රන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි ‘බෝ පසිඳු’ විවාහක පුද්ගලයෙකි. පසිඳුගේ පාසල් කාලයේ පෙම්වතිය වූයේ ‘නදීකාය’. පාසල් කාලයේ තිබූ පෙම් පලහිලව්ව කාලයත් සමඟ අතරමඟ නැවතීම හේතුවෙන් නදිකා වෙනත් අයෙකු සමඟ විවාහ වීය. ඔහු ධීවරයෙකි. පසිඳුටද පැමිණි විවාහ යෝජනාවකට අනුව ඔහු වෙනත් කාන්තාවක සමඟ විවාහ වීමට සිදුවිය. දෙදෙනාම කලක් විවාහ ජිවිතය සතුටින් ගෙවා දැමූහ. මේ කාලය තුළදී පසිඳුට තංගල්ල ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව මාස 07කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව ඉන්නට සිදු විය. ඊට අදාළ නඩුකරය තංගල්ල අධිකරණයේ විභාග වෙමින් තිබියදී අධිකරණයෙන් ඇප ලබා පැමිණි පසිඳු යළි පාසල් පෙම්වතිය වූ නදිකාට යෝජනාවක් ගෙනාවේ අනියම් ඇසුරක් සඳහාය.
මුලින් නදිකාද ඊට විරෝධය පෑ නමුත් කාලයත් සමඟ ඇයද පසිඳුට කැමැත්ත දුන්නාය. ඒ අනුව දෙදෙනාම කලක් තිස්සේ අනියම් ඇසුරක් පවත්වාගෙන ගියෙ නදිකාට පසිඳුගෙන් හොඳහැටි අතමිට මුදල්හදල්ද යහමින් ලැබුණු නිසාය. නදිකාගේ සැමියා මුහුදු රස්සාවේ ගිය බොහෝ දිනවල පසිඳු නදිකාගේ ගෙදරට ගොස් එහි රැය පහන් කළේ නදීකා සමඟය. කාලයක් තිස්සේ මෙම අනියම් ඇසුර පවතිද්දී ඇතැම් අවස්ථාවල නදීකාට පැමිණි දුරකතන ඇමතුම් හේතුවෙන් දෙදෙනා අතර යම් යම් ආරවුල්ද සිදු විය.
පසිඳුගේ මිතුරා වූයේ කහඳමෝදර පදිංචි 30 හැවිරිදි චණ්ඩි නමැත්තාය. ‘චණ්ඩි’ සහ පසිඳු ගජමිතුරන් නොවුණාට දෙදෙනා අතර යම් තරමේ මිතුදමක් කලක සිටි පැවතියේය. පසිඳු රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර චණ්ඩි කහඳමෝදර පදිංචිව සිටියේය. නදිකා අඟුණුකොළපැලැස්ස බන්ධානාගාරය අසල කුලී නිවසක පදිංචිව සිටියේ සිය මව සහ සැමියා සමඟය. දිනක් පසිඳු නදීකා හමුවීමට ගියේ රාත්‍රී 09ට පමණය. ඒ යන අතරමඟදී පසිඳුට සිය මිතුරා වූ චණ්ඩිද හමුවිය. පසිඳු නදීකා සමඟ අනියම් ඇසුරක් ඇති බව චණ්ඩි නොදන්නේය. දෙදෙනා සමඟ විනාඩි 45ක් පමණ ආගිය තොරතුරු කතාකර කර සිටි පසිඳු නදීකාට දුරකතන ඇමතුමක් ගත්තේ තමන් එන බව පැවසීමටය. පසිඳුගේ දුරකතනයේ ඇමතුමක් ගැනීමට ප්‍රමාණවත් ශේෂයක් නොතිබිණි. කෙසේ හෝ නදිකාට දුරකතන පණිවිඩයක් දිය යුතු වූ නිසා පසිඳු
“පොඩි කෝල් එකක් ගන්න ෆෝන් එක දීපං” කියා චණ්ඩිගේ දුරකතනය ඉල්ලා ගත්තේය.
