– ගෙදරට හොරෙන් උසස් පෙළ ගණිත අංශයේ ඉගෙන ගත්තා. වෛද්‍යවරයෙක් වුණේ තාත්තගෙ කැමැත්තට
– දවස් 5ට සංකීර්ණ සැත්කම් 11ක්
– එංගලන්තයේදී කළ සැත්කම් සංඛ්‍යාව හත්දාහක්
– සැත්කම් කරන හැටි ඉගැන්වීමෙන් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා
වලස්මුල්ල හොරේවල, සාමය නිෙවසේ පදිංචි ආර්. කේ. ජීවානන්ද සහ ශ්‍යාමලි නිර්මලා කරුණාතිලක යුවතිපතීහු සිය ආදරණීය කැදැල්ලට එකතු වීමට සිටින අලුත් අමුත්තා පිළිබඳ සුවහසක් සිහින දුටුවහ. පවුලේ වැඩිමහල් දරුවා වූ සත් හැවිරිදි යෙනුල් දුලනෙත් පුතු ද බලාගෙන සිටියේ තමාගේ තනියට අම්මා ගේනවා යැයි කී මල්ලි එනතුරුය. ඒ සියලු බලාපොරොත්තු මැද 2019.11. 22 වැනිදා ශ්‍යාමලී වලස්මුල්ල මහ රෝහලේදී සිය දෙවැනි දරුවාට උපත දුන්නාය. බැලූ බැල්මට කිසිදු අඩුපාඩුවක් නැතිව උපන් කිරිකැටි බිලිඳා ළයෙහි හොවාගෙන ශ්‍යාමලි සැනසුම් සුසුම් හෙළුවද ඒ සතුට, සැනසුම තිබුණේ පැය කිහිපයක් යනතුරු පමණි. බිලිඳා උණ තත්ත්වයෙන් පෙළෙන්නට වූ අතර මුත්‍රා පිටවීම ද අසාමාන්‍ය ලෙස අඩු බව පෙනෙන්නට විය.
“බබාගේ මුත්‍රා මාර්ගයේ අවහිරවීමක්” ලහිලහියේ සිදු කෙරුණු මූලික වෛද්‍ය පරීක්ෂණවලින් කියැවුණේ එවැන්නකි. මාතර මහ රෝහලට මාරු කරනු ලැබූ බිලිඳාගේ තත්ත්වය නරක අතට හැරෙන බවක් දැනෙද්දී ශ්‍යාමලීත් සැමියාත් සිය කැමැත්තට දරුවා එම රෝහලෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන ආහ.
“එතකොට බබාට දවස් 19යි. පුතාව මුලින්ම 4 වාට්ටුවටත් එතැනින් 1 1 වාට්ටුවටත් මාරු කළා. ඒ වාට්ටුව භාරව හිටිය ඩොක්ටර් ආනන්ද ළමාහේවා. එහිදී කළ පරීක්ෂණවලින් හෙළි වුණේ පුතාගේ මුත්‍රා මාර්ගය පුරුෂ ලිංගය ඇතුළෙන් එන්නෙ නැතුව ගුද මාර්ගයට ගමන් කරනවා කියලා. ඒ තත්ත්වය නිවැරැදි කරන්න සංකීර්ණ සැත්කම් 3ක් කළ යුතු බව වෛද්‍යවරුන් පැවසුවා. බඩේ පහළ හරියෙන් සිදුරක් හදලා මුත්‍රා පිටවෙන්න සලස්වලා සැත්කම් කරන තුරු වකුගඩු පරිස්සම් කර ගැනීමට තීරණය වුණා.”
