ඇය ශ්‍රියාවතීය. හැට හැවිරිදි වියේ පසුවන්නියක් වන ශ්‍රියාවතී පදිංචිව සිටින්නේ තඹුත්තේගම ගම්මැද්දේය. ගෙවිලියක් වන ඇයට දරුවන් දෙදෙනෙක් සිටින්නීය. එම දරුවන්ගෙන් බාලය තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඇති ගොඩනැඟිල්ලක සිය බිරිය සමඟ එක්ව සුළු ව්‍යාපාරයක නිරතව සිටිති. බාලපුතා කළමනාකරණ උපාධිධරයෙකි. ඔහු මේ වන විට සිටින්නේ එංගලන්තයේය.
ඉහළ පොලියක් ලබාදෙන බව තැන්පතු භාරගත් අනුරාධපුරයේ පිහිටි මූල්‍ය ආයතනයක අතේ ඇති මුදල් තැන්පත් කර ලොකු අමාරුවක ද වැටී සිටි ඇගේ එම බාල පුතා අන්තිමේදී එංගලන්තයට යන්නේ හැම දෙයක් ගැනම කලකිරීමකින් අනතුරුවය. ඒ යැයි කියා ඔහු සිය දෙමාපියන් ගැන එංගලන්තයේ සිට සොයා නොබලා සිටින්නේ නැත. වැඩි පොලියක් දෙන බව කියා තමන්ගෙන් මුදල් ලබාගත් ඒ මූල්‍ය ආයතනයට එරෙහිව ඔහු රටින් යන්නට පෙර පොලිස් පැමිණිල්ලක් දමා එම මූල්‍ය ආයතනයේ ප්‍රධානියාව පොලිසියට ද කොටුකර දුන්නේය. දැන් එහි නඩුව විභාග වෙමින් ඇත්තේ අනුරාධපුර උසාවියේය.
පසුගිය 21 වෙනිදා උදෑසනින්ම හොඳින් හැඳ පැලඳ මව නිවෙසින් එළියට බසින්නේ අනුරාධපුරය බලා යාමේ අපේක්ෂාව ඇතිවය. ඒ සිය පුතාට මුදල් වංචා කළ පුද්ගලයාට එරෙහිව අනුරාධපුර අධිකරණයේ නඩු විභාගය පැවැත්වෙන්නේ එදින වූ බැවින් අධිකරණයට හමුවට යාමය. ඇය ඒ යන විට පොඩි පුතා විසින් එංගලන්තයේ සිට එවන ලද නීතීඥවරයාට ගෙවිය යුතු රුපියල් 15,000ක මුදල ද අතේ වූ බෑගයේ දමා ගත්තාය. එයත් කිහිල්ලේ ගසාගත් ඇය නිවෙසින් එළියට බැස පාගමනින්ම ආවේ තඹුත්තේගම බස් නැවතුම්පොළටය. ඒ පැමිණි ඇය මඳ වේලාවක් රැඳී සිටින අතර ගල්ගමුව දෙස සිට ආ බස් රථයකට ඇය ගොඩවන විට වේලාව උදෑසන 8.00ට පමණ ඇත.
ඇය ගොඩවන්නේ කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබුණු පුද්ගලික මගී බස් රථයකටය. බස් රථයට ඇය ගොඩවූවාට එම රථය කොළඹ සිට පැමිණෙන එකක් බවට වූ නිච්චියක් ඇයට නැත. ඇය එම බස් රථයට ගොඩවන්නේ කොන්දොස්තර කොලුවා “අනුරාධපුරය නගින්න“ යැයි කියා කෑමොර දුන් නිසාය.
