ඉංග්‍රීසි සාහිත්‍යයේ මුදුන් මල්කඩ ලෙස සර්වකාලීනව පිළිගන්නා විලියම් ශේක්ස්පියර් (1564 – 1616) සිංහල පාඨකයාට විශේෂයෙන් හඳුන්වා දීමේ අවශ්‍යතාවක් නොමැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. පරිනත කවියකු වූ ඔහු විසින් රචිත නාට්‍ය සංඛ්‍යාව තිස්හයකි. ඒ අතරම ඔහු විසින් තවත් නාට්‍ය හතරකට සිය දායකත්වය ලබා දී ඇති බව පැවසේ. සමහරවිට මේ සියල්ල ඔහුගේ ගිණුමට බැරකොට තිබෙනු ද දක්නා ලැබිය හැකි ය. ඊට අමතරව ශේක්ස්පියර් සොනට් වර්ගයේ පැදි 154ක් සහ ආඛ්‍යාන කාව්‍ය තුනක් පාඨක ජනයා වෙත තිළිණ කර තිබේ. වීර කාව්‍ය ප්‍රබන්ධකරු යන අරුත් ඇති bard යන පදය ශේක්ස්පියර් හැඳින්වීමට පමණක් the Bard ලෙස යෙදේ.
ඔහුගේ අභාවයෙන් වසර හයකට පමණ පසු ඔහුගේ කෘති සියල්ල එකට තබා සංග්‍රහ කරන ලදී. එය හැඳින්වෙන්නේ First Folio යන නමිනි. එහි ඔහුගේ නාට්‍ය ප්‍රවර්ග තුනකට බෙදා තිබෙනු දැකිය හැකි ය. ප්‍රහසන, ඉතිහාස කතා සහ ශෝකාන්ත යනුවෙනි. මේ ප්‍රවර්ග පසු කලෙක අතු විහිද ගොස් තිබේ. tragicomady” Prblem plays යනු එයින් දෙකකි.
First Folio වර්ගීකරණයට අනුව III රිචඩ් අයත් වන්නේ නාට්‍ය එකොළහක් ඇතුළත් ඓතිහාසික නාට්‍ය ගණයට ය. ඒ නාට්‍ය එකොළහ ශේක්ස්පියර් දිවමන් සමයට නුදුරු අතීතයේ එංගලන්ත රජවරුන් සම්බන්ධ සිද්ධි අනුසාරයෙන් ලියැවුණ ඒවා වෙයි. First Folio හි ඒවා තනි ශේක්ස්පියර් කෘති ලෙස සඳහන් වුවද ඉන් හතරක් සමකාලීන නාට්‍ය රචකයන්ගේ සහය ඇතිව ලියන ලද ඒවා බව පසුව අනාවරණය කැරගෙන ඇත.
රචනා කළ කාලානුක්‍රමය අනුව මුලින් ම ලියා ඇත්තේ‘හයවන හෙන්රි-1’නාට්‍යයයි. ඒ වර්ෂ 1590 – 1591 කාලයයි. එහි තවත් කොටස් දෙකක්‘හයවන හෙන්රි-2’ හා ‘හයවන හෙන්රි-3’ ලෙස ඒ දවස්වලම රචනා කර ඇති අතර මේ‘රිචඩ් 3’නාට්‍යය 1592 – 93 වසරවල රචිත බව සඳහන් ය. මේ හතර‘පළමුවන චතුෂ්කය’ලෙස හැඳින්වේ. එහි අරුත ඒවා එකකට එකක් සම්බන්ධ බව ය. දෙවන චතුෂ්කයක් ද ඇති අතර ඊට‘දෙවන රිචඩ්’, ‘සිව්වැනි හෙන්රි 1’, සිව්වැනි හෙන්රි 2’ සහ‘පස්වන හෙන්රි’යන නාට්‍ය ඇතුළත්ය. මේ චතුශ්ක දෙකේ එන කතා පුවත් එකල එංගලන්තයේ පැවැති යෝක් සහ ලැන්කැස්ටර් පෙළපත් අතරවූ ආරවුල්, ගැටුම් හා සමථයන් ගැන කියැවෙන ඒවා ය. ඓතිහාසික නාට්‍ය එකොළහේ අනෙක් තුන වනුයේ පළමුවන ජෝන්, අටවන හෙන්රි සහ තුන්වන එඩ්වඩ් ය.
ඉහත පළමු චතුත්කයේ අවසන් නාට්‍ය වන තුන්වන රිචඩ් තනි ශේක්ස්පියර් කෘතියක් සේ ගැනෙන්නකි. මුල් වර්ගීකරණයේ දී එය ඓතිහාසික නාට්‍ය ගණයට ඇතුළත් කර ඇතත් පසු වර්ගීකරණයක දී ඛේදාන්ත ගණයට ඇතුළත් කර තිබේ.