එලෙස ටික දිනක් ගතවූ අතර බිලිඳු පිනිඳු ප්‍රභාෂ්වරට කළ යුතු ඉතා සංකීර්ණ සැත්කම සිදු කිරීමට මෙරට ප්‍රමාණවත් පහසුකම් නොමැති බැවින් ඉන්දියාවේ ඇපලෝ රෝහල ඒ සඳහා නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට සිදුවිය. ඒ පිළිබඳ ඇපලෝ රෝහලෙන් කළ විමසීමේදී දැනගැනීමට ලැබෙන්නේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ 53ක් ඇතුළුව රෝහල් ගාස්තු සහ සෙසු වියදම් සමඟ ලක්ෂ 80ක් පමණ වැය විය හැකි බවය. වෘත්තියෙන් සංගීත ගුරුවරියක වන ශ්‍යාමලි වීදිකන්ද කනිටු විදුහලේ සේවය කරමින් සිටි අතර, සැමියා ජීවානන්ද ව්‍යාපාරිකයෙකි. විශාල ආදායමක් හෝ තැන්පත් ධනයක් නොවූවද කෙසේ හෝ මුදල් සොයා දරුවාගේ සැත්කම කර ගැනීමට ඔවුහු අදිටන් කරගත්හ.
“ඒක හරි අමාරු කාලයක්. කොවිඩ් කාලේ නිසා අපිට එළියට බහින්නවත් බැරි වුණා. මම ඉගෙන ගත් වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ මිතුරු මිතුරියන් ඔන්ලයින් ප්‍රසංග පවත්වලා අපිට ලක්ෂ 25ක පමණ මුදලක් එකතු කර දුන්නා. ගමේ හැමෝමත් උදවු කළා. ඒ සේරම එක්ක ලක්ෂ 37ක පමණ මුදලක් එකතු වුණා. ඒ අතරේ ළමා රෝහලේ ඩොක්ටර් ආනන්ද ළමාහේවාගේ උපදෙස් මත ඩොක්ටර් අෂාන්ත දිගින් දිගටම පුතා ගැන අවධානය යොමු කරමින් සැත්කම සඳහා සූදානම් කරමින් හිටියා.”
ඒ අතර පිනිඳුගේ පවුලේ හිතවතකු වන රත්නපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චමිල සුබසිංහ එංගලන්තයේ මැන්චෙස්ටර් ළමා රෝහලේ සේවය කරන ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන අමිල ඩී. සිල්වාට පිනිඳු පුතුගේ වෛද්‍ය වාර්තා සියල්ල යොමු කරන්නේ ඒ පිළිබඳ වැඩිදුරටත් විමසා බැලීමේ අරමුණිනි. එතැන් සිට සිදුවූ සියල්ල ආශ්චර්යයක් තරම් විස්මිත බව පිනිඳු පුතුගේ මව, ශ්‍යාමලි කරුණාතිලක අප සමඟ පැවසුවාය.
“ඩොක්ටර් අමිල බබාගේ රිපෝට්ස් පෙන්නලා තිබුණේ ඒ රෝහලේ සේවය කළ ළමා රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු වන සුපුල් හෙන්නායකට. එතුමා අපේ බබාගේ සැත්කම කරන්න ලංකාවට එන්න කැමති වුණා කිවුවම අපිට විශ්වාස කරන්නත් බැරිවුණා. 