– මේ වෙද්දි මගේ වයස අවුරුදු 83යි, කලා ජීවිතයට අවුරුදු 63යි, විවාහ වෙලා අවුරුදු 58යි
– මුල්ම වේදිකා නාට්‍ය චරිතයට වචන අටයි කියන්න තිබුණේ. නමුත් මාස අටක් සතියකට දවස් තුන බැගින් පුහුණුවීම්වලට ගියා
– මහ මුහුදට හැම තැනින්ම වතුර එනවා වගේ සුදුසුකම් ඇති කර ගත්තොත් හැමදේම තමන්ගෙ දෙපා මුලට එනවා
ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන ප්‍රකට කියමන පැරද වූ විශිෂ්ටයකු මෙවර අපේ කතානායකයාය. වේදිකාව, ගුවන්විදුලිය, රිදී තිරය, පුංචි තිරය මෙන්ම ලේඛන සහ දේශන කලාව ද ජයගත් ප්‍රතිභාපූර්ණ සම්මානිත කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ සෞන්දර්ය චාරිකාව බොහෝ චමත්කාරජනකය; අරුත්බරය; මානවවාදීය. මන පිනවන තාත්වික රංගනය මෙන්ම ඔහුගේ හඬ ද එදා මෙන්ම අදටත් ජවසම්පන්නය. හදවත ඇදබැඳගන්නාසුලුය. ඉන් නොනැවතී එවදන් ප්‍රඥාවේ දොරගුළු ද විවර කරන්නේය. ඒ නිසාම මේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා පිළිබඳ දැනෙන්නේ ගෞරවයකි. නම සිහි කළ පමණින්ම මතකයට නැඟෙන මනා පෞරුෂයෙන් යුතු උස සිරුර තුළ ජීවත් වන දැනුමින්, කුසලතාවෙන් සහ මිනිසත්කමින් බොහෝ උස සහ පිරිපුන් මිනිසා දුටිමි. මේ, ඒ අපූරු මිනිසාගේ දිවිසැරියේ මතක ආවර්ජනයකි.
“මේ වෙද්දි මගේ වයස අවුරුදු අසූ තුනයි, කලා ජීවිතයට අවුරුදු හැට තුනයි, විවාහ වෙලා අවුරුදු 58යි” අපේ කතාබහට අපූරු ප්‍රවේශයක් ලබා දෙමින් කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයෝ කීහ. ඔහු උපන්නේ 1941 පෙබරවාරි 11 වැනිදා කැලණියේදීය. පියා පැටිකිරිගේ එදිරිසිංහ ගෘහ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අධීක්ෂකවරයෙකි. මව එළිසබෙත් පෙරේරා ගෘහිණියකි. ඔවුන් දෙපළගේ දරුවන් අටදෙනාගෙන් සයවැන්නා වූ සතිස්චන්ද්‍රට වැඩිමහල් සහෝදරයෙක්, සහෝදරියන් සිවු දෙනකු සහ බාල සහෝදරයන් දෙදෙනෙකි. ඒ අතරින් බාල සහෝදරයා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ය. කලා ක්ෂේත්රයේ බහුවිධ මානයන් මැනවින් ස්පර්ශ කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහ නම් ප්‍රතිභාපූර්ණ කලා ශිල්පියාට කලාව පිළිබඳ මුල්ම ආභාසය ලැබුණේ කැලණිය වරාගොඩ ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයෙනි.