මේ නාට්‍යය ශේක්ස්පියර් නාට්‍ය අතරින්, දිගෙන් දෙවැනි තැනට එයි. පළමුවන ස්ථානය ගන්නේ හැම්ලට් ය.
මෙය ක්‍රි.ව 1457 ඔක්තෝබර් 02 සිට 1485 අගෝස්තු 22 දක්වා එංගලන්තය පාලනය කළ තුන්වන රිචඩ් රජු තේමා කැර ගනිමින් නිර්මිත ය. මේ රිචඩ් සිය වැඩිමහල් සහෝදරයා වන එඩ්වඩ්ගේ රාජාභිෂේකයෙන් පසු ග්ලුසෙස්ටර්හි ආදිපාද ලෙස පත්කරනු ලැබී ය. සවැනි එඩ්වඩ් 1483 දී හදිසියේ මියගිය අතර ඔහුගේ වැඩිමහල් පුත්‍රයාට කිරුළ හිමිවිය යුතු ව තිබිණි. ඒ වනවිට බාලයකු වූ ඔහුගේ කැපකරු වූයේ බාප්පා වූ ග්ලුසෙස්ටර්හි රිචඩ් ය. කුමරුවා සිංහාසනාරූඪ කරන්නට පෙරදින රිචඩ්, ළමයාගේ පියා ලෙස සවැනි එඩ්වඩ් නීත්‍යනුකූල ලෙස ලියාපදිංචි කොට නැත’යි ඔප්පු කළේය. එවිට උභය මන්ත්‍රී මණ්ඩලය රැස්ව රිචඩ් රජ ලෙස තෝරාගෙන තුන්වන රිචඩ් ලෙස සිංහාසනාරූඪ කළහ.
1485 අගෝස්තු 22වන දින ඔහුට එරෙහිව ලැන්කැස්ටර් පාර්ශ්වයේ රිච්මන්ඩ් සාමිගේ නායකත්වයෙන් ඇරැඹුණු බොස්වර්ත් සටනේ පෙරමුණේදී ඔහු මරු දිටී ය.
මේරිචඩ් විකල් සිරුරක් ඇතිව සිටියෙකි. කුදෙක් වූ ඔහු ඒ නිසා මහීනමානයෙන් පෙළුණු අයෙකි. එසේම ඔහු ඇති පදම් දුෂ්ටකම් කළ පුද්ගලයකු බව ද පැවසේ. මේ නාට්‍යයයේ ඇතුළත් වනුයේ රජකම ලබා ගැනීම පිණිස ඔහු විසින් කරන ලද කෲර ඝාතන පිළිබඳ විස්තරයකි. නැසීගිය සිය සහෝදරයකුගේ බිරිය ආවාහ කර ගන්නා ඔහු පසුව ඇය ද ඝාතනය කරයි. ඉන්පසු ඔහු තමා විසින් ඝාතනය කරන ලද සිය වැඩිමල් සොයුරකුගේ දියණිය ආවාහ කැර ගැනීමට ඇගේ මවගේ සහාය ඉල්ලයි.
ඒ සම්බන්ධයෙන් මේ කෘතියේ පෙරවදනේ සවිස්තරයක් ඇත.
‘III රිචඩ් නාට්‍යය සඳහා ශේක්ස්පියර්ට මූලාශ්‍රය වන්නට ඇත්තේ රෆායෙල් හොලින්ෂෙඩ් විසින් 1587 දී රචනා කළ “එංගලන්තයේ, ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ වංශකතා” නම් ග්‍රන්ථය බව අදහස් කෙරේ. හොලින්ෂෙඩ් සිය කෘතිය සඳහා පූර්ව ඉතිහාසඥයින්ගේ ලේඛන පරිශීලනය කොට ඇත. පොලිඩෝර් වර්ජිල් එවැනි එක් ලේඛකයෙකි. 1543 දී සර් තෝමස් මොර් විසින් රචිත තුන්වන රිචඩ් රජු පිළිබඳ ඓතිහාසික වෘතාන්තය මේ චරිතය ප්‍රතිනිර්මාණයේ දී ඔහුට ඉවහල් වන්නට ඇත. තුන්වන රිචඩ්ගේ විකෘත කායික ස්වභාවය එම කෘතියේ ද අතිශයෝක්තියෙන් දක්වා තිබීම එම අනුමානයට හේතු වන්නට ඇත. මෝර්ට අනුව තුන්වන රිචඩ්ගේ වම් උරහිස, දකුණු උරහිසට වඩා උස් ව තිබී ඇති අතර වක්වූ කොන්දක් හා විකෘති අත් හා පා සහිත වූවෙකි. 2013 දී ඔහුගේ සිරුර ගොඩ ගන්නා ලද අතර ඒ සඳහන් සත්‍ය බව අනාවරණය කර ගන්නා ලදී.