2022 දෙසැම්බර් 29 වැනිදා හෙන්නායක සර් එතුමාගේ වියදමින්ම ලංකාවට ආවේ සැත්කමට අවශ්‍ය ශල්‍ය උපකරණ පවා අරගෙනයි. එතුමා පුතාගේ පළමු සැත්කම කරලා ඊළඟ සැත්කම සඳහා දරුවා සූදානම් කරන්න ඩොක්ටර් අෂාන්තට උපදෙස් දීලා ගියා. ඒ කිවුව විදිහටම ඩොක්ටර් අෂාන්ත නිතර නිතර පුතාව පරීක්ෂා කරමින් අවශ්‍ය දේවල් කරමින් පුතාව සැත්කම සඳහා සූදානම් කළා. මේ අවුරුද්දේ ජනවාරි මාසයේ හෙන්නායක සර්ගෙන් මට පණිවිඩයක් ලැබුණා, මේ මාර්තුවල එතුමාට පොඩි විවේකයක් ලැබෙනවා, පිනිඳු පුතා වෙනුවෙන් ලංකාවට එන්න පුළුවන් කියලා. මට අදහගන්න බැරි වුණා. ඒ තරම් කාර්යබහුල දක්ෂ වෛද්‍යවරයෙක් අපේ පුතාගේ සැත්කම වෙනුවෙන්ම ලංකාවට එනවා කියන එක ඇත්තටම හාස්කමක් වගේ දෙයක්. ඩොක්ටර් හෙන්නායක කියන්නේ මිහිපිට දැකපු දෙවි කෙනෙක්. අපේ දරුපැටියා සුව කළ එතුමාට ජාති ජාතිත් අපි ණය ගැතියි. ළමා රෝහලට එද්දි පුතාට වයස දවස් 19යි. දැන් පුතාට අවුරුදු 4යි මාස 3ක්. මේ දක්වා ළමා රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යතුමාගේ සිට සුළු සේවකයා දක්වා රෝහල් කාර්ය මණ්ඩලයෙන් පුදුමාකාර සහයෝගයක් ලැබුණා. ඒ හැමෝටම අපි පින් දෙනවා.”
පිනිඳු ප්‍රභාෂ්වර සිඟිති පුතුගේ සැත්කම වෙනුවෙන්ම විශේෂඥ වෛද්‍ය සුපුල් හෙන්නායක මවුබිමට පැමිණියේ ඉකුත් මාර්තු 14 වැනිදා අලුයම 3.30ටය. එදින උදෑසන 8 වන විට ඔහු රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ගොස් පිනිඳුගේ සැත්කමට සූදානම් විය. පැය 3ක පමණ කාලයක් ගතවූ ඉතා සංකීර්ණ සහ සූක්ෂ්ම එම සැත්කමින් පසු ඉකුත් 19 වැනිදා සවස දක්වා ඔහු (සෙනසුරාදා, ඉරිදා දෙදින හැර) දිනකට 2 බැගින් සැත්කම් 11ක් සිදු කළේය. එම සැත්කම් සියල්ල මුත්‍රා මාර්ගය, කහල මාර්ගය සහ ජනනේන්ද්‍රිය සම්බන්ධ අසමාන්‍යතා නිවැරැදි කිරීම වෙනුවෙන් සිදු කළ ඉතා බරපතළ සහ සූක්ෂ්ම සැත්කම්ය. විශේෂඥ වෛද්‍ය සුපුල් හෙන්නායක ඒ සියලු සැත්කම් සිදු කළේ මේ වන විට මෙරට සිටින ළමා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සියලු දෙනා එහි කැඳවා එම සැත්කම් පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායික පුහුණුව ද ලබාදෙමිනි. ශ්‍රී ලංකා ළමා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද ළමාහේවා විසින් එම අවස්ථාව සංවිධානය කර තිබූ අතර, ඔහු පැවසුවේ මුත්‍රා මාර්ගය, කහල මාර්ගය සහ ජනේන්ද්‍රීය සැත්කම් සම්බන්ධයෙන් අති විශේෂ විශේෂඥ දැනුමක් සහ පළපුරුද්දක් සහිත වෛද්‍ය සුපුල් හෙන්නායක ලබා දුන් එම දැනුම සහ පුහුණුව මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයට දිගුකාලීනව ප්‍රයෝජනවත් වන බවය. එම සැත්කම් සඳහා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරියගෙන් විශාල සහයෝගයක් ලැබුණු බව ද ඔහු පැවසීය.
