Home » මාතර වල්ගම ස්පා එකකින් ඇසුණු අනියම් ආදර කතාවක්

මාතර වල්ගම ස්පා එකකින් ඇසුණු අනියම් ආදර කතාවක්

by thanushika
April 6, 2024 12:30 am 0 comment

සංචාරක ව්‍යාපාරයේ ශීඝ්‍ර දියුණුවත් සමඟ දකුණු වෙරළ තීරයේ මෙන්ම වෙරළට ඔබ්බෙහි වූ ගම්මාන තුළ ඇති සංචාරක හෝටල් කේන්ද්‍ර කර ගනිමින් සහ වෙනමම ඒකක වශයෙන් ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන ආරම්භ කොට ඇත්තේ වැඩි ආදායම් ලැබීමේ අරමුණෙනි. එහෙත් පොලිස් වාර්තා අනුව සඳහන් වන්නේ වර්තමානය වන විට ස්පා ආයතන බොහෝමයක්ම කාන්තාවන්ගේ ඇඟ විකුණන ස්ථාන බවට පත් කරගෙන ඇති බවයි.

ඈත එපිට ගම්මානවල සිට මෙන්ම නගරාශ්‍රිත ප්‍රදේශවලින් ද රැකියා අපේක්ෂාවෙන් පැමිණෙන තරුණියන් රවටා ස්පා මුවාවෙන් ගණිකා සේවයේ යොදවමින් විදේශිකයන්ගෙන් මෙන්ම දේශීය සංචාරකයන්ගෙන්ද වැඩි මුදලක් උපයා ගන්නට මෙම කූට ව්‍යාපාරිකයන් කටයුතු කරමින් ඇත්තේ නීතියේ රැහැනටද කොටු නොවන ලෙස උපක්‍රමශීලී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කරමිනි.

මෙම තත්ත්වය වර්තමානය වන විට පවුල් ආරවුල් ඇතිවීම් දක්වා වර්ධනය වෙමින් ඇති බවක් දක්නට ඇත්තේ පොලිසි වෙත ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඉහළ යාමත් සමඟය.

මෙම තත්ත්වයට කදිම උදාහරණයක් සපයන සිදුවීමක් වාර්තා වූයේ ඉකුත් මාර්තු මස දහනව වැනි දිනයි. ඒ මාතර මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ වල්ගම ප්‍රදේශයෙනි. මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

අපි ඇයට ‘නිශායා’ යැයි කියමු. අම්පාරේ උපන් නිශායා දෙවිනුවර ගන්දරාවත්තේ උපන් අමරේ සමඟ විවාහ ගිවිසගෙන ගන්දරාවත්තට එන්නේ ප්‍රේම සබඳතාවක ප්‍රතිඵලයක් වශයෙනි. වසර කිහිපයක් ගතවෙද්දී දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් වන නිශායා සහ අමරේ අතර ආරවුල් ඇතිවන්නට පටන් ගන්නේ නිශායාගේ දෛනික ක්‍රියාකාරකම් සහ හැසිරීම් අමරේ විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. මේ හේතුවෙන් දෙදෙනා අතර අඩදඹරකම් ඇතිවද්දී අමරේගේ මව විසින් දරු දෙදෙනා ඇගේ ළඟට ගැනීමත් සමඟ නිශායා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඇය වල්ගම ප්‍රදේශයේ ස්පා ආයතනයක් සහ සම්බන්ධ වී තම ක්‍රියාකාරකම් රිසි සේ සිදු කරන්නට පටන් ගත්තාය.

එලෙස කටයුතු කරමින් සිටි නිශායා ස්පා ආයතනයේ හිමිකරුගේ ඥාති සොහොයුරෙකු වන එහි මුදල් අයකැමි වූ ගයාන් සමඟ ප්‍රේම සබඳතාවක් ඇතිකර ගන්නා අතර නිශායා හා මුදල් අයකැමි ගයාන් හිමිකරුගේ අවවාද කිරීම්වලට ලක්වුවද එම අවවාද කිසිත් ගණන් නොගෙන දෙදෙනා විසින් ප්‍රේම සබඳතාව දිගට පවත්වාගෙන යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගයාන් ස්පා ආයතනයෙන් ඉවත් කරන්නේ එහි හිමිකරු විසිනි. ගයාන් ඒ වන විටත් විවාහක එක්දරු පියෙකු විය.

එලෙස ඉවත් කරන ගයාන් ඒ ආසන්නයේ පිහිටි වෙනත් ස්පා ආයතනයක සේවයට යන අතර ටික දිනකින් නිශායාද ඉන් ඉවත් වී තම ප්‍රේමවන්තයා වූ ගයාන් සිටින ස්පා ආයතනයේ සේවයට එක්වූවාය.

