සිහිල් සුළං පොද සමඟ මුහු වූ හීගොතුව දෙකොපුල් සිප වැලඳ හමා යයි. දුම්රියේ පටු දොරටුවක රැඳී හිඳිමින් ඒ මිහිර විඳිමි. නිල්ල පිරි තේ යාය අතරින් හිමිහිට ඇදෙනා දුම්රිය මේ මවන්නේ සුරලොව සක්මනක අත්දැකීමකි. සියවස් කාලයක් පුරා දුම්රිය මේ ආකාරයෙන්ම මේ බිම් ලකුණු පසු කරන්නට ඇත. එපමණම වාරයක් මේ මියුරු දැකුම මේ අයුරින්ම මවමින් හැමදාම නවමු අත්දැකීමක් උපදවන්නට මේ වටපිටාව සමත් වන්නට ඇත. විශ්මය එයය.
ගෙවෙමින් ඇත්තේ දුලබ මොහොතකි. සියවස් සමරුවක් වෙනුවෙන් මනරම් සුඛෝපභෝගී දුම්රියක මංගල ගමනට එක් වි සිටිමි. දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී සංචාරක දුම්රිය ඉතිහාසයේ ආශ්වාදනීය ලකුණක් තබමින් සිය මංගල ගමනට එක් වී ඇත. අප ඉන්නේ කොළඹ කොටුව සිට බදුල්ල බලා යන දුන්හිඳ ඔඩිසි දුම්රියේ ඒ මංගල ගමනේ ය.
වර්ෂ 1864 අප්‍රේල් මස 25 වැනි දින ලංකාවේ මුල්ම දුම්රිය ධාවනය වන්නේය. බ්‍රිතාන්‍ය රාකීයයන් සමඟ කළ එම මංගල ගමනේ ගමනාන්තය අඹේපුස්සය. ගොං බැඳි ගැල ප්‍රධාන සුඛෝපභෝගී ප්‍රවාහන මාධ්‍ය වූ වකවානුවක ගැල් රැසක් එක් කොට පිලී දෙකක් මතින් දුම් දමමින් දුවන මේ අපූරු යන්ත්‍රය පිළිබඳ උපන් විශ්මය අපේ ගැමියන්ගෙන් ප්‍රකාශ වුණ ආකාරය ජනකවි සහිත ජනශ්රැතියෙන්ම පෙනුණි.
කොළඹ සිට බදුල්ල දක්වා වූ උඩරට ගමන් මාර්ගය පූරණය වන්නේ අනුපිළිවෙළින් දිගහැරෙන දශක පහක සංවර්ධන ප්‍රයාමයක අග්‍රපලය ලෙසිනි. අඹේපුස්ස ගමනාන්තයක් කළ දුම්රිය ගමන 1867 වනවිට මහනුවර දක්වාත්, 1874 වන විට නාවලපිටිය දක්වාත්, 1885 වනවිට නානුඔය දක්වාත්, 1894 වන විට බණ්ඩාරවෙල දක්වාත් දීර්ඝ විය. එතැන් සිට බදුල්ල තෙක් දුම්රිය ගමන දීර්ඝ වන්නේ ඉන් දශක තුනකට පසුය. ඒ වර්ෂ 1924 වර්ෂයේ අප්‍රේල් 05 වැනිදාය. උඩරට දුම්රිය ගමන් මඟ බදුල්ල තෙක් දිගු වීමේ අර්ථය බ්‍රිතාන්‍ය යටත් විජිතයක වත්කම වූ වතු ආර්ථිකයේ සම්පත් කොළඹ කොටුව වෙත එක්රැස් කිරීම ය. එහෙත් දැන් අපට ඒ දුම්රිය මාර්ගය වෙනත් ආර්ථික සම්පතක් නිර්මාණය කර ඇත්තේය.
