මීට වසර 50කට පෙර එනම්, 1974 වසරේ ජනවාරි මස දිනෙක විදුලකර සරසවියේ ප්‍රථම වසර සිසුවකු වූ මා පුස්තකාලයේ සිටි අවස්ථාවක සොඳුරු සිනහවකින් මුව සරසා ගෙන මා වෙත පැමිණි ඉම්තියාස් “මම ඉම්තියාස්” යැයි හඳුන්වා දෙමින් ඔහුගේ මිතුරු හස්තය මා වෙත දිගු කළ ආකාරය මට අද මෙන් මතකය.
වසර 50කට පසු 2024 මාර්තු 5 වන දින පස්වරු ආනන්දයේ කුලරත්න ශාලාවේදී මා දුටු ඉම්තියාස් 1974 මා දුටු ඉම්තියාස්මය. සිහින් සිරුර, සුන්දර සිනහවක් මුව රඳවාගත් දළ රැවුල සහිත මුහුණ ආයිත්තම්, ආභරණ රහිත චාම් ඇඳුම එදා මෙන්ම අදත් එක සේය. නොවෙනස් සිරුර සහ ඇඳුම ඔහුගේ ප්‍රතිපත්තිමය දේශපාලනයට සාක්ෂි දරන්නා සේය.
“මගේ කතාව” යනු ඉම්තියාස් විසින් රචිත ඔහුගේ ස්වයං අපදානයකි. අපදාන සහ ස්වයං අපදාන කියැවීමට මම ඉමහත් කැමැත්තක් දක්වීමි.
“මගේ කතාව” යනු ඉම්තියාස්ගේ ජීවිත කතාවයි. මෙවන් කෘතියක ප්‍රථමයෙන් ම වැදගත් වන්නේ යොදාගන්නා භාෂා ශෛලියයි, බස් වහරයි. ජීවිතයේ සිදු වූ සිද්ධි සමුදායක දිනපොත් ඇසුරින් වාර්තා කරන්නාක් මෙන් ගැඹුරු බසකින් රචනා කළහොත් එය පාඨකයා ආකර්ෂණය කර ගැනීමට සමත් නොවනු ඇත. ඉම්තියාස් “මගේ කතාව” සඳහා යොදාගෙන ඇත්තේ සරල සුමට භාෂා ශෛලියකි. එය පාඨකයාට ගෝචර වූ භාෂා ශෛලියකි.
තම කෘතිය ආරම්භයේදී ඉම්තියාස් මෙසේ කියයි. “මේ මගේ කතාවයි. මම මගේ කතාව ඔබට කියන්නම්. මෙය සර්වතෝභද්‍ර කෙනෙකුගේ කතාවක් නොවෙයි. සියල්ල දත් කෙනකුගේ කතාවක් ද නොවෙයි. පෘතග්ජන මිනිසකුගේ කතාවක්. මගේ කතාව තුළ ඔබේ දැක්මට අනුව ධන මෙන්ම ඍණ පැති ද තිබෙන්නට පුළුවන්. අඩුලුහුඬුකම් තිබෙන්නට පුළුවන්. අපේ ජීවිත ගමනේදී මම ඔබගෙන් ද, ඔබට මගෙන් ද උගත හැකි පාඩම් තිබෙනවා. නිහතමානීව එකිනෙකාගෙන් පාඩම් උගෙන, වැරදි නිවැරදි කර ගනිමින් ජීවන ගමන අප යා යුතු වෙනවා.”
කතුවරයා තමන් ගැන ආත්ම අභිමානයකින් තොරව ඉතා නිරහංකාර ලෙස පාඨකයා අමතමින් තමන්ගේ කතාවට ප්‍රවේශයක් ලබාගෙන ඇති බව එම වැකි තුළින් මනාව සනාථ වේ.