“එතකොට මම පහේ පන්තියේ. පී. රූබන් පීරීස්ගේ ‘මවුබස’ පොතේ මද්දුම බණ්ඩාරගේ කතාව තිබුණා “මැරෙන සැටි පෙන්වමි” කියලා. පන්ති භාර සර් පාඩම කියවන්න කිවුවම මම එක දිගටම පාඩම කියවගෙන යනවා වෙනුවට දෙබස් විදිහට කියෙවුවා. සර් කියලා හෝ උගන්වලා නෙවෙයි මම එහෙම කිව්වේ. ඒ ගැන සර් බොහොම සතුටු වෙලා අනිත් ළමයින්ට කිව්වා, “මේ එදිරිසිංහ වගේ කියවන්න” කියලා. කීප සැරයක් කියද්දි මට ඒ දෙබස් හොඳට කටපාඩම් වුණා. ටික දවසකට පස්සේ අපේ හන්දියට නාට්‍ය කණ්ඩායමක් ඇවිත් වෙසක් නාට්‍යයක් කළා. ඒක දකිද්දි මට හිතුණා, මද්දුම බණ්ඩාර කතාවත් මේ විදිහට කරන්න පුළුවන්නෙ කියලා. මම යාළුවො කීප දෙනෙක් එකතු කරගෙන ‘මැරෙන සැටි පෙන්වමි’ නමින් නාට්‍යයක් කළා. මගේ අක්කා අපේ පාසලේ සිංහල භාර රවිලාල් විමලධර්ම සර්ටත් කිව්වා මගේ නාට්‍යය ගැන. ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝදා විමලධර්මගේ පියා වූ එතුමා ඉතාම දක්ෂ උතුම් ගුණාංග තිබුණු ගුරුවරයෙක්. රවිලාල් සර් මම ඇතුළු ළමයි කීපදෙනෙක් අරගෙන ‘කදා වළලු’ කියලා ගුවන්විදුලි නාට්‍යයක් කළා. ඊට පස්සේ සර් කළ ‘උමන්දාවෙන් පිටුවක්’ නාට්‍යයේ මම වේදේහ රජුට රඟපෑවා. මම ඉහළ පන්තියක ඉන්නකොට විජේතුංග කියල සර් කෙනෙක් කිව්වා ‘සුදෝසුදු’ කවි කතාවෙන් නාට්‍යයක් කරන්න කියලා. ඒකේ තිබුණු අදිරි, ටිකිරි ප්‍රධාන චරිත දෙකම මගෙ ස්වරූපයට ගැළපෙන්නේ නෑ. මම කෙට්ටුයි උසයිනේ. ඒත් සර් මට බල කළා නාට්‍යය ලියන්නම කියලා. මම ඒක ලිව්වේ මට රඟපාන්න ‘බබා මාමා ‘ කියලා අලුත් චරිතයකුත් එකතු කරලා. පස්සේ කාලෙක තමයි මට තේරුණේ ඒ චරිතය තුළින් මම ඒ නාට්‍යයට චිත්‍රපටවල එන අතීතාවර්ජන අංගය එකතු කරලා කියලා. මුකුත් නොදන්න කාලේ ඒ වගේ දෙයක් කරන්න ඥානයක් පහළ වුණේ කලාව පිළිබඳ සහජ හැකියාව නිසා වෙන්න ඇති. ඒ වගේම ඒ කාලේ අපිට ඉතාම හොඳ ගුරුවරුන්ගේ ආභාසය ලැබුණු එකත් ඒ හැකියාව තවත් ඔපමට්ටම් කරගන්න හොඳ අත්වැලක් වුණා.”
ඉන් අනතුරුව සතිස්චන්ද්‍ර නම් යොවුන් පාසල් සිසුවාට කෙම්බිමක් වන්නේ ඇල්පිටිය ශාන්ත මරියා විද්‍යාලයයි. එහිදී නාට්‍ය කිහිපයක රඟපෑමෙන් පසු ඇන්ටන් චෙකෝව්ගේ ‘මඟුල් ප්‍රස්ථාව’ නම් ඉංග්‍රීසි නාට්‍යයේ රඟපෑමේ අවස්ථාව හිමිවිය.
“සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න නිසා මට ඒකේ රඟපාන්න බෑ කියලා මම සර්ට කිවුවත් සර්ගෙ පෙරැත්ත කිරීම නිසාම රඟපෑවා. අන්තිමට නිතර ඉංග්‍රීසියෙන් කතා කරන ළමයින්ට වැඩිය හොඳට මම ඒ චරිතය කළා. ඒ නිසාම මට ඒ අවුරුද්දෙ ගාලු දිස්ත්‍රික්කයේ හොඳම පාසල් නළුවා බවට පත්වීමටත් හැකි වුණා.”