කිසිවක් නොදත් චණ්ඩි පසිඳුට දුරකතනය දුන්නේය. පසිඳු චණ්ඩිගේ දුරකතනයෙන් නදීකාට ඇමතුමක් ගත්තේය. නදීකාට චණ්ඩිගේ දුරකතනයෙන් ඇමතුම ගත් පසිඳුට ඇස් අදහාගත නොහැකි දෙයක් අසන්නට ලැබිණි. දුරකතන ඇමතුමට පිළිතුරු දුන් නදීකා “තවම අම්මා නිදි නෑ. නිදාගත්තම එන්න“ යැයි චණ්ඩිගේ දුරකතනයට නදීකා පිළිතුරු දුන්නේ පසිඳු කතා කරන්නටත් මත්තෙනි. එහෙමම දුරකතන අංකය මකා චණ්ඩි අතට දුරකතනය දුන් පසිඳු එදින රාත්‍රියේම නදිකාගේ නිවසට ගියේය. නදීකා හමුවට ගිය පසිඳු, චණ්ඩි සමඟ ඇති පලහිලව්ව කුමක්දැයි විමසීය. චණ්ඩි හා පසිඳු දෙදෙනා මිතුරන් බවත්, පසිඳු නදීකාට දුරකතන ඇමතුම ගත්තේ චණ්ඩිගේ දුරකතනයෙන් බවත් නදිකා ඒ වන විටත් නොදන්නේය. දිගින් දිගටම පසිඳු චණ්ඩි පිළිබඳව නදීකාගෙන් ප්‍රශ්න කිරීම නිසා යම් තැනක වැරදීමක් සිදුව ඇති බව නදීකා දැන ගත්තාය. කරන්නට දෙයක් නොවුණු නිසා නදීකාද කිසිවක් නොකියාම පසිඳු ඉදිරියේ කිසිත් නොදන්නෙක් මෙන් මුනිවත රකින්නට විය.
නදීකා චණ්ඩි සමඟ ඇති අනියම් ඇසුර දිගින් දිගටම සැඟවීම නිසා පසිඳුද පසු වූයේ දැඩි තරහකිනි. පසිඳුට කුඩා කාලයේදීම මවු සෙනෙහස අහිමි වූ අතර පුංචි අම්මාගෙන්ද ඒහැටි ආදරයක් පසිඳුට නොලැබුණි. විවාහ වුවද පසිඳුට නදිකාගෙන් තරම් ආදරයක් බිරියගෙන්ද නොලැබුණි. මේ හේතුව නිසා පසිඳු අනියම් බිරිය වුවද නදීකාට අසීමාන්තිකව ආදරය කළේය. චණ්ඩි නදීකා සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන යාම නිසා පසිඳු චණ්ඩි සමඟද පසු වුයේ දැඩි වෛරයකිනි.
දිනක් පසිඳු කහඳමෝදර වෙරළට ගියේ චණ්ඩිගෙන් මේ ගැන විමසීමටය. ඒ වන විට චණ්ඩි මිනීමැරුම් නඩුවක විත්තිකරුවෙකු වූ ‘කොටි පොඩියා’ සමඟ කතා කරමින් වෙරළට වී සිටියේය. ‘කොටි පොඩියා’ සහ චණ්ඩි කලක සිට ගජමිතුරන්ය. මේ අතරට ගිය පසිඳු චණ්ඩිගෙන් නදීකා සමඟ චණ්ඩිගේ ඇති අනියම් ඇසුර ගැන විමසීය. එහිදී නදීකා බෙදා ගැනීමට දෙදෙනා අතර වූ බහින්බස්වීම රණ්ඩුවක් දක්වා දුරදිග ගිය අතර එහිදී එය බලා සිටි චණ්ඩිගේ මිතුරා වූ ‘කොටි පොඩියා’ ඔහුගේ ඉනේ තිබූ ගිනිඅවියක් එළියට ගෙන පසිඳුගේ ඔළුවට තබා ඔහු මරා දමන බවට තර්ජනය කළේය. එම අවස්ථාවේ අඩියක් පස්සට තැබූ පසිඳු ‘පස්සේ බලාගමු’ යැයි කියා ඉන් පිටව ආයේ චණ්ඩිට ‘ගේමක් දෙන්න’ සැලසුමක්ද සකස් කරමිනි. පසිඳු හිරේ සිටි වකවානුවේදී දඬුවමකට ලක්ව සිරගතව සිටින අපරාධකරුවෙකු වන ‘අඳුපැලෑනෙ බිංදු’ නමැත්තා සමඟ මිතුරුකමක් ගොඩනඟාගෙන තිබිණි. මේ වෙලාවේ තමන්ට ‘අඳුපැලෑනේ බිංදුගෙන්’ සහායක් ලබාගැනිමට තීරණය කළ පසිඳු දිනක් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගියේ බිංදු හමුවීමටය. එහි ගිය පසිඳු බිංදුගෙන් උදව්වක් ඉල්ලීය.
