– නිර්මාණයක් කරන විට අපට සල්ලි ඕන නැහැ ඕන කරන්නේ සම්මාන විතරයි කියලා හිතෙනවා නම් ඒක වැරදියි
– මම හොඳ චිත්‍රපටි වගේම මිනිස්සුන්ට මතක හිටින චිත්‍රපටි කරලා තිබෙනවා
ඇය විසිහතර පැයෙහි සුමනා විය. පවුරු වළලු හි වයලට් විය. විචිත්‍රා ලෙසින් ලස්සන කෙල්ල චිත්‍රපටිය කැලඹූ ඇය මිසිස් සෝමදාස ලෙසින්” භීෂණයේ අතුරු කතාවක්” චිත්‍රපටියේ වෙනස්ම පෞරුෂයක් වූවාය. එකී මෙකී කළු සුදු චරිත අතර හැල හැප්පුණු ඇය, ඇයගෙ මුහුණ නම් වූ හැඟීම් මංජුසාවෙන් පෙළහර පාන්නේ සහෘදයා තිගස්සවමිනි. සරසවි සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලද ඇය නීටා ප්‍රනාන්දුයි.
සම්මානනීය වූ සතුටත් සමඟ අපි කතාව අරඹමු.
පසුගිය මාර්තු 28 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සරසවි සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස මාව සම්මානනීය වුණා. එකී සම්මානය මට ලැබුණේ විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ පාංශු චිත්‍රපටයේ බබා නෝනා ගේ චරිතය වෙනුවෙන්. වසර ගණනාවකට පසු සරසවි සම්මාන උළෙලක් පැවැත්වූ නුවන් නයනජිත් ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ හදපිරි ස්තූතිය මේ වෙලාවේ පුද කරනවා.
බබා නෝනාගේ චරිතයට ආරූඪ වෙනකොට මොන වගේ අභියෝගයන්ට ද ඔබට මුහුණ දෙන්න සිදු වුණේ.
බබා නෝනගේ චරිතයට විසාකේස චන්ද්‍රසේකරම් ආරාධනා කළේ ඕස්ට්‍රේලියාවේ ඉඳලයි. ඔහුව පෞද්ගලිකව මට මුණගැසී නොතිබුණාට බබා නෝනගේ චරිත ස්වභාවය විග්‍රහ කළාම මට ඒ චරිතයට ආස හිතුණා. ගඟ ආශ්‍රිතව රෙදි සෝදන කාන්තාවගේ චරිතයක් නිරූපණය කිරීමටයි එහිදී මට පැවරුණේ. එම චරිතය රඟපෑමේදී හොඳින් පිහිනීමට අවශ්‍ය බව ඔහු මට පැවසුවා. මම පීනන්න නම් බයයි. හේතුව මම වතුරට බයයි. ඒත් මම පුහුණු වෙන්නම් කියා පැවැසුවා. මාස හයකට පසුව මම ඔහුට කිව්වා මං ගැන බලාපොරොත්තු අත ඇරගන්න මට පීනන්න බැහැ කියලා. නමුත් ඔහු කිව්වා උඩු අතට පිහිනන්න පුරුදු වුණොත් ගැටලුවක් නැහැ කියලා. මම විශ්වාසයෙන් වගේම අධිෂ්ඨානයෙන් පිහිනන්න තීරණය කළා. ඒ වගේම ඒ වැඩේ මම උපරිමයෙන්ම කළා. චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ මං බොහෝ දුරක් උඩු අතට පිහිනුවා. චිත්‍රපටියට සහය දුන් පිරිස සැදීපැහැදී සිටියේ මම අතක් ඉස්සුවත් ගොඩට ගන්න. මමත් මගේ ජීවිත ආසාව පැත්තකින් තියලා ඒ චරිතය වෙනුවෙන් පිහිනුවා.
පාංශු චිත්‍රපටයේ කතාව ඔබගේ ජීවිතයට සමීප වූවක් නේද?
ඔව් .භීෂණ සමයේ මගේ සහෝදරයෙකුව පොලිසියෙන් ඇවිත් හදිස්සියේම අරන් ගියා. ඒ මොහොතේ මගේ මව ක්‍රියා කළ ආකාරය ඇඟේ හැඟීම් මට මැවී පෙනුණා. ඒ චරිතයට සැබෑ සිද්ධීන් එකතු වූ විට එය සාර්ථකව නිරූපණය කිරීමට මට හැකියාව ලැබුණා.
