Home » යතුරුපැදි හොරෙක් හෙළි කළ මහා ජාවාරම

යතුරුපැදි හොරෙක් හෙළි කළ මහා ජාවාරම

by thanushika
April 6, 2024 12:30 am 0 comment

රථවාහන සොරකම් සහ කොල්ලකෑම් ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බවක් පෙනෙන්නට තිබෙන්නේ මේ ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයන්ට වාහන සොරකම් සහ කොල්ලකෑම්වලින් ලොකු මුදලක් අතට එන නිසා බවට ඕනෑ කෙනෙකුට සාධාරණ සැකයක් ඇතිවන කාරණාවකි.

මෙසේ රථවාහන කොල්ලකන, සොරකම් කරන පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක් ඒවායේ ලියාපදිංචි අංකය, චැසි, එන්ජින් අංක ඉතා සූක්ෂ්ම ලෙස වෙනස් කර වෙනත් වර්ණයක් යොදා අඩු මුදලකට කාට හෝ විකුණා දමන බව පොලිසිය සිදු කරන ලද විමර්ශනවලදී හෙළිවී තිබේ.

විශේෂයෙන් මේ නරක දසාව වැඩිපුරම ලබා ඇත්තේ මෝටර් බයිසිකල්වලට යැයි කීවොත් නිවැරැදිය. මහමඟ අයිනේ නවත්වා යන මෝටර් බයිසිකල් ගණනාවක් වාහන සොරුන් විසින් අවස්ථා ගණනාවකදී පසුගිය කාලයේ සොරකම් කර තිබුණ අයුරු මාධ්‍ය ද වාර්තා කර තිබිණි. විශේෂයෙන් එලෙස සොරකම් කරන ලද මෝටර් බයිසිකල් දවසක් දෙකක් ඇතුළතදී නැවත සොයා ගැනීමට නොහැකි වුවහොත් ඒවා තිබූ අයුරින් නැවත කිසි දිනෙක අයිතිකරුට නොලැබෙන බව නම් සහතිකය. එලෙස ඔවුන් සොරකම් කරගෙන යන මෝටර් බයිසිකල් පැය කීපයක් ඇතුළත ගලවා කැබලිවලට කඩා සැඟවීමට හෝ එම කැබලි අමතර කොටස් ලෙස ඉතා ඉක්මනින් විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීම නිසාය.

මෝටර් බයිසිකල් ඇතුළු රථවාහන සොරුන් මෙලෙස ඉතා සූක්ෂ්මව කටයුතු කරද්දී සොරකම් කරන මෝටර් බයිසිකල් කැබලි කර අමතර කොටස් ලෙස මහා පරිමාණයෙන් අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය. ඒ එම නිලධාරීන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

අනුරාධපුර දිසාවේ රාජාංගණය, පහළමාරගහවැව ප්‍රදේශයේ පසුගිය දිනෙක පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර එය නැරඹීමට පැමිණි පුද්ගලයකුගේ මෝටර් බයිසිකලයක් කිසිවකු විසින් සොරකම් කරගෙන ගොස් තිබුණ අතර එම මෝටර් බයිසිකලයේ වටිනාකම රුපියල් තුන්ලක්ෂයක් පමණ විය.

මෝටර් බයිසිකලයේ අයිතිකරු මේ ගැන රාජාංගණය පොලිසියට ද පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය. පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන්නේ මේ සොරකම් සිදු කරන ලද සැකකරුවන් අල්ලා ගැනීම සඳහාය.

රාජාංගණය පොලිසිය මේ ගැන විමර්ශන සිදු කරන අතරතුරේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ද මේ මෝටර් බයිසිකල් සොරකම ගැන තොරතුරු වාර්තා වී තිබිණි.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරිගේ මෙහෙයවීමෙන් මේ ගැන විමර්ශන ආරම්භ කරන්නේ එම ඒකකයේ විමර්ශන කණ්ඩායම් 03 භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බාලසූරිය විසිනි.

උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බාලසූරිය ඇතුළු කණ්ඩායම මේ මෝටර් බයිසිකල් සොරකම ගැන ඉතා සියුම් එමෙන්ම දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.

විමර්ශන කණ්ඩායම මේ ගැන සිදු කරන ලද පරීක්ෂණයේදී එක් පුද්ගලයකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගන්නා ලදි. එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන පොලිස් නිලධරයන් අනාවරණය කරගන්නේ ඔහු මේ මෝටර් බයිසිකල් සොරකම සැලැසුම් කරන ලද ප්‍රධානියා බවය.