කලාවට මෙන්ම ඉගෙනුමට ද සමතකු වූ සතිස්චන්ද්‍ර තරුණයා සරසවි වරම් දිනුවද පියාගේ අභාවය හේතුවෙන් මතු වූ ආර්ථික ප්‍රශ්න හමුවේ බාල සොහොයුරු සුනිල්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය සරසවි අධ්‍යාපනය පරිත්‍යාග කළේය. ඒ තීරණය ගැන තමා අදත් සතුටු වන බව ඔහු පැවසුවේ මානුෂීය ගුණාංගවලින් පිරිපුන් හදවතේ පරිමාව විදහා පාමිනි. 1961දී ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ රංගනය ආරම්භ කළේ එකල දක්ෂ චිත්‍ර ශිල්පියකු වූ ජේ. ඩී. ඒ. පෙරේරා සූරීන්ගේ “වෙස්සන්තර” නාට්‍යයෙනි.
“මගේ අයියා (ධර්මසිරි එදිරිසිංහ) ඒ කාලේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස වැඩ කළා. ඔහු තමයි මට ජේ. ඩී. සර්ව හඳුන්වා දුන්නෙ. මට ලැබුණේ රටවැසියකුගේ චරිතයක්. වචන අටයි කියන්න තිබුණේ. නමුත් මාස අටක් සතියකට දවස් තුන බැගින් පුහුණුවීම්වලට ගියා. එක දවසක්වත් නොගිහින් හිටියෙ නැහැ. කලා ලෝකයේ දැවැන්තයන් වූ රුක්මණී දේවි, එඩී ජයමාන්න සමඟ රඟපාන්න ලැබීම මට ලොකු භාග්‍යයක් වුණා. අදටත් ඒ හැඟීම එහෙමමයි. ඒ වගේම ඒ නාට්‍ය ය ලුම්බිණි රඟහලේ දවස් 14ක් එක දිගට පෙන්නුවා. ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ කිසිම නාට්‍යයක් එහෙම එක දිගට පෙන්වලා නැහැ. නාට්‍යය පෙන්වන 11 වැනි දවසෙ පූජක බමුණගේ චරිතය රඟපෑ පැරණි නළුවකු වූ එඩී ගුණවර්ධන කිසියම් මතභේදයක් එදා හවස හතරට විතර අමනාප වෙලා ගියා. හවස 6.30 දර්ශනේ කරන්න, කවුද මේ චරිතෙට දාන්නෙ කියලා ඇහුවම නිතරගයෙන්ම මගේ නම කියවුණා. පස්සේ වේදිකා පරිපාලක ධර්මදාස කුරුප්පු මහත්තයා මාව ජේ.ඩී සර් ළඟට එක්ක ගිහින් “ගුණවර්ධන නාවොත් මොකද කරන්නෙ? අපි මේක සතිස්ට දෙමුද” කියලා ඇහුවා. සර් මගෙ අතින් අල්ලගෙන ඇහුවා, “සතිස්ට මේක කරන්න පුළුවන්ද?” කියලා. මම කිව්වා බලන්නම් කියලා. “එහෙමනම් හය වෙනකම් බලන්න. 6ට ආවේ නැත්නම් සතිස් ඇඳුම් දාන්න” කියලා සර් කිව්වා. ඒ වුණාට මගෙ හිත ඇතුළෙන් පොඩි ප්‍රාර්ථනාවක් කළා එයා නාවත් කමක් නෑ කියලා. ඒ එයා ගැන ඊර්ෂ්‍යාවකට තණ්හාවකට නෙවෙයි. මම කරපු පොඩි චරිතෙ එක්ක බලද්දි මේක ප්‍රමෝෂන් එකක් නිසයි. 