ඇය අනුරාධපුර දිසාවේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. කාලයක් ඕමාන් දේශයේ රැකියාවක නිරතව සිටි ඇය පසුගියදා මෙරටට පැමිණෙන්නේ කටුනායක ගුවන් තොටුපොළෙනි. ගුවන් තොටේ කටයුතුවලින් අනතුරුව ඇගේ බලාපොරොත්තුව වූයේ හැකි ඉක්මනින් තම ගම් ප්‍රදේශය වන තඹුත්තේගමට යාමයි.
කටුනායක ගුවන් තොටුපොළේදී ඇය නොසිතූ දෙයක් වන්නේ මේ අතරතුරදීය. ගුවන් තොටුපොළේදී ඇය සමඟ කතාවට වැටෙන නාඳුනන පුද්ගලයෙක් කෙටි වේලාවක් ඇතුළතදී ඇය සමඟ මිතුරු වන්නේ ඉතා සූක්ෂ්මවය.
මේ පුද්ගලයා තමාව අදාළ කාන්තාවට හඳුන්වා දෙන්නේ හමුදා සොල්දාදුවෙකු බව පවසමිනි. තමන් හමුදාවේ විශේෂ බළ ඇණියක සේවය කරන අයකු බවද මේ පුද්ගලයා අදාළ කාන්තාවට පවසන්නේ නොපැකිළිවය.
මේ කාන්තාව හමුදා සොල්දාදුවකු ලෙස පෙනී සිටිමින් තමා සමඟ හදිසි මිතුදමක් ඇති කරගත් පුද්ගලයා සමඟ කිසිම සොයා බැලීමකින් තොරව ඔහු විශ්වාස කර මිතුදමක් ගොඩනඟා ගැනීමට තරම් අඥාන වූවාය.
මේ පුද්ගලයා තමන්ද තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කාන්තාවට පවසන්නේ ඇය තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකාරියක බව දැනගෙනය.
කාන්තාව මේ පුද්ගලයා ගැන කොතෙක් විශ්වාස කළාදැයි කිවහොත් ඇය ඔහු සමඟ පෙම් සබඳතාවක් ගොඩනඟා ගැනීමට වැඩි වේලාවක් ගත නොකළාය. මේ දෙදෙනාගේ සබඳතාව තව ටික වේලාවකින් හමුදා සෙබළා ලෙස පෙනී සිටි පුද්ගලයාට ලොතරැයියක් ඇදුනා මෙන් විය.
සෙබළෙකු ලෙසින් පෙනී සිටි මේ කපටියා ඔහුගේ කතාබහෙන් කාන්තාව හොඳටම ‘අන්දවා’ තිබුණි. මේ අහිංසක කාන්තාව තමාගේ ක්ෂණික පෙම්වතා හොරෙක් වංචාකාරයෙක් කපටියෙක් බව දැන නොසිටියාය. තමන් ඇය විවාහ කරගන්නා බවට සෙබළා පොරොන්දු වන්නේ ඔය අතරය.
තවත් වේලා ගතවෙද්දී කාත්තාව ඇය සතු රුපියල් අටලක්ෂයක පමණ මුදලක් මේ සටකපටියාට බැංකුවකින් අරන් දෙන්නේ කිසිවක් සොයා නොබලාය. ඊට අමතරව ඇය තමන් සතු රුපියල් 2, 69,000ක් පමණ වටිනා රන් මාලයද මේ සටකපටියා අතට දී තිබිණි.
ඉන් අනතුරුව මේ දෙදෙනා තඹුත්තේගම දක්වා පැමිණෙන අතරේ ගල්ගමුව ප්‍රදේශයේදී මේ සටකපටියා තමන්ගේ යටි සිතේ තිබුණු අදහස ඉෂ්ට සිද්ධ කර ගන්නට සැලසුම් සකස්කර තිබුණු අතර කාන්තාව එය දැන සිටියේ නැත.
මේ කාන්තාව ඝාතනය කර ඇය සතු මිල මුදල් රැගෙන පලා යාමට සෙබළකු වෙසින් පෙනී සිටින මේ වංචනිකයා ඒ වන විටත් තීරණය කර තිබිණි. ඒ තීරණය එක්වරම මොහු ක්‍රියාත්මක කරන්නේ කිසිවකු අහල පහල නැති ස්ථානයකදීය. ඇගේ ගෙල මිරිකා ඝාතනය කිරීම මේ සාහසිකයාගේ අරමුණ විය.