කොළඹ සිට බදුල්ලට මුල්ම වරට දුම්රියක් ධාවනය වී ඇරඹි ඒ බදුලු දුම්රිය ගමනට සියවසක් පිරීම නිමිති කොට ගත් මංගල්ල්‍ය අප්‍රේල් 05 වැනිදා රට සැමරුවේය. එම මංගල්ල්‍ය නිමිති කොට ගෙන ශ්‍රී ලංකා දුම්රිය ගමනාගමනයට සුඛෝපභෝගී දුන්හිඳ ඔඩිසි එක් විය. සංචාරක කර්මාන්තයට නව වර්ණයක් එක් කරමින් සැලසුම් වූ දුන්හිඳ ඔඩිසි සුඛෝපභෝගී දුම්රිය අනාගතය සම්බන්ධ සුබ ලකුණක් එක්කර තිබුණේය.
මෙම නව සුඛෝපභෝගි සංචාරක දුම්රිය දුම්රිය සේවයට එක් වන්නේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ සංකල්පයක් ලෙසය. ‘දුන්හිඳ ඔඩිසි’ නව සංචාරක දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වූයේ සර්ව ආගමික සෙත් ශාන්ති සමඟ ආශීර්වාද මැදය. දුම්රිය පිටත්වන මොහොතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය පින් බිමක සිරි ගෙන තිබිණි. සියලුම ආගම්වල පූජකවරු එක්ව ශාන්තියම ප්‍රාර්ථනා කරමින් උන්හ. ඇමැති බන්දුල ගුණවර්ධන කොළ කොඩිය වනමින් දුම්රියේ මංගල ගමනට සන් කළේය. දුන්හිඳ ඔඩිසි සිය ඉතිහාස ගමන කොළඹ කොටුවෙන් ආරම්භ කළේ එසේය.
මංගල ගමනට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන ද එක් වී සිටියේය. සියවස් සැමරුම වෙනුවෙන් බදුල්ලේ ද සිරිමත් මංගල්ල්යයකි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව සංවිධානය කරනු ලැබූ මෙම සියවස් පූර්ණ සැමරුම සඳහා රේඛීය සංචාරක අමාත්‍යාංශය මෙන්ම ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය ද එක් වී සිටියේය. කොළඹ – බදුල්ල දුම්රිය මගෙහි සියවස් සැමරුම සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් රු. 25/-ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් නිකුත් කිරීම ද සිදු විය. අනතුරුව පරිසරය වින්දනය කිරීම වෙනුවෙන්ම සැදි කැලිප්සෝ සංගීතය ද සහිත කැලිප්සෝ සුඛෝපභෝගී දුම්රියේ මංගල ගමන බදුල්ලේ සිට දෙමෝදර දක්වා ඇරඹීමට නියමිතව තිබිණි.
දැනට ඇති සැලසුම අනුව ‘දුන්හිඳ ඔඩිසි’ නව සංචාරක දුම්රිය සෑම අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 6.30ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන්නේය. දුම්රිය සෙනසුරාදා, සඳුදා සහ බදාදා දිනවල පෙරවරුවේ 8ට බදුල්ල සිට කොළඹ බලා ගමන් ආරම්භ කරන්නේය.
දුම්රියේ මුලු ආසන 44කි. වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකක්. දෙවැනි පන්තියේ මැදිරි තුනක් හා තුන්වන පන්තියේ මැදිරියකි. ආපන ශාලාවකින් ද යුක්තය. පළමු පන්තියේ මැදිරි තුළ ඇති ආසන නැවීමට දිගහැරීමට පමණක් නොව කැරකීමටත් හැකි සේ සකසා ඇත. පළමු පන්තියේ ප්රෙව්ශපත්රයක මිල රුපියල් 8,000කි. දෙවැනි පන්තියේ ප්‍රවේශපත්‍රය රුපියල් 6,000කි. තුන්වැනි පන්තිය සඳහා ප්‍රවේශ පත්‍රය රුපියල් 5,000කි. මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම දුම්රිය ආසන වෙන් කරවා ගත හැකිය.
