම අරමුණ දරුවො හදන එක “කතාවටත් කියන්නෙ මැරෙන මොහොතට වතුර උගුරක් දෙන්නවත් කවුරුහරි ඉන්න ඕනේ“ කියල.
“ඊට පස්සේ හම්බකරන හැම සතයක්ම දරුවෝ වෙනුවෙන් වියදම් කරනවා. බාගෙට කකා, වැරහැලි ඇඳ ඇඳ දරුවන්ට සුර සැප දෙනවා. දැන් දුක් වින්දට දරුවෝ ලොකු වුණාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා තමන්ටම කියාගෙන , වදෙන් පොරෙන් හොයා හොයා දුක් විඳ විඳ දරුවොත් ඇදන් ජීවිත තරගය දුවනවා.
යුග පරිණාමය එක්ක දරුවෝ මවුපියන්ට වඩා වේගෙන් ජීවිත රේස් එක දුවනවා. පුළු පුළුවන් විදිහට මවුපියෝ දිහා බැලුවත් හුඟක් වෙලාවට ගොඩක් තැන් මඟහැරෙනවා. හිතලම මඟ අරිනවා වෙන්නත් පුළුවන්. ජීවිතේ සියල්ල දරුවන්ට දුන් පසු ඔවුන්ගේ සියල්ලමත් ඒ දරුවොම නිසා, දරුවෝ තමන්ව අත ඇරලා සතුටු වෙනකොට, තනියම ජීවිතේ විඳිනකොට, හීනියට දුකක් එන එක සාධාරණයි. අපි නොකා නොබී, දුකෙන් හදපු එවුන්, නිසා ලේළිලා බෑනලා සැප විඳිනකොට ඉතින් එයාලට ටිකක් අවුල් වගේ. තමන්ගේ වේගවත් ගමනට මවුපියෝ බැරියර් වුණහම ළමයින්ටත් වදයක් වගේ. දෙගොල්ලො අතර ප්‍රශ්න පටන් ගන්නවා.
බහුතරයක් මිනිස්සු තරුණ කාලෙත්, මහලු කාලෙත් දෙකම ගැන අසතුටින්. ආර්ථික බංකොලොත් කමෙන්, ලංකාවේ වැඩිහිටියෝ බහුතරයක් නිවාසවල හෝ වැඩිහිටි නිවාස වල මරණය එනකන් පාර බලාගෙන ඉන්නවා ..
තිත්ත වුණත් ඔන්න ඕකයි ඇත්ත.
ඒ දරුවෝ ලොකු වුණාම ඒ දරුවන්ට වෙන්නෙත් ඔය කතාවම තමයි ..
ඕක පැටන් එකක් විදිහට වළල්ලක් වගේ කැරකි කැරකි කාටත් වෙනවා , සරලවම කිව්වොත් ලංකාවේ හැම මවුපියෙක්ම, දරුවෙක්ම මේ සැන්ඩ්විච් න්‍යායේ කොටස්කරුවෝ තමයි. හැමෝම තමන් ඉපදුණ පවුලත් තමන් හදාගත්ත පවුලයි අතර සැන්විච් එකක් වගේ හිර වෙලා. අවසානයේ දරුවොත් මවුපියොත් දෙගොල්ලොම අසතුටින්.
විදේශ රටවල මවුපියොත් දරුවෝ වෙනුවෙන් බොහෝ දේ කැප කරනවා.
හැබැයි ඒත් සියල්ලම නෙමේ. ඒ වගේම ඔවුන් දරුවන්ගෙන් සමහර දෙවල් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒත් සියල්ලම නෙමේ. එනිසා ඔවුන්ට පසුතැවීමක් කලකිරීමක් නැහැ. සතුටෙන් ජීවත් වෙලා සතුටෙන් මැරිලා යනවා.