5.45 වෙද්දි මම ඇඳුම් ඇඳගෙන මේකප් රූම් එකේ ඉන්නකොට යාළුවෙක් ඇවිත් කිවුවා, ගුණවර්ධන ඇවිත් කියලා. රැවුලයි කොණ්ඩෙයි දාන්න විතරයි මට තිබුණේ. ජේ. ඩී. සර් ළඟට ගිහින් මම බයාදු විදිහට කිවුවා, සර් මිස්ටර් ගුණවර්ධන ඇවිත් ඉන්නවා. මම මොකද කරන්නේ කියලා. සර් අත්ඔරලෝසුව දිහා බලලා කිවුවා, “නෑ අද නටන්නේ සතිස්” කියලා. හේතුව එතකොට වෙලාව 6.10යි. නීතියක් තිබුණා හයෙන් පස්සේ කිසිම නළු නිළියකට එන්න බැහැ, අත්සන් කරන පොතේ 6ට රතු ඉර ගහනවා. එදා තමයි මම වේදිකාවේ විනය ඉගෙන ගත්ත දවස. මම නාට්‍ය 6ක් කළා. ඒ හැම එකකදිම කිසිම කෙනෙකුට පරක්කු වෙන්න දීලා නැහැ. කලාකරුවන්ට ආදරෙයි. නමුත් විනය සම්බන්ධයෙන් මම ටිකක් සැරට ඉන්නවා. ඒ විනය නිසයි මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ. එදා අවුරුදු 20 තරුණයෙක්. මට නිරූපණය කරන්න තිබුණේ අවුරුදු 80-85ක මහලු චරිතයක් වූ ජූජක බමුණගේ චරිතය. මම කවදාවත් කරලා තිබුණේ නැහැ. දැකලා තිබුණා විතරයි. ඒකේ ගීතයක් කියන්නත් තිබුණා. අභියෝගයක් වුණත් මම ඒ චරිතය කළා. ඒ නිසාම මට එය අමතක නොවන අවස්ථාවක්. ඊට පස්සේ දිගටම මම ඒ චරිතෙ රඟපෑවා. ඔහොම දර්ශන 35ක් රඟපෑවාට පස්සේ තමයි සල්ලි ලැබුණේ. ඒ කාලේ දිනපතා ගෙවීම් කළේ නැහැ. මට ලැබුණේ රුපියල් 30යි. ඒ 1961 අගදි. ඊට කලින් තවත් සිදුවීමක් වුණා.
ඇලොයි ගුණවර්ධන කියලා නළුවෙක් පොඩි ස්ට්‍රයික් එකක් සංවිධානය කළා. එදා මාතර 6.30ට දර්ශනය තිබුණේ. 4ට විතර ඇලෝයි තව දහ දෙනෙක් විතර එක්කගෙන මගෙ ළඟට ඇවිත් කිව්වා, සතිස් අපි සර් හම්බ වෙලා කියනවා අපිට සල්ලි දෙන්නෙ නැත්තන් අපි රඟපාන්නෙ නැහැ කියලා. එයා ගෙනාවා තර්කයක්, පැය තුනකට රුක්මණී 350ක් වටිනවා නම් අපේ මේ කෙල්ලෙක් 3.50ක් වටින්නෙ නැද්ද? එඩී ජයමාන්න 250ක් වටිනවා නම් අපේ කොල්ලෙක් 2.50ක් වටින්නෙ නැද්ද?”එයාගේ තර්කය හරි වුණත් සර්ට විරුද්ධව වචනයක්වත් කතා කරන්නෙත් නැහැ, ස්ට්රයික්වලට එන්නෙත් නැහැ, මම ආවේ කලා ජීවිතේ තැනක් හදාගන්න කියලා මම කිවුවම හුඟක් අය මගෙ අදහසට එකතු වුණා. එයා එක්ක හය දෙනයි හිටියෙ. මම විනය ඉගෙන ගත්ත ඊළඟ දවස එදා. 4.30ට විතර ඒ හයදෙනා ජේ.ඩී. සර් ළඟට ගිහින් කිව්වා සර් අද අපිට සල්ලි දුන්නෙ නැත්නම් අපි රඟපාන්නෙ නැහැ කියලා. සර් කිසිම කලබලයක් නැතිව මූණ දිහා බලලා හිනාවෙලා ඇලෝයි අර දොර ඇරල තියෙන්නෙ කිව්වා. 