දුහුවිල්ලෙන් වැසී ගිය නිරුවත් සිඟිති දෙපා ගිනියම් පොළොවෙන් නොදැවෙනු සේය. දෙකන් මුලින් දහදිය බේරෙමින් ඇත. දුවිල්ලෙන් එකට ඇලී ඇති හිසකෙස් සුළඟිනුදු නොසෙල්වෙන්නේය. හැඟීම් රහිත දෑසින් මා දෙස බලාගෙන වියළි ස්වරයෙන් මුදලක් ඉල්ලා දැවටෙන නොදරුවා දෙස බලා හිඳිමි. හත් විය නොඉක්මවූ බව පෙනේ. ඔහු ඉල්ලන මුදල, එය ලබා ගැනීමේ අර්ථය සම්බන්ධව ද වැටහීමක් නොමැති මේ කිරි දරුවා මහ මඟට ඇද දමා සිඟමනට දැමීමේ සමාජ අපරාධය තුළ පුරවැසියෙක් ලෙස මගේ කොටස ගැන සිහිවන විට ඇතිවන කම්පනය සියොළඟ අප්‍රාණික කරයි.
කතරගම පුදබිම මහා කාන්තාරයක් වී ඒ වියරු කාන්තාරයේ පරවී යන දරු කැකුළු ගැන තවමත් ලියන්නට සිදුවේ නම් එය මේ රටේ සැබෑ ව්‍යසනයේම කොටසක් නොවන්නේ ද? මේ කතරගම දෙවියන් වැඩ හිඳින බිමය. රට පාලනය කරන මහා බලවතුන්ගේ සිට සියලුම රාජ්‍ය, රාජ්‍ය නොවන ආයතනවල තීන්දු ගන්නා තැන් හොබවන අසාර පංචස්කන්ධ දෙවියන්ගේ ආශීර්වාද ලබන්නට එන බිමය. කිසිම ශිෂ්ටසම්පන්න සමාජයක් තුළ තිබිය නොහැකි ළමා යාවකයන්ගේ දුක්ඛිත කතාව මේ මිනිස්සුන්ගේ දෑස් ඉදිරියේම ප්රකාශිතය. ඔවුහු ද මේ බිහිසුණු සමාජ ව්‍යසනය දකිති. දැක දැක යති. එම නිසාම දශක ගණනාවක් තිස්සේ ලියූ කතාව අපටත් යළි යළිත් ලියන්නට සිදු වී තිබේ.
කතරගම පුදබිමේ දරු පැටවු රැසක් තැන තැනය. ළමයෙක් ලෙස ලැබිය යුතු සියලුම අයිතිවාසිකම් ඔවුන්ගෙන් උදුරාගෙනය. අධ්‍යාපනයෙන්, රැකවරණයෙන් ගිලිහී තිබේ. පුද්ගලයෙක් සතු විය යුතු අභිමානය සහ පෞරුෂය බිඳ දමා සිඟමන් යැදීමට මහ පාරට ඇද දැමූ නොදරුවකුගේ අනාගතය කුමක් විය හැකි දැයි තිගැස්මක් උපදී. සමාජයක් ව්‍යසනයට ලක් කරන සමාජ අපරාධකරුවෙක් මේ පොඩි උන් අතරින් හෙට දවසේ ඉපදෙන්නේ නම් ඒ විනාශයට ඔබත් මාත් ඇතුළු මේ රටම වගකිවයුතුය.