වර්තමානයේ අපේ රටේ කවුරුහරි අම්මෙක් ජීවිතේ අවසාන කොටසේදී දුක් විඳිනවා නම් ඒක නොවිය යුතු දෙයක්. දරුවෝ වෙනුවෙන් සියල්ල කැප කරපු ඔවුන්ව දරුවෝ බලාගන්නම ඕනේ .
ඒත්,අපෙන් පස්සේ පරම්පරාව ඒ කිව්වේ අපේ දරුවෝ මේ තරමට වත් අපි වයසට ගිහාම අපි ගැන බලයි කියලා. උවමනාවක් තිබ්බත් මේ ජීවිත රේස් එකත් එක්ක ඔවුන්ට ඒ වෙනුවෙන් කාලයක් හැකියාවක් තියෙයි කියලා ඔබ හිතනවද ?
අපි හිතන තරමට වත් අපේ දරුවෝ අපි ගැන හිතයි කියලා ඔබට විශ්වාසද ?
සමහරවිට හෙට දවසේ අපේ දරුවන්ට අපිව මඟ හැරෙන්න පුළුවන්. හිතාමතා මඟහරිනවා වෙන්නත් පුළුවන්. ඔවුන් කාර්යබහුල වෙන්න පුළුවන්. උවමනාව තිබ්බත් ආර්ථික හැකියාවක් නැති වෙන්න පුළුවන්. අද ඔබ උකුලේ තියාගෙන හුරතල් කරන දරුවා අතින් හෙට දවසේ මේ සියල්ල වෙන්න පුළුවන්,නොවෙන්නත් පුළුවන්. ඒත් තාමත් ඔබ ප්‍රමාද නැහැ.
අපේ මවුපියෝ වගේ අපි, දෙපැත්තට මැදි වෙලා සැන්ඩ්විච් වෙන්න ඕනේ නැහැ.
පුළු පුළුවන් විදිහට ඔබත් ඔබේ ජීවිතය විඳින්න.
එතකොට දරුවෝ සතුටු වෙනකොට අනේ අපරාදේ අපිට බැරි වුණානේ කියලා ලේළී, බෑනා එක්ක තරහ එන එකක් නැහැ, සත පනහ ගානේ හරි ඔය දෙන්නා වෙනුවෙන් ඉතුරු කරන්න, මොන තරම ආදරේ තිබ්බත් මහ ගෙදර ඔප්පුවවත් මැරෙනකම් ඔයාගේ නමටම තියාගන්න,
එතකොට පන්සලට දෙන්න, දන් පින් කරන්න, බැරිම වුණොත් තරමක් හෝ හොඳ වැඩිහිටි නිවාසෙකට යන්න හරි ආර්ථික හයිය ඔබට තිෙයනවා. ලෝකෙම දියුණු වෙනකොට මිනිස්සු යන්ත්‍ර වෙන එක නවත්තන්න ඔයාටයි මටයි බැහැ .
හැබැයි. ඒ යන්ත්‍රවලට පිච්චෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන්,
අපි හැමෝටම වගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෙට දවසේ ඒ රටාවට හුරු වෙන්නම වෙනවා.
දරුවෝ කියන්නෙ තටු හයිය වෙනකම් බලාගෙන ඊට පස්සේ අත අරින්න ඕන කොටසක් මිසක්, මැරෙනකම් බැඳගෙන ඉන්න ඕනේ ජාතියක් නෙමෙයි.
මවුපියෝ කියන්නෙත් මැරෙනකම් තමන්ගෙ මුළු ජීවිතේම දරුවොයි මුනුබුරොයි වෙනුවෙන් කැප කරලා මැරිලා යන්න ඕනේ ජාතියකුත් නෙමෙයි.
ඔන්න ඕක තේරුම් ගත්ත දවසට තමයි දරුවොන්ටයි මවුපියොන්ටයි දෙගොල්ලොන්ටම සතුටෙන් මැරෙන්න පුළුවන් වෙන්නෙ .
අනිශා ජයකොඩි