තම ජීවිත කතාව තුළින් ඔහු හෙළිදරව් කර සිටින්නේ තමන් කතෝලික, මුස්ලිම් සහ බෞද්ධ පාසල්වල අධ්‍යාපනය හදාරා ඇති බවයි. බාලාංශ පන්තියේ සිට දෙවන පන්තිය තෙක් කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේත්, ඉන්පසුව කළුතර සිරිකුරුස විදුහලේත් 1965 වසරේ සිට ගම්පොල සහිරා විදුහලේත්, අවසන් ලෙස කීර්තිමත් බෞද්ධ පාසැලක් වූ කොළඹ ආනන්ද විද්‍යාලයේත් අධ්‍යාපනය හැදෑරීම තුළින් සනාථ වන්නේ ඉම්තියාස් සර්ව ආගමික පසුබිමක සිප්සතර හදාරා ඇති බවයි. එපමණක් නොව නමවන වසරේ සිට සිය පාසල් මිතුරු සරත් කෝන්ගහගේ සමඟ රදකඩහේනේ චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේගෙන් පාලි භාෂාව ඉගෙනීම පිළිබඳව ද ඔහු සඳහන් කරයි. තවද ආනන්ද විදුහලේදී තොටගම වාචීස්සර, හෙට්ටිමුල්ලේ වජිර බුද්ධි, කහතුඩුවේ හේමසිරි, කුරුනදගොඩ පියතිස්ස, දිවියාගහ යසස්සී වැනි ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම තමන්ට ලැබුණු ආකාරය පිළිබඳව ද ඉම්තියාස් සඳහන් කර ඇත. ඉස්ලාම්, කතෝලික සහ බෞද්ධ ධර්මයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට ඉන් ඔහු සමත්ව ඇත. මෙම සුවිශේෂී ආගමික අවබෝධය ඉම්තියාස්ගේ චරිතය ඔපවත් කිරීමෙහිලා මහත් රුකුලක් වන්නට ඇත.
මෙය ඉම්තියාස්ගේ ජීවිත කතාව වුව ද, මෙවන් ඓතිහාසික වැදගත් වන තොරතුරු රැසක් ඊට ඇතුළත් කිරීම තුළින් ස්වයං අපදානයකට එහා ගිය අගයක් ඔහු මෙම කෘතියට එක්කර ඇත.
“මගේ කතාව” මුල සිට අග දක්වා කියවන පාඨකයන්ට එහි අන්තර්ගතය තුළින් දක්නට ලැබෙන වැදගත්ම සාධකය ලෙස මා දකින්නේ ජාතික සහ ආගමික සංහිඳියාව පිළිබඳව දැක්වෙන කරුණු කාරණාය. තම කතාව ආරම්භක පරිච්ඡේදයෙහි ඉම්තියාස් මෙසේ සඳහන් කර ඇත.
“උපන් දේශය, වර්ණය, ජාතිය, කුලය ආදී වශයෙන් ඇති විවිධත්වය මිනිසකුගේ තේරීමක් නොවේ. කෙනෙකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන්නේ උපතින් නොව හැසිරීමෙන් බව කියන බෞද්ධ ඉගැන්වීම මට සිහිපත් වෙනවා.”
“මිනිස් පවුල තුළ ඇති විවිධත්වය එකිනෙකා හඳුනා ගැනීම සඳහා මිසෙක, උත්පත්තියෙන් කිසිදු මිනිසකු තවත් මිනිසකුට වඩා උසස් නොවන බවට වන ඉස්ලාම් ඉගැන්වීම ද මේ හා සමාන වන්නක්.”
මෙම වදන් පෙළින් හෙඑළිදරව් වන්නේ ඉම්තියාස් අගය කරන සර්ව ජාතික සහ ආගමික සංහිඳියාව පිළිබඳ ඔහුගේ ප්රතිපත්තියයි. ඔහුගේ අධ්‍යාපනික පසුබිම තුළින් පුළුල් මනසකින් ලොව දකින්නට ඔහු හුරුවී ඇති බවට සැකයක් නැත.
ඉම්තියාස්ගේ ඉහත කී වදන් පෙළ කියවන විට මගේ සිහියට නැඟෙන්නේ මහා ගත්කරුවකු වූ ඉංග්‍රීසි ජාතික එච්. ජී. වේල්ස්ගේ කියමනකි. ඔහු මෙසේ පවසා ඇත.
“බෙදී ගියොත් රට යයි සුන් වී” යන පරිච්ඡේදයෙහි මුල් වැකි කීපයෙහි මෙසේ සඳහන් වේ.
