අවුරුදු ඇවිල්ලා
පිබිදෙයි සිය මුළු රට කර නව එළිය
පැලබර පිරුණු තුරුලිය මන සැරසිලිය
පොබ කොට සොම්නසින් ලක්මව සුකොමලිය
යළි ඇත උදාවී බක්මහ සැණකෙළිය
සිංහල ගමක පෙර තිබූ අවුරුදු සිරිය
අද නම් දකින්නට නැත නොකියම බැරිය
ඒවත් නවීකරණය වෙයි නැත පිරිය
අද වැඩි දෙනා හට මොන වරදත් හරිය
සාමය සමාදානය නිති රජ වේවා
මවුබිම ලබා ගත් නිදහස සුරැකේවා
කෙත් වතු සාර වී රට තව සරුවේවා
තෙරුවන් බෙලෙන් මගෙ මවුබිම වැජඹේවා
උග්ගල්ලේ ඇක්මන් ගමගේ
සුපසන් පැතුම්
බලාපොරොත්තුවේ දෑස් දල්වා පුබුදුවා හදෙ මිහිරි සිති විලි
තුරන් කරමින් අඳුරු තිර පට පා නගන්නට මවා හස රැල්
පිපෙන සඳ අතු අග රතු මල් පාට එරබදු අතට සියු මැලි
උදාවන සිරියාව බක් මහෙ පිළිගනිමු බැඳ තොරණ සැර සිලි
සුරත් සිපගත් බුලත් හුරුලක තිබෙන බලගතු සවිය පෙන්වා
තරහවෙ ගිනි පුපුරු නිවමින් හදවතට මෙත් සිසිල දන්වා
එකම අත්තක පිපුණු මල මෙන් සුවඳ මෙත් ගුණ හදෙහි ගන්වා
බැඳ ප්‍රේමෙන් සමාදානෙන් පුබුදුවමු ජය කිරුළු නංවා
දොළොස් මාසයක යෙදුණු ගමනක මීන රාශියෙහි විලස සුපු රුදු
පළමු තැන්හිම යළිත් අරඹන දිනදි සපැමිණ විටදි අවු රුදු
කොවුල් නාදය දසත පතුරන විටදි රතු මල් පිබිදෙයි එර බදු
සිවු දෙසේ හැම සමඟි වීමෙන් බඳිමු අත් වැල් බවෙන් සුදු මුදු
ක. ආ. ජයරත්න සිරිසේන
සාමයට අරුතක්
අද වෙනදට වඩා බලවත් හිරු සඳුය
කොහෝ කොහෝ හඬ සවනත මී බඳුය
සිහල දමිල කිතු මුස්ලිම් හට පොදුය
කෙළි සෙල්ලම් කරති කවුරුත් එක බඳුය
බුලත් හුරුළු දී වැඩිහිටියන් නැමද
අලුත් කරති නෑදෑ මිතුදම් සුහද
මලුත් සුවඳ ගෙන පන්සල් යන දනද
සිටිත් නොනගතය තුළ බුදු හිමි නැමද
සුපුරුදු කෙළි සෙල්ලම් අප හට උරුම
අවුරුදු සිරිත් මුළු සිරිලක හැම තැනම
හිත සුදු වන කරුණකි වටිනා බොහොම
මෙම පොදු උලෙළ තුළ සුරකිමු ගුණ දහම
ලාහෙන් මල්ලට අස්වනු වැඩි වේවා
ජාතින් අතර හොඳ හිත සමගිය වේවා
වේගෙන් දියුණුවට යන්නට හැකි වේවා
සාමෙන් සිටිමු සුබ අවුරුද්දක් වේවා
අමුවල අමරසේන
ජාතික මඟුල
අව්වේ වූ රුදුතා ඔතා ලනැතරම් – සෝබා සිරිත් රැන්ඳිලා
ගස් වැල් මල් පළ පල්ලවෙන් සරසලා – බෝමත් චමත්කාරයෙන්
සැදී ගත් බව කෝකිලා මිහිරි සේ – ගීයෙන් දෙකක් සාරවා
පෙන්වා දෙයි බක් මාසයේ අසිරිතා – ආනන්දයෙන් සිත් පුරා
ඔන්චිල්ලා පද්දමින් කෙනෙක් සතුටු වෙයි – රංචු ලෙසින් එක් වැලා
හිච්චන් හිච්චියනුත් තමා පෙරහැරේ – එක් වී සිටින්නන් හදින්
දවස් තුන්සිය පස් සැටෙන් ගෙවෙනැද – සන්තෝසයේ මල් පිපී
ඔක්තන් රිද්මය ඒ ලෙසින් පැවැතුමයි – බක් මාසයේ විස්තරේ
කැප්පිටියාගොඩ කල්‍යාණවංස හිමි
අලුත් අරුණලු
දෙදහස් විසිහතරේ අරුණලු නැඟුනානේ
ගත වු විසි තුනෙ දුක්ගිනි නිමාවුනානේ
දුගී පැලෙත් කිරිබත් ටික ටික ඉදුනානේ