ඒ සුඛෝපභෝගී දුම්රිය අත්දැකීම ශ්‍රී ලාංකිකයෙක් ලෙස ලැබිය යුතුම එකක් යැයි විශ්වාස කරමි. ඒ ගමනේ මිහිර අත්විඳි අයෙක් ලෙස එයින් එපිට කිව හැකි කතාවක් නැත. බදුල්ල කොළඹ දුම්රිය ගමනේ අත්දැකීම අනේක වාරයක් විඳ ඇත්තෙමි. එහෙත් ඔඩිසි දුම්රියේ ගමන් කරමින් ඒ වින්දනය ලැබීම වෙනම අපූරුවකි. එම දුම්රිය ගමන් කරන්නේම උඩරට දුම්රියේ පරිසර ආශ්වාදය සංචාරකයන් වෙත ලබා දීමේ මුඛ්‍ය අභිලාෂයෙන්මය.
අප තේරුම් ගත යුත්තේ සුදු අධිරාජ්‍යවාදීන් කුමන අරමුණක් වෙනුවෙන් නිර්මාණය කළ ද කොළඹ සිට බදුල්ල තෙක් දිවෙන උඩරට දුම්රිය යනු ලෝකයේ විරල ඓශ්චර්යයක් බවය. එක් අතකින් එය රටේ සමාජ, සංස්කෘතික, පාරිසරික, මෙන්ම දේශගුණික කලාපවල හරස්කඩක් වැනිය. දුම්රිය ගමන් කරන්නේ සංවේදී පරිසර කලාප 10ක් පසු කරමිනි. ඒ කලාප අතර විචලනය දැනෙන සුලුය. විචිත්‍රය. ගැඹුරු සංවේදනයන් උපදවන්නේය.
අනෙක් අතට මුළු ලෝකය වටාම ගොස් ලැබිය යුතු අත්දැකීමක් එක් දුම්රිය ගමනකින් ලැබීමේ ආනන්දය ලැබීම විදේශීය සංචාරකයන් ලබන ත්‍යාගයක් වැනිය. ඒ විශිෂ්ටත්වය සාධාරණව අත් විඳින්නට සුඛෝපභෝගී ප්‍රමිතිගත දුම්රිය ගමනක් සමඟින් මෙතෙක් නොලැබුණ ප්‍රවේශය විදේශිකයන් වෙත ලැබී තිබීම බලාපොරොත්තු උපදවන්නේය.
ඔවුන් විෂයෙහි නම් මෙවැනි අත්දැකීමක් නැත. ලෝකයේ බොහෝ දුම්රිය සේවා පවතින්නේ දැඩි මගී ආරක්ෂක පද්ධති තුළය. දුම්රියක මැදිරියක් තුළ සිරවී ආසනයක හිඳගෙන අවට බලාගෙන යනු විනා වෙනත් විශේෂ අත්දැකීමක් නැත. එහෙත් මේ දුම්රිය ගමන ඔවුන්ට විශේෂය. ගමන් කරන්නේ අතිශය විචිත්‍ර එකිනෙකට වෙනස් පරිසර චාරිකාවකය. එම අත්දැකීම දැනෙන සේ විඳ ගැනීමට අවකාශය තිබේ. දුම්රියේ දොරටුවක ගමන් කිරීම අවදානමක් බව සැබෑය. නමුත් එය ඔවුන් විෂයෙහි කිසිවිටෙක නොලැබෙන දකුණු ආසියාතික අත්දැකීමකි. ඒ අත්දැකීමටම ප්‍රිය කරන විදේශීය සංචාරකයෝ මේ දුම්රිය ගමන වෙනුවෙන්ම ලංකාවට පැමිණෙන අවස්ථා ගැන අපට කීවේ උඩරට දුම්රියේ දශක ගණනක මගී අත්දැකීම් සහිත නියාමකවරයෙකි.