“පුතාගෙ ගෙවල් කොහෙද?.” “ගෝතමි පුර… අම්මා නෑ… තාත්තා අසනීපයි. ආච්චි එක්ක ආවේ. ඉස්කෝලෙ යන්න පොත් ගන්න ඕන. ” පොඩි එකා කටපාඩමින් කියන්නා සේය. ඔහු කියන්නේ ඔහුටත් නොතේරෙන කතාවක් දැයි සිතේ. “ආච්චි කෝ…” මම අසමි. “ අරහෙ ඉන්නවා…” “ අරහෙ කිවුවේ…” පොඩි එකා යමක් සඟවයි. ඇවිටිල්ල මඳක් අඩු වේ. සැක සහිත බැල්මක් පුංචි දෙනෙත්වල ඇඳේ. කුමන දාර්ශනික කතාවකින් පලක් නැත. කිසිම පොඩි එකෙක් තමන්ගේ මූලික අවශ්‍යතා සැපිරී ඇති නම් වැරහැලි ඇඳගෙන හිඟමනේ වැටෙන්නේ නැත. මා ලබා දෙන පුංචි මුදල මිට මොළවා ගෙන ගිනිගත් දුහුවිල්ල අවුළවාලමින් දිව යන පුංචි එකා දෙස බලා හිඳිමි.
කතරගම නගරය, සෙල්ලකතරගම, කිරිවෙහෙර, වැඩිහිටි කන්ද ආශ්‍රිතව නිශ්චිත රැකවරණයක් සෙවනක් නොමැති වීදි දරුවෝ 39 දෙනෙක් ගැන වාර්තා වේ. අවට ගම්වල දරු පැටවු සති අන්තයේ, දීර්ඝ සති අන්තවල හා කතරගම පෙරහර කාලයෙත් පූර්ණ කාලීනව හා අර්ධ රැකියාවක් සේ සිඟමනට වැටෙති. සැබෑ දරිද්‍රතාව පිළිබඳ කතාවක් සමාජයේ අතපල්ලෙන් වැටී සිටින අසරණයන් පිළිබඳ කතාවක් මේ සෑම නොදරුවකුගේම ජීවිතවල ඇත.
කතරගම සමාජ සේවා නිලධාරිවරයාට අනුව අධ්‍යාපනයෙන් මුළුමනින්ම ගිලිහුණු දරුවෝ කතරගම පූජා භූමියේ සිඟා කමින් සිටිති. ඒ සමහර දරුවන්ට සිංහල අකුරක්වත් ලියා ගත නොහැකිය. මේ නූගත් මෙන්ම අවිධිමත් ජීවිත ගත කරන සමහර මවුපියන්ගේ දරුවන්ට උප්පැන්නවත් නැත. මෙය දුගී බවේ සංස්කෘතිය ඇතුළෙන්ම එන කතාවකි.
“කතරගම ආර්ථිකය ගොඩනැඟී තිබෙන්නේ කතරගම පුදබිම කේන්ද්‍ර කරගත් සංචාරකයන්ගෙන්. ඔවුන් කතරගමට එන්නේ ආධ්‍යාත්මික සුවයක් ආශීර්වාදයක් බලාපොරොත්තුවෙන්. මේ පරිසරයේදී වන්දනාකරුවන්ට අතපාලා අපහසුවකින් තොරව මුදලක් උපයා ගන්න පුළුවන් අවස්ථා හැදෙනකොට සිඟමන් යදින්න අම්මලා ආච්චිලා සීයලා කිරි දරුවො උස්සන් එනවා.
කතරගම පෙරහර කාලයට තිස්සමහාරාමයේ ඉඳන් පවා දරුවො අරන් මවුපියන් එනවා හිඟා කන්න. බොහෝ දරුවන් පාසල් යන අය. ඒත් විධිමත්ව නෙමෙයි… යවන්නන් වාලෙ යවනවා. කතරගම අවට පාසල් බැලුවොත් පෙරහර කාලෙට දරුවො පාසල් එනවා අඩුයි. ඔවුන් පූර්කාලීනව ඒ දවස්වල හිඟමනේ යෙදෙනවා. “
කතරගම පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතා මෙන්ම මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රමුඛයෙක් වූ කේ.ඩි. දේවප්‍රිය අප සමඟ කතා කරන්නේ ඔහුගේ ගවේෂණාත්මක මාධ්‍යකරණයේ දශක ගණනක් ලද අත්දැකීම් සහිතවය. මේ හරහා උපදින ඛේදවාචකය චක්‍රයක් සේ සමාජය තුළ ක්‍රියාත්මක ආකාරය පිළිබඳ අත්දැකීම් ඔහු සතුය. මේ දරුවන් මත්ද්‍රව්‍ය වෙත ගොදුරු වීම, ගණිකා වෘත්තියට නැඹුරු වීම, අඩු වයස් විවාහ, නූගත්කම නිසා යළි උපදින දරිද්‍රතාව, එම විවාහවලින් ඇතිවන දරුවන් සම්බන්ධව වගකීම කුමක්දැයි නොදන්නා පරිසරයක යළි ඒ දරුවන් මහ මඟට වැටෙන ආකාරය ඔහු නිරීක්ෂණය කර තිබේ.