4.30යි වෙලාව. 6.30ට ෂෝ එක. හය දෙනෙකුට යන්න කියනවා. මොනතරම් ආත්ම විශ්වාසයක්, නිර්මාණ කුසලතාවක් තියෙන්න ඕනද එහෙම එඩිතර තීරණයක් ගන්න. එයාලා ගල්ගැහිලා වගේ බලාගෙන ඉන්නකොට “මම කිව්වනෙ, දොර ඇරලා තියෙන්නෙ කියලා” දෙවැනි පාරටත් කිවුවා. බොහොම අහිංසක විදිහට එයාලා ගියා. අපිට ප්රහේළිකාවක් දැන් නාට්‍යය කරන්නෙ කොහොමද, හයදෙනෙක්ම නැහැනෙ. ජේ.ඩී. සර් වේදිකා පරිපාලක ගෙන්නලා අර චරිතේ අහවලාට දෙන්න, එයා කරන එක නවත්තන්න, අර චරිතෙ ඩබල් කරන්න, අර පොඩි චරිතෙ කපන්න ඔය වගේ උපදෙස් ටිකක් දීලා කිසිම ප්‍රශ්නයක් නැතිව නාට්‍යය කළා. ආරම්භයේදීම ඒ වගේ හොඳ ගුරුවරයෙක්ගෙන් එවැනි වටිනා අත්දැකීම් ලැබූ නිසාම කවදාවත් මම මුදල් ඉස්සර කරගත්තෙ නැහැ. මම බැලුවේ මට ලැබෙන දේ නෙවෙයි. මගෙන් මොකක්ද කෙරෙන්න ඕනේ කියලයි. කළ යුතු වැඩ කොටස හරියට කරද්දි ලැබිය යුතු දේවල් සේරම ලැබුණා. මහ මුහුද වතුර ඉල්ලන්නෙ නෑ, නමුත් හැම පැත්තෙන්ම වතුර එනවා. මහ මුහුද සුදුසුයි එය ලබන්න. ඒ වගේම අපිත් සුදුසුකම් ඇතිකර ගත්තොත් හැමදේම දෙපා මුලට එනවා.” මේ විශිෂ්ට කලාකරුවාගේ ඒ ජීවිත පරිචය පවා අරුමැසියකි. “ලාංකේය මිනිස් වනාන්තරයේ මොනර පක්ෂියා පැරැද වූ මිනිස් ගුණයේ නාමය වනාහී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ය. එතුමන් හස්තිරාජයකු තරම් ප්රතාපවත් ය. මයුර රාජයකු තරම් විචිත්‍ර ය. සිංහ රාජයකු තරම් බලවත් ය.” ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී සතිස්චන්ද්‍රයන් ගැන තැබූ ඒ සටහන ඔහුට මනා සේ ගැළපෙන්නේය.
සතිස්චන්ද්‍රයන්ගේ පළමු අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ‘බකතපස්’ 1963දී වේදිකාගත වූ අතර එම නාට්‍යය නැරඹීමට පැමිණි ප්‍රවීණයන් එතැන් සිට ඔවුන්ගේ නිර්මාණ සඳහා සතිස් සම්බන්ධ කර ගත්තේය. මහහේනේ ඊරි යකා, මහගෙදර, චෙරි උයන, ගැහැනියක්, ඔන්න බබෝ ඇතින්නියා, එරබොදු මල් පොට්ටු පිපිලා, ලියතඹරා ආදී නාට්‍ය රැසක් තුළින් සිය රංගන ප්‍රතිභාව ප්‍රකට කළ සතිස්චන්ද්‍රයන් 1963 සිට 1985 දක්වා නාට්‍ය 6ක් ද නිර්මාණය කළේය. ඒ සියල්ල තුළින් වේදිකා නාට්‍යවලට නැතුවම බැරි නළුවකු බවට පත්ව සිටි සතිස්චන්ද්‍රට සිනමා වරම් හිමි වන්නේ හෙන්රි ජයසේනයන්ගේ ‘මනරංජන වැඩවර්ජන’ නාට්‍යයේ ඔහුගේ රඟපෑම් දුටු එවකට සෙනෙට් සභික රෙජී පෙරේරා විසින් අධ්‍යක්ෂණය කළ ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයෙනි. ලාංකේය චිත්‍රපටයක භික්ෂු චරිතය වෙනුවෙන් නළුවකු කොණ්ඩය බූ ගෑ පළමු අවස්ථාව එය විය.