තමා විවාහ කරගැනීමට සූදානමින් තමා සමඟ පැමිණෙන ‘පෙම්වතා’ තමන්ට මෙවැනි දෙයක් සිදු කරාවි යැයි කාන්තාව කිසි විටෙක නොසිතන්නට ඇත. සාහසිකයා ඇගේ ගෙල මිරිකද්දී ඇයට උන්හිටි තැන් අමතක වන්නට ඇත. ඇය කෑ ගැසුවාය. ඒ සමඟම සාහසිකයාගෙන් මිදුණ ඇය ඒ අසල පිහිටි කැලෑවට පැන සැඟවුණාය. ඒ මහ කැලෑවේ සැඟවී බොහෝ වේලා සිටි ඇය පසු දින ඉන් එළියට පැමිණ ගල්ගමුව පොලිසියට ගොස් තමන් මුහුණපෑ සිද්ධිය පොලිස් නිලධරයන්ට පැවසුවාය.
කාන්තාවගේ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කෙරිණි. පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ ගැන විමර්ශනය කරන්නේ ඉන් අනතුරුවය.
ගල්ගමුව ප්‍රදේශයේ ආපණ ශාලාවකට මේ යුවළ ගොස් ඇති බව හෙළි වන්නේ කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය. පොලිස් කණ්ඩායම ඉන් අනතුරුව යන්නේ ගල්ගමුවේ අදාළ ආපණ ශාලාව සොයාගෙනය.
මේ ආපණ ශාලාවේ සී.සී.ටී.වී. කැමරා සවිකර තිබිණි. එහි දර්ශන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට සැකකරුගේ වීඩියෝ දර්ශන නිරීක්ෂණය විය.
සැකකරුගේ වීඩියෝ දර්ශන දීර්ඝ වේලාවක් නිරීක්ෂණය කළ ගල්ගමුව පොලිස් නිලධාරීන් සොයාගන්නේ ඔහු ඇහැටුවැව, ඇඹෝගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවය. ඔහු සොයා විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධරයෝ සැකකරු අත්අඩංගුවට ගන්නේ වලස්වැව ප්‍රදේශයේදීය.
ගල්ගමුව පොලිසියට ගෙන එන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී කතගෙන් ලබාගත් රුපියල් 2,69,000 ක් වටිනා රන් මාලය සොයා ගනු ලැබීය. ඊට අමතරව ජංගම දුරකතන 03ක්, ඒ.ටී.එම්. කාඩ්පත් 5ක්, බැංකු පොත් 03ක්, වෙනත් කාන්තාවන් දෙදෙනෙකුගේ හැඳුනුම්පත් පොලිසිය විසින් සොයා ගන්නා ලදි.
තඹුත්තේගම කතට විවාහ පොරොන්දු දී ඇගෙන් වංචනිකව ලබාගන්නා ලද රුපියල් අට ලක්ෂය ගැන පොලිසිය සැකකරුගෙන් විමසන්නේ ඉන් අනතුරුවය.
එම මුදලින් රුපියල් 50,000ක් කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට දුන් බව සැකකරු පොලිසියට කියන්නේ එහිදීය. හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මුදලින් රුපියල් 2,50,000ක් දුන් බවද ඉතිරි මුදල තමන්ට වියදම් වූ බවද සැකකරු පොලිසියට කියන්නේ ප්‍රශ්න කිරීම්වලදීය.
සැකකරු යුද හමුදාවේ විශේෂ ඒකකයක සේවය කරන අයකු ලෙස හැඟෙන පරිදි එම ඒකකයේ සෙබළුන් පරිහරණය කරන නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී ගත් ඡායාරූපයක්ද සැකකරු සතුව තිබී පොලීසිය සොයා ගන්නේ ඔය අතරය.
එසේ ව්‍යාජ ලෙස සකසා ගත් ඡායාරූප විදෙස්ගත සමහර කතුන්ට වට්ස්ඇප් මාර්ගයෙන් යවා ඔවුන් ඉතා සූක්ෂ්මව මිතුරු කරගෙන විවාහ පොරොන්දු දී එම කාන්තාවන් සතු මිල මුදල් රන් ආභරණ ඉතා සංවිධානාත්මකව සහ වංචනිකව ලබා ගන්නා බව විමර්ශනවලදී හෙළි විය.
නිකවැරටිය සහකාර පොලිස් අධිකාරී ජීවක රාජපක්ෂගේ උපදෙස් මත ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්. එස්. පුෂ්පකුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයවීර යන නිලධාරින්ගේ මඟ පෙන්වීමෙන් සැරයන්වරුන් වන ජයතිලක (31163),සෙනරත් (29457), රාජපක්ෂ (38350), රත්නායක (67272), හේරත් (75623), හා පොලිස් කොස්තාපල් සේමසිංහ (95529) නිලධරයන් වැඩිදුර විමර්ශන පවත්වති.
ඡායරූප – පොල්පිතිගම නන්දන කැලේගම
දීපාල් සමරසේකර