එලෙස රාජාංගණය ප්‍රදේශයෙන් සොරකම් කරන ලද මෝටර් බයිසිකලය ප්‍රධාන සැකකරු තම මිතුරකු සමඟ එකතු වී කිතුල්හිටියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට රුපියල් පනස්දහසකට විකුණා ඇති බව පොලිසිය අනාවරණය කර ගන්නේ සිදු කරන ලද විමර්ශනයේදීය.

ප්‍රධාන සැකකරු සමඟ එකතු වී මේ මෝටර් බයිසිකලය කිතුල්හිටියාවේ අයකුට විකුණූ පුද්ගලයා දඹුල්ල නගරයේ පදිංචිකරුවකු බව ප්‍රශ්න කිරීම්වලදී පොලිස් නිලධරයන් විසින් හෙළි කරගන්නා ලදි. විමර්ශන මෙලෙස ක්‍රියාත්මක වන විට සැකකරුවන් දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත්ව සිටියහ.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ඒකක 03 හි විමර්ශන නිලධරයන් ඉන් අනතුරුව උත්සාහ ගන්නේ මේ සොරකම් කරන ලද මෝටර් බයිසිකලය දඹුල්ලේ පදිංචි පුද්ගලයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනීමටය. ඒ සමඟ පොලිස් නිලධාරීන් මවිත කරන අන්දමේ කතාවක් ඔහුගෙන් හෙළි විය.

ඒ ඔහු තමා රුපියල් පනස්දහසකට මිලදී ගත් මෝටර් බයිසිකලය රුපියල් අසූපන්දහසකට කිසියම් ස්ථානයකට අලෙවි කළ බව හෙළි කිරීමත් සමඟය.

දඹුල්ලේ පදිංචි එම සැකකාර පුද්ගලයා මෝටර් බයිසිකලය විකුණා ඇත්තේ කාට දැයි ප්‍රශ්න කිරීමට පොලිසිය පියවර ගන්නේ ඉන් අනතුරුවය. දඹුල්ලේ පිහිටි මෝටර් බයිසිකල් අමතර කොටස් අලෙවි කරන ආයතනයකට තමා එම මෝටර් බයිසිකලය විකුණා දැමූ බව සැකකරු හෙළි කරන්නේ එහිදීය. පොලිසිය ඉන් අනතුරුව සිදු කරන ලද සෝදිසියේදී අදාළ මෝටර් බයිසිකලයේ ලියාපදිංචි අංක තහඩු සොයා ගැනීමට හැකි විය.

මෝටර් බයිසිකල් අමතර කොටස් අලෙවි කරන දඹුල්ලේ පිහිටි අදාළ වෙළෙඳ ආයතනය පොලිස් නිලධාරීන් විසින් ඉතා සියුම්ව පරීක්ෂා කරද්දි එහි කුටියක තිබූ මෝටර් බයිසිකල් ලියාපදිංචි අංක තහඩු 116ක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. පොලිස් නිලධාරීන් ඒ වන විට සිදු කරන ලද විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටි අතර මේ සිව්දෙනා අතර මෝටර් බයිසිකලය මුලින්ම සොරකම් කළ පුද්ගලයා, එය රුපියල් පනස්දහසකට මිලදිගෙන අසූපන්දහසකට විකුණූ පුද්ගලයා, එය මිලදී ගත් තැනැත්තා සහ මෝටර් බයිසිකල කැබලි කර අමතර කොටස්වලට විකුණූ පුද්ගලයා සිටින බව හෙළි විය.

පොලිසිය සොයාගන්නා ලද මෝටර් බයිසිකල් ලියාපදිංචි අංක තහඩු 116 හි නියම අයිතිකරුවන් සොයා ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීමට කටයුතු යොදා ඇත.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා අනුරාධපුර සහ දඹුල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 29, 40 සහ 44 වයස්වල පසුවන්නෝ වෙති.

අනුරාධපුර සහ පොලොන්නරුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති කපිල අධිකාරී, විමර්ශන ඒකක 03 ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බාලසූරිය, සැරයන්වරුන් වන (37292) ඩග්ලස්, (33910) ජානක, (48028) නලින්, (39938) අසංක, (75188) අබේසිංහ, කොස්තාපල්වරුන් වන (81122) කැළුම්, (105195) රවින්ද්‍ර, පොලිස් සැරයන් රියැදුරු (33601) උද්ධික යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළහ.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division