ජාත්‍යන්තර සම්මාන උළෙලවල්හිදී ඔබ වරින්වර සම්මානනීය වුණා .ඒ අතීතයට ගමන් කළොත්…
ජාත්‍යන්තරව මම මුල්මවරට සම්මානනීය වුණේ පවුරු වළලු චිත්‍රපටයෙන්. 1998 ජාත්‍යන්තර සිංගප්පූරු සිනමා උලෙළෙනුයි හොඳම නිළිය සම්මානය මට හිමි වුණේ. ඉන්පසුව හොඳම නිළිය සම්මානය ප්‍රංශයේ නීස් සිනමා උලෙළෙනුත් ලැබුණා. එසේ කිහිප වරක්ම ජාත්‍යන්තර සිනමාවෙන් පිදුම් ලබන්නට තරම් මම වාසනාවන්ත වුණා.
වර්තමානය තුළ බොහොමයක් සිනමා නිර්මාණ ජාත්‍යන්තරය කරා සීග්‍රයෙන් ගමන් කරනවා. නමුත් මෙරට සිනමාවට රාජ්‍ය අනුග්‍රහය හිමිවන්නේ ඉතාමත් අඩුවෙන්. එකී අර්බුදකාරී තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
ඔව්. එය සැබෑවක්. රාජ්‍ය මට්ටමෙන් සිනමාව අගය කරනවා බොහොම අඩුයි. චිත්‍රපට සංස්ථාවට යම් බලයක් දී එහි වැඩ කටයුතු මීට වඩා පිළිවෙලකට ඉටු වෙනවා නම් වගේම රාජ්‍ය මට්ටමින් අනුදැනුමක් ලබාදීම සිදුවෙනවා නම් මෙරට සිනමාවේ අර්බුදකාරී තත්ත්වයන් බොහොමයක් මඟ හැරිලා. වර්තමාන නළු නිළියන් බෙහෙවින් දක්ෂයි. නමුත් ඔවුන් ඔවුන්ගේ තැනට අමාරුවෙන් බඩ ගාගෙන යනවා විනා ඔවුන්ගේ ගමනට සහයෝගයක් රාජ්‍ය මට්ටමින් ලැබෙන්නේ නැහැ. ඇත්තටම එය ශෝචනීය තත්ත්වයක්.ො
සම්භාව්‍ය ගණයේ චිත්‍රපට සිනමා උළෙලවල් අරමුණු කරගෙනම නිර්මාණය වීමෙ රැල්ල ගැන මොකද හිතෙන්නේ?
ප්‍රේක්ෂකයන් හුරුවී තියෙන්නේ මැද මාවතේ යන චිත්‍රපට නැරඹීමටයි. චිත්‍රපටයක් තුළින් ප්‍රේක්ෂකයන්ට රසවින්දනයක් ලැබිය යුතුයි. සම්භාව්‍ය චිත්‍රපටවලට වෙන් වූ ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. නමුත් වාණිජමය පරමාර්ථයන් එයින් ඉෂ්ඨ සිද්ධ වෙන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා. සම්භාව්‍ය, වාණිජ වගේම මැද මාවතේ චිත්‍රපට යන තුන් වර්ගයේම සිනමා නිර්මාණ බිහිවිය යුතුයි. මන්ද ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය විවිධයි. නිර්මාණයක් කරන විට අපට සල්ලි ඕන නැහැ. ඕන කරන්නේ සම්මාන විතරයි කියලා හිතෙනවා නම් ඒක වැරදියි.
ඔබ නිෂ්පාදන කාර්යයයටත් යොමු වුණා නේද?
මම නිෂ්පාදන කාර්යයට යොමු වුණේ 1981දීයි. නමුත් නිෂ්පාදන කාර්යය තුළ මුදල් අතින් මම ජයග්‍රහණය කළේ නැහැ. මම හොඳ චිත්‍රපට වගේම මිනිස්සුන්ට මතක හිටින චිත්‍රපට කරලා තිබෙනවා. නමුත් එයින් මූල්‍යමය වාසි කිසිවිටකත් ලබලා නැහැ.
ඒ කියන්නෙ සිනමාවට නිෂ්පාදකයන් අතගසන්න බය වෙන හින්ද ද ඔබ එකී කාර්යයට යොමු වුණේ
ඇත්තටම මම සිනමාවෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. නැති වෙනවා කියලා දැන දැනම සල්ලි විසි කරන්නේ සිනමා පිස්සොම විතරයි. ඇත්තටම ඒක ලෙඩක්. දරුණු ගණයේ උණක්. මුදල්වලට වඩා අපට වටින්නේ මිනිස්සු. මම සිනමාවෙන් ගොඩක් මිනිස්සුන්ගේ ආදරේ හම්බ කරගත්තා.