අඩසිය වසක් ගෙවෙන්නත් පෙරාතුව අකාලයේ සිය ජීවිතයෙන් සමුගෙන යන විට මහගම සේකර (1929 අප්‍රේල් 7- 1976 ජනවාරි 14) කවියෙකු, ගීත රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන් ම සෞන්දර්ය අධ්‍යාපනඥයෙකු ලෙස ද ඒ ඒ ක්ෂේත්රවල කීර්තියක් දිනා සිටියේ ය. සේකර දේශීය සංස්කෘතියත් කලා සම්ප්‍රදායත් සමකාලීන ජන විඥානයත් වටහාගෙන කලා නිර්මාණ බිහිකළ කලාකරුවෙකු යැයි ‘මහගම සේකර සහ කලා නිර්මාණ’ ග්‍රන්ථයේ සඳහන් වේ. ව්‍යංගා (කේ. ජයතිලක සමඟ), සක්වාලිහිණි, හෙට ඉරක් පායයි, මක් නිසාද යත්, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත, බෝඩිම, නොමියෙමි සහ ප්රබුද්ධ ඔහුගේ කාව්‍ය නිර්මාණයෝ ය.
සේකර ම පවසන ආකාරයට ‘කවිය වූ කලී කවියාගේ අධ්‍යාත්මය මිස අනෙකක් නොවේ. එබැවින් කවියා දේශීය වන තරමට කවිය දේශීය ගුණයෙන් යුක්ත වෙයි. කවියා සංයමයෙන් යුක්ත වන තරමට කවියෙහි සංයමය ඇති වෙයි. කවියා නිර්ව්‍යාජ වන තරමට කවිය නිර්ව්‍යාජ වෙයි’ (රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත – පෙරවදන) සිංහල කවිය පෝෂණය කිරීමට සම්භාව්‍ය කාව්‍ය සම්ප්රදාය මෙන් ම ගැමි කවි, ජන කවි යනුවෙන් හඳුන්වන චූල කාව්‍ය සම්ප්රදාය ද ඉවහල් වේ. සේකර ජන කවියට උරුම වූ රුව ගුණ හඳුනා ගනිමින් ජන හදවත් ආමන්ත්රණයට සීමා නොවී උගතුන්ට පවා රස විඳිය හැකි ආකාරයේ නිර්මාණ බිහි කිරීමට සමත් විය. කවියෙකු මෙන් ම ගීත රචකයෙකු ද වූ සේකර කවියට මෙන් ම ගීතයට ද මෙම නිර්මාණ ලක්ෂණ මුසු කළේ ය.
දේශීය ගුණයත් ගැමි සුවඳත් තැවරුණු සේකරගේ නිර්මාණ බොහෝ සහෘදයෝ අදටත් ස්පර්ශ කරති. ව්‍යාංගා පද්‍ය සංග්‍රහයේ සිට ම ඔහු ජන කවි සම්ප්රදාය සුභාවිත කළ ආකාරය ගම්‍යමාන ය. මෙම පද්‍ය සංග්‍රහයේ හමුවන නිර්මාණ අතර ‘මරණය’ පද්‍ය පන්තිය, සෑම ජීවියෙකුට ම පොදු වූ එමෙන් ම පෞද්ගලික සංසිද්ධියක් වූ ‘මරණය’ තේමා කර ගනිමින් ඔහු නිර්මාණය කරන්නේ ජන කවි රිද්මය මුසු කරමිනි.
මන්ද ඔතන හැංගී උඹ කරන්නේ
අන්ධකාර සළු පොරවා වැනෙන්නේ
නින්ද නැතිව මම පැදුරේ දපන්නේ
නින්ද සදාකාලික කොට දියන්නේ
(මරණය)
භාවපූර්ණ සහ ධ්වනිපූර්ණ රචනාවක් වශයෙන් මෙම පද්‍ය පන්තිය රචනා කිරීමේ දී සේකර හද බස යොදා ගන්නේ තණ්හාධික මිනිසා උපහාසයට ලක් කරමිනි.
ව්‍යංගා මෙන් ම සක්වාලිහිණි පද්‍ය සංග්‍රහයේ ද ගැමි කාව්‍ය රීතිය සහ බස් වහර යොදා ගනිමින් රචනා කළ පද්‍ය නිර්මාණ හමුවෙයි. නිර්මාණයට තෝරාගන්නා අත්දැකීම හෝ අත්විඳීම වඩා හොඳින් සහෘද මනසේ නින්නාද දීමට ඒ නිර්මාණකරුවා උපයුක්ත කරගන්නා බස් වහර අත්‍යන්තයෙන් ම ඉවහල් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජන කවියෙන් ජීවය ලැබූ බස් වහර යොදා ගනිමින් සජීවි චිත්‍රයක් සහෘදයා හමුවට ගෙන එන සේකර ඉතා මැනවින් ගැමි වහර සහ ජන කවි බස සුසංයෝග කරයි.