ඒ අද්විතීය ඉසිවරයා, ළමා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුපුල් හෙන්නායක අප හමු වූයේ දින කිහිපයක් එකදිගට වෙහෙසී පසුදින අලුයම නැවත එංගලන්තය බලා යෑමට සූදානමින් සිටි රාත්‍රියේදීය. ළමා රෝග ශල්‍ය වෛද්‍යවරයකු ලෙස වසර 34ක් ඇතුළුව වෛද්‍යවරයකු ලෙස මේ වන විට දශක හතරක කාලයක් සපුරා ඇති වෛද්‍ය හෙන්නායක අතිවිශේෂ සැත්කම් පිළිබඳ ප්‍රවීණයකු වීම දක්වා ආ ගමන ගැන අපි ඔහුගෙන් විමසුවෙමු.
“ලංකාවේ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම අවසන් කර 1993දී මම සැත්කම් සඳහා ලෝක ප්‍රසිද්ධ Great Ormond රෝහලට ගොස් ළමා සැත්කම් පිළිබඳ වැඩිදුර හැදෑරුවා. ඒ කාලේ ලංකාවේ ළමා රෝග ශල්‍ය වෛද්‍යවරු ඉතා අඩුයි. ළමා රෝහලේ හිටියෙත් එක ශල්‍ය වෛද්‍යවරයෙක් පමණයි. මම සැත්කම් විෂයය තෝරගන්න හේතුව එයයි. මුලින්ම මම සර්වාංග ළමා රෝග ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ බෙල්ල, අත් පා ඇදවීම වැනි ආබාධ ගැන ඉගෙන ගත්තා. වසරක් පමණ එංගලන්තයේ රෝහලක සේවය කර ලංකාවට ඇවිත් 1994 සිට 2001 දක්වා ළමා රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍යවරයෙක් විදිහට රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩ කළා. නිර්වින්දන වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩිදුර හැදෑරීම් සඳහා මගේ බිරිය 2002දී එංගලන්තයේ Manchester Royal රෝහලට ගියා. ඒ අනුව මමත් එම රෝහලට ගොස් මුත්‍රා මාර්ගය, කහල මාර්ගය සහ ජනනේන්ද්‍රියේ සැත්කම් සම්බන්ධයෙන් විශේෂයෙන් ඉගෙන ගත්තා. 2002දී මට එම රෝහලේ වෛද්‍ය උපදේශක තනතුරක් ලැබුණා. එතැන් සිට මම සිදු කළේ ඒ සම්බන්ධ සැත්කම්. මේ වන විට මම රෝහලෙන් විශ්‍රාම ලබා පූර්ණකාලීනව සැත්කම් පිළිබඳ ශල්‍ය වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සිසුන්ට වැඩිදුර ඉගැන්වීම සිදු කරන අතර මෙවැනි සංකීර්ණ සැත්කම්වලට පමණක් සම්බන්ධ වෙනවා.”
එංගලන්තයේ වාර්තා අනුව වෛද්‍ය සුපුල් එවැනි සැත්කම් හත් දහසකට අධික සංඛ්‍යාවක් සිදු කර ඇත. එවැනි සැත්කම් පිළිබඳ ඔහු මෙසේ පැහැදිලි කළේය.