බස් රථයේ ඒ වන විට එතරම් මගීන් පිරිසක් රැඳී සිටියේ නැත. තඹුත්තේගම බස් නැවතුම්පොළින් දෙතුන් දෙනෙක් බස් රථයෙන් බැස ගත් පසු ඇය ඊට ගොඩවන්නේ පසුපස දොරිනි. පේළියක් දෙකක් ඉදිරියට ඇය ගමන් කරන විට ඇය දකින්නේ එක් ආසනයක් හිස්ව ඇති බවකි. ඇය එම ආසනයේ අසුන් ගන්නේ ජනේලය පැත්තේය. තඹුත්තේගම නගරය පසුකරන්නට පෙර අතර මගීන් තවත් කිහිප දෙනෙක් බස් රථයට ගොඩවන අයුරු ඇය දුටුවාය. ඒ අතර සිටි පුද්ගලයෙක් වේගයෙන් පැමිණ අසුන් ගන්නේ ඇය සිටි අසුනේමය. එහෙත් ඔහුට වැඩි දුරක් එම අසුනේ රැඳී සිටීමට ඉඩක් නොවීය. තලාව කිට්ටුවෙන් බස් රථයට ගොඩවූ තරුණ ගැබිනි මවකට එම අසුන ලබාදීමට ඔහුට සිදුවන බැවිනි. නිල්පැහැති බ්ලවුසයකින් සහ දිග කලිසමකින් සැරසී සිටි එම ගැබිනිය අවුරුදු 25ක් වයසක් නැති තරම්ය. ඇයත් සමඟම බස් රථයට තවත් ගැබිනියක් ගොඩවී සිටි අතර එම ගැබිනිය සිටියේ ඒ ආසන්නයේම තවත් අසුනකය. ඇය හැද සිටියේ ගුරුපැහැති ගවුමකි. ඇයත් පෙර ගැබිණියගේ වයසේ පසුවන්නියක් බව බැලූ බැල්මට ශ්‍රියාවතී දුටුවාය. මේ දෙදෙනා අතර තුන්වැන්නියක් ද සිටියාය. ඇය ද මෙම ගැබිනියන්ගේ වයස් හා සමාන පෙනුමැති තැනැත්තියක් වූවාය. ඇය හැඳ සිටියේ ටී බැනියමක් සහ සායකි.
මේ තුන්දෙනා බස් රථයේ තැන් තුනක සිටියත් ඉඟබිඟිවලින් මේ තිදෙනා අතර යම් අදහස් හුවමාරුවක් සිදුවන බව ශ්‍රියාලතා දුටුවාය. ඇයට එය එතරම් නොරිස්සූ බැවින් ඔවුන් තිදෙනා ගැන සිටියේ යම් අවධානයකිනි.
ඒ නිසාම ඇයට නොදැනීම ඇය බස් රථයෙන් බසින තැනට ළඟාවී සිටියාය. අනුරාධපුර ඉස්පිරිතාල හන්දියෙන් බැසීමට සූදානම්ව ශ්‍රියාලතා ආසනයෙන් නැඟිටිනවාත් සමඟ යාබද අසුනක සිටි ගැබිනිය ශ්‍රියාලතා සිටි යාබද අසුනේ සිටි ගැබිනියට දෙමළ භාෂාවෙන් යමක් කීවාය. එම භාෂාව දෙමළ වූවාට එය අණ්ඩර දෙමළයකි. අනුරාධපුර රෝහල ආසන්නයේ ඇති බස් නැවතුම්පොළින් බස් රථය නතර කරනු ලබන විට ශ්‍රියාලතා සිටින්නේ බස් රථයෙන් බැසිමට සූදානමින් පසුපස දොර අසලමය. මගීන් රොත්තක් එතැනින් බැසීමට නොසිටියත් දොර අසල ඒ මොහොතේ පැවතියේ අසාමාන්‍ය තදබදයකි. ගැබිනියන් දෙදෙනාගේ සහ ඔවුන් සමඟ සිටි කාන්තාව ශ්‍රියාලතාට බස් රථයෙන් බැසීමට නොහැකි වන ලෙස තෙරපෙන්නට ගත්තාය.
“බබාව තදවෙනවා“ ඒ අතර කාන්තාවක් කෑමොර දෙන හඬක් ද ශ්‍රියාලතාට ඇසුණාය. ඇය වටපිට බැලුවේ කුඩා දරුවකු දොර අසල තෙරපෙන්නේ දැයි කියාය. බැලින්නම් ඒ කෑගසා තිබුණේ ඇගේ අසලම අසුන්ගෙන සිටි ගැබිනිය විසිනි. ශ්‍රියාලතාට මේ අතර දැනෙන්නේ ඇගේ කරේ තිබුණු රන්මාලය ගැලවී පාවෙමින් යන බවකි. ඇය කර අතගෑවාය. කරේ තිබුණු පවුමක් දෙකක් බරැති රන්මාලය අතුරුදන්ය. ඒ වෙනුවට කරේ ඇත්තේ කළු නූලක් පමණි. ඇය එම කළු නූල පලඳන්නේ කලක සිටය. රන්මාලය ඇය පැලඳ ගන්නේ ද තැනකට යන එනකොට පමණි. ඒ කර පාළුවෙන් තැනකට යන්න එන්න බැරි යැයි කියාය.
