Home » පුංචි තිරයේ කලා තරු මෙදා අවුරුදු සැමරුවේ මෙහෙමයි

පුංචි තිරයේ කලා තරු මෙදා අවුරුදු සැමරුවේ මෙහෙමයි

by thanushika
April 13, 2024 12:30 am 0 comment

සිංහල හින්දු අලුත් අවුරුද්දේ සුවිශේෂත්වය ඉස්මතු කරන පිරිස අතර සාමාන්‍ය ජනතාවගේ ආදරය දිනා සිටින කලා ශිල්පීන්ට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ඔවුන් එය සමරන්නේ කෙසේදැයි නැරඹීමේ අදහසින් අවුරුද්ද එනතෙක් බලා සිටින පිරිස ද බොහෝය. තමන් ආදරය කරන කලා තරු ජන ක්‍රීඩාවල යෙදෙන අයුරු බලන්නට ඔවුන්ගේ ජයග්‍රහණයන්ට ඔල්වරසන් දෙන්නට ඔවුන් සැදී පැහැදී සිටියි. මාධ්‍ය ආයතන ද එයට සහාය දක්වමින් සාමාන්‍ය ජනතාවගේ රසවින්දනය උදෙසා කලා ශිල්පීන්ට ආරාධනා කිරීමට අමතක නොකරයි. එකිනෙකට නොපරදින රූපවාහිනී නාළිකා අතර කලා ශිල්පීන්ට ඇත්තේද පුදුමාකාර ඉල්ලුමක් බව හැඟී යන්නේ හැම නාළිකාවම වාගේ ඔවුන් පෙනී සිටින ලීලාවෙනි. කලා ශිල්පීන්ගේ සහභාගිත්වය අවුරුදු උලෙළකට ගෙන එන්නේ ද ආකර්ෂණයකි. සමහර කලා ශිල්පීන් අවුරුද්ද ලබන මොහොත ගත කරන්නේ ද එවන් වැඩසටහන්වලය. ජනතාවගේ ප්‍රසාදය දිනාගත් කලාකරුවන් තම ආයතනයට ගෙන්වා ගැනීමට ඔවුන් උත්සුක වන්නේ අවුරුද්ද ලබන්නටත් කලකට පෙර සිටය. මෙවර නිවෙසේ සිට අලුත් අවුරුද්ද සමරන කලාශිල්පීන් කිහිප දෙනකු අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි.

 

අවුරුදු අරන් මං නෑගම් ආවෙ ඔස්ට්‍රේලියාවට

චන්දන වික්‍රමසිංහ

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ මෙවර අලුත් අවුරුද්ද සමරන්නේ කෙසේ දැයි අප කළ විමසුමකදී දැන ගන්නට ලැබුණේ ඔහු මෙවර සිංහල අවුරුද්දට සිටින්නේ ඔස්ට්‍රේලියාවේ බවය.

“සිංහල අලුත් අවුරුද්ද කියන්නෙ පවුලේ සියලු දෙනාම එකට ඉඳන් සතුට සමරනු ලබන අවස්ථාවක්. පවුලේ අම්මා, තාත්තා, දරුමල්ලන්, ආච්චි, සීයා මේ හැමෝම එකට හමුවන මොහොතක්. මං හිතන්නේ ලෝකෙ වෙන කොහේවත් මේ වගේ දෙයක් කෙරෙන්නෙ නෑ. සිංහල අලුත් අවුරුද්දෙ අර්ථය තියෙන්නෙත් එතැන. මේ අවුරුද්ද මටත් විශේෂයි. අනෙක් හැම අවුරුද්දක්ම වගේ අවුරුද්ද ලබද්දි මං හිටියේ ලංකාවේ කුමන හෝ රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට සම්බන්ධ වෙමින්. ඒත් මේ පාර මං තීරණයක් ගත්තා නාළිකාවල අවුරුදු සමරන්න ගියා ඇති කියලා. මේ අවුරුද්ද මං මගේ බිරිය සහ දරුවන් සමඟ ගත කරනව කියන තීරණය ගත්තා. එයාල මේ වෙනකොට ඉන්නේ ඔස්ට්‍රේලියාවෙ නිසා මං මෙවර අවුරුදු සමරන්න මගේ පවුලේ සාමාජිකයන් සමඟ එක්වෙනවා කියලා. ඒ නිසා දවස් කිහිපයකට පෙර මම ඔස්ට්‍රේලියාවට ආවා. මම කොතරම් රාජකාරි බහුල කෙනෙක් වුණත් මගේ ජීවිතේ පළමු තැන හිමි වෙන්නේ මගේ බිරියට සහ දරුවන්ට. මගේ මල්ලි ඉන්නෙත් ඔස්ට්‍රේලියාවෙ. ඒ නිසා මේ පාර එයත් අපිත් එක්ක ඉන්නවා. පොඩි දුකකට තියෙන්නෙ මේ අවුරුද්දෙ අම්මා අපේ ළඟ නැති එක. ඒත් එයා අපිට කැවුම් කොකිස් ඇතුළුව ලංකාවෙ හදන කැවිලි පෙවිලි ඔක්කොම හදල දුන්නා. සිංහල අලුත් අවුරුදු අරන් මේ පාර මං නෑගම් ආවෙ ඔස්ට්‍රේලියාවට. ලංකාවාසී සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා! කියලා ප්‍රාර්ථනා කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.