ඒ සමඟින් නිශායා සහ ගයාන් මුලින් සේවය කළ ස්පා ආයතනයේ හිමිකරු විසින් ගයාන්ගේ බිරියට සිදු වෙමින් පවතින සියලු තොරතුරු දැනුම් දෙන ලද අතර නිශායාගේ සබඳතාව කඩා බිඳ දැමීම සඳහා අවශ්‍ය කූට උපාය මාර්ග ද ක්‍රියාත්මක කරන්නේ රහසිගතවය.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාර්තු මස 19 වන දින රාත්‍රියේ ගයාන්ගේ බිරිය හා ඇගේ ඥාති කාන්තාවන් තිදෙනකුද නිශායා සොයා ස්පා ආයතනයට කඩා වදින අතර නිශායා කලින් සේවය කළ ස්පා ආයතනයේ හිමිකරුද ඔවුනගේ සහායට පැමිණියේය.

ස්පා ආයතනයට කඩා වදින ගයාන්ගේ බිරිය ඇතුළු පිරිස නිශායා අල්ලාගෙන ඇයට පහර දීමට උත්සාහ කිරීමත් සමඟ එම ස්ථානය යුද පිටියක සිරි ගත්තේය. පිරිස විසින් නිශායාට අතින් පයින් සහ හෙල්මට්වලින් පහර දීමත් සමඟ ඇගේ හිස තුවාල වූ අතර පහර දුන් පිරිස පලා යාමත් සමඟ නිශායා මාතර මහ රෝහලට ඇතුළත් කරන්නේ ලත් තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහාය.

ඒ සමඟින් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 අංකයට ලැබෙන දුරකතන පණිවිඩයක් ඔස්සේ මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්. යාපා, උප පොලිස් පරීක්ෂක දිලීප් රණතුංග හා කොස්තාපල් 73029 කොඩිතුවක්කු යන නිලධාරීන් අදාළ ස්ථානයට වහා ගොස් පරීක්ෂණ පවත්වන අතර ඒ වනවිටත් සැකකරුවන් පලා ගොස් සිටි නිසා කිසිවෙකුත් අත්අඩංගුවටගත නොහැකි විය.

ඉන්පසු 20 වැනි දින මාතර රෝහල් පොලිසිය මඟින් දෙන ලද දැනුම් දීම සහ නිශායා විසින් පොලිසියේ ගොනු කරන ලද පැමිණිල්ල මත පරීක්ෂණ ආරම්භ කරන මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායම අවස්ථා කීපයකදී ලැබෙන තොරතුරු ඔස්සේ වල්ගම ප්‍රදේශයට ගොස් විමර්ශන සිදු කළද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වන්නේ ඔවුන් සැඟව සිටි නිසාය.

ඒ අතර මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි පොලිස් කණ්ඩායමට උපදෙස් දෙන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

ඒ අතර පසුගිය 24 වන දින මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට ලද හදිසි තොරතුරක් ඔස්සේ උප පොලිස් පරීක්ෂක දිලීප් රණතුංග සහ කොස්තාපල් කොඩිතුවක්කු වල්ගම ප්‍රදේශයට ගොස් පරීක්ෂා කරද්දී නිශායාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ස්පා ආයතනයේ හිමිකරු පොලිසිය දැක ඔහු ගමන් කරමින් සිටි යතුරුපැදිය දමා පලා යන අතර පොලිස් කණ්ඩායම විසින් යතුරුපැදිය පොලිස් භාරයට ගෙන මාතර මූලස්ථාන පොලිසියට රැගෙන එන්නේ වැඩිදුර පරීක්ෂණ සඳහාය. එහිදී පොලිසිය අනාවරණ කර ගන්නේ පැනගිය සැකකරු මීට පෙරත් අපරාධවලට සම්බන්ධ කල්ලියක සාමාජිකයෙකු බවයි.

එලෙස සැකකරුගේ යතුරුපැදිය පොලිස් භාරයට ගත් දිනට පසුදින වූ මාර්තු මස 25 වන දින සැකකරු හා සැකකාරියන් සිවුදෙනා නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට පැමිණීමෙන් පසු එම පිරිස අත්අඩංගුවට ගන්නා අතර අදාළ කට උත්තර සටහන් කර ගැනීමෙන් පසු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් අතර එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු හා සැකකාරියන් සිවුදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කරන ලදි.

පොලිස් පරීක්ෂණ අනුව ලිපිය සකස් කෙරිණි. මෙහි එන සියලු නම් මනඃකල්පිතය.

ජයසිරි පේදුරුආරච්චි- ගන්දර සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division