බස් රථයෙන් ඇය බිමට බැස්ස ද දොර අසල තෙරපෙමින් බස් රථයෙන් බැසීමට ලොකු උනන්දුවකින් සිටි ගැබිනියන් දෙදෙනා සහ අනෙක් කාන්තාවට දැන් බසයෙන් බැසීමට තරම් උනන්දුවක් නොවූවාය. සිදුවී ඇති දේ ශ්‍රියාලතාට ඉවෙන් මෙන් දැනෙන්නට ගත්තාය.
“මගේ කරේ චේන් එක බස් එකේ කෙනෙක් කඩාගත්තා. කාටවත් බහින්න දෙන්න එපා. පොලිසියට බස් එක අරගෙන යමු. අර දෙන්න තමයි මාලේ කැඩුවේ.“ගැබිනියන් දෙදෙනා දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇය කොන්දොස්තරට හා රියදුරුට පවසමින් කෑමොර දෙන්නට ගත්තාය.
ඇගේ ඒ හඬට බස් රථයේ කොන්දොස්තර හා රියදුරු ඇහුම්කන් දෙමින් බස් රථයෙන් කිසිවකුටත් බසින්නට ඉඩ නොදී ඇයවත් නංවා ගෙන ගමන් කරන්නට වූයේ ඒ කිට්ටුව පාතම පිහිටි අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානය වෙතය. බස් රථය පොලිසිය ඉදිරිපිට නතර කරනවාත් සමඟ ශ්‍රියාලතා බස් රථයෙන් බිමට පැන පොලිසිය තුළට දිවයන්නේ ඇසිල්ලෙනි. ඇය ඒ ක්ෂණිව බස් රථය වෙත එන්නේ පොලිස් කණ්ඩායමක් සමඟිනි. ඒ අතර කාන්තා නිලධාරිනියන් කිහිපදෙනෙක් ද සිටියාය. මගීන් කිසිවකුටත් බස් රථයෙන් බැස පිටව නොයන ලෙස දැනුම් දෙන පොලිස් නිලධාරීන් ගැබිනියන් දෙදෙනා සහ ඔවුන් සමඟ සිටි කාන්තාව භාර කරනු ලබන්නේ කාන්තා නිලධාරීනියන් වෙතය.
එම නිලධාරිනියන් ගැබිනියන් දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙන ගොස් මඳ වේලාවකට පසු බස් රථය වෙත පැමිණ ශ්‍රියාලතාට යමක් පෙන්වා “ මේ ඔයාගේ චේන් එකද“ යැයි විමසන්නේ රන්මාලයක් දිගු කරමිනි. ශ්‍රියාලතාගේ ගෙල බැඳ තිබුණු රන්මාලය එසේ පොලිස් කාන්තා නිලධාරීන් සොයාගෙන තිබුණේ ගැබිනියකගේ හැට්ටය අස්සේ සඟවාගෙන සිටියදීය. ශ්‍රීයාලතාගේ අවධානය හේතුවෙන් අල්ලා ගත් මෙම කතුන් බස් මගීන් කොල්ලකන සංවිධානාත්මක කල්ලියක සාමාජිකාවන් තිදෙනෙකි. මේ කල්ලිය ගැන අනුරාධපුරයේ පමණක් නොව, රට පුරා පොලිසිවල ඇති වාර්තා බොහෝය. මෙම කතුන් තිදෙනා ද පොලිසියට හසුවන්නේ පළමුවරට නොවේ. ඔවුන් චේන් කඩා හිරේ විලංගුවේ ද වැටී ඇත්තේය. ඒ යැයි කියා ඔවුන් චේන් කැඩිල්ල නතර කර නැත. ඒ ඔවුන්ගේ රැකියාව බවට මේ වන විට පත්ව ඇත්තේ චේන් කැඩිල්ල හා පික්පොකට් ගැසීම බැවිනි.
පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මෙම කතුන් තිදෙනා චේන් කඩන සංවිධානාත්මක කල්ලියක සාමාජිකාවන් තිදෙනෙකි. මේ අය නියෝජනය කරන කල්ලියේ චේන් කඩන කතුන් පමණක් දහ පහළොස්දෙනෙකුට වඩා සිටිති. ඒ අය කලක් අත බලා සාස්තර කී අහිගුණ්ඨික කතුන්ය. දැන් ඔවුන් අත බලා සාස්තර කියන්නට යන්නේ නැත. දැන් ඔවුන්ගේ වෘත්තිය බවට පත්ව ඇත්තේ මුහුණ බලා චේන් කැඩීමය. සාස්තර කීම අතහැරදමා මේ අය චේන් කඩන්නට පටන්ගෙන ඇතැයි පැවසෙන්නේ කොරොනා වසංගතයෙන් පසුවය. ඒ කොරොනා වසංගතයත් සමඟ අතබලා සාස්තර කී මේ අයට පමණක් නොව, ඔවුන්ගේ පිරිමින්ට රිළව් සහ නයි නටවා ජීවත් වීමට සුදුසු වතාවරණයක් නොමැතිවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. තඹුත්තේගම කුඩාගම තෙළිඟු ගම්මානයේ ජීවත්වන මේ අය අද වන විට බස් රථවල පමණක් නොව, කෝවිල් පන්සල්, දේවාල උත්සව කාලවලදී ඒ තැන්වලට ගොස් චේන් කඩන්නට ද පටන්ගෙන ඇත්තේ පොලිසියට පවා ලොකු හිසරදයක් බවට පත්වෙමිනි.
මෙම පිරිස රැඳී සිටින තඹුත්තේගම තෙළිඟු ගම්මානයේ ජීවත්වන තෙළිගු පවුල් ගණන 400ක් පමණ වනු ඇත. එම පවුල්වල ජීවත්වන පිරිස 2000කට වැඩිය. මේ අයගෙන් අද වන විට බොහෝදෙනා සාම්ප්‍රදායික රැකියාව වන ගමින් ගමට ගොස් තාවකාලිකව ඉදිකරගන්නා කූඩාරම්වල නැවතී නයි නැටවීම්, සාස්තර කීම්, රිළා නැටවීම් කරන්නේ නැත. තමන්ටම කියා ගෙයක් දොරක් දැන් ඔවුන්ට ඇති බැවින් වෙනත් වෘත්තිවලට යොමුවී හමාරය. දැනගන්නට ඇති ආකාරයට අනුව අද වන විට මෙම ගම්මානයේන් පමණක් බිහිවී ඇති උපාධිධාරීන් ගණන 03 කි. ඒ අද වන විට තෙළිඟු වැසියන් වෙනසකට ලක්වෙමින් ඇති බැවිනි. ගොවිතැන, ධිවර කර්මාන්තය, පොත්පත්තර අලෙවි කිරීම ආදී විවිධ වෘත්තීයන්ට මෙම ගම්මානයේ වැසියන් විතැන් වන විට තවමත් සාම්ප්‍රදායික ලෙස නයි නටවන්නන් නැත්තේම නැත. චේන් කඩන්නට යන්නේ මේ අය අතරිනුත් සුළු පිරිසක් පමණි.
මේ අය චේන් කඩන්නට යන්නේ සාම්ප්‍රදායික තෙළිඟු ඇඳුමින් මිදී ජැන්ඩියට හැඳ පැලඳ ගෙන නියපොතු පාට කරගෙන තොල් රතු කරගෙනය. මේ අය අතර තෙළිඟු ගම්මානයේ සිට විවාහ වී වෙනත් ප්‍රදේශවල ජීවත් වන්නෝද නැත්තේම නැත. එහෙත් ඒ හැමෝම තඹුත්තේගම තෙළිඟු ගම්මානයට නෑකම් කියන්නෝය. මේ අය බස් රථවල චේන් කඩන්නේ කණ්ඩායම් වශයෙන් බස් රථවල ගමන් කරමිනි. ශ්‍රියාලතාගේ කර බැඳි රන්මාලය කැඩීමේදී ඔවුන්ට වැඩ වරදින්නේ සිය කරේ බැඳි රන්මාලය ගැන ඇය අවධානයෙන් සිටී නිසාම නොව, වෙනදාට හතර පස්දෙනෙක් සම්බන්ධ වන වැඩේට තිදෙනෙක් පමණක් එදා සම්බන්ධ වීම හේතුවෙනි. එසේ නොවන්නට අදටත් ඇගේ කරේ බැඳි රන් මාලය කඩාගත්තේ කවුරුන් දැයි අබිරහසක් වනු ඇත. එසේ අභිරහසක් බවට පත්ව ඇති එවන් රන්මාල කැඩූ සිදුවීම් ගණන බොහෝය.