“ගලනාලයේ ප්‍රශ්න සහිතව උපදින දරුවන් පිටින් බැලුවාම සාමාන්‍යයි. නමුත් දරුවට කෙළ ගිලින්න බැහැ. හුස්ම ගන්න මාර්ගයට කෙළ ගිහින් පෙණහලු නරක් වෙනවා. ඒ වගේම කිරි වමනෙ යනවා. කිරි ඉස්මොලේ යනවා. ඒ වගේම දරුවට මුත්‍රා පිටවෙන්නෙ නෑ. ඒ තත්ත්වයෙන් දරුවට දවසකට දෙකකට වඩා ජීවත් වෙන්න බැහැ. ඇඟ වේළෙනවා. සැත්කම් කළත් නිව්මෝනියාව හැදෙනවා. එහෙම වෙලා පැය 6ක් ගතවුණත් පෙණහලුවලට වෙන හානිය වැඩියි. මේ සැත්කම් කරන්න පුරුදු වෙන කාලේ සාර්ථක වුණා අඩුයි. නමුත් මම ඉතා ඉක්මනින් සාර්ථකව සැත්කම් කරන්න ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් ගලනාලයේ අසාමාන්‍ය පිහිටීම් සහිත දරුවො හමුවන්නේ දහ දාහකට එක් කෙනෙක් වගේ. සමහර පිරිමි දරුවන් උපදිනවා ශිෂ්ණය වක්‍ර වෙලා. ඒ නිසා සිටගෙන මුත්‍රා කරන්න අපහසුයි. ඒ වගේ තත්ත්වයකදි දරුවගේ නැමුණු ශිශ්නය ඍජු කරලා මුත්‍රා මාර්ගය ඇතුළට දාන්න පමණක් සැත්කම් කරල මදි. දරුවා වැඩුණු මිනිසෙක් විදිහට ලිංගික සබඳතා පවත්වද්දි ශුකාණු පිටතට විදීමක් සිදුවන ආකාරයට හරියටම සකස් නොකළොත් ශුකානු පිට නොවන නිසා ලිංගික එක්වීමකදී දරු ගැබක් පිහිටන්නෙ නැහැ. මෙවැනි ආබාධ සහිත දරුවන් තුන් සියයකට එකක් වගේ හමුවෙනවා. ඒ වගේම යෝනි මාර්ගයේ අසාමාන්‍ය පිහිටීම් සහිත ගැහැනු දරුවනුත් මට හමුවෙලා තියෙනවා. මෙවැනි ඉතා සංකීර්ණ සහ සූක්ෂ්ම සැත්කම් දරුවාට වයස අවුරුද්ද පසුවීමට පෙර සිදු කිරීම වඩා සුදුසු බවයි මගේ හැඟීම.”
පිනිඳු පුතුගේ විස්මිත සැත්කම සිදු කළ ආකාරය වෛද්‍ය සුපුල් විසින් පැහැදිලි කළේ මෙලෙසිනි.
“පිනිඳු බබාගේ මුත්‍රා මාර්ගය පුරුෂ ලිංගය ඇතුළෙන් යන්නෙ නැතිව ගුද මාර්ගයට ගිහින් තිබුණා. ඒ වගේම මුත්‍රා මාර්ගය හිසකෙසක් තරමට පටුයි. මගේ සැලසුම තිබුණේ පළමු සැත්කමෙන් අවුරුද්දක් ඇතුළත මුත්‍රා මාර්ගය ටිකින් ටික විශාල කිරීමයි. ඒ අනුව 2022 දෙසැම්බර් සිට මගේ උපදෙස් පරිදි ඩොක්ටර් අෂාන්ත දරුවාගේ මුත්‍රා මාර්ගය ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍ය තරමට පළල් කරනු ලැබුවා. මෙවර සැත්කමේදී කළේ ගුද මාර්ගයට ගොස් තිබූ මුත්‍රා මාර්ගය සම්පූර්ණයෙන්ම ගලවා අස්කර නිසි පරිදි සකස් කිරීමයි. සැත්කම සාර්ථකව සිදු වුණා වගේම මම බලාපොරොත්තු වෙනවා නැවත දරුවාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා.”
එවැනි සැත්කමක් කොතරම් සංකීර්ණ සහ සියුම් ද යන වග අමුතුවෙන් කිව යුතු නොවේ. එම නිසාම සංවේදී අවස්ථා රැසකින් වෛද්‍ය සුපුල්ගේ වෘත්තීය ජීවිතය පිරී ඇතිවාට සැක නැත.