ඔඩිසි දුම්රියේ මංගල ගමනට එක් වූ විදේශිකයන් කීප දෙනෙක් දුම්රිය ගමන ගැන කියනු අසා සිටියෙමි. “මේ ගමන මට ඓශ්චර්යය… මම රටවල් සියයක සංචාරය කර තිබෙනවා. සංචාරය මගේ විනෝදාංශය. මේ ඒ සංචාරවලින් ලබන මිහිරිම අත්දැකීමක්…” ප්‍රකට විදේශික යූ ටියුබ් තරුවක් වන මැක්ස් ද මෙම ගමනට එක්ව පැවසුවේය. විදේශිකයින් බොහෝ දෙනෙක් කීවේ ලංකාවේ සිනාසෙන මිනිසුන් සමඟ මේ ගමනට එක්වීමෙන් ලද භාග්‍ය ගැනය. සුව පහසු දුම්රිය මැදිරි තුළ ඔවුහු ප්‍රමුදිතව ගමන් කරමින් සිටියහ. සංචාරක ව්‍යාපාරය රටක් තුළ තහවුරු වීමට අවශ්‍ය වන්නේ මේ සාධාරණ මිල, තෘප්තිමත් විය හැකි සේවය සහ සුව පහසු විශ්වාසනීය ප්‍රවාහනය ය. ඒ සංස්කෘතිය දුන්හිඳ ඔඩිසි දුම්රිය සේවයට හඳුන්වා දී තිබිණි.
හැල්මේ ඇදෙන දුම්රියේ ඇත්තේ අපට හුරු දුම්රිය අත්දැකීම වන ඇඟපත රිදවන කටුක රිද්මය නොවේ. එය ඒක තානමයකින් ඇදෙන්නේය. පරිසරය වින්දනය කිරීමට ඉඩ සලස්වමින් ඇදෙන්නේය. හාත්පස සිතුවමක් සේ මනරම්ය. ඒ අතර විශේෂිත මනරම් සලකුණු අතර දුම්රිය මොහොතකට නැවතේ. මුලින්ම නවතින්නේ අශ්ව වලිගයක හැඩයට ඇද හැලෙන හෝස් ටේල් ඇල්ල අසලය. අනතුරුව ශ්‍රී පාද කඳුමුදුන කඳු රැළි අතර සමීපව පෙනෙන මනරම් දසුන සහිත තැනය.
කඳුකරයේ චමත්කාරයේ සිරිමත් සලකුණක්වූ සෙන්ට් ක්ලෙයාර් ඇල්ල ලඟත් එල්ජින් ඇල්ල ළඟත් දුම්රිය මොහොතක් නවතින අවස්ථාවේ ආනන්දයට පත්වන විදේශිකයන් දෙස බලා සිටියෙමි. ඔවුන්ගේ කැමරාවලට නිනව්වක් නැත. ලංකාවේ දුම්රිය මගේ ඉහළම තැන පිහිටි දුම්රිය ස්ථානය පට්ටිපොලය. නුවරඑළිය දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති පට්ටිපොල දුම්රිය පොළ හෝර්ටන් තැන්නට ප්‍රධාන පිවිසුමකට ප්‍රවේශය සපයන තැනකි. ලංකාවේ දුම්රිය මගේ ඉහළම ස්ථානය වූ Summit level ලක්ෂය පිහිටා ඇත්තේ පට්ටිපොල දුම්රිය ස්ථානයේ සිට ඔහිය පැත්තට කිලෝමීට 3ක දුරිනි. එම ස්ථානයේ උස මීටර 1898.1 කි. අඩි නම් 6226 කි.
Summit level ‘දුන්හිඳ ඔඩිසි‘ විරාමයක් ගන්නා තැනකි. හාත්පස මිහිදුමෙන් නැහැවී ඇති මොහොතක හීගොතුව විඳිමින් මේ ස්ථානයේ මොහොතක් නැවතී යෑම අමතක නොවන ජීවිත අත්දැකීමක් බව කිව යුතුය.
දුම්රිය ගමන් මඟ විචිත්‍ර කරන තවත් විචිත්‍ර අත්දැකීමක් 18 වැනි බිම්ගෙය අසල මැවේ. එය අධි භෞතික සිදුවීම් රැසක් හා බද්ධ වූ ස්ථානයකි. ජන සමාජයේ එන ශාන්තිකර්ම, අධිෂ්ඨාන පූජා හරහා විශ්වයේ ශක්තිය ගෙන ඉදි කළ බව කියන, බිඳ වැටුණු විට ප්‍රතිසංස්කරණය කළ බව කියන බිංගෙයකි. එමෙන්ම මේ බිංගෙය හරහා දුම්රිය ගමන් කරන්නේ පැහැදිලිව දැනෙන පරිසර කලාප දෙකක් වෙතය. මේ අසිරිය දකින්නට දුම්රිය 18 වැනි බිංගෙය අසල ද මඳක් නවතින්නේය.
