Home » ස්මාර්ට් යුගයේ තරුණ පරපුර වෙනුවෙන් ඉදිරියට එන මහිම වෙබ් රේඩියෝව

ස්මාර්ට් යුගයේ තරුණ පරපුර වෙනුවෙන් ඉදිරියට එන මහිම වෙබ් රේඩියෝව

by sachintha
May 4, 2024 12:47 am 0 comment
විශ්මි ප්‍රනාන්දු

ඇසිපිය හෙළන තත්පරේට වෙනස් වන තාක්ෂණික ලෝකයේ මුද්‍රිත මාධ්‍යයෙන් ඇරඹුණු අපගේ රසවින්දන පරාසය ඩිජිටල් රසවින්දනයක් කරා ක්‍රමක්‍රමයෙන් දියුණු වී හමාරය. ඉස්සර මරුය. දැන් විකාරය. කියන අතීත පරම්පරාවට ද ස්මාට් ෆෝන් එකක අවශ්‍යතාව දැනී තිබීම පුදුමසහගතය. ඒ නිසාම වෙනස්වන ලෝකයට අලුත් වැඩක් කළ වෙබ් රේඩියෝවක් වන මහිම රේඩියෝ ගැන කතා නොකරම බැරිය. ඒ අප සමඟ තොරතුරු පැවැසුවේ මහිම රේඩියෝ සභාපතිවරයා වන ළහිරු සේනාරත්න ය.


මහිම රේඩියෝ නාළිකාව ඉපදුණු අතීත කතාවට අපි පියමං කරමු.

මහිම වෙබ් රේඩියෝ නාළිකාව පටන් ගන්නේ 2007 අප්‍රේල් එකළොස් වැනිදා. සාමාජිකාවන් හතරක් වැනි සුළු පිරිසකගෙනුයි අප එය අරඹන්නේ. ඒ වගේම තාක්ෂණික උපාංග ඉතාමත් අවම මට්ටමකිනුයි එවකට භාවිත කළේ. වෙනස් දෙයක් සමාජගත කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ඇරඹූ මෙම නාළිකාව වර්තමානය වන විට දෙස් විදෙස් ශ්‍රාවක බොහොමයකගේ සිත් ඇදබැඳගෙන හමාරයි. වර්තමානයේ බොහෝ වෙබ් රේඩියෝ තිබුණත් ඒවායේ මූලික පරමාර්ථය සිංදු ගණනාවක් ළඟ තබාගෙන ඒවා ප්‍රචාරය කිරීම පමණයි. ඒ නිසා අපට අවශ්‍ය වුණා ගීත පමණක් ප්‍රචාරය වෙන වෙබ් රේඩියෝ කලාව වෙනස් කර සංඛ්‍යාත රේඩියෝ කලාව හා සමාන්තරව යන රේඩියෝ කලාවක් නිර්මාණය කරන්න. එහිදී කාරණා කිහිපයකට අප අවධානය යොමු කළා. කතා කරන භාෂාව, ප්‍රචාරණය වන ගීත හා වැඩසටහන් ඒ අතර සුවිශේෂීයි. භාෂාව මරන්නේ නැතුව වැඩසටහන් මෙහෙයවන්න අපගේ නිවේදක මඬුල්ල සෑමවිටම උත්සාහ දරනවා. අපට කතා කරන්න සරල සිංහල වචන තියෙද්දිත් ඒ වචන වෙනුවට ඉංග්‍රීසි භාෂාව භාවිත කරන රේඩියෝ කලාව අප වෙනස් කළා. උදාහරණයක් ලෙස සෝන්ග් එකක් කියා කියනවා වෙනුවට ගීතයක් කියා කියන්නත්, හායි කියා වැඩසටහන ආරම්භ කරනවා වෙනුවට ආයුබෝවන් කියා ආමන්ත්‍රණය කරන්නත් අපගේ වැඩසටහන් මෙහෙයවන මඬුල්ල නිරන්තරයෙන් උත්සාහ දරනවා. එවැනි පුංචි දෙයකින් පවා අපගේ භාෂාවේ අනන්‍යතාව සුරකින්න අප වෙහෙස මහන්සි වෙනවා. ඒ වගේම ඇස් දෙක පියාගෙන ඕන තරම් වෙලාවක් අහන්න පුළුවන් ගීත අපේ ගීත සාහිත්‍යයේ තිබෙනවා. ඒ ගීත වැලළෙන්නට නොදී අලුත් පරම්පරාවට දායාද කරන්නටත් අපේ වෙබ් රේඩියෝව පෙළඹෙනවා. වැඩසටහන් පෙළගැස්වීමේදි අධ්‍යාපනය, රසවින්දනය හා හරවත් යමක් සමාජගත කිරීමේ පරමාර්ථය තුළයි අපේ කාර්යයන් සිදු කරන්නේ. ඊට අමතරව නවක ගායක ගායිකාවන්ට අපගේ රේඩියෝ නාළිකාව තුළ වේදිකාවක් ගොඩනැගීමට අප අවස්ථාව සලසා දෙනවා. අපිම නිර්මාණය කරගත් නෛතික රාමුවක් තුළයි අපගේ වෙබ් රේඩියෝව ගමන් කරන්නෙ. එහිදී අපට ප්‍රවීණ ගායක ගායිකාවන් විශාල සහයෝගයක් ලබා දෙනවා . කිසිඳු මුදලක් අය නොකර ඔවුන් අපගේ රේඩියෝ නාළිකාව හා එක්වීම අපට මහත් ගෞරවයක් හා එය අපගේ ගමනට ලොකු ශක්තියක්. මෙතෙක් ආ වසර හයක කාලය තුළ අපගේ ගමන ස්ථීරසාර වන්නේ එහෙමයි. වෙබ්රේඩියෝ කලාව නව මානයකට ගෙනයන ගමනේ දී තාක