Home » ඇහුවත් පුදුම හිතෙන ලොව ලොකුම මැතිවරණයේ – හතරමායිම් මෙන්න

ඇහුවත් පුදුම හිතෙන ලොව ලොකුම මැතිවරණයේ – හතරමායිම් මෙන්න

by sachintha
April 20, 2024 12:37 am 0 comment

මෙවර ඉන්දීය මහමැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් සපුරා ඇති පිරිමි පාර්ශ්වය ප්‍රමාණයෙන් මිලියන 497ක් වන අතර, කාන්තා පාර්ශ්වය මිලියන 471ක්

මේවසර එහෙම පිටින්ම මැතිවරණ වසරකි. ‘ටයිම්ස්‘ සඟරාවට අනුව 2024 යනු තනිකරම මැතිවරණ වසරකි. එය සැබෑය. මේ වසරේදී රටරටවල මැතිවරණ පැවැත්වෙන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින්. තරගයට මෙනි. අන් කවරදාටත් වඩා අඩුම තරමින් රටවල් 64කවත් මැතිවරණ පැවැත්වේ. එම රටවල් හැට හතරේ ජනගහන එකතුව ගත් විට ලෝක ජනගහනයෙන් 49%ක ප්‍රතිශතයකි. දැනටමත් රටවල් ගණනාවක මැතිවරණ අවසන් වී ඇත. තවත් මැතිවරණ තොගයක් පැවැත්වීමට නියමිතය.වසර අවසානය දක්වාම මැතිවරණ සමයකි. දෙසැම්බර් මාසයේදී පමණක් මැතිවරණ පැවැත්වීමට නියමිත රටවල් ගණන 6කි.

ඒ අතුරින් අසල්වාසී ඉන්දියාවේ මහමැතිවරණය විශේෂිත ය. 19 වැනිදා ඉන්දියාවේ ආරම්භ වූයේ ලොව විශාලතම මහමැතිවරණයයි. ඒ රටේ හැටියට 18 වැනි ‘ලෝක් සභා‘ මැතිවරණයයි. ප්‍රාන්ත 28කත්, මධ්‍යම රජයේ පාලන කලාප අටකත් මහමැතිවරණයේදි ඡන්ද භාවිත කිරීමට නියමිත ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව බිලියනයකට ආසන්නය. හරියටම කියන්නේ නම් මිලියන 970කි. එය අමෙරිකාව, රුසියාව සහ යුරෝපා සංගමයේ ජනගහනයේ එකතුවටත් වඩා වැඩිය. ඉන්දියාවේ මහමැතිවරණයේ තරම ඉන් සිතාගත හැකිය. මෙවර ඉන්දීය මහමැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් සපුරා ඇති පිරිමි පාර්ශ්වය ප්‍රමාණයෙන් මිලියන 497ක් වන අතර, කාන්තා පාර්ශ්වය මිලියන 471කි.

ඉන්දීය මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ජුනි මස 1 වැනිදාය. එතෙක් එය අදියර 7කින් යුතුව පැවැත්වෙයි. 19වැනිදා ආරම්භ වීමෙන් පසු අප්‍රේල් 26ත්, මැයි මස 7, 13, 20 සහ 25 දිනවලත්, ජූනි 1 වැනිදාත් පැවැත්වෙන අතර, ඡන්ද ගණන් කිරිම ජුනි 1 වැනිදා රාත්‍රියේදීම ආරම්භ වන්නේ දින තුනකින් නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ අපේක්ෂාවෙනි. ඒ අනුව ජුනි මස 4 වැනිදා නිල ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතය. අන්ද්‍රා, අරුණාචල් ප්‍රදේශ්, ගෝආ, ගුජරාට්, හර්යානා, කේරළ, තමිල්නාඩුව, සිකිම්, දිල්ලි, ලඩාක් සහ පුදුචෙරි ඇතුළු තවත් ප්‍රාන්ත කිහිපයක ඡන්ද භාවිතය දිනකට පමණක් සීමා වන අතර, ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සිටින උතුරු ඉන්දියාව, උත්තර් ප්‍රදේශ් සහ නැඟෙනහිර ප්‍රාන්ත වන බිහාර් සහ බටහිර බෙංගාලයේ ඡන්ද භාවිතය අදියර 7දීම පැවැත්වෙනු ඇත. එම ප්‍රාන්ත එකතුවේ ජනගහනය ප්‍රමාණයෙන් මිලියන 475කට වැඩිය. විදෙස්ගතව සිටින මිලියන 13.4ක ඉන්දීය ජාතිකයන්ට ද සිය ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව ඇති අතර, ඒ සඳහා ඔවුන් ලියාපදිංචි වීමත්, ඡන්දය භාවිත කිරීමට ඉන්දියාවට පැමිණිය යුතු වීමත් අනිවාර්ය බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබිණි.