ශේක්ස්පියර් ප්‍රතිනිර්මාණය කළ තුන්වන රිචඩ් රජුගේ චරිතය ඓතිහාසික තුන්වන රිචඩ්ගේ චරිතය සමඟ සාකල්‍යයෙන් ම සැසඳෙන්නේ නැත. නාට්‍යය ආරම්භයේදී තුන්වන රිචඩ් නම් චරිතය එසමයේ පැවැති සාමකාමී වටපිටාව දෙස බලන්නේ නොරිස්සුමකින් බව අපට හැඟෙයි. මේ කාලයේදී සෙස්සන් මෙන් විනෝදවන්නට හෝ ස්ත්රීන්ගේ ආකර්ෂණය දිනාගන්නට නොහැකි බැවින් දුෂ්ටයකු බවට පත්විය යුතුය’යි ඔහු සිතයි. ඔහුගේ කායික විකෘතිය, මානසික විකෘතියකට තුඩු දී ඇති අයුරු නාට්‍යය ආරම්භයේදීම ශේක්ස්පියර් ප්‍රේක්ෂකයාගේ අවධානයට යොමු කරයි. සොබාදහම විසින් අස්වාභාවික දේහයක් ලබාදී ඇති හෙයින් සොබාදහමට අනුගත වන්නට මෙන්ම ඇලුම් කරන්නට ද ඔහුට සිත් නොදේ. එහෙයින් ඔහු හැසිරෙන්නේ සමාජ පටිපාටිවලට එරෙහිව අස්වාභාවික ලෙසිනි. මෙම චරිතයේ කායික විකෘතිය මඟින් සමාජයේ දූෂිතභාවය නිරූපණය කෙරෙන බවක් වැටහෙනු ඇත. ඔහු ඈන්ගේ සැමියා සහ මාමණ්ඩිය ඝාතනය කොට ඇය ඉදිරියේ දණින් වැටී ඇගේ අත ඉල්ලා යාඥා කරයි. සිය සහෝදරයා ද වන එලිසබෙත්ගේ සැමියා සහ පුතුන් මරා දමා ඇගේ දියණිය ආවාහ කර ගන්නට අවසර පතයි.
පසුකාලීන ඉතිහාසඥයන්ට අනුව ශේක්ස්පියර්ගේ මේ නාට්‍යයේ සියල්ල තුන්වන රිචඩ් සම්බන්ධයෙන් සත්‍ය නොවේ. ඒ කියන්නේ නාට්‍යය පමණක් කියවන්නා ලබන්නේ අසම්පූර්ණ දැනුමක් බවයි. එහෙත් කිරුළ පිළිබඳ ඔහුගේ විජිගීෂාව හානිකර ලෙස රජ පවුලේ සෙසු සාමාජිකයන්ට බලපෑ බව බැහැර නොකෙරේ. සියලු බාධා ඝාතනය නමැති කෲර උපක්‍රමය භාවිත කරමින් බිඳ දමමින් ඉදිරියට යන පුද්ගලයකු සිය අදහස් මස්තක්ප්රාප්ත කර ගත්තේ වුවත් විනාශයට පත්වන ආකාරය ඉදිරිපත් කිරීම කර්තෘගේ අරමුණ වන්නට ඇත. තුන්වන රිචඩ් රජුගේ මරණය සිදුවනුයේ සටන් බිමේදී ය. එනම් ඔහු මුහුණ දෙන්නේ සාමාන්‍ය මරණයකට ය යන බවයි. එහෙත් සිය ගණනක් සාපකිරීම් ඔහුට එරෙහිව වෙයි. ඔහුගෙන් මැරුම් කෑ අයගේ ආත්ම සිහිනෙන් අවුත් ඔහු බිය කරයි. මෙයින් ඔහු දැඩි ලෙස මානසික පීඩාවකට, ආතතියකට යටත්ව සිටිනා බව ඔහු කියනා දේවලින් අපට වැටහේ. සමහරවිට ඔහුගේ පරාජයට ඒවා හේතු වන්නට ඇති බව ප්‍රේක්ෂකයාට මතු නොව පාඨකයාට ද ඒත්තු යයි. මේ නාට්‍යයේ පෙළෙහි විශේෂය නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත ගැන නිතර සඳහන් වීමයි. කිරුළ දරන්නාට දේවාශීර්වාදය තිබිය යුතුය යන විශ්වාසය මෙය ප්‍රකට කරයි. එහෙත් තුන්වන රිචඩ් දෙවියන්ට අගෞරව කරන්නකු බව ඔහුගේම මව කියයි. ඒ කිරීටය නියම උරුමක්කාරයාගෙන් පැහැර ගැනීම නිසා ය. එහෙයින් දෙවියෝ ඔහුට පිටුපා සිටිති. III රිචඩ් මංගලිකා ජයතුංගගේ කෘතියකි.