සතිස්චන්ද්‍ර ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය සිදුවන්නේ 1973 දී ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙනි. ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වූ එම චිත්‍රපටය ඊට දායක වූ සිව් දෙනකුගේ කුළුඳුල් සිනමා අත්දැකීමක් ලෙස සුවිශේෂී විය. සතිස්චන්ද්‍රයන්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වීම, ඔහුගේ බාල සොහොයුරු සුනිල් එදිරිසිංහගේ කුළුඳුල් චිත්‍රපට ගායනය, වොලී නානායක්කාරගේ කුළුඳුල් ගී රචනය සහ වික්ටර් රත්නායකයන්ගේ කුලුඳුල් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය එම සුවිශේෂිතා සතරය. විජය නන්දසිරි, සරත් ගුණරත්න, ක්වින්ටස් වීරකෝන්, කේ. ඒ. මිල්ටන් පෙරේරා ආදී රංගන ශීල්පීන් සිනමාවට හඳුන්වා දුන්නේද එම චිත්‍රපටයෙනි.
“ඉකුත් දා පැවති 35 වැනි සරසවිය සම්මාන උලෙළේදී සුනිල් එදිරිසිංහ හොඳම ගායකයා ලෙසත් මම සහ වික්ටර් රත්නායක; ‘ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්- රණතිසර සම්මානයෙනුත්‘ පිදුම් ලැබුවා. එය දෛවෝපගත වගේම හිතට සතුටු කළ සිදුවීමක්” මේ විශිෂ්ට කලාකරුවා පැවසුවේ නිහතමානීවය. මේ වන විට සරසවිය සම්මාන දෙකක් ඇතුළුව ජනාධිපති සම්මාන, සුමති ටෙලි සම්මාන, රයිගම් ටෙලි සම්මාන සහ වෙනත් ගරු සම්මාන රැසකට හිමිකම් කියන සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මුල් වරට සරසවිය සම්මානයට හිමිකම් කියන්නේ 1986 වසරේ තිරගත වූ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘කොටි වලිගය’ චිත්‍රපටයේ කළ හික්ෂු චරිතය වෙනුවෙනි. එහිදී ඔහු තිරයේ පෙනී සිටියේ තත්පර 90ක් තරම් සුළු කාලයක් වුවත් ඒ වෙනුවෙන් ජූරියේ විශේෂ සම්මානය හිමි වූයේ ඒ අපූරු රංගන ප්‍රතිභාව නිසාය.
හෙතෙම පුංචි තිරයේ මංගල ගමන සනිටුහන් කරන්නේ 1982දී ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘එක මවකගේ දරුවෝ’ නාට්‍යය තුළිනි. විදුහල්පතිවරයකුගේ චරිතයක් නිරූපණය කළ එම ටෙලි සිත්තම සිය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බව සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් පැවසීය.
“ඒ චරිතය ඉතාම ආදර්ශවත් චරිතයක් නිසා මට සමාජයෙන් විශාල ගෞරවයක්, පිළිගැනීමක් ලැබුණා. ඒ වෙද්දි මම දුම්පානය කරනවා. මට හිතුණා මිනිස්සු මගේ රඟපෑමට මේ තරම් ගෞරව කරනවා නම් මගේ පෞද්ගලික චරිතයත් ඒ වගේ වෙනවා නම් මිනිස්සු මට කොයිතරම් ගරු කරයි ද කියලා. ඒ නිසා මම දුම්පානය සහ ඉඳහිට කළ වයින් පානයත් සදහටම නතර කළා. මම හිතනවා ඒ චරිත නිරූපණය නිසා මගේ පෞද්ගලික ජීවිතය වඩාත් යහපත් වුණා කියලා.”
මිහිකතගේ දරුවෝ, තාරාදේවි, සිවුමංසල, රතුරෝස, පළිඟු මැණිකේ ආදී ජනප්‍රිය ටෙලි නාට්‍යවලින් ඔහු රසික හදවතට වඩාත් සමීප වූ අතර ටෙලිනාට්‍ය 40-50කට පමණ රංගනයෙන් දායක විය. ඊට අමතරව ඔහු ගත් කතුවරයකු ලෙස ද ප්රකටය.