ඡන්දය පැවැත්වෙන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ, නොඑසේ නම් ලෝක් සභාවේ ආසන 545කින් 543කට අපේක්ෂකයන් පත් කරගැනීමටය. එබැවින් එය ලෝක් සභා මැතිවරණය ලෙසත් හැඳින්විය හැකිය. අවුරුදු පහකට මන්ත්‍රීවරු පත්වන ලෝක් සභාවේ ඉතිරි ආසන දෙකට අපේක්ෂකයන් තෝරා ගැනීමේ අයිතිය ඉන්දීය ජනාධිපතිට පැවරී ඇත. එය මෙවර සිදු කරනු ලබන්නේ ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස මීට වසර දෙකකට පමණ පෙර භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ වත්මන් සන්ධාන රජයේ ද්‍රෞපදි මුර්මු ය. ඉන්දියාවේ ගෝත්‍රික පරපුරකින් පැවත එන පුද්ගලයකු එරට ජනපති ධුරයට තේරී පත් වූ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක් විය.

මෙවර ඉන්දීය මහමැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ ආසන 272ක් පමණි. යම්කිසි පක්ෂයකට හෝ සන්ධානයකට ආසන 400 ඉක්මවා ජයගත හැකිනම් එය ඉන්දියාවේ ව්‍යවස්ථාව වුවත් සංශෝධනය කිරීමට හොඳටෝම ප්‍රමාණවත්ය. තවත් අතකින් බැලූ විට ඉන්දීය මහමැතිවරණය ලොව විශාලතම මැතිවරණය පමණක් නොව ලොව වඩාත්ම වියදම් සහිත මැතිවරණය ලෙසත් සැලකේ. ඊට වැය වන මුදල අමෙරිකාවේ ජනාධිපතිවරණයට වැය වන මුදලටත් වඩා වැඩිය. දිල්ලිය කේන්ද්‍ර කරගත් මාධ්‍ය අධ්‍යයනයකට අනුව 2019 වසරේ අවසන් වරට පැවැති ඉන්දීය මහමැතිවරණයට වැය වූ සමස්ත මුදල අමෙරිකානු ඩොලර් බිලියන 8.6කි. මේ වසරේදි වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති මුදල ඊටත් වැඩිය.

හිමාල කඳුවැටියේ මුදුනේ පිහිටි ඉන්දීය ගම්මානවල සිට ඉතා දුරින් මහමූකලානයේ පිහිටි අතිදුෂ්කර හුදෙකලා ගම්මාන දක්වා විසිරී සිටින ඡන්දදායකයන්ට සිය ඡන්දය භාවිත කිරීමට පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව මිලියනයකටත් වැඩිය.

එහි සේවය සඳහා අනුයුක්තව සිටින නිලධාරීන්ගේ සහ ආරක්ෂක නිලධාරින්ගේ ප්‍රමාණය මිලියන 15කි. මහාමාර්ග ඔස්සේ පමණක් නොව බෝට්ටු මගින් ගංගා, ඇළ දොළ තරණය කරමින් ද, ඔටුවන් පිට නැඟ ගිරිදුර්ග පසු කරමින් ද, දුම්රිය සහ හෙලිකොප්ටර් භාවිත කරමින් ද ඔවුන් සෑම ඡන්දදායකයකුම සොයා යනු ඇත. කිසිදු ඡන්දදායකයකු මඟ හරවා නොගැනීම මැතිවරණ නිලධාරීන්ගේ අපේක්ෂාව වී ඇති බැවින් ඔවුහු ඉන්දියාවේ දුරින්ම චීන දේශ සීමාව ආසන්නයේ පිහිටි උතුරු ඉන්දීය හිමචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ටාෂිගැං ගම්මානයට ද යති. එය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 15, 256ක උසකින් ය. ටාෂිගැං ගම්මානයේ වැසියන් පසුගිය 2022 වසරේදී හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමත් සමඟ ටාෂිගැං ගම්මානය ලොව උසම ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ගම්මානය ලෙස වාර්තාපොතට එක් විය.

ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම පිළිබඳ අපූරු කතා කිහිපයක් ද වේ. වි‍ශේෂිතම සිදුවීම වන්නේ එක් පුද්ගලයකු සඳහා ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා තිබීමය. 44 හැවිරිදි සොකේලා ටයංග්ගේ ඡන්දය වෙනුවෙන් මැතිවරණ නිලධාරී කණ්ඩායම අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශයක් වන මලෝගාම්වලට කිලෝමීටර් 40ක දුෂ්කර ගමනක් යා යුතුව තිබේ. මීට අමතරව ගුජරාට් ප්‍රාන්තයේ ගිර් වනාන්තරයේ කිලෝමීටර් 55ක් ඇතුළට වන්නට පිහිටි බෙන්ජි නමැති කුඩා ගම්මානයේ පදිංචිව සිටින එකම පුද්ගලයාගේ ඡන්දය ලබා ගැනීමටත් සෑම මැතිවරණයකදීම නිලධාරීහු එතැනට යති. මහන්ට් භාරත්දාස් නමැති මේ පුද්ගලයා ශිව ආගමට අයත් තාපසයෙකි. මේ මහලු තාපසවරයාට මෑත කාලයේදී කිසිදු මැතිවරණයක් මඟ නොහැරුණු බවත් වාර්තා වේ. ගුජරාට් ප්‍රාන්තයේ නර්මදා නදිය කේන්ද්‍ර කරගත් අලියාබෙට් දූපතේ රජයේ කිසිදු ගොඩනැඟිල්ලක් නොමැති බැවින් එහි ඡන්ද මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ කන්ටේනරයක් තුළ ය. එම දූපතේ ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 254කි.

දින 44ක් පුරා පැවැත්වෙන ඉන්දීය මැතිවරණය එරට දෙවැනි දීර්ඝතම මහමැතිවරණය බව ද වාර්තා වේ. ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු 1951-52 වකවානුවේ පැවැති පළමු ප්‍රජාතන්ත්‍රවාදි මහමැතිවරණය මාස 4ක් දක්වා ඇදී ගියේ ඉන්දියාවේ දීර්ඝතම මහමැතිවරණය ලෙස වාර්තාපොතට එක් වෙමිනි. 1980 දී පැවැති මහමැතිවරණය දින 4කට පමණක් සීමා වූ අතර, එය එරට කෙටිම මහමැතිවරණය ලෙස ඉතිහාසයට එක් විය. මීට අමතරව 2019 මහමැතිවරණය දින 39කින් නිමාවට පත් වී තිබිණි.

මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලැබූ බිලියනයකට ආසන්න ඡන්දදායකයන්ගෙන් මිලියන 18ක් මෙවර ඡන්දය භාවිත කරනු ලබන්නේ පළමුවතාවටය. ඒ හැර අවුරුදු 20ත් 29ත් අතර තරුණ ඡන්දදායකයන් මිලියන 197.4ක් ද වේ. තවත් මිලියන 8.2ක වැඩිහිටි ඡන්දදායකයෝ ද වෙති. ඔවුහු අවුරුදු 85 හෝ ඊට වැඩි වයස් කාණ්ඩයේ පුද්ගලයෝ වෙති. මේ පිරිසගේ වයස සැලකිල්ලට ගෙන නිවෙසේ සිට සිය ඡන්දය භාවිත කිරීමට අවසර ලබා දී ඇතැයි ද වාර්තා වේ. සියලුම ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කිරීමට යා හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝමීටර් 2ක් වන බවත්, කිලෝමීටර් දෙකින් දෙකට ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් ඉන්දියාවේ මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

මිලියන ගණනාවක ඡන්ද භාවිතය විද්‍ය ුත් යන්ත්‍ර මගින් සිදු කෙරෙන අතර, ඒ සඳහා විද්‍ය ුත් යන්ත්‍ර ලක්ෂ 55ක් භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වේ. 2000 වසරේ සිට ඉන්දීය මැතිවරණවලදී භාවිතයට ගැනෙන එම යන්ත්‍රය කොටස් දෙකකින් සමන්විතය. එහි පාලන කොටස ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරියා ඉදිරියේ තබා ඇති අතර, ඡන්දය භාවිත කිරීමේ උපකරණය ඡන්ද කුටියේ තබා ඇත. අදාළ ප්‍රාන්තයේ හෝ දිස්ත්‍රික්කයේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂයේ නම සහ ඡන්ද ලකුණ එම උපකරණයේ සටහන් වී ඇති අතර, ඡන්දදායකයා කළ යුතුව ඇත්තේ එම නම් ඉදිරියේ ඇති බොත්තම ක්‍රියාත්මක කිරීම පමණි. එසැණින් මධ්‍යස්ථානය භාර නිලධාරියා ඉදිරියේ තබා ඇති උපකරණයේ එම ඡන්දය ගබඩා වේ.

