Home » කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය

by Mahesh Lakehouse
March 30, 2024 12:29 am 0 comment

නතා විමුක්ති පෙරමුණේ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත ප්‍රධාන දේශකයා ලෙස කටයුතු කරන සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැදගත් රූපවාහිනී නාළිකාවකට ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් හිතාමතා ඕනෑකමින්, වගකීමකින් කළ ප්‍රකාශන කිසිසේත් ලඝුකොට තැකිය නොහැකි නිසා මෙවර කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ පහත ප්‍රකාශ හා පදනම්ව සිදු කෙරේ.

‘අයි එම් එෆ් එකේ සාමාජික රටක් හැටියට අපිට හුදෙකලාව ඒක පාර්ශ්විකව කටයුතු කළ නොහැකියි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට තාක්ෂණික පහසුකම් සහාය පමණක් ලබා ගැනීමට කටයුතු කළා නම් එය වඩාත් සුදුසුයි. තාක්ෂණික සහාය ලබා ගැනීමට අමතරව විස්තීරණ ණය පහසුකම් වගේම විශ්වාසය ගොඩනඟා ගැනීමට ඔවුන් හරහා වේදිකාවක් තනා ගැනීමත් කරන්න තිබුණා.

නමුත් රජය කටයුතු කර ඇත්තේ විස්තීරණ ණය පහසුකම් ලබා ගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමටයි.

එහෙත් අපි බලයට ආවොත් අපි අයි.එම්.එෆ්. එකට කියනවා අපට තියෙන්නෙ වෙන ජනවරමක්, ඒ නිසා අපත් සමඟ මේ සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කරන්න කියලා.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන යළි සලකා බැලීමට අවශ්‍යයි කියලා.

එහිදී ඇතැම් විට ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී දැනට එකඟ වී ඇති පොලිය අඩු කිරීම, නැත්නම් ණය ආපසු ගෙවීමට ගිවිසුගත් කාලය යළි දීර්ඝ කරවා ගැනීම, එසේත් නැත්නම් අපේ ආර්ථිකය යම් ස්ථාවරත්වයක් කරා යනතෙක් අපට තවත් කාලය ලබා දීම වැනි සුදුසු ඉල්ලීමක් කරන්න පුළුවන්.

ඒ වගේම අප ලබා ගත් ණය අතර විශේෂයෙන්ම ජාත්‍යන්තර බැඳුම්කරයන්ට ගෙවන්නේ ඉහළ පොලී අනුපාතයක්. එසේ ඉහළ පොලියක් අපෙන් ලබා ගන්නේ එම ණයහිමියා අදාළ ණයට අවදානමක් ඇති බව දන්නා නිසයි. එම අවදානම සම්බන්ධයෙන් අප අභියෝග කළ යුතුයි.‘

සුනිල් හඳුන්නෙත්ති මහතා අකමැත්තෙන් වුවත් පිළිගත යුතු ලෝක සත්‍යයක් වන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු විනාශ වූ ලෝකය යළි ගොඩගන්නේ කෙසේ දැයි මහා ආර්ථික විශේෂඥයන් අතර සංවාදයක් ඇතිවීමෙන් පසු බ්‍රෙට්න් වුඩ්ස් සම්මේලනය පවත්වා එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන ආයතන දෙක බිහිවූ බවයි. මේ ආයතන දෙකෙහිම ලෝක ආර්ථික විද්වතුන් සකස් කළ දර්ශනයක්, ව්‍යවස්ථා මාලාවක්, සංවිධාන ව්‍යුහයක්, පරිපාලන ව්‍යුහයක්, මෙහෙයුම් ව්‍යුහයක් පවතී.

එකී මූල්‍ය අරමුදලේ ව්‍යවස්ථාවන් අකුරකින් හෝ දශමයකින් හෝ වෙනස් කරන්නේ නම් මුළු ලෝකය පුරාම සිටින සාමාජික රටවලට දන්වා ඔවුන් ගෙන්වා සමුළුවක් පවත්වා ඡන්ද විමසීම් කොට, ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතුයි. ඒ නිසා හඳුන්නෙත්ති මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය වන්නේ තාක්ෂණික සහයෝගයක් ද විස්තීර්ණ ණය පහසුකමක් ද, විශේෂ ඇරගැනුම් අයිතිවාසිකමක් ද යන්න ඉල්ලා සිටීමට හැකියාවක් ආණ්ඩු බලය ලබා ගත්ත ද තිබේද යන්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබන්නේ පුද්ගලයන් නොව රටවල්ය. මූල්‍ය අරමුදලේ සාමාජික රට ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගෙවීම් තුලනය සඳහා වන ගිණුම් පවත්වාගෙන යාම නිත්‍ය නියෝජිත කාර්යාල පවත්වාගෙන යාම ජාත්‍යන්තර ගෙවීම් පියවීමේ පද්ධති පිළිබඳ අනුගමනය කළ යුතු නීති රීති රෙගුලාසි කොන්දේසි නියම කරන්නේ මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීන්දු අනුවය. ඒ නිසා තමයි ඉකුත් සතිවල මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් ශ්‍රී ලංකාවට පැමිණ අදාළ රජයේ බලධාරීන් මුණ ගැසී සාකච්ඡා කොට කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණ එකී එකඟතා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කොට ඔවුන් පිටත්ව ගියේ ඒ යෝජනා මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කරන බව පවසමිනි.