මේ අය රන්මාල කඩන්නේ මගී බස් රථ වල ගමන් කරමින් පමණක් නොවේ. ඔවුන් කණ්ඩායම් වශයෙන් සිය පිරිමි උදවිය ද රැගෙන ගොස් රන්මාල වැඩි හරියක් කඩන්නේ විවිධ උත්සව කාලවලදීය. විශේෂයෙන් මේ අයගේ ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇත්තේ යාපනය නල්ලූර්, ත්‍රිකුණාමලය කෝනේශ්වරන්, හලාවත මුන්නේෂ්වරන්, මන්නාරම මඩු, තලවිල ශාන්ත ආනා දේවස්ථානය ආදී දේවස්ථාන වල පැවැත්වෙන දේවමෙහෙයන් සහ උත්සව කාලවලය. දෙමළ සහ කතෝලික බැතිමතුන් මේ කාලයට දේවාල සහ කෝවිල්වලට පැමිණෙනුයේ නිවසේ ඇති සෑම රන් ආභරණයක්ම පැලඳගෙනය. එය ඔවුන්ගේ සංස්කෘතියක් බවට පත්ව ඇත. දෙමළ කතකගේ කරේ අඩුම වශයෙන් රුපියල් ලක්ෂ හතර පහක් වටිනා රන් භාණ්ඩයක්වත් වරදින්නේ නැත. මේ අය ඉලක්ක කරනු ලබන්නේ එම කතුන්වය. දේව භක්තියෙන් මුසපත්ව සිටින කතුන්ගේ අවධානය ඒ දෙස තිබෙන අවස්ථාවලදී තෙරපීම් අස්සේ මේ අය රන්මාල කඩන්නේ එම කතුන්ටත් නොදැනෙන ලෙසිනි. අනතුරුව අතින් අත එම රන් භාණ්ඩ හුවමාරුවී අවසානයේදී අතට පත්වන තැනැත්තා එම පැත්ත පළාතේ සිටින්නේ නැත.
මේ හැරුණුකොට පොසොන් පොහොය සමයේදී මෙන්ම බැතිමතුන් වැඩි හරියක් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන කාලයේදීත් මේ අය අනුරාධපුරයේ සැරිසරමින් කතුන්ගේ රන් මාලවලට විදින්නේ හිතා ගන්නට බැරි වන ලෙසිනි. එසේ රන්මාල කඩාගැනීම් රැසක්ම පසුගිය කාලයේ අනුරාධපුර පොලිසියේ පොත්වල ලියැවුණත් අදටත් එම රන්මාල කඩාගැනීම්වලින් බොහොමයක් විසඳා හමාර කිරීමට ඉඩක් ලැබී නැත. ඒ හැම රන් මාල කඩාගැනීමක් පිටුපස සිටින්නේ යැයි කියැවෙන්නේ නවීකරණය වී සිටින අහිගුණ්ඨික කතුන්ය.
මේ අය මහනුවර දළදා පෙරහර සමයේදී මහනුවර පැත්තේත් කතරගම පෙරහර සමයේදී කතරගම පැත්තේත් නොයා සිටින්නේ නැත.
මේ අය මේ කියන ප්‍රසිද්ධ පන්සල් පල්ලි කෝවිල් පැත්තේ පමණක් නොව, වතුකරය ආශ්‍රිතවත් උතුරු හා නැඟෙනහිර ආශ්‍රිතවත් ඇති ප්‍රාදේශීය වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති කෝවිල්, දේවාල සහ පල්ලිවල පැවැත්වෙන විවිධ උත්සව කාලයන්වලදී වැඩිහරියක් ගැවසෙන්නේ ඒ පැතිවලය. මේ ආකාරයට මෙම අහිගුණ්ඨික කතුන් පිරිසක් කඳපොළ කරුමාරි කෝවිලේ උත්සව සමයේදී ඒ පැත්තේ ගැවසෙමින් පූජාවකට සහභාගිවී සිටි කතකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 11ක රන්මාලයක් කොල්ලකා හසුවන්නේ පසුගිය වසරේ පෙබරවාරි 04 වෙනිදාය. කතුන් හතර පස්දෙනෙක් එදා පොලිසියට හසුවන්නේ එම කෝවිල් භූමියේදීම සිදුවූ තවත් රන් මාල කඩාගැනීම් කිහිපයක්ද විසඳෙමිනි.