2019 මහමැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් සංඛ්‍යාව අටදහසකට අධික වූ අතර, මේ වසරේදී එය තවත් ඉහළ ගොස් තිබේ. මෙවර ලෝක් සභාවේ ආසනයක් අත්කර ගැනීමේ සටනට එක්වී සිටින දේශපාලන පක්ෂ සංඛ්‍යාවත් 2,500කට වැඩි බව වාර්තා වේ. ඒ අතර ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ 6කුත්, ප්‍රාන්ත දේශපාලන පක්ෂ 70කට වැඩි ප්‍රමාණයකුත් තිබේ. සෑම පක්ෂයකටම ඉන්දීය මැතිවරණ කොමිසම විසින් බෙදා දෙනු ලැබූ ලකුණක් ඇත. ඕනෑම ඡන්දයකදී පක්ෂ ලකුණ අතිශය වැදගත් සාධකයකි. පක්ෂය හඳුනා ගැනීමටත්, එම පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන්ට ඡන්දය භාවිත කිරීමටත් ලකුණක් අවශ්‍යමය. විවිධ අර්බුද මත පක්ෂය දෙකඩ වන ඇතැම් අවස්ථාවලදී එසේ දෙකඩ වූ පාර්ශ්ව පක්ෂ ලකුණ ලබා ගැනීම සඳහා උසාවි යන්නේ ද එබැවිනි. 1951-52 වකවානුවේ පැවැති ඉන්දියාවේ පළමු ලෝක් සභා මැතිවරණයට පෙර ඉන්දීය මැතිවරණ කොමිසම අවබෝධ කරගත් වැදගත්ම කාරණාව වූයේ ද එවකට සාක්ෂරතාව 20%කට වඩා අඩු මට්ටමේ පැවැති ඉන්දියාවට පක්ෂ ලකුණ කොතරම් තීරණාත්මකද යන්න ය. ඒ අනුව ආගමික හෝ දේවස්ථාන හෝ ඉන්දීය ජනතාව දේවත්වයෙන් සලකන ගවයන් වැනි සංවේදි රූප සහ ජාතික ධජය, ජාතික සත්ත්වයා, ජාතික පුෂ්පය ඇතුළු ලාංඡන කිහිපයක් හැරුණු විට සෙසු ඕනෑම සත්ත්ව, ගොඩනැඟිලි හෝ උපකරණ සිය පක්ෂ ලකුණ ලෙස භාවිත කිරීමට ඉන්දීය මැතිවරණ කොමිසම අවසර දී තිබිණි.

මෙතරම් විශාල මැතිවරණයකට තරග වදින දහස් සංඛ්‍යාත පක්ෂවලට ලකුණු බෙදා දීමත් ලෙහෙසි පහසු කාරණාවක් නොවන බව සහතිකය. එළවළු සහ පලතුරු වර්ග, විවිධ කුරුලු හා සත්ත්ව රූප, රථවාහන, ගේ දොර උපකරණ, විදුලි උපකරණ, සංගීත භාණ්ඩ, ගෑස් සිලින්ඩර, මිරිස් කරල, ක්‍රිකට් පිත්ත, පිතිකරුවා, පාන් ගෙඩිය ඇතුළු එකී නොකී සියලුම රූප පක්ෂ අතර බෙදී ගොස් තිබේ.

මෙවර ඉන්දීය මහමැතිවරණයේ පළමු අදියර ක්‍රියාත්මක වූ 19 වැනිදා ඡන්දය භාවිත කිරීමට නියමිතව සිටි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව කෝටි 16.63කි. පළමු අදියරේදී ඔවුන් අපේක්ෂකයන් 1,625 දෙනකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන ලක්ෂ 1.87කදී සිය ඡන්දය භාවිත කිරීමට නියමිතව තිබිණි. පළමු අදියරේ ඡන්දය පැවැත්වීම පිළිබඳ වැදගත් කරුණු රැසක් ඊයේ පෙරේදා ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

හෙලිකොප්ටර් යානා 41ක්, විශේෂ දුම්රිය 84ක් සහ ලක්ෂයකට ආසන්න වාහන සංඛ්‍යාවක් පළමු අදියරේ මැතිවරණය සඳහා භාවිත කිරීමට නියමිතව ඇතැයි ද, ඡන්දදායකයන්ගේ නීතිවිරෝධී ක්‍රියා හෝ හැසිරීම් නිරීක්ෂණය කිරීමට දෙදහසකට අධික වීඩියෝ නිරීක්ෂකයන් යොදවා ඇතැයි ද වාර්තා විය. අන්තර් ප්‍රාන්තවල ආරක්ෂක මුරපොළ 1,374ක් ද, ජාත්‍යන්තර දේශසීමාවල මුරපොළ 162ක් ද ස්ථාපිත කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. ඒ අනුව සෙසු අදියරේ මැතිවරණ ක්‍රියාදාමය කෙබඳුදැයි සිතාගත හැකිය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division