නිරීක්ෂණයන්ට අනුව මෙම සමහර මවුපියන් තවත් අයගේ මෙහෙයවීම මත දරුවන් සමඟම හිඟමනේ යෙදෙයි. මව හො පියා නැත්නම් දෙදනාම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නම් දරුවන් සිඟමනට යොදවා තමන්ට දෛනික මත්ද්‍රව්‍ය කෝටාවට අවශ්‍ය මුදල සොයා ගැනීමට හුරුව තිබෙන අවස්ථා ද, දවසේ ලැබෙන මුදලින් මත්පැන්වලට යොමු වූ දරුවන් ගැන ද, එසේම දරුවන් ලවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමද විටෙන් විට වාර්තා වෙයි. මේ තත්ත්ව පෙර මෙන් සුලබ නැති බව පොලිසිය පවසයි.
සිඟමනට හුරු වූ දරුවන් ඍජුව මුදල් ඉල්ලන ප්‍රවණතාවක් නැත. ඔවුහු බැතිමතුන්ගෙන් සපත්තු, සෙරෙප්පු, පොත් පත්, විසිතුරු සෙල්ලම් බඩු ඉල්ලති. වරක් මාගෙන් ද මේ දරු පිරිසක් කැරම් බෝඩ් එකක් ඉල්ලා මා වටකරගෙන ඇවිටිලි කළ හැටි මතකය. මේ උපකරණ මිල දී ගෙන දුන් විට යළි ඒවා අඩුවට මුදල් කළ හැකි ස්ථාන කතරගම නගරය තුළ ඇත.
උපයා ගත් මුදල් දරුවන් වැඩි වශයෙන්ම වියදම් කරන්නේ කෑම බීම රසකැවිලි වෙනුවෙනි. සමහර ශරීර උත්තේජක කැෆේන් සහිත පාන වර්ග කතරගම නගරය තුළ බහුලව මිල දී ගන්නේ මේ දරුවන් බව වෙළෙඳපොළ ආරංචි මාර්ග අපට කීවේය. කතරගම පුදබිමේ වල්ලි දේවාලය අසල ගඟේ පහන් පත්තු කරන්නට එන පිරිස් අතර කිඹුල් බියක් ඇති කර ඔවුන් හා සුහදවන දරු කණ්ඩායම් ද වෙති. ඔවුන් පසුපස ඔවුන්ගේ අම්මලා ද වූ බව දුටුවෙමි. මිත්‍ර වී සිඟා කෑමේ ක්‍රමය අප මුලින්ම අත්දුටුවේ කතරගමදී ය.
නිරීක්ෂිත ආකාරයට සිඟමනේ යෙදෙන මේ දරුවන් වයස අවුරුදු 5 සිට 16 දක්වා පරාසයකට අයත්ය. වල්ලි දේවාලය අසල පාලම සමීපයේ කිරිවෙහෙරේ සිට දේවාලයට පැමිණෙන මග දෙපස සහ රථ ගාල්වල මේ දරුවෝ බහුලව හැසිරෙති. සිඟමන අතර කෙරෙන සොරකම් ද විටෙක වාර්තා වී තිබිණි. බැතිමතුන්ගේ පාවහන්, ගමන් මළු සොරකම් කරන බාලවයස්කාර දරුවන් ගැනද මේ පුදබිමේ දී ඇසුවෙමි.