කැවුම් කොකිස් සුවඳින් අවුරුදු ලැබුවානේ
සුදු වැස්සිගෙ කිරි එරිලා කිරියෙන් සාරයි
ඵල බරවී සැම ගසකට අතු ඉති සාරයි
ගොම පිරිමැද සැම නිවසම සිරියෙන් සාරයි
හෙට එළඹෙන නව වසරේ මුළු රටටම සාරයි
රූපසිරි කේ. ලියනගේ
අවුරුදු කුමරා
එරබදු තුරු හිස මුඳුනේ
රතට රතේ මල් පලඳා
අතු රිකිලි සොලවා
සර සර නදින්
අවුරුදු කුමරාගේ
දෙපයේ සැලෙන
මිණි කිංකිණි හඬෙහි
සංගීත රාවය මුසුවෙමින්
පැතිරි ඈතින් ඇසේවි
සුනේත්‍රා විජේරත්න
හෙළ අවුරුදු කුමරි වඩී
කුරවි කෙවිලි නද සුමිහිරි මී අඹ වන යායෙනී
නුබ විල මන්දාකිණි රන් රසු දැල් හා බැඳෙමිනී
පරෙවි ගිරා සැළලිහිණි ගැයුම් මියුරු රාවෙනී
නැළවී නැළවී වසත් සොඳුරු මනකල් රුව මතුවුනී
කැවිලි පෙවිලි පිලිකුන් රඹකැන් සුහුඹුල් සුවඳිනී
ඉපිලි සිසිලි නැවුම් වළං පුසුඹ නැහැයෙ තුඩගිනී
තැඹිලි මලිනි මුතු කැට වැලි මිදුල පුරා වෑහුනී
ඇඟිලි තුඩිනි ලද ලියන්ගෙ රබන් සුරල් ඉපදුනී
සුදු මුදු පෙති සියපත් මල් විල් ජලයෙන් මතුවුනී
එරබඳු මල් රත් පැහැසර වන බැද්දෙන් විහිදුනී
වතුසුදු කිණිහිරි මාලා පෙර මංදොර සැරසුනී
අවුරුදු හෙළ කුමරි වඩී ජයසක් බෙර රැව්දුනී
ජයම්පති අල්ගම
පෙර අවුරුදු සිරි
දෙවට දිගේ යන තණකොළ පින්නේ එරබඳු
මල්පෙති වැහි වැහැලා
අඹ කජු ගස්යට මාවවුලන්ගේ කිරි කිරි
නාදය නැවතීලා
ගම්මානේ පොඩි කොලු කෙළි පැටවුන්
කජු අහුලති තරගෙට වැදිලා
අවුරුදු එන බව පවසයි ගමටම කොහාගෙ
නාදය සරුවීලා
කෝපි මල් පිපී මුළුතැන්ගෙය ළඟ
අමුතුම සුවඳක් ගෙන එන්නේ
අම්මා ලිප ළඟ කැවුම් උයනවා ඉවසුම්
නැහැ පොඩි පැටවුන්නේ
රබාන දුහුවිලි පිසදා ගත්තම ගමට
නැවුම් ගතියකි එන්නේ
ඔන්චිලි වාරම සිතට ඇසෙන විට
පෙරදා අවුරුදු සිහි වෙන්නේ
අයි. ඩී. නන්දාවතී
නව එළියක්
පිබිදෙයි සිරිය මුළු රට කර නව එළිය
පලබර පිරුණු තුරුළිය මත සැරසිලිය
පොබ කොට සොම්නසින් ලක් මව සුකොමලිය
යළි ඇත උදාවී බක්මහ සැණකෙළිය
එරබඳු මලින් රත් පැහැ ගැන්වුන බැද්ද
දස අත පතුරවන කොවුලන් ගී සද්ද
මී අඹ කජු මාදන් බරවුන ලන්ද
අවුරුදු පිළිගන්න සැරසෙයි මන බැන්ද
බත බුලතින් සපිරිව කෙත් සරු වේවා
දුක් කරදර බැහැරව සිත් පිබිදේවා
හැම හිතකම සොම්නස නිති පැතිරේවා
නව අවුරුදු සිරියෙන් ලක බැබලේවා
සෝමදාස නානායක්කාර
අලුත් විදිහට හිතමු
මට වළ කැපුව යනකොට කකුලෙන් ඇද්ද
මුහුණට සිනහ වී නැති තැන මඩ විද්ද
හොඳ හිත පෙන්නලා ඇදගෙන හිටි රෙද්ද
උන් ගලවන් ගියා තව නොකරම සද්ද
ෛවරය පැණි රසයි වස මැදි කර තැනුව
කන කොට රසයි අවසන මරණය කැටුව
යන්නට සිදුවනා බව නුවණින් සිතුව
දවසක් පැමිණුනා මම මාවම දුටුව
හිඳිනා තැන හිඳන් ඉදිරිය දෙස බැලුවා
පැහැදිලි නැතත් සිතුවිලි යන මඟ හෙව්වා
කනවැල අතට අරගෙන පියවර තිව්වා
තැනකට ගිහින් නවතිමු මගේ හිත කිව්වා
කිරුළපන විදුරවි