විස්තීර්ණ ණය අරමුදලේ තුන්වෙනි ණය වාරිකය ලැබෙන්නේ එකී අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අනුවය.

හඳුන්නෙත්ති මහතා සඳහන් කරන පරිදි ආණ්ඩුවක් වෙනස් වී නව ජනවරමක් ලැබිලා… වැනි කතා ලෝකය හමුවේ ඔට්ටු නැත. ඒවා ‘වච්චල්‘ය. ඒවා ගමක වාසය කරන නූගත් ගැමියකුට නම් අපි බලයට ආවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ඔවුන්ගේ අත් කරකවා අපට අවශ්‍ය දේ කරගත හැකි බව ඔවුන්ට පැවසිය හැකිය.

ඒ නිසා දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ ඔප්පු කරමින් සිටින්නේ ඔවුන්ට කවර දිනකවත් රටක් එදිනෙදා ආණ්ඩු කිරීමට අවශ්‍ය කරන ප්‍රායෝගික දැනීමක් නොමැති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 16 වතාවක් ගිවිසුම් අත්සන් කොට මහජන උද්ඝෝෂණ නිසා හෝ දේශපාලන හේතූන් නිසා හෝ ඒවා අත්හැර දැමූ හෝ කඩා බිඳ දැමූ හෝ බව ඇත්තය.

නමුත් ඒ 16 වතාවේදීම ආණ්ඩුව කඩාවැටුණේ නැත. ආණ්ඩුව කඩා නොවැටුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අත්හැරියත්, මුදල් අච්චු ගැසීමේ හැකියාව රජයට තිබුණු නිසාය. මූල්‍ය අරමුදලේ කොන්දේසි නියමයන්ට පයින් ගසා සියලු අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා දිගින් දිගටමට මහ බැංකුව ලවා මුදල් තොග වශයෙන් අච්චු ගසන ලදි. මේ බව නිවැරැදිව අධ්‍යයනය කොට තිබුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මෙවර ප්‍රථමයෙන්ම කළේ මහ බැංකු ස්වාධීන කරන ලෙස බල කර සිටීමත් සල්ලි අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත්ය.

ඒ නිසා 16 වතාවත් ගිවිසුම කඩා දැමුවත් 17 වෙනි වතාවේ IMF ගිවිසුම කඩා ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකිය. එවිට හඳුන්නෙත්තිලාට අපි ආණ්ඩුව ගත්ත ගමන් මහ බැංකු පනත සංශෝධනය කර නැවත සල්ලි අච්චු ගහන්න කටයුතු කරනව කියල ඔවුන්ගේ පාක්ෂිකයන්ට පැවසිය හැකිය. එය නම් පිළිතුර ඒ ආණ්ඩුව පවතින්නේ දින දෙකක් පමණය. මක්නිසාද යත් ජාත්‍යන්තර ගෙවීම් පියවීම සඳහා මානසික ආබාධයක් පවතින අය සමඟ ඔවුන් ගනුදෙනු නොකරන හෙයින් එනම් ඉහත කතා කියවූ විට ඔවුන් ලංකාව සමඟ ගනුදෙනු කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බැවිනි.

ඒ නිසා මේ රටේ මතු අනාගතයේ 2047 -2050 වන තෙක් කවුරු රටේ ජනාධිපති වුවත් කවුරුන් රට ආණ්ඩු කළත් කවුරුන් ආණ්ඩු කළත් අදාළ කොන්දේසි නියමයන් ස්ථිරව පවතිනු ඇත. එසේ වුවහොත් පමණයි රටේ උද්ධමනය තනි ඉලක්කමේ සංඛ්‍යාවක් ලෙස පවත්වා පවත්වා ගෙන යා හැක්කේ. විනිමය අනුපාතය දැඩි ලෙස අවප්‍රමාණය නොවී විනිමය ස්ථාවරත්වයක් ඇති කළ හැක්කේ, රට සතු ජාත්‍යන්තර සංචිත ඉහළ නංවාලිය හැක්කේ සහ ණය තිරසාර භාවය ඇති කළ හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඒ ආකාරයෙන්ම ඉටු කළහොත් පමණයි.

දැන් මෙතෙක් ණය ගෙවීම පිළිබඳ අවසාන ගිවිසුමට ලංකා ආණ්ඩුව අත්සන් තබා නැති නිසා මේ ණය සම්බන්ධයෙන් තමන් දරන මතය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණට ඉන්දියානු ආණ්ඩුවට, ජපන් ආණ්ඩුවට, චීන ආණ්ඩුවට, පැරිස් සමුළුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුවට තමන් නව ජනවරමකින් බලාපොරොත්තු වන දේ ලිඛිතව දන්වා යැවිය හැකිය. එවැනි පත්‍රිකාවක් සකස් කළහොත්, හෝ එහි පිටපතක් අපට ලැබෙන්නට සැලැස්වුවහොත් එය කෞටිල්‍යගේ ආර්ථික විග්‍රහය යටතේ එය අපට පළ කළ හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division