“වෘත්තීය ජීවිතයේ හැම අවස්ථාවක්ම අතිශය සංකීර්ණ සහ සංවේදියි. විශේෂයෙන් කුඩා දරුවන් සම්බන්ධ මෙවැනි සැත්කම්වලදී මම වඩාත් සංවේදී වෙනවා. පිනිඳු බබා වෙනුවෙන් මම මේ ගමන ආවෙත් ඒ නිසයි. සිදුවීම් දෙකක් ගැන විශේෂයෙන් කියන්න කැමතියි. 2017දී 20 වැනි වියේ පසුවූ අරවින්ද නැමැති තරුණයෙක් හිතවතකු මඟින් මට එංගලන්තයට ලිපියක් එවා තිබුණා. බිලිඳු වියේදී ගලනාලය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවකට මුහුණ දුන් ඔහුගේ ජීවිතය සැත්කමක් මඟින් බේරා දුන්නේ මා බව මවුපියන් පැවසූ බවත් ඒ වෙනුවෙන් මට ස්තුති කරන බවත් ඔහු ලියා තිබුණා. ඒ සිදුවීම මට සිහිපත් වුණේ ඔහුගේ ලිපිය දුටු පසුයි. ඒ වගේම ගලනාලය සම්බන්ධ ඉතා බරපතළ සැත්කමක් සිදු කර වරක් මම මගේ මිත්‍ර වෛද්‍යවරයකුගේ දරුවකුගේ ජීවිතයත් බේරා ගත්තා. එංගලන්තයේ සිට ලංකාවට පැමිණි අවස්ථාවකදී වෛද්‍ය මිතුරන් හමුවූ විටෙකදී එම සැත්කම පිළිබඳ මා ඔවුන්ට පැවසීමට උත්සාහ කරද්දී මගේ මිතුරු වෛද්‍යවරයා එය නොකියන ලෙස පැවසුවා. ඒ ගැන විමසූ විට ඔහු පැවසුවේ ඒ සැත්කමෙන් පසු සිය දියණියට කිසිදු ප්‍රශ්නයක් මතු නොවූ නිසා එවැනි සැත්කමක් කළ බව දැනගතහොත් දියණිය මානසික පසුබෑමකට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳ කිසිවක්ම දියණියට නොකී බවයි. ඒ වන විට දියණිය තරුණියක්. ඒ අසා මම මවිතයට පත්වුණා. අරවින්ද නමැති තරුණයාගේ මවුපියන් බොහොම සාමාන්‍ය අය වුවත් ඔවුන්ට සැත්කම ගැන සිය දරුවා දැනුම්වත් කරන්නට තරම් පුළුල් අවබෝධයක් තිබුණත් වෛද්‍යවරුන් වූ මගේ මිතුරාත් ඔහුගේ බිරියත් දිවි ඇතිතුරු ඒ ගැන සිය දියණියගෙන් වසන් කර තැබීමට තීරණය කිරීම මට විස්මයක්. නමුත් ඔවුන් ගැන මගේ කිසිම අහිතක් නැහැ. අදටත් අපි හොඳ මිතුරන්. ඒ වගේම පිනිඳු බබාගේ මවුපියන් සිය දරුවා සුව කරගන්න දැක්වූ කැපවීම ගැනත් විශේෂයෙන් මතක් කළ යුතුයි.”
1961 දෙසැම්බර් 18 වැනිදා දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක තෙවැන්නා ලෙස බදුල්ලේදී උපන් සුපුල් හෙන්නායක බදුල්ල ධර්මදූත විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය සහ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. ජ්‍යෙෂ්ඨ ඡායාරූප මාධ්‍යවේදී ප්‍රසන්න හෙන්නායක වෛද්‍ය සුපුල්ගේ වැඩිමහල් සහෝදරයාය. වෛද්‍ය සුපුල්ගේ බිරිය දයාමාලි ද නිර්වින්දන වෛද්‍යවරියකි. ඔවුන්ගේ වැඩිමහල් දියණිය මලිති (34) ඉංජිනේරුවරියක වන අතර බාල දියණිය දිනිති (31) වෛද්‍යවරියකි.