“වේදිකාව කියන්නේ රංගන ශිල්පියකුට, අධ්යක්ෂවරයකුට හොඳ පරිචයක්, අභ්‍යාසයක් ලබාදෙන තැනක්. කලා ජීවිතය සාර්ථක කරගැනීමට වේදිකාවෙන් ලැබුණු පරිචය අදටත් මට ආශීර්වාදයක්. නාට්‍ය සහ රංග කලාව ගැන මම වෙනත් අයගෙන් ඉගෙන ගෙන නැහැ. නමුත් අත්දැකීම් තුළින් බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, වසන්ත ඔබේසේකර, සුනිල් ආරියරත්න වැනි දක්ෂයන්ගෙන් ලැබූ අත්දැකීම්වලින් මගේ කලා ජීවිතය පොහොසත් වුණා. කලා ජීවිතයේ අවුරුදු 63න් 34ක් මම රජයට අනුබද්ධිත ලංකා ගමනාගමන මණ්ඩලයේ, මහවැලි අධිකාරියේ සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ සේවය කළා. එයින් මහවැලි අධිකාරියේ සංස්කෘතික කටයුතු පිළිබඳ කළමනාකරු ලෙස සේවය කළ වසර 12 ගැන මම ඉතා තෘප්තිමත්. ගොවි ජනතාවගේ තරුණ දූ දරුවන්ගේ සැඟවුණු කලා කුසලතා හඳුනාගෙන මහ වේදිකාවට ගේන්න මට අවස්ථාව ලැබුණා. අද ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඉතා දක්ෂ කලා ගුරුවරු ලෙස රටට සේවය කරමින් සිටිනවා. එය මට විශාල සතුටක්.”
කලාව මෙන්ම පෞද්ගලික ජීවිතය තුළත් ඔහුට ඇත්තේ තෘප්තිමත් බවකි. ඔහුගේ ආදරණීය බිරිය ශ්‍රියා කාරියප්පෙරුම ය. කැලණිය ධර්මාලෝක විදුහලේ ඉගෙන ගන්නා කාලයේදී සතිස්ගේ නාට්‍යයක රඟපෑ ශ්‍රියා නම් දැරිය පසුකලෙක සතිස්චන්ද්‍ර නම් කලාකාමී තරුණයාගේ පෙම්වතිය බවට පත්වී 1965දී විවාහ දිවියට එළැඹිණි. එතැන් සිට ඔහුගේ කලා දිවියේ නිබඳ සෙවණැල්ල වන්නී ඇයයි. උදය, ශෂිනි සහ උදාර දූ පුතුන් තිදෙනා නිසා මිනිබිරි මුණුපුරන් සත් දෙනෙකුගේ සෙනෙහස ද දැන් සතිස්- ශ්‍රියා යුවළට හිමිය.
ජීවිතය සහ සමාජය දෙස බොහෝ මානවවාදී ඇසකින් බලන මේ විශිෂ්ට කලාකරුවා ඒ පිළිබඳ දරන අදහස් ඉතා ආදරණීයය; සහකම්පනයෙන් යුක්තය.
“සෑම මිනිසෙක් තුළම භෞතික සහ අධ්‍යාත්මික වශයෙන් සත්ත්වයන් දෙදෙනෙක් ඉන්නවා. හැමෝම උත්සාහ කරන්නේ භෞතික සත්ත්වයා පෝෂණය කිරීමට පමණයි. නමුත් අධ්‍යාත්මික සත්ත්වයා පෝෂණය නොකර ජීවිතය සමබර වන්නේ නැහැ. අධ්‍යාත්මික ජීවිතය සමබර කළ හැක්කේ දහම, සාහිත්‍ය සහ කලාවෙන්. මිනිස්සු හිතනවා ගොඩක් වැඩ කරන්න තියෙනවා කියලා. නමුත් මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ එක වැඩයි. ඒ මිනිස්සුන්ට වැඩ කිරීම පමණයි. මම එදත් අදත් ඒ දේ කරනවා. ආපස්සට හැරිලා බලද්දි මම ජීවිතය ගැන ඉතා තෘප්තිමත් මිනිසෙක්.”
ඡායාරූප – නිශ්ශංක විජේරත්න
සුරේකා නිල්මිණි ඉලංකෝන්