 

මෙදා අවුරුදු අපේ අලුත් ගෙදර

දමිත්‍රි සුබසිංහ

ඉස්කෝලේ විහාරා ටීචර් ලෙසින් ඔබ හමුවට එන ජනප්‍රිය රංගන ශිල්පිනී දමිත්‍රි සුබසිංහට මෙවර සිංහල අලුත් අවුරුද්ද නව අත්දැකීමක්ලු. අප ඇය සමඟත් ඇගේ අවුරුදු දවස් ගෙවෙන අයුරු ගැන ඇහුවා.

“මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක වුණේ 2019 දෙරණ අවුරුදු කුමරිය වීම. ඒ නිසා සිංහල අවුරුද්ද කොහොමත් මට සුවිශේෂියි. මේ අවුරුද්ද තවත් පැත්තකින් මට විශේෂයි. හේතුව කේසරයි මමයි විවාහ වෙලා අපේම ගෙදරක පදිංචි වෙලා සමරන පළමු සිංහල අවුරුද්ද මේක. ගිය වසරෙ විවාහ වෙලා හිටියත් අපි අවුරුදු සැමරුවේ මහගෙවල්වල. ඒත් මේ පාර අපි අවුරුදු සමරන්නේ අපි දෙන්නගෙ ගෙදර. අපේ ගෙදර සිංහල අවුරුදු සමරන්න කේසරගේ අම්මලටයි මගෙ අම්මලටයි ආරාධනා කළා. අපි හරි සතුටින් වෙනස් විදිහකට මේ පාර අවුරුද්ද සැමරුවා. ගිය අවුරුද්දෙ අපි පරණ අවුරුද්ද ගත කළේ අපේ ගෙදර. අලුත් අවුරුද්දට කේසරලගෙ ගෙදර ගියා. මගෙ අම්ම කොළඹ හැදුණු කෙනෙක් නිසා වැඩිය කැවිලි ජාති හදන්නෙ නෑ. ඒත් කේසරගෙ අම්ම කෑගල්ලෙ නිසා හැම කැවිලි වර්ගයක්ම හදන්න දන්නවා. කැවුම්, කොකිස් වගේම ඇය පැණි වළලුත් හදනවා. ඒ නිසා එහේ යන්න මං හරි ආසයි. ඒ වගේම අපි නෑදෑ ගෙවල්වල යනවා. මේ පාර යන්න තියෙන ගෙවල් ප්‍රමාණය වැඩියි. හිසතෙල් ගාන්නෙ නම් කේසරගෙ අම්මා. එයා හැමදාම ඒ චාරිත්‍රය හරියටම කරනවා. ඒ වගේම අපි යාළුවො කට්ටිය එකතුවෙලා මේ පාර අවුරුදු උත්සවයක් පවත්වන්න සංවිධාන කරලා තියෙන්නේ. ගිය අවුරුද්දෙත් අවුරුදු උත්සවය තියන්න ප්ලෑන් කළාට ඒක කරන්න බැරි වුණා. මේ අවුරුද්දෙ අපි ඒ සතුටත් භුක්ති විඳිනවා.“

මෙවර අවුරුදු ලොකුවට සැමරුවේ නෑ

උදාරි වර්ණකුලසූරිය

ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියට මේ අවුරුද්ද තම පියා සමඟ රැඳෙන්න අවස්ථාවක් වුණාලු.

“මේ අවුරුද්ද ලොකුවට සැමරුවෙ නැහැ. මගෙ මහත්තයයි දුවයි ළඟ නැති නිසා මට ඒ අඩුව දැනෙනවා. මම ළඟදි මහත්තයයි දුවයි බලන්න සිංගප්පූරු ගිහින් ආවා. එක දිගටම ෂූටින් තිබුණු නිසා ආයෙ යන්න වෙලාවක් නැති වුණා. ඒ නිසා මේ අවුරුද්ද මං මගේ තාත්ත එක්ක අවුරුදු සමරන්න තීරණය කළා. කැවිලි පෙවිලි හදාගෙන මහ ලොකු ලොකු දේවල් කළේ නැහැ. සාමාන්‍ය විදිහට අපි ඒ දේවල් කළා. ඒ නිසා මේ අවුරුද්ද මට ලොකු විශේෂයක් වුණේ නැහැ.“

 

නෑගම් යන්න අපි හරිම ආසයි

ටනාශා හතරසිංහ

නීල පබළු ටෙලි නාට්‍යයේ කුරුළු ලෙසින් එන ටනාශා හතරසිංහට මෙවර අවුරුද්ද විශේෂයිලු.