“හැඟීම් අවුස්සන්නා වූ සහ වෛරී සටන් පාඨ තුළින් ඇතිකරන්නා වූ ගිනි ඇවිළීම තවදුරටත් දරාගන්නට ශ්‍රී ලංකා සමාජයට පුළුවන්කමක් නැහැ. තම සමාජය තුළ ගැටුම් අවම කර ගැනීමට අසමත් වන සමාජයකට ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තු ඇතිකර ගන්නට බැහැ. කරුණාරත්න අබේසේකරයන් ලියූ, ලතා වල්පොළ ගැයූ ‘නැඟී සිටිය හැක එක්සත් වී, බෙදී ගියොත් රට යයි සුන් වී’ ගිතය මට සිහියට නැඟෙනවා…”
ඉහත පාඨයන්හි සඳහන් කරුණුවල සත්‍යතාව අප සමාජය දැන් වටහාගෙන ඇති බව නොඅනුමානය. ශ්‍රී ලංකාවේ පරිහානියට හේතු වූ සාධක “මගේ කතාව” තුළින් මැනවින් පහදා ඇත. ජාති භේද ආගම් භේද වැපිරීම තුළින් සහ සුළු ජාතිකයන් පාගා දැමීම තුළින් රටක් දියුණු කළ නොහැකි බව ඉම්තියාස්ගේ දැක්මයි. එය බහුතරයක් වූ සිංහල අපගේ ද දැක්ම නොවනතාක් කල් ශ්‍රී ලංකාවට ඉසුරුමත් අනාගතයක් උදා කරගත නොහැකි වනු ඇත.
ඉම්තියාස්ගේ “මගේ කතාව” තුළින් ඉස්මතු කර දක්වන්නේ මෙම සමාජ විෂමතාවයි. මෙම විෂමතාව දුරලන තෙක් රටට අනාගතයක් නොමැති බව ඉම්තියාස්ගේ අදහසයි.
“තාත්තාගේ ආභාසය” නම් පරිච්ඡේදයෙහි තම පියාගේ දැක්ම විස්තර කරන ඉම්තියාස් එහි අවසන් වැකියේ මෙසේ සඳහන් කරයි.
“භක්තිමත් මුස්ලිම්වරයකු වුණු තාත්තාගේ ජීවිතයට ඉස්ලාමය උගන්වන සමානත්වය හා සහෝදරත්වය පිළිබඳ අදහස් දැඩිව කිඳා බැස තිබුණා.”
මෙයින් පැහැදිලි වන්නේ ඉම්තියාස් මෙන්ම ඔහුගේ පියා ද දැඩිව සමාජ සමානාත්මතාවය කෙරෙහි විශ්වාස තබා සිටි කෙනකු බවයි.
තම පියාගෙන් ලද එම ආභාසය තුළින්ද විවිධ ආගමික පාසල් තුළින් ලද අධ්‍යාපනය තුළින්ද පන්නරය ලැබූ ඉම්තියාස් ජාතික ආගමික සංහිඳියාව මුල්කොටගෙන අවංකව දේශපාලනයෙහි යෙදුණ ආකාරය මෙම කෘතියෙහි ලයාන්විත ආකාරයට ගෙනහැර පා ඇත.
“මගේ කතාවෙහි” ඔහු ප්රජාතන්ත්රවාදී මූලධර්මයන් ද ඇගයීමට ලක්කරයි. එම මූලධර්මයන් කඩ වූ අවස්ථාවන්හි ඔහු කම්පා වූ ආකාරය පැහැදිලි කරයි.
ඉම්තියාස් මෙන්ම ඔහුගේ පියා වූ හිටපු කථානායක අල්හාජ් බාකීර් මාකර් ද විශිෂ්ට ගුණාංගයන්ගෙන් පිරිපුන් ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ දේශපාලනඥයෙකි. මෙම කෘතියෙහි “පියතුමන්ගේ ප්‍රතිපත්තිමය ස්ථාවරය” යන පරිච්ඡේදයෙහි ඉම්තියාස් මෙසේ සඳහන් කරයි.
“මහජන නියෝජිතයකු ලෙස සිටි කාලය පුරාම ඔහු තම කාර්ය මණ්ඩලයට පවුලේ කිසිවකු ඇතුළත් කර ගත්තේ නැහැ. කථානායකවරයා ලෙස හෝ අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී ඔහු ගිය කිසිදු විදේශ ගමනකට ඔහු මා එක්කර ගත්තේ නැහැ”
අද නම් මේවා විශ්මයජනක සිදුවීම් නොවේද?