මෙම අහිගුණ්ඨික කතුන් නැවතත් හසුවන්නේ රත්නපුර පොලිසියටය. ඒ මගී බස් රථයක් තුළ ගමන් කරමින් සිටි කතකගේ රන් මාලයක් කඩා ගැනීමක් සම්බන්ධයෙනි. එහිදී කතුන් දෙදෙනෙකුව අල්ලා පොලිසියට භාර දෙන්නේ බස් රථයේ සිටි මගීන්ය. අනතුරුව පොලීසිය විමර්ශන පවත්වා තවත් අහිගුණ්ඨික කතුන් කිහිපදෙනෙකුම අල්ලාගෙන තිබුණේ කඩාගත් මාලය ද සමඟිනි. ඒ කඩාගත් මාලය රැගෙන ඔවුන් බස් රථයෙන් බැස පලා යමින් සිටියදීය.
මහනුවර – අම්පිටිය මාර්ගයේ ගමන් කරමින් තිබුණු මගී බස් රථයක සිටි කතකගේ රන්මාලයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් ද පසුගිය වසරේ ජුනි මාසයේදී අත්අඩංගුවට ගත් කතුන් තිදෙනා ද අහිගුණ්ඨික කල්ලියේම සාමාජිකාවන්ය. ඒ අය පොලිසියට ලබාදුන් ලිපිනයන් විහිදී තිබුණේ පුත්තලම හා ත්‍රිකුණාමලය පැත්තටය. එය එසේ වූවත් ඔවුන්ගේ මුල තිබුණේ තඹුත්තේගම කුඩාගම තෙළිගු ගම්මානයේය. රත්නපුරයට හසුවූ කතුන් අතර ද පුත්ලමේ සහ තලවතුගොඩ පදිංචිකාරියන් සිටියාය. ඒ අයගේ මුල ද තිබුණේ තෙළිඟු ගම්මානයේය.
ශ්‍රියාවතීගේ රන්මාලය කඩාගෙන අනුරාධපුර පොලිසියට හසුවූ කතුන් තිදෙනාගෙන් ද දෙදෙනෙක් ඒ වන විට පදිංචිව සිටියේ තෙළිඟු ගම්මානයේය. ඒ අය තමන්ව හඳුන්වා දුන්නේ වසන්ති සහ සජී ලෙසිනි. මේ අතරින් වසන්ති 30 හැවිරිදි වියැතිය. එදා ශ්‍රියාවතීගේ රන්මාලය කඩාගැනීමට නායකත්වය දුන්නේ ඇයය. මේ අතර සිටි තුන්වැන්නා එස්. සුබනියාය. ඇය පදිංචිව සිටිනවා යැයි පොලිසියට කියා තිබුණේ බුලත්සිංහල හල්වතුරේ තැනකි. ඒ ඇය විවාහ වී සැමියා සමඟ පදිංචිව සිටින තැනය. මෙම රන්මාල කොල්ලය සිදුවන විට ඇය සිටින්නේ තෙළිඟු ගම්මානයේය. ඒ දරු ප්‍රසූතියට සූදානමින් මහ ගෙදරට පැමිණය. 23 හැවිරිදි වියේ පසුවූ ඇයට අමතරව අත්අඩංගුවට ගත් සජී ද ගැබිනියක් වූවාය. ඇය පසුවූයේ 20 හැවිරිදි වියේය.
තෙළිඟු ගම්මානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන මෙම අහිගුණ්ඨික කතුන්ගේ කල්ලිය යාපනයේ දී අවස්ථා කිහිපයකදීම පොලිසියට කොටුවී ඇත්තේය. ඒ නල්ලූර් කෝවිලේ උත්සව කාලයේදී මාල කඩාය. මේ අය හැරුණු කොට ඉන්දියාවෙන් ද නල්ලූර් කෝවිලේ උත්සව කාලයේදී මාල කඩන්නට සංවිධානාත්මකව කතුන් පැමිණෙති. ඒ අය සමඟින් ද මෙම කතුන්ට ඇත්තේ ලොකු සම්බන්ධයකි. සිය ශිල්පය ඔවුන් වර්ධනය කරගෙන ඇත්තේ එම ඉන්දියානු මාල කඩන කල්ලියේ ඇසුරෙන් බව ඒ ගැන කෙරී ඇති විමර්ශනවලින් පෙනී ගොස් හමාරය. මේ වන විට මෙම කල්ලිය පොලිසියට ද මහත් හිසරදයක් ඇති බැවින් උත්සව කාලවලදී පොලිසිය මේ අය ගැන දැන් සිටින්නේ දැඩි අවධානයකිනි.
ගයාන් කුමාර වීරසිංහ