“පාසල් කාලේ මගෙ අයියලා දෙන්න ගණිත අංශයට ඉතාම දක්ෂයි. මටත් ඕන වුණේ ගණිත අංශයෙන්ම ඉහළට යන්න. ඒත් මගෙ තාත්තා හැමදාම කිව්වේ පුතා නම් වෛද්‍ය වෘත්තියට යන්න ඕනෙ කියලා. ඒත් ගණිත අංශයට තිබුණු ආශාව නිසාම මම තාත්තට හොරෙන් උසස්පෙළට ගණිත අංශය තෝරා ගත්තා. ඒ කාලේ තාත්තා ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයේ විදුහල්පති නිසා අපේ පාසලේ විදුහල්පතිතුමත් තාත්තගෙ මිතුරෙක්. මාස තුනක් විතර ගියාට පස්සේ දවසක තාත්තා අපේ පාසලට ඇවිත් ජීව විද්‍යා අංශයේ පන්තිවල මාව හොයලා මම ඒ පන්තියේ නැති බව දැනගෙන. එදා අපේ ප්‍රින්සිපල් සර් මගෙ අතින් අල්ලගෙන එක්කගෙන ඇවිත් ජීව විද්‍යා පන්තියේ වාඩි කළා. මේ තරම් දුර ආවේ එදා එහෙම පටන් ගත්ත ගමනයි. මගේ මවත් ගුරුවරියක්. තාත්තගේ පියා සිංහල ආයුර්වේද වෛද්‍යවරයෙක්. උසස් පෙළ විභාග ලියලා ප්‍රතිඵල එන්නත් කලින් මම ගුවන් නියමුවකු ලෙස බැඳෙන්න ඉල්ලුම් පත්‍රයක් යැව්වා. ඒත් මම ඒකෙන් සමත් වුණේ නැහැ. මේ පාර ප්ලේන් එකේ ලංකාවට එද්දිත් මම කල්පනා කළා, පයිලට් කෙනෙක් නොවී ඩොක්ටර් කෙනෙක් වුණ එක කොච්චර හොඳද කියලා” වෛද්‍ය සුපුල් හෙන්නායක පැවසුවේ සිනාසෙමිනි. අතිවිශේෂ සංකීර්ණ සැත්කම් පිළිබඳ ලොවම පිළිගත් සුපිරි විශිෂ්ටයකු වුවද ඔහු ජීවිතය සරලව විඳින, නිහතමානී ළතෙත් හදැති මිනිසෙකි.
“මම හැමෝටම කියන්නේ රැකියාව තමන්ගෙ විනෝදාංශය කරගන්න කියලයි. සංකීර්ණ සැත්කම් කිරීමෙන් සහ ඒවා කරන හැටි ඉගැන්වීමෙන් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා. මෙතෙක් කළ සියලු සංකීර්ණ සැත්කම් ගැන මම සවිස්තරාත්මකව පොතක ලියා තිබෙනවා. ඉදිරියේදී වෛද්‍යවරුන් සඳහා ග්‍රන්ථයක් ලෙස එය ප්‍රකාශයට පත් කිරීමට වගේම මගේ අත්දැකීම් ඇතුළත් පොතක් ලියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ශ්‍රී ලංකා ළමා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද ළමාහේවා මට කිවුවා වසරකට වරක්වත් ලංකාවට ඇවිත් මෙවැනි සංකීර්ණ සැත්කම් සඳහා උදවු වෙන්න කියලා. මම කැමතියි මගේ රටට ඒ සේවය ලබා දෙන්න. ඒ වගේම අපේ රටේ මෙවැනි සැත්කම් කරන්න අවශ්‍ය පහසුකම්, ශල්‍ය උපකරණ සහ උපාංග ඉතාම අඩුයි. ඒ නිසා අපේ රටේ දරුවන්ගේ සැත්කම්වලට පහසු වන එවැනි දේවල් ලබා දීමට කවුරු හෝ ඉදිරිපත් වෙනවා නම් එය විශාල පුණ්‍යකර්මයක් බව මගේ අදහසයි”
ඡායාරූප- රුක්මල් ගමගේ
සුරේකා නිල්මිණි ඉලංකෝන්