මේ වන විට ළාබාල තරුණ ගැහැනු දරුවන් ඇමට පාවිච්චි කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත කිරීමට පාතාල ජාවාරම්කරුවන් දරන උත්සාහය සුළුපටු නොවේ. රුවැති ළාමක තරුණියන් මෙවැනි කූට නීතිවිරෝධී ක්‍රියා සිදු කරාවි යැයි කිසිවකුත් නොසිතීමත්, පොලිස් නිලධාරිනියන් සිටියද මහමඟදී ඔවුන් පරික්ෂා කිරීම පොලිසියට අපහසු වීමත්, ඕනෑම කෙනකු ඔවුන්ගේ රූපයට වශී වීමත් යන කරුණු සැලකිල්ලට ගෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය ජාලය ප්‍රචලිත කිරීමට කටයුතු කිරීම ඔවුන්ගේ තවත් එක් උපායක් නොවේ ද? මේ කතාව ද එවැන්නකි.
තවමත් දහනව හැවිරිදි වියේ පසුවන රූමතියක වන ඒන්ජල් හැදී වැඩුණේ කොළොන්නාවේ ‘සංහිඳ සෙවණ’ මහල් නිවාස සංකීර්ණයෙහිය. ඇය සමඟ කුඩා කල සිටම එකට හැදී වැඩුණු පංචාලි මේ වන විට විසිඑක් හැවිරිදි තරුණියකි. මොවුන් දෙදෙනා නිතරම සිටියේ එකටය. ලස්සනට හැඳ පැලඳ සිටීමට ආසා කළ මොවුන් දෙදෙනාට ඒ සඳහා වියදම් කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට පහසු ක්‍රම ගැන කියා දීමට කුඩු ජාලයේ ‘ලොකු අයියලා’ කටයුතු කළේ හීන් නූලෙනි.
ධනුෂ්ක මෙන්ම චන්දන ද වැල්ලම්පිටිය සහ කොළොන්නාව ආශ්‍රිතව මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධ සිදු කරන ප්‍රබල ජාවාරම්කරුවන් වන අතර යුක්තියට බියෙන් දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියද මත්ද්‍රව්‍ය ජාවාරම දිගටම කරගෙන යාමට උත්සාහ කරනුයේ ඩින්කා, ටිරෝන්, කොටා වැනි ගෝලබාලයන් යොදා ගනිමිනි. එමෙන්ම ‘නේවි රුවන් ද’ විදේශගතව සැඟවී සිට තම අනියම් බිරිය මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවීමට කටයුතු කර ඇත්තේ මොන බාධක ආවද තම ව්‍යාපාරය කඩාවැටීමට ඉඩ නොදී දිගටම පවත්වා ගත යුතු බැවිනි.
පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ මොවුන් විසින් ලබා දෙන මත්කුඩු ඒන්ජල් සහ පංචාලි විසින් ඔවුන්ට අවශ්‍ය ස්ථානවලට රැගෙන ගොස් ලබාදීම කලක් තිස්සේ සිදුකර තිබෙන බවය.
මේ අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ සැරයන් (38723) රංජිත්ට තොරතුරක් ලැබෙන්නේ කොළොන්නාව, සංහිඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තරුණ ගැහැනු ළමුන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළෙන බවටය. මෙම තරුණියන් දෙදෙනා අත්අඩංගුවට පත්වන්නේ එම තොරතුරු අනුව සිදුකළ විමර්ශනයේ ප්‍රතිඵල මතය.
පංචාලි සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 90ක් ද ‘ඒන්ජල්’ සන්තකයේ අයිස් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 520ක් ද තිබී සොයා ගැනීමට හැකි වූයේ මොවුන් කොතරම් සූක්ෂ්ම ලෙස මෙම ව්‍යාපාරය මෙහෙයවනවා ද යන්න පැහැදිලි කරමිනි. මෙම තරුණියන් දෙදෙනාට මත්ද්‍රව්‍ය ලබා දී තිබුණේ ‘නේවි රුවන්ගේ’ අනියම් බිරිය විසින් බව මෙහිදී අනාවරණය කරගැනීමට අපහසු වූයේ නැත.
අයිස් හා හෙරොයින් සම්බන්ධ නඩු පවතින නේවි රුවන් විදේශයක සැඟවී සිටිය ද ඔහුගේ අනියම් බිරිය සැමියාගේ ව්‍යාපාරයට අත ගසා ඇත්තේ ඔහුට ශක්තියක් වෙමිනි.
ඇය වාසය කරන්නේ එසේ මෙසේ ස්ථානයක නම් නොවේ. තලවතුගොඩ හන්දියේ, මල් පාරේ අතිසුඛෝපභෝගී සුවිසල් මන්දිරයකය. ඇය රැජිනක් මෙන් යෙහෙන් වැජඹෙන්නේ හොර පාරෙන් එන මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබෙන මොනර කොළවල පිහිටෙන් වුවද මෙම මත්ද්‍රව්‍ය ජාලයේ බෙදාහැරීම් කටයුතු සිදුකරන ළාබාල තරුණියන්ට ලැබෙන්නේ ඔවුන්ට සාපේක්ෂව නම් සොච්චම් මුදලකි.
මෙම තරුණියන් දෙදෙනා ඔවුන්ගේ බැංකු ගිණුම්වලට ලැබෙන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ මුදල් චන්දනට සහ කොටාට ලබා දෙන අතර ඔවුන් ඒවා උන්ඩියල් ක්‍රමයට ප්‍රධාන ජාවාරම්කරුවන්ගේ ගිණුම්වලට බැර කරන්නේ උල්පතකින් ජලය ගලා එන්නා සේ යැයි කීවොත් නිවැරදිය.
තම දියණියන් දෙදෙනෙකු බඳු මෙම තරුණියන් දෙදෙනාට මත්ද්‍රව්‍ය ලබා දී තිබූ නේවි රුවන්ගේ අනියම් බිරියව ඇය විසූ සුවිසල් තෙමහල් නිවෙසේ සඳළුතලයෙන් බිමට බස්සවා ගැනීමට පොලිසිය විසින් උපායක් අනුගමනය කළේය. ඒ මත්ද්‍රව්‍ය ඇණවුමක් ලබාදීමයි. ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 100ක් රැගෙන ඇය මල් පාරේ, විද්‍යාල හන්දියට ආවේ ගැනුම්කරු සොයාගෙන වුවද ඇයට සිදු වූයේ සැරයන් (38723) රංජිත් නිලධාරියාගේ අත්අඩංගුවට පත් වීමටය.
ජාලගතව ඉතා රහසිගතව සිදුකරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ මෙය එක් අවස්ථාවක් පමණක් වන අතර තවත් සූක්ෂ්මව බොහෝ කටයුතු සිදු කෙරෙන බව කිව යුතුය.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනක කුමාරගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහගේ මෙහෙයවීම යටතේ ඒකක 02හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක දසනායක, සැරයන් (38723) රංජිත්, කොස්තාපල්වරුන් වන (83774) සුධීර, (88721) යාපා,(104619) කිත්සිරි, කාන්තා කොස්තාපල් (11290) ලක්ෂාණි, කොස්තාපල් රියැදුරු (81279) ජයතුංග යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ-හල්තොට සමූහ