“මේ අවුරුද්ද මට ගොඩක් විශේෂයි. ඒ මගේ මහත්තයා අනුරාධ වීරරත්න නිසා. අපි මේ අවුරුද්ද සමරුවෙ අනුරාධගෙ ගෙදර එයාගෙ පවුලේ අයත් එක්ක. අනික් අවුරුදුවලට වඩා වෙනස් අත්දැකීමක් වුණා. අපි සිංහල බෞද්ධ නිසා සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඒ විදිහටම ඉටු කරනවා. ඒ වගේම කැවිලි පෙවිලි අරගෙන අම්මලගෙ ගෙදර යන්න සහෝදර සහෝදරියන්ගෙ ගෙවල්වලට නෑගම් යන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ. අවුරුදු වැඩසටහන් කලින්ම පටිගත කළ නිසා මේ අවුරුද්ද නිදහසේ පවුලේ අයත් එක්ක ගත කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මේ අවුරුද්ද මට ගොඩක් සතුටුයි. ලක්වාසී ලෝවාසී සැමටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.“

තෑගි බෝග අරගෙන නෑදෑ ගෙවල්වල යන්න මං හරි ආසයි

අංජලී ලියනගේ

දෙවනි ඉනිම දෙව්මිගෙ අම්මා අංජලී ලියනගේ මෙවර අවුරුද්ද සැමරුවේ චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින්.

“මෙවර අපි අලුත් අවුරුද්ද සැමරුවේ අපේ නි‍ෙවසේ. පොඩි කාලෙ ඉඳන්ම අපේ අම්මල සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කරනව අපි දැක්කා. අපිත් එදා ඉඳන්ම ඒවා ඒ විදිහටම කළා. මවුපියන් විදිහට අපි දරුවන්ට නිවැරැදි දේ දිය යුතුයි. අපේ අම්මල අපිට ඒවා කියල දුන්න වගේ මමත් මගේ දරුවන්ට ඒව කියල දෙනවා. එයාලට පේන්න ඒ දේවල් නිවැරැදිව කරනවා. හැමෝම එකට එකතු වෙලා හරි සතුටෙන් ඒ දේවල් කළා. අපි කවදත් නැකැත් චාරිත්‍ර අකුරටම පිළිපදිනවා. මේ අවුරුද්ද හරිම සතුටුයි.

රූපවාහිනී නාළිකාවල වැඩසටහන්වලට කලින්ම සම්බන්ධ වුණු නිසා අවුරුද්දට නිවෙසේ ඉන්න අවස්ථාව ලැබුණා. හැමදාම ෂූටින්වලටම කොටු වෙලා ඒකාකාරීව ගෙවන ජීවිතේට පොඩි නිදහසක් දීල මේ අවුරුද්ද ඒ දවසෙ අපි පවුලත් එක්ක එකට ඉඳන් ඒ සතුට සැමරුවා. කැවිලි පෙවිලි හැදුවා. නැකැත් චාරිත්‍ර කළා. දරුවන්ට ආදර්ශයක් දුන්නා. බොහෝවිට සමහර නෑදෑයන්ගෙ ගෙවල්වල අපි යැවෙන්න සිංහල අලුත් අවුරුද්දට විතරයි. දුරකතනයෙන් කොතරම් කතා කළත් ඒක හමුවෙලා සැපදුක බෙදාගන්නව වගේ නෑනෙ. ඒ නිසා මං අවුරුදු කාලෙට හරි ආසයි. තෑගිබෝග අරගෙන නෑදෑ ගෙවල්වල යන්න. එයාලත් අපේ ගෙදර එනවා. අපි මේ දේවල් අපේ දරුවන්ටත් කියල දෙන්න ඕන. අපිටම ආවේණික සිංහල සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අපි රැකගෙන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කළ යුතුයි. අපි අද කරන දේ හෙට අපේ දරුවන් කරාවි. එය නිවැරැදිව ඔවුන් වෙත සම්ප්‍රේෂණය කිරීම තමයි අපේ වගකීම.

