සනත් නන්දසිරි ගාන්ධර්වයා නික්ම ගොස් මාර්තු 27 වැනිදාට වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ වෙනුවෙනි.
සුපුරුදු පරිදි මිදුලේ පැත්තකට වන්නට ඇති කුඩා ගේට්ටුවෙන් ඒ නිවෙසට ඇතුළු වුණෙමි. වෙනදා ගේට්ටුව පේන තෙක් මානයේ උඩුකය නිරුවත් ව සරමක් ඇඳ පාර බලා හිඳින ඒ රුව අද පෙනෙන්නට නැත. අප දුටු විට දෑස් හීනි කරමින් සිනාසෙන ඔහුගේ රුව මම මොහොතකට මවා ගනිමි. අද ඒ පුටුව හිස් ය. ඒ හිස් බව නිවෙස පුරා ද පැතිර තිබේ. ඒ රුව විසින් කෙතරම් පිරුණු බවක් නිවෙසට එක් කර තිබුණා දැයි සිහිපත් වෙන මගේ හද සොවින් තැවෙමින් කම්පිත වෙයි. සනත් නන්දසිරි ගාන්ධර්වයා නික්ම ගොස් මේ මාර්තු 27 වැනිදාට වසරක් සපිරෙයි. ඒ වසර නික්ම ගියේ කෙසේ දැයි සිතන්නට පවා මම මැලි වෙමි. සමහර මතක කොතරම් හිත කීරිගස්සන්නේ ද යන්න ඔබ දනියි.
දිනෙන් දින ඔබ මා වෙතින්
දුරස් වන විට මගේ මනසට
තවත් ළංවෙනු පමණකිය ඔබ
දිනෙන් දින ඔබ මා වෙතින්…
රෝස පඳුරකට සමාන කළ හැකි ද්වීවිධ ස්වභාවයක් ආදරයේ ඇති බව ඕෂෝ කියයි. කටු සහ මල් යන දෙආකාරයෙන් ම ආදරය පැමිණේ; ආදරය කරන්නෝ මේ එකකින් තුටු වෙති; එකකින් පීඩා විඳිති. කොතරම් කැමැති වුණත් කටු රහිත නටුවක රෝස මලක් නො පිපේ. එබැවින් ආදරය කියන්නේ මේ දෙකට ම ය.
ජීවිතයේ සොඳුරු ම ඵලයේ යථාව ගැන මේ ගීය ගැයුවෝ මහාචාර්ය සනත් නන්දසිරි සුළවතාණෝ ය. එතකින් නොනවතින සනතුන් සිතේ නැඟෙන කප්පරක් දුක් සෝ සුසුම් මඳ පවනේ පා කර හරින්නටදෝ තව තවත් ආදරයේ ඉසව් සොයා යන්නේ ය.
ඇවිලුණු ගිනිදැල් නිවි නිවි යද්දී
ඈ මට හමු වූවා…
ඉනිඳු නොනවතින සනතුන් සොවින් පිරි මගේ හදවත…, මහද පෙම් විලේ…, මේ ප්‍රථම වසන්තයයි… ඈ ප්‍රේමයේ ඉසියුම් මාන සොයමින් සෞන්දර්ය චාරිකාවක නිරත වන්නේ ය.
මහ පොළොව දිය බිඳක්
මහ සොවින් යදින කල
කෙම්බිමක අසිරියෙන් දැනුණි
ඔබෙ සොඳුරු හඬ
ළය සොවින් පෙළෙන කල
සනසවා හද මඬල
නික්ම සරා සඳ නුබ ගැබම
අඳුරු කර….
ඒ වනස්පතියත් නික්ම ගිය කල
මේ මිහිමඬල පාළුයි අඳුරුයි නේද….
එතුමා නික්ම ගිය දා රැයේ සොවින් පිරි මගේ හදවතේ නැඟුණු පද කිහිපයක් මෙසේ සටහන් කළේ ඒ ගී කෙතටත් විසල් හදවතේ වූ දයාර්ද්රභාවයටත් අලගු තබන්නටවත් බැරි බව දැන දැන ම ය. එහෙත් ශෝකය යනු ශෝකය ම ය. එය හද තවන්නක් බව නොකිව මනා ය. වසරක් ඉක්ම ගිය ද ඒ වේදනාවේ බර තවමත් හද පාරවන්නේ ඒ නිසා ය.
ගිමන් කල කෙසඟ ව ගිය ගඟකට වස්සානය තරම් මනරම් අන් යමක් වේ ද; පොළොව ඉරි තැලී දාහයෙන් දැවෙන කල වැටෙන වැහි රැල්ල කෙතරම් සුවයක් ද? සනත් නන්දසිරි සුළවතාණෝ ද විරහවෙන් පිරි හදවතට වැටුණු සුමුදු පිනි බිඳුවක් සේ සිත නිවාලූ ගී කෙතක් සහෘදයනට දායාද කළහ. එතැනින් ඉනික්බිති ශිෂ්‍ය පරම්පරාවක් හැදූ ඔහු ශාස්ත්‍රාභිලාෂීන් වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය පමණක් නොව සිය ගේ දොර පවා විවෘත කළේ ය. සහෘදයන්ට ඒ නිවෙස ආගන්තුක නොවෙන්නේ එපරිද්දෙනි.
ඒ නිවෙස ආගන්තුක නිවෙසක් නොවන්නට සනතුන්ගේ ප්‍රිය බිරිය මල්කාන්තියගේ ප්‍රභාවය බලපෑම් කරන බව රහසක් නොවේ. නික්ම ගොස් වසරක් ගතවී ඇත ද ඇය තවමත් හැඬුම්බර දෙනෙත් පිසදා ගන්නී ය; බර සුසුම් හෙලන්නී ය. ඇය වරෙක ඔහුට මාතු භාර්යාවකි. තවත් වරෙක සකී භාර්යාවකි. ඔහුගේ සාර්ථකත්වය කෙතරම් ද ඒ පිටිපස සිටියෝද ශක්තිය ඇය ම වන්නී ය.
‘මගේ ලෝකෙ රජ්ජුරුවෝ වුණේ එයා. එයා නැතිවෙනකම්ම විතරක් නෙවෙයි, එයා නැතිවුණාට පස්සෙ අදටත් ඒ ආදරය නම් බිංදුවක්වත් හිතින් අඩුවෙලා නෑ. හැම තිස්සෙම මතක් වෙන්නෙ එයා. මට මේ ගෙදර මේ පුටුවෙ එයා වාඩිවෙලා ඉන්නවා වගේ දැනෙනවා.
එයා පිටරට ප්‍රසංගවලට යද්දි කවදාවත් ඒ ප්‍රසංගයකට එයාට කීයක් දෙනව ද කියලා ඇහුවෙ නෑ. එයා ඉල්ලපු එකම දේ මම යනවා නම් මල්කාන්තිවත් එක්කන් යන්න ඕනෙ කියන එක විතරයි. ඇත්තට ම අපි දෙන්නා නොගිය රටක් නෑ. අපි හැමදාමත් එක වගේ ආදරෙන් හිටපු දෙන්නෙක්‘
ඇයගේ මතක පොතක් කරන්නට තරම් ගොන්නකි. අනේ එයා කැමැති වුණේ මේ ගෙදරට එන ඕන කෙනකුට හොඳට කන්න දෙන්න. මං ඒක අදටත් ඒ විදියටම කරනවා… එසේ කියමින් අපට එක් එක් කෑම බීම වර්ග දෙමින් සංග්‍රහ කරන්නීය.
1942 වසරේ පෙබරවාරි 15 වැනිදා ගොතටුවේදී හේරත් මුදියන්සේලා විලියම් පෙරේරාගේත්, දෝන අමලින් කටුගම්පළගේත් පවුලට එකතු වූ තුන්වැනි දරුවා වන සනත් නන්දසිරි, ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයයෙන් සහ සාන්ත මැතිව්ස් විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා තිබේ. විල්ෆ්රඩ් පීරිස් යටතේ මුල් කාලයේ දී සංගීතය හදාරා ඇති ඔහු පසුව හේමතිලක දයාරත්න යටතේ ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවේය. ඔහු තබ්ලා වාදනය හදාරා ඇත්තේ මහේෂ් සින්නයියා සහ වාද්‍ය විශාරද ඩී. ආර්. පීරිස්ගෙනි.
තම සොයුරියක වූ ඊඩා ඩිරෙක්ස් සමඟ “පායා පේනා චන්ද්‍රා සේමා…” ගීය ගායනා කරමින් නාදාත්මක ලොවට පිළිපන් සනත් නන්දසිරි ගුවන් විදුලියට එක්වන්නේ කුඩා කාලයේදී ම ය. ගුවන් විදුලි ළමා මණ්ඩපය පොබ කළ මනරම් ගායක ලයිස්තුවේ හේ මුලින් ම සිටින්නේ ඒ නිසා ය. සූරියලතා කුරුප්පුආරච්චි ලියූ සෝමරත්න දයාරත්න සංගීතය මුසු කළ “මාලා ගන්ධ විලේපන ධාරා…” ගීය ඔහු ගැයූ මුල් ම ගුවන් විදුලි ගීය වෙයි. එදා මෙදාතුර ඔහු ගැයූ ගී එක්දහස් පන්සියය ඉක්මවතැයි සිතේ.
1960 වසරේදී ලක්නව් නුවර පිහිටි භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වීම සඳහා ඉන්දියාවට ගිය හේ 1966 වන විට ගායනයට හා තබ්ලා වාදනයට විශාරද උපාධි දෙකක් ලබා ගන්නේ ය. 1992 දී සංගීත් නිපුන් උපාධිය ලබා ගන්නා ඔහු විවාහ වන්නේ 1971 වසරේදී ය. ඒ මල්කාන්ති නන්දසිරි ගායනවේදිනිය සමඟිනි. ඔවුන් දෙපළගේ එකම දියණිය අනුරාධා ය. දූ අනුරාධා ගීතය බුද්ධදාස ගලප්පත්ති ගේය පද රචකයා අතින් ලියැවෙන්නේ ඇය වෙනුවෙනි.
කුටුම්බයේ සමගිය, සතුට, සහයෝගිත්වය, සහජීවනය ප්‍රේමයේ ආලෝකයෙන් විකසිත කළ ගීත ගණනාවක් ඔහු විසින් ගයන ලදී. සුනිල් සරත් පෙරේරා ලියූ ‘සැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි ඔබේ සිනා සඳමඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි’ ගීතය වෙසෙස් සුන්දර ගීයකි. විමල් ජයශාන්ත විසින් සත්‍ය අත්දැකීමක් පසුබිම් කොට ලියන ලද එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා ගීතය අදටත් ජනහද අමතන වියෝ ගීතයකි. විමලධර්ම ජයවීර රචනා කළ ඇවිළුණු ගිනිදැල් නිවි නිවි යද්දී ඈ මට හමුවූවා ගීතය එක් රැයකින් සනතුන් ජනප්‍රියත්වයේ ඉහළට ඔසවා තැබූ ගීයකි. ආචාර්ය අජන්තා රණසිංහගේ ආදර සැමරුම් කැටි වූ, පෙමාතුර හැඟුම්, ජගදා නන්දන, දේදුන්නෙන් එන සමනලුනේ, කොහෝ කෙහෝ මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ එක යායට මල් පීදුණු, වේතනා පරිශුද්ධ වූවත්, සීත රෑ යාමේ, බඹරු නොදුටු කරුණාරත්න අබේසේකරගේ මා හද අසපුව, ලස්සන නම් නෑ පෙනෙන්නේ, සඳ බලන්න බෑ, කුලරත්න ආරියවංශගේ මේ ප්‍රථම වසන්තයයි, සිත දන් දුන්නේ, මාලතී මල් මාවතේ සුනිල් ගුණවර්ධනගේ දඟකාර ඔය දැස, හිච්චි නගේ ඩෝල්ටන් අල්විස්ගේ කවුරුදෝ අර කවුළුවෙන් බුද්ධදාස ගලප්පත්තිගේ ගීතා, දයාබර ගීතා, දූ අනුරාධා, සුනිල් සරත් පෙරේරාගේ මගේ රටට දළදා හිමි සරණයි, යසෝදරා, සිනා සලන්නී, ධර්මරත්න පෙරේරාගේ ‘නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, දයා ද අල්විස්ගේ දහසක් පැතුමන්, ප්‍රියානන්ද විජේසුන්දරගේ බෝ මළුවේ මල් සුවඳක පැටලී, ඩබ්. ජයසිරිගේ නිදිකුම්බා මල් කැකුළි, දෙල්තොට චන්ද්‍රපාලගේ රත්ති අරන් උදැනැක්කේ ආදී ගීත අතිශය ජනප්‍රිය ගීත බවට පත් වූයේය. ගුවන්විදුලිය, සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔහුගේ සංගීත නිර්මාණ කාර්යයන්ගෙන් හැඩ වූ බැව් අපට අමතක නැත. 1974 වසරේ දී මහාචාර්ය සනත් නන්දසිරි සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන ‘ස්වර්ණ කුණ්ඩල’ පැවැත්වූයේය. ඔහු සිය දිවිසැරිය නිමා කරන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ධුරය දරමින් සිටියේය.
සනත් නන්දසිරි සංගීතවේදියාණන් පිළිබඳව ග්රන්ථ හයක් ලියා තිබේ. ඒ ග්රන්ථ හය අතර ඔහු විසින් රචිත ග්රන්ථ ද, ඔහු වෙනුවෙන් ලියැවුණු ග්රන්ථ ද වේ. උස්තාද් අහමඩ් ජාන් තිරක්වා නම් ලොව පතළ ගාන්ධර්වයා යටතේ තබ්ලා වාදනය හදාරන සනත් නන්දසිරි සිය ඉන්දීය අත්දැකීම් අළලා ලියූ “භාරත ජීවිතයේ චමත්කාරය” පොත සනත් නන්දසිරි නම් ලේඛකයාගේ මතුවීම සටහන් කරයි. ගායකයකු වශයෙන් පහළ වුව ද ඔහු ගීත රචකයකු ද බව බොහෝ දෙනා නොදනිති. මල්කාන්ති නන්දසිරි ගායනවේදිනිය සමඟ ගයන “බුදු හාමුදුරුවෝ වැඩියා වගේ පෙම්බර ස්වාමිනී… ගීතයත්, විජය කුමාරතුංගයන් ගයන “සීතලේ නිසංසලේ…” ගීතයත් සනතුන්ගේ පද රචනා ය. මේ ගී ද්විත්වයෙහි කවීත්වයත්, වාග් අලංකරණයත් සැලකූ විට ඔහුගේ ලේඛන ප්‍රතිභාව ගැන විවාදයක් නැත. පද රචනය, ගායනය, වාදනය හා සංගීත සංයෝජනය යන සිව් වැදෑරුම් ස්ථානයන්හි මනාව නිමග්න සනතුන් කිරි වැදුණු ගොයම් කරලක් බිමට නැවෙන්නා හා සේම නිහතමානී ගුණයෙන් ආඪ්‍ය වෙති. අමරදේවයන්, නන්දා මාලිනිය, අබේවර්ධන බාලසූරිය, ධර්මදාස වල්පොල, ගුණදාස කපුගේ ඈ රසික හදවත් මන්මත් කළ ගායක ගායිකාවන් රැසකගේ ජනප්‍රිය ම ගීත බොහොමයකට තනු නිර්මාණය කළේ සනත් නන්දසිරි සංගීතවේදියා ය. ඔහු අත ඒ ගී වෙනුවෙන් රාගධාරි, බටහිර ඈ නන්විධ ආර මුසු කරමින් අපූර්ව තනු නිර්මාණය වූයේ ය.
සංගීතඥයා යනු සූත්‍ර හා න්‍යායවාදියකු නොව ප්‍රතිභාපූර්ණ ප්රාඥයෙකි. සනත් නන්දසිරි ඊට කදිම නිදර්ශනයකි. ගීතයක් ශ්රාවකයා අතට පත්කරන සංගීතඥයා රසභාව මෙන්ම භාෂාවේ සංගීතය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. ගායනයේ ප්රමුඛ වන්නේ හඬ ය. හඬ සමඟ ස්වර්ණ වර්ණ ගැන්වීමෙන් නැඟෙන නාද චමත්කාරය සනත් නන්දසිරි සංගීතඥයාගේ ස්වර රචනාවල මෙන්ම ඔහු වෙනත් සංගීතඥයන් සමඟ ගැයූ ගීවල ද විශිෂ්ට ලකුණ වී තිබේ. මෙරට සුභාවිත ගීතයට පණ පෙවූ ඔහු ගැන විචාරකයන් පවසන්නේ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ වාග්ගේයකරුවකු ලෙස ය.
සනත් නන්දසිරි සංගීතවේදියාට තම සහෝදර ගායක පරපුර ගැන තදබල කැක්කුමක් තිබිණි. සමස්ත ලංකා ගායක ගායිකා සංගමයේ ප්‍රථම සභාපති ධුරය දැරුවේ ඔහු ය. එතකින් නොනවතින ඔහු එම්. එස්. ප්‍රනාන්දු, ජේ. ඒ. මිල්ටන් පෙරේරා ආදී ගායනවේදීන් ගැන අනුස්මරණ ලිපි ලියා ඇත. තමන්ගේ ගීත නව පරපුර ගායනා කරනවා යැයි දැඩි තරහෙන් හා කෝපයෙන් කතා කරන පෙර පරම්පරාවට ගුරුවරයකු ලෙස හේ නිරන්තරයෙන් නව ආදර්ශ ලබා දුන්නේ ය; ඒ ද වචනයෙන් නොව ක්‍රියාවෙනි. වරෙක සනතුන් හා මා කළ සාකච්ඡාවකදී ඒ පිළිබඳ මා හට පැවසුවේ මේ ආකාරයෙනි.
“මගේ සමහර ගීත ගායනා කරන්නේ අපේ ම අනාගත පරම්පරාව. මට හරි ම සතුටුයි මගේ ගීත තරුණ පිරිස් ගායනා කරන එක ගැන. මම ඔවුන්ට එක ම දෙයයි කියන්නේ. නිවැරදි ව සුගායනීය ව ගයන්න; එය විතරයි විය යුතු. එකයි මම ස්වර ප්‍රස්ථාර පවා ඔවුන්ට දෙන්නේ.”
තමාගේ ශිෂ්‍යයකු තමාට වඩා දැනුමෙන්, බලයෙන් ඉසියුම් බවෙන් පිරීම තරම් ගුරුවරයකුට වෙනත් දෙයක් වටින්නේ නැත. ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් ගැන සිහිපත් කරමින් මහාචාර්ය සනතුන් පැවසූ මෙවදන් කියවා බලන්න.
“ප්‍රණීත් මගේ ගෝලයෙක්. ඉස්සර ප්‍රණීත් මගෙන් දේවල් අහගන්නේ. දැන් මං තමයි සමහර දේවල් ප්‍රණීත්ගෙන් අහගන්නේ. ඉතින් කොච්චර සතුටක් ද ඒක.” තමන්ගේ ගෝලයකු තමන් ඉක්මවා යන විට ඊට හැකි පමණ අකුල් හෙළන පෙර පරම්පරාවක අත්දැකීම් බහුල අපට ඒ නිරහංකාර වදන් අප්‍රමාණ සැනසීමකි. තම ශිෂ්‍යයකු තමන් අබිබවා යෑම තරම් සතුටක් ගුරුවරයකුට තව තිබිය නොහැකිය.
සනත් නන්දසිරි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සංගීතවේදියෙකි. උත්තර භාරතීය සංගීතය ගැඹුරින් හදාරා තිබුණ ද ගීත නිර්මාණයේදී ඔහු එක ගීත සම්ප්රදායකට කොටු වන්නේ නැත. අවශ්‍යතාව අනුව රාගධාරී සංගීතයත්, බටහිර සංගීතයත් මුසු කර ගන්නා ඔහු අත නිදහස් ව නව රටා බිහි වේ. ඒ ගැන අප හා කළ සංලාපයේදීත් අවධාරණය කළ ඔහු තමන් පිළි නොගන්නා සංගීත ක්‍රම හෙළා දැකීම අනුවණකමක්” සේ දකින්නේ ය.
ගුරු භූමිකාව මැනවින් සාධනය කළ සනත් නන්දසිරි දෙස, බස, රැසට ආදරය කළ වාග්ගේයකාරයෙකි. තමන් විසින් ගී පද කවි පද ලියා, තනු නිර්මාණය කරමින් ද ගයමින් ද අනුන් උදෙසා කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකොට නිර්මාණය කර දෙමින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රය අස්වැද්දූ සනත් නන්දසිරි සුළවතාණන්ගේ මතකය කිසිදා බැහැර නොවන්නේ ඒ ස්වර්ණ බර නිසා බැව් කිව යුතු ම ය.
සුමුදු චතුරාණී ජයවර්ධන