ජන කවි ආර පදනම් කොට ගනිමින් මහගම සේකර, ‘රන් එතනාට කියන කවි’ පද්‍ය පන්තියේ දී ඡන්දස් ආකෘතිය භාවිත කරයි. ජන සාහිත්‍යයේ ඇසුර ලබා සහජයෙන්ම ලද කවිකම, ඔහුගේ පරිකල්පනයෙන් ඔප වැටී නිර්මාණ බවට පත් විය. රදාවාන පාසලෙන් මුලකුරු කිය වූ සේකර බොහෝ නිර්මාණ අතර ඒ ගැමි සුවඳ අපූරුවට තවරා තැබීමට අමතක නොකළේ ය. ඔහු ගැමි ජන ජීවිතය තුළ ලද අත්දැකීම්, ප්‍රේමය වැනි මනෝභාව නිරූපණයට ද ඉවහල් කරගත් සේ ය.
රන් එළියට හැන්දෑවේ මුදු කෙහෙ දිලිසෙන්නේ
රන් ගෝමර පෙති ඉහිලා ළමැද බබුළුවන්නේ
රන්වන් වී කරලක් මෙන් බිමට නැමී එන්නේ
රන් එතනා ඉපනැල්ලේ මොනවද අහුලන්නේ
(රන් එතනාට කියන කවි)
පවුලේ එක ම දරුවා නිසා ම ගැමියන්ගේ ආදරයට ලක් වූ සේකරට රදාවාන ගමේ නිසංසල පරිසරයෙන් ලැබුණ ආත්මීය ගුණය දෘශ්‍ය කලාකරුවෙකු බිහිවීම සඳහා අවශ්‍ය නිර්මාණ අවකාශය සකසා දුන් බව සිය නිර්මාණ මඟින් ඔහු මැනවින් ප්‍රකට කරවයි. සංයමය ජන කවියේ ලක්ෂණයකි. මහගම සේකර ද ජනකවියේ හරවත් ආභාසයට අවනත විය. භාව පූර්ණ ගුණයෙන් පොහොසත්ව අර්ථ රසය මෙන් ම ශබ්ද රසය ද මනාව සංකලනය කළ මෙම පැදි පෙළ සහෘද අධ්‍යාත්මය පෝෂණය කරයි.
ව්‍යවහාර භාෂාව, කාව්‍යෝචිත මාධ්‍යයක් බවට පත් කර ගැනීම ජන කවියාගේ සිරිතකි. වර්තමාන මිනිස් ජීවිතයේ ගැබි වී ඇති ඒකාකාරි බව සහ නිස්සාරත්වය ගම්‍ය කරන ගැමි ජීවිතය හා සම්බන්ධ ‘අස්වැන්න පෑගීම’ නම් වූ නිර්මාණය නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකි ය.
අම්බරුවෝ අපි කමතේ – කැරකි කැරකි යනවා
කවුද කෙනෙක් කෙවිට අරන් – අපි පස්සෙන් එනවා
රන්වන් බැත පෑගි පෑගි – නොපෙනී යට යනවා
රන්වන් බැත යට කරගෙන – මඩුවන් මතු වෙනවා
කාව්‍යෝචිත ගැමි ව්‍යවහාර භාෂාව සේකර ද අපූර්වාකාරයෙන් පද්‍යයට සංඝටනය කරන්නේ මේ ආකාරයෙනි.
ඉර බැහැගෙන යන සැන්දෑවක පිලේ පැදුර අරගෙන සිත පැලේ තබා හේන වෙත පිය මනින ගැමියාගේ මුවින් ගිලිහෙන සුසුම්, පැල් කවියෙහි රිද්මයට අමුණා තබන්නට ඔහු සමත් විය. සක්වාලිහිණි පද්‍ය සංග්‍රහයේ හමුවන ‘දුකට කියන කවි සීපද’ පද්‍ය පංතියෙන් සේකර හේන් පිළිබඳ අත්දැකීම නූතන සහෘදයාගෙන් දුරස් වුවද මේ කථකයාගේ ආත්මීය දුක් වේදනා සහෘද හදවතට සමීප කරවන්නට සමත් වෙයි.
පිලේ පැදුර හේනට අරගෙන එනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
ජන කවියේ ආභාසය ලැබුව ද ව්‍යංග්‍යාර්ථවත් ව ‘රටා වියපු අත් දෙක මට සිහි වෙනවා’ වැනි යෙදුම් භාවිත කරයි. කවියා ‘පැදුර’ ප්‍රේමයේ සංකේතයක් කරමින් එහි නිදා සිටින කථකයාගේ නෙත ගැටෙන රටා සැරසිලි ගෙතුව ප්‍රේමවන්තිය සිහි කරවයි. ජන කවිය කාගේ වුව ද සිත් පැහැර ගැනීමට හේතු වන්නේ එහි අව්‍යාජත්වය යි. සේකරයාණෝ ගැමි පරිසරයක ජීවත් වූ ජන සාහිත්‍යය සහ ජනශ්රැති ඇසුරු කළ අපූරු නිර්මාණකරුවෙකි.