“අයියේ මට දවස් කීපයකට වෙපන් එකක් ඕනේ“ යැයි පසිඳු බිංදුගෙන් ඉල්ලීය. ඊට ප්‍රතිචාර දැක්වූ බිංදු පසිඳුට මෙරට නිෂ්පාදිත ටී56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ‘ටී කටස්’ වර්ගයේ ගිනිඅවියක් සඟවා ඇති ස්ථානයක් පිළිබඳව පැවසීය.
ගිනිඅවිය සොයාගෙන ඉණේ ගසා ගත් පසිඳු කෙළින්ම ගියේ නදිකාගේ නිවසටය. එදින නදීකා සමඟ රැය පහන් කළද නදිකා චණ්ඩි පිළිබඳව කිසිවක් දන්නා බව පසිඳුට හැඟෙව්වේ නැත. පසිඳු නදීකාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළ ද නදීකාද කිසිවක් නොකියා සිටි නිසා පසුගිය 06 වැනිදා පසිඳු චණ්ඩිට දුරකතන ඇමතුමක් ගෙන ‘ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා… මම ගෙදරට එන්නද? උඹ මඟට එනවා‘දැයි විමසීය. පසිඳු නිවසට ආවොත් චණ්ඩිගේ බිරියට නදීකා සමඟ ඇති අනියම් ඇසුර දැනගැනීමට ලැබෙන හෙයින් චණ්ඩි එදින පෙරවරු 11ට පමණ කහඳමෝදර මාර්ගයේ මඟට පැමිණියේය. පසිඳු සහ චණ්ඩි අතර එහිදී නදිකා සමඟ ඇති අනියම් ඇසුර පිළිබඳව බහින්බස්වීමක් ඇති විය. එය දුරදිග ගොස් පසිඳු සිය ඉණේ සඟවාගෙන සිටි ගිනිඅවිය රැගෙන චණ්ඩිට වෙඩි තබා පලා ගියේය.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවීක්රමගේ පූර්ණ අධීක්ෂණය යටතේ සැරයන් මංජුල ඇතුළු කණ්ඩායමක් හුංගම, කහඳමෝදර ඇතුළු අවට ප්‍රදේශ රැසක ආවේක්ෂණ රාජකාරියේ යෙදුණේ අපරාධකරු පිළිබඳව තොරතුරක් අනාවරණය කර ගැනීමටය. ඒ අනුව පසුගිය 08 වන දින පොලිස් උප පරීක්ෂක මංජුලට අපරාධකරු රන්න, කට්ටකඩුව ප්‍රදේශයේ සැඟව සිටින බවට පෞද්ගලික තොරතුරක් ලැබිණි. ඒ අනුව 08 දෙනෙකුගෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායම කුඩා කණ්ඩායම් ලෙස බෙදී ගොස් සැකකරු රන්න, කට්ටකඩුව වැව ආසන්නයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගත් පසිඳුගෙන් පොලිස් නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අපරාධය සඳහා යොදාගත් ‘ටී කටස් ‘ වර්ගයේ ගිනිඅවිය කහඳමෝදර ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සඟවා තිබියදී අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගත් පසිඳුගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් නදීකා සමග අනියම් ඇසුරක් ඇති බවත්, ඇය සමඟ චණ්ඩි නමැත්තාද අනියම් ඇසුරක් පැවැත්වීම නිසා මෙලෙස චණ්ඩි ඝාතනය කළ බවයි.
අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හුංගම පොලිස් ස්ථානයට භාර දෙන ලදි. සැකකරු අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍ර ජයවික්‍රමගේ ඍජු අධීක්ෂණය යටතේ උප පොලිස් පරික්ෂක චන්ද්‍රනාත්, සැරයන්වරුන් වන (44974)මංජුල, (19894)උදයංග, (61929)ඉරේෂ්, (68435) චමින්ද කොස්තාපල්වරුන් වන (68664) දේශාන්, (79437) ප්‍රතාපසිංහ, යන නිලධාරීන් එක්ව මේ වැටලීම සිදුකරන ලදි.
නුවන් ජයසේකර - සූරියවැව විශේෂ