මුදල් බලය යොදවමින් තම පියා මැතිවරණවලින් පැරදවීමට ඇතැමුන් උත්සාහ කළ ආකාරය මෙම කෘතියෙහි විස්තර කර ඇත. දේශීය මෙන්ම විදේශීය බලවේග විසින් ධන බලය යොදා දේශපාලන පක්ෂ වෙත මෙන්ම දේශපාලන නායකයින් වෙතද කරන බලපෑම් හේතුකොටගෙන ප්‍රතිපත්තිමය දේශපාලනයක් පවත්වාගෙන යාම අද අභියෝගයක් වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
එකී බලවේග හමුවේ තම පියා මෙන්ම නොසැලී සිටි ඉම්තියාස් සෑම මැතිවරණයකදීම තම ඡන්ද ප්‍රතිශතය වැඩි කරගත් ආකාරය මෙම කෘතියේදී හෙළිදරව් කරයි. කැබිනට් අමාත්‍ය ධුරයක් ලද පසුව දේශපාලනයෙන් කලක් ඉවත්ව සිටීම තුළින් ඔහු පසක් කර ඇත්තේ තමා බලලෝභියකු නොවන බවයි. 1988 අගෝස්තු මස 9 වන දින සිය උපන්දිනයට පසු දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සිය මංගල කතාව කළ ඉම්තියාස් එය අවසන් කර ඇත්තේ ධම්මපදයේ පහත සඳහන් ගාථා පාඨයෙනි.
“නතං කම්මං කතං සාධු – යං කත්වා නානු කප්පතී
යස්ස පතිකෝ සුමනො – විපාකං පටිසෙමතී”
යමක් කොට පසුතැවෙන්නට නොවේද යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකිද එබඳු දේ කිරීම යහපත්ය.
එදා සිය මංගල කතාවේ ගෙනහැර පෑ ධම්මපද ගාථා පාඨයෙහි සඳහන් ආකාරයටම ඉම්තියාස් ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකි දේ කරැති බව ඔහුගේ ග්‍රන්ථය පුරාවටම දක්වන කරුණු තුලනය කර බලන විට සපථ වේ. 2024 මාර්තු මස 5 වන දින මෙම ග්‍රන්ථය දොරට වැඩි දින ආචාර්ය රංග කලංසූරිය සඳහන් කළ ලෙස ඉම්තියාස්ගේ චරිතය නොකැලැල්ය. “මගේ කතාව” සියල්ල දත් කෙනකුගේ කතාවක් නොවුව ද පෘතග්ජන මිනිසුන්ගේ කතාවක් වුවද, එකී කතාවේ ජාති ආගම් භේද නොසලකන සර්ව ආගමික දැනුමින් පරිපූර්ණ බහුශ්‍රැත උදාර දේශපාලනඥයකුගේ කතාවක් ලෙස පාඨකයා හඳුන්වනු නොඅනුමානය.
ඔහුගේ ජීවිතයේ විඳින්නට සිදු වූ නින්දා අපහාස දුක් කම්කටොලු, ජයග්‍රහණ ඔහු උපේක්ෂාවෙන් විඳ දරාගෙන ඇති බව මෙම කෘතියෙන් හෙළි කරන සිද්ධි සමුදාය තුළින් විද්‍යමාන වේ. කෙසේ වෙතත් ඔහුට ඉවසාගත නොහැකි අදත් ඔහුගේ චිත්ත සංවේගයට බඳුන් වන ආදීල් පුතුගේ මරණය සම්බන්ධ තොරතුරු අපගේ ඇසට ද කඳුළක් එක් කරයි.
අවසන් වශයෙන් මෙහි කතුවරයා වන මගේ සරසවි මිතුරු ඉම්තියාස් පිළිබඳව ද ඇගයීමක් කරමි.
ශුද්ධ වූ කුරාණයේ එක් පාඨයක මෙසේ සඳහන් වේ. “අල්ලා දෙවියන් අණ කර සිටිනවා ඔබ කෙරෙහි විශ්වාසය තැබුවන් වෙත එම විශ්වාසය පිරිනැමිය යුතු බව”
ශුද්ධ වූ කුරාණය 4 . 58
ඉම්තියාස් වෙත ජනතාව තැබූ විශ්වාසය ඔහු කඩ කර නැත. ඔහු එම විශ්වාසය නැවත ජනතාව වෙතම පිරිනමා ඇත. ඔහු අල්ලා දෙවියන් වහන්සේගේ අණ ඉටු කළ නියම ඉස්ලාම් බැතිමතකු බවට මෙම ග්‍රන්ථයේ ඇතුළත් කරුණු සාක්ෂි දරයි.
“මගේ කතාව” තුළින් ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමට අවශ්‍ය වනුයේ කිනම් ආකාරයක දේශපාලන නායකයන්දැයි යන ප්‍රශ්නයට පිළිතුරක් සපයාගත හැකි වනු ඇතැයි මම සිතමි.