රදාවාන ගම්මානය මහගම සේකර නම් අපූර්ව මිනිසා නිර්මාණය කිරීමට පතිරූපදේශ වාසයක් ම විය. සංවේදී සහකම්පනයෙන් යුතු නිර්මාණකරුවා ඇළ දොළ, සතා සිව්පාවා ඇසුරෙන් තමා ලැබූ උත්තේජනය ‘තුංමං හන්දිය’ නවකතාවේ මෙසේ සටහන් කරයි.
නාගෙන නියර දිගේ එන විට පාට පාට කුරුලු පිහාටු නියර උඩ වැටී තිබේ. මම නැවති ඒවා අහුලමි. මඩ තියාපු නියර ඉරි තැලී ගිය තැනින් ගොටුකොළ පඳුරු පඳුරු මතු වෙයි. අග්ගිස් මහත් වෙවී තණ පලා දඬු එහෙන් මෙහෙන් දුව යයි. තණ කොළත් එක්ක හරි හරියට බේත් මුගුණුවැන්න වැවේ. අම්මා කළය බිම තබා පලා කඩයි. තාත්තා වක්කඩ ළග ඇණ තියා ඉඳගෙන ලියද්දට වතුර හරවමින් සිටී. මම තණ පතක් කඩාගෙන එතන දිය සුළියට දමමි. තණ පත දිය සුළියට අසු ව වට දෙක තුනක් කැරකී යට යයි. වක්කඩින් වතුර වැටෙන තැන මාළු පැටවු උඩ පැන පැන නටති (තුංමං හන්දිය-12 පිටුව)
ඔහුගේ කවියක ගම්මානයේ වක්කඩ ළග දිය වැටෙනා රිද්මය, ජන හදවත්හි නිතැතින් කුළු ගන්වන්නේ, සේකරයන් පිළිබදව වූ සොඳුරු මතකය යි. ගැමි ජනතාව අතරින් ම මතු වුණ කවියා දේශජ කවි ශක්තිය විශද කරන්නේ එහෙයිනි. සහෘදයාගේ රස වින්දනය තීව්ර කිරීම පිණිස කාව්‍යමය සංකල්ප ඉදිරිපත් කිරීමේ දී ජන කවියේ ආකෘතිය සාර්ථක ව උපයෝගී කරගත් කලාකරුවකු ලෙසින් ද ඔහු බුහුමනට බඳුන් වේ. ‘ගම අමතකයි’, ‘ඉරට මුවාවෙන්’, ‘කන්ද උඩින් එන’, ‘පිලේ පැදුර හේනට අරගෙන එනවා…’, ‘කොන්ත නෝනා’, ‘දුකට කියන කවි සී පද’, ‘කෙකටිය මල්’ වැනි නිර්මාණ ඊට උදාහරණ ලෙසින් ගෙනහැර දැක්විය හැකි ය. තම පරිකල්පනය විශද කරමින් ප්‍රතිභාවෙන් උපලක්ෂිත නිර්මාණ බොහොමයක් සහෘදයන්ට දායාද කළ සේකර සිය ළමා කාලය ගෙවා දැමූ රදාවාන සුන්දර ගැමි පියසේ සුවඳ බොහෝ නිර්මාණ පුරා දිග හැරෙයි. නිර්ලෝභීව ජනකවි ආභාසය හා ගැමි වහර සිය කවිවලට මුසු කළ සේකර එයින් අරුත් ජනනය කිරීමට නව පණක් ගෙන තිබේ. ඔහු සතු භව්‍යතා විකසිත කරන්නට මේ ඇසුර තෝතැන්නක් ම වන්නට ඇත.
මෙම අසහාය මහා වෘක්ෂය අදින් වසර 48කට පෙර ජනවාරි 14 වන දිනක නිසොල්මනේ බිම හුණු ආකාරය මෙසේ සඳහන් කර තිබේ.
ලියන්නට පටන්ගත් පිටුවෙහි රිද්මය පිළිබද සටහනක් ද අසම්පූර්ණ ව තිබූ අතර පෑන පසෙක වැටී තිබුණා.
ඔහු නික්ම ගොස් තිබුණා.
හිමගිරි කුළු ඉහළ නැඟී වලා සිඹින
අහස පොෙළාව දෙක මුසුවන
නිල් මිටියාවත මැද්දෙන්
සුදු මීදුම් පීරාගෙන
සුදු පියාපත් සලමින්
නැඟ බැස පාවී යන
සිහින මුවා අසු පිට නැඟ
සතර කතර ගිම් සනහන
‘මරණී’ නම් කෙම්බිම වෙත
ඔහු නික්ම ගොස් තිබිණි
උපුටා ගැනීම – මහගම සේකර සහ සමාජ යථාර්ථය – 91-92 පිටු
සුචරිත ගම්ලත් සහ රත්න ශ්‍රී විජේසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩබ්. එම්. කල්‍යාණි විජේසුන්දර