තවත් එවැනිම පාරිසරික විශ්මයක්වන ඉදල්ගස්සින්න හුළං කපොල්ල, කිතල ඇල්ල ළඟ නැවති නැවතී ඇදෙන දුම්රිය දෙමෝදර පාලම අසලට එන්නේය. එහි මඳක් නවතින්නේය. දෙමෝදර ආරුක්කු 09 පාලම ද පුරාවෘත්තයකි. අප්පුහාමි මුත්තාගේ විශ්වකර්ම ඉංජිනේරු නිර්මාණය ලෙස සලකා ගැමියෝ එය අපේම උරුමයක් කරගෙන සිටිති. ඇල්ල සංචාරක කේන්ද්‍රස්ථානයක් වූ දා සිට දෙමෝදර පාලම මහා සංචාරක ආකර්ෂණයක් සහිතව ලොව පතළ වුණේය. මද ආනතියක් සහිතව කඳු දෙකක් යා කරමින් සිමෙන්ති ගලෙන් තැනූ ආරුක්කු පාලම හරහා දුම්රියක් ගමන් කරන විට මැවෙන දසුන වෙනම චමත්කාරයකි.
දුම්රිය මගේ විශ්වකර්ම නිමැවුමක් සේ සලකන්නේ දොමෝදර බිම්ගෙය ය. දුම්රිය මඟෙහි බෑවුම් සහිත ආනතිය මඟ හැරීම සඳහා දුම්රිය ස්ථානය යටින් කැණ ඇති බිංගෙයක් හරහා ගමන් කරවා කන්දක් වටා ගොස් යළි දුම්රිය වේදිකාවට දුම්රිය පැමිණෙන ආකාරයට ඉදිකළ දෙමෝදර දුම්රිය ස්ථානය ගැන මෙන්ම බිංගෙය ගැන ද නැඟෙන ජනශ්රැතියක් තිබේ. මේ තැන්වල නැවතෙන දුම්රිය සංචාරයක ගැඹුර අර්ථවත් කරන අයුරු අත්වින්දෙමි.
කොළඹ සිට බදුල්ල තෙක් දිවෙන දුම්රිය මගේ පසු කෙරෙන බිංගෙවල් 43කි. සියවස් කාලයක් මේ බිංගෙවල් පසුකර දුම්රිය ගියේය. එහෙත් මේ දුම්රිය ගමන අවධාරණය කරන පරිසර සාධකවල ගැඹුර මේ පසුකර පැමිණෙන සෑම සලකුණකටම වැඩි බරක් එක්කර තිබිණි.
බදුල්ලට ලඟාවන දුම්රිය තුළ හිඳින මගීන් දෙස බලා හිඳිමි. ලෝකයේ සුන්දරම දුම්රිය ගමනක් නිමා කළ පිරිසක් කිසිම ගමන් විඩාවකින් තෙහෙට්ටුවකින් තොරව දුම්රියෙන් බැසීමට සැරසෙමින් සිටිති. මුව පුරා පැතිරුණු සිනාවය. උත්කර්ෂවත් කතාවය.
සංචාරයක් ආශ්වාදනය කරන මිනිස්සු වෙත්නම් අමුතු ප්‍රවර්ධන ව්‍යාපෘති අවශ්‍ය නැත. එම ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සිදුවන්නේ ඒ සංචාරක අත්දැකීම ලැබූවන් අතිනි. ‘දුන්හිඳ ඔඩිසි‘ පසුබිමේ ඒ බලාපොරොත්තු සහිත අනාගත කව ලියැවෙමින් තිබෙනු දකිමි.
ඡායාරූප – සුදත් නිශාන්ත
ටානියා මෝසස්