රූපවාහිනී නාළිකාවල කලින්ම අලුත් අවුරුදු උලෙළ පැවැත්වීම සාමාන්‍ය දෙයක්. හැම රූපවාහිනී නාළිකාවකම වගේ මෙවරත් අලුත් අවුරුදු උත්සව පැවැත්වුවා. ඒ හැම එකකටම සහභාගි වෙලා සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක එකතු වෙලා ගොඩක් සතුටින් ඒ අවස්ථාව ගත කළා. අවුරුදු ජන ක්‍රීඩා හරිම විනෝදයි. පුංචි කාලෙ කරනව වගේ නෙවෙයි ඒවා දැන් කරද්දි. ඒක වෙනස්ම අත්දැකීමක්. හැමදාම හමුවෙන්නෙ නැති සහෝදර ශිල්පීන් මෙතනදි හමුවෙලා අපි එක්ක සතුටින් ගත කළා. ඇත්තටම අවුරුද්දකට වරකවත් ඔක්කොම එකතු වෙන මේ වගේ අවස්ථාවක් ලැබෙන එක ලොකු සතුටක්. ශ්‍රී ලංකාවාසී ලෝක වාසී සියලුම සිංහල හින්දු ජනතාවට සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.“

අයියලා අක්කලාගේ ළමයි එක්ක අවුරුදු සැමරීම තමයි සතුටුම දේ

නයෝමි පෙරේරා

ඊළඟට අපි අවුරුදු කොහොමද කියලා ඇහුවේ රංගන ශිල්පිනී නයෝමි පෙරේරා සහ බුද්ධික සේමසිංහගෙන්. මෙවර ඔවුන් අවුරුද්ද සැමරුෙව‍ නුවර නි‍ෙවසේ.

“අපි අවුරුද්ද ළං වෙනකල්ම ෂූටින්වලට සම්බන්ධ වුණා. ඊට පස්සෙ තමයි ගෙවල්වල වැඩ කරන්න පටන් ගත්තෙ. දවස් බෙදාගෙන අපේ ගෙදරයි බුද්ධිකගෙ ගෙදරයි දෙකේම යනවා. සාමාන්‍යයෙන් පරණ අවුරුද්ද අපේ ගෙදර ඉන්නෙ. අලුත් අවුරුද්ද බුද්ධිකලගෙ ගෙදර ඉන්නෙ. මේ අවුරුද්දෙත් ඒක ඒ විදිහටම වුණා. පවුලෙ අය ඔක්කොම එකතු වුණා. අයියල අක්කලගෙ ළමයි පවුලෙ ඔක්කොම එකතු වෙනවා. විවාහ වුණාට පස්සෙ හැම අවුරුද්දම ගෙවුණෙ මෙහෙමයි. අපි දෙන්න විතරක් ඉන්න නිසා අවුරුද්දට අපි මහගෙවල්වල යනවා. කැවුම්, කොකිස් වගේ කැවිලි වර්ග අනිවාර්යයෙන්ම හදනවා. ඒ වගේම නැකැත් චාරිත්‍ර ඒ විදිහටම කරනවා. අයියල අක්කලගෙ පොඩි අයත් එක්ක අවුරුදු ක්‍රීඩා කරනවා. විශේෂයෙන් කැට ගහන එක තමයි අපේ ජනප්‍රියම ක්‍රීඩාව.

අනිත් විශේෂම කාරණය තමයි මං අවිස්සාවේල්ලෙ වුණාට බුද්ධිකලගෙ ගෙවල් තියෙන්නෙ නුවර. අලුත් අවුරුද්දට එහේ හරිම විනෝදයි. කැවිලි පෙවිලි හදලා අලුත් අවුරුද්දට අවට ගෙවල්වලට බෙදනවා. ඒ ගෙවල්වලින් අපේ ගෙදරට ලැබෙනවා. ඇත්තටම නෑකම් යාළුකම් අලුත් වෙන හරි වටිනා අවස්ථාවක්. මෙහේ ගෙවල් අවට ගොඩක් ඉන්නෙ දමිළ අය. අපි එයාලට කෑම පිඟන් ගෙනියනවා. එයාල අපිට ගෙනත් දෙනවා. ඒක හරි ලස්සන දෙයක්. ගොඩ කාලෙකින් ඔක්කොම එකට එකතු වෙලා ගෙවන මේ දවස හරිම ලස්සනයි.

අනිත් විශේෂම කරුණ තමයි හිස තෙල් ගෑම. ඒක අනිවාර්යයෙන්ම බුද්ධිකගෙ තාත්ත කරන්නෙ. එයා ජ්‍යෝතිෂයට සම්බන්ධ කෙනෙක්. රිචඩ් සේමසිංහ කිවුවම නුවර පැත්තෙ ගොඩක් අය තාත්තව දන්නවා. තාත්තා තමයි හැමදාම ඒ චාරිත්‍රය කරන්නේ. ලැබුවා වූ මේ සිංහල අවුරුද්ද ලක්වැසි ලෝවැසි සැමට සෞභාග්‍යවත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල අපිත් ප්‍රාර්ථනා කරනවා.“

 නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division