එමෙන්ම සිඟමනට අමතරව පූජා භූමිය අවට දරුවන් ළමා ශ්‍රමිකයන් වීමේ ඛේදවාචකයක් ද ඇත. හෝටල්වල ළමා කම්කරුවන්, බර ඔසවන්නන්, දෙවියන්ට පූජා කරන පූජා වට්ටිය දේවාලය වෙත ප්‍රවාහනය කරන්නන් ලෙස දරූවන් කුලී කරති.
•පොලිසිය
කතරගම පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ මේ වන විට ළමා ශ්‍රමිකයන් සහ ළමා යාචකයින් ද අඩු වී ඇති අයුරු තමන් නිරීක්ෂණය කරන බවය. “දැන් ඔවුන් ඉතාම සූක්ෂ්මයි සහ සංවිධානාත්මකයි. යාචකයින් සම්බන්ධව දියත් කෙරෙන මෙහෙයුම් නිසා පුදබිම තුළ සිදුවන අපරාධ සමස්තයක් ලෙස අඩු වී තිබෙනවා. මේ වන විට වැඩිහිටියන් 50ක් වපමණ හිඟා කනකොට අත්අඩංගුවට ගෙන රිදීගම පුනරුත්ථාපන කඳවුරට යොමු කර තිබෙනවා. දරුවනුත් 50කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන අධිකරණය හරහා පරිවාසයට යොමු කර තිබෙනවා. ඒ අතරින් පිරිසක් මවුපියන්ට යළි භාර දී තිබුණා.“
ළමා ශ්‍රමිකයන් කොපමණ ප්‍රමාණයක් කතරගම කේන්ද්‍ර කරගෙන සිටින්නේ ද යන්න පිළිබඳ නිශ්චිත දත්ත පොලිසියේ නැත. යාචකයන් සම්බන්ධව සමාජ පර්යේෂණ ගණනාවක නියැළුණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්ට අනුව ද එම සංරචකයන් අතිශයින්ම ආන්තික ලෙස විචලනය වන සුලුය. දෛනිකව පැමිණෙන දරුවන් ගණන වෙනස්ය. අද පැමිණෙන දරුවන් හෙට එන්නේ නැත. ඔවුන් ඍජු ලෙස සිඟමන් යදිනවාට වඩා උපක්‍රමශීලිව සිඟමනේ යොදවන ආකාරය පොලිසිය නිරීක්ෂණය කර ඇත. ස්ථානාධිපතිවරයා පවසන පරිදි කතරගම පුදබිම ආශ්‍රිතව බොහෝ විට දරුවන් සහිත මවුපියෝ මල් විකුණන මුවාවෙන්, විසිතුරු භාණ්ඩ සංචාරකයන් වෙත අලෙවි කරන මුවාවෙන් හැසිරෙති. ඔවුහූ දරුවන් ද රැගෙන විත් පවුල් ඒකක ලෙස රැඳෙමින් දරුවන් සිඟමනේ යොදවති. ඔවුන් බොහෝ දෙනා මේ අවට ගම්වලම අය බව පොලිසියේ හඳුනා ගැනීමය.
“ මේක හරිම සංකීර්ණ වැඩක්. ඒ අය අතර ඉතාම සූක්ෂ්ම සන්නිවේදන ජාලයක් තිබෙනවා. පොලිසිය දකිනකොට දරුවො ළඟට අරන් ඒ අය කරන්නේ මල් විකුණන එක. මේ වැටලීම් කරන්නෙ සිවිල් පිට ඇවිත්. එයත් අමාරු කාර්යයක්. මේ පොලිසිවල ඉන්න නිලධාරීන්ව ගම්වැසියන් හොඳින් අඳුනනවා. ඒ තත්ත්වය තුළත් අපි උපරිම වශයෙන් මේ ව්‍යසනය මැඬපවත්වන්නයි කටයුතු කරන්නේ.
දැන් කිසිම අවස්ථාවක දේවාල භූමියට යාචකයකුට ඇතුළු වෙන්න දෙන්නේ නෑ. සාමාන්‍ය බැතිමතුන් ලෙස ගිහින් ඉතාම රහසේ දරුවන් සමඟ සිඟමනේ යෙදෙන අය සිටිනවා. පුදබිමක මේ තත්ත්වයක් පාලනය කිරීම පුදබිමේ ගෞරවයට මෙන්ම බැතිමතුන්ගේ මානසික පරිසරයට හානියක් නොවන අයුරින් ඉතා සැලසුම්සහගතව කළ යුතු මෙහෙයුමක්. “
මේ වන විට අත්අඩංගුවට ගන්නා යාචක පිරිස් පුනරුත්ථාපනය කිරීමට තැනක් නැත. රිදියගම කඳවුර පිරී ගොස්ය. එමෙන්ම පරිවාසයට යවන දරුවන් සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමේ ඵලදායීතාවක් නැති බව පෙනෙන්නේ පුනරුත්ථාපිත දරුවන්ම යළි යාචකයින් සේ කතරගම දීම පොලිසියට හසුවීමෙනි. මහාචාර්ය මයුර සමරකෝන්ට අනුව පරිවාස ක්‍රියාවලිය යනුම මේ රටේ අසාර්ථක ප්රයත්නයකි.
•සමාජ පර්යේෂකයන්ගේ දැක්ම
යාචකයන් පිළිබඳ විධිමත් පර්යේෂණයක් කළ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්. ඔහු මේ ගැටලුව හඳුනා ගන්නේ පුළුල් විද්‍යාත්මක දෘෂ්ටියකිනි.
“යාචක දරුවන් වර්ග කීපයක්ම ඉන්නවා. දරිද්‍රතාව නිසා මවුපියන් විසින්ම යාචක වෘත්තියට යොමු කරනවා. යාචක වෘත්තියේ ඉන්නා ජාවාරම්කාරුවන් දරුවන් යොදවා වෙනත් මුදලක් අරන් ඉතිරිය මවුපියන්ට දෙනවා. සමහර යාචකයන් ළඟ තමන්ගේ දරුවො වගේ දරුවො ඉන්නවා. නමුත් ඒ දරුවන්ගේ සෑබෑ මවුපියෝ නෙමෙයි. දරුවට නින්ද යන්න යම් බෙහෙතක් දෙනවා. සමහර අය දැකපු ගමන් කියන්න පුළුවන් මේ දරුවගේ අම්ම නෙමෙයි කියලා. දරුවා මහා ගිනි අව්වට නිරාවරණය වෙලා. විශේෂ රැක බලාගැනීමක් නෑ. කතරගම අවට සමාජ ස්තර කීපයක් තිබෙනවා. එයින් එක් ස්තරයක් තමයි කතරගම නගරය තුළ කැළිකසළ ඉවත් කිරීමේ කටයුතු කරන පිරිස. විවිධ ජාතින්ගේ සම්භවයක් සහිතව තමයි ඒ වැසියන් ඉන්නෙ. බොහෝ වෙලාවට ඔවුන්ට නිවෙස විතරයි තිබෙන්නේ. වගා කරගන්නවත් කිසිම ඉඩක් නෑ. නිවෙසත් ස්ථිරව නෙමෙයි. මේ ආර්ථිකය තුළ සාධාරණ පැවැත්මකට ඔවුන්ට අවකාශ නෑ.
මේ වගේ අය නිතැතින්ම කතරගම පූජා භූමිය තුළ තම දරුවන් සිඟා කෑමට යොදවා තිබෙනවා. සමහර දරුවන් අපචාර ක්‍රියාවල යොදවන අවකාශ පවා තිබෙනවා. කාලයකට පෙර යම් ආකාරයකට මත්ද්‍රව්‍ය සැපයීම, වගේම ගණිකා වෘත්තිය සම්බන්ධ තැරැව්කාරකම්වලට මේ දරුවො සම්බන්ධ කරගෙන සිටියා. නමුත් ඇත්තටම අපි දකිනවා ඒ තත්ත්ව යම් මට්ටමකට පාලනය කිරීමෙන් යහපත් ප්‍රතිඵල පෙනෙන ආකාරය. වැඩිහිටියන්ට සිඟමන් දෙනවට වඩා අපේ සමාජය තුළ දරුවන්ට සිඟමන් දෙන ප්‍රවණතාව වැඩියි. කතරගම පෙරහර කාලයට තිස්සමහාරාම පැත්තෙනුත් යාචක වෘත්තියේ යෙදෙන්න දරුවන් එනවා. ඒ වකවානුවල පාසල්වල පැමිණීම ගත්තොත් ඉතාම අඩුයි. මේක අධ්‍යාපනික ක්‍රියාවලියකින්ම තමයි නිවැරදි කරන්න පුළුවන්. කතරගම දේවාලයේ අරමුදල්වලින් වත්මන් බස්නායක නිලමේවරයා අවට පාසල්වල තත්ත්වය දියුණු කරන්න යනවා. එය ඉතාම ධනාත්මක තත්ත්වයක්.
මහාචාර්යවරයා පවසන්නේ මේ දරුවන් නොව ළමා වැඩිහිටියන් බවට ඔහු ඇසුරු කරන සමාජය විසින් පත්කර ඇති බවය. ඔවුන් කතා කළ යුත්තේ හා නොකළ යුත්තේ කා සමඟ ද, හිඟා කෑමට පැමිණෙන බාධක මොනවාද යන්න මේ දරුවෝ නිසි වැටහීමක සිටින බව මහාචාර්යවරයා නිරීක්ෂණය කරයි. “ඔවුන් බොහොම සෙවිල්ලෙන් ඉන්නෙ කණ්ඩායමක් ලෙස. වැඩිදුර ප්‍රශ්න කරනකොට ඉතාම ඉක්මනින් ඉවත් වෙනවා. ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන අය ගැන දැනුම්වත්. මම දරුවකුගෙන් ප්‍රශ්න කරද්දි ඒ දරුවා මගෙන් ඇහුවා මහත්තයා අපිව අල්ලලා දීලා පරිවාසෙට ගෙනියන්න ද හදන්නෙ කියලා. වරෙල්ලා කියලා විසිල් එකක් ගහන් පැනලා දිවුවා. ඔහුත් එක්ක දරුවො ගණනාවක් දුවනවා දැක්කා. ඇත්තටම මේ වන විට පෙරට වඩා යම් මට්ටමක පාලනයක් තිබුණත් එය ප්‍රමාණවත් නෑ. මේ තත්ත්වය පාලනය කරන්න බැරි නිශ්චිත වැඩපිළිවෙළක්, වගකීම් දරන ආයතනවලට නිසි වුවමනාවක් හෝ ඒ නිලධාරීන්ගේ වගකීම් රකින්න සූදානම් නැති නිසා.
යාචක දරුවන් සම්බන්ධව හැම අවස්ථාවකම දකින දේම නෙමෙයි යථාර්ථය. සමහර ළමයින්ගේ මවුපියන් ඇත්තටම රෝගීන්. මවුපියන්ව නඩත්තු කරන්න හිඟා කන එවැනි දරුවො ඉන්නවා ගෝතමි පුර වගේ ගම්මානවල. ඉගෙන ගන්න කැමති දරුවො ඉන්නවා. මේක මහා ජාවාරමක් කියලා මතුපිටින් ලේබලයක් ගැහුවට ජීවත් වෙන්න විදිහක් නැති බිඳ වැටුණු ආර්ථිකයක දැවැන්ත ගොදුරු වූ සමාජ ඛේදවාචකයක් මේ සිදුවීම් පෙළ අතර හඳුනා ගත හැකියි…” මහාචාර්යවරයා පැවසුවේය.
•වගකීම තේරුම් ගත් මිනිස්සු
මේ අතර ඉතිහාසයේ මුල් වරට කතරගම සමාජය වෙනුවෙන් කතරගම දේවාලයේ සමාජ වගකීම ප්‍රායෝගික කිරීමේ ප්‍රශංසනීය වැඩපිළිවෙළක් කතරගම බස්නායක නිළමේ ඩිශාන් ගුණසේකරගේ මූලිකත්වයෙන් දියත් වී තිබේ. මේ යාචක දරුවන්ට රැකවරණය සපයමින්, ඔවුන්ට අධ්‍යාපනය හා ආහාරපාන ලැබීම සහතික කරමින්, වෘත්තීය පුහුණුව සහිත විදේශ රැකියා වෙළෙඳපොළට සුදුසු ශ්‍රමිකයෙක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් කතරගම දේවාලයේ අරමුදල් යොදවා බස්නායක නිලමේවරයා විසින් ක්‍රියාත්මක කර ඇත. පාසල් හැරවිත් ත්‍රිරෝද රථයක් හයර් කිරීම හැර වෙනත් විකල්පයක් නොදත් කතරගම දරුවන් වෙනුවෙන් කොරියන්, ජපන් භාෂා පාඨමාලා සංවිධාන කිරීම, විධිමත් අධ්‍යාපනයකට අවස්ථාව සැදීම, ඔවුන් වෙනුවෙන් අංගසම්පූර්ණ රැකවරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම මේ වැඩපිළිවෙළ වේ.
“මා ධුරයට පත්වන මුල් කාලයේ දී යාචක වෘත්තියේ නියැළුණු දරුවො, මවුපියො ගොඩක් හිටියා. ඔවුන් පාලනය කිරීමේ වගකීම පොලිසියට, ළමා හා කාන්තා කාර්යාංශයට, පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව කරාවි. දේවාලය පැත්තෙන් මේ ප්රශ්නය දෙස බලන්නේ ඉතාම මානුෂිකව. මෙයට වගකිවයුතු පුරවැසියන් විදිහටයි උත්තර හොයන්න ඕන. දැන් වෙනකොට ඕනෑම දරුවකුට ඇවිත් හදාරන්න පුළුවන් පරිගණක පන්ති තිබෙනවා. දැනට කතරගම ප්‍රදේශයේ අංගසම්පූර්ණ ළමා නිවාස දෙකක් හදාගෙන යනවා. අසරණ පවුල්වල දරුවන්ව පාසල් යවලා ගොඩනැඟීමේ වගකීම ගන්න. මේ ගම්මානවලින් සිඟමනට එන අම්මලා දරුවො ගැන මම පෞද්ගලිකව හොයා බලා තිබෙනවා. ඇත්තටම මේ ජීවිත බොහොමයක් ඛේදවාචක. ජීවත් වෙන්න විකල්ප අඩු මිනිස්සු. එ් ගැටලුවේ ඇතුළට යනකොට අපට පේනවා අපේ කොටසකුත් මේ ප්‍රශ්න නිර්මාණය වෙන්න තිබෙනවා නේද කියලා. අන්න ඒ පුද්ගල වගකීම සමාජයෙ හැමෝම තේරුම් ගන්නවා නම් අපට මේ ප්‍රශ්න බොහොමයක් නෑ.”
ඔහු කියනු අසා සිටියෙමි. මට මා අබියසට පැමිණ සිඟමන් ඉල්ලූ කේඬැරි නොදරුවාගේ වියළි දෑස් සිහි වේ. ඒ දෑස් අතර මා ද මඟ හැරී ගිය මගේ සමාජ වගකීමේ කොටස සොයමින් හිඳිමි.
ඡායාරූප – කේ.ඩි. දේවප්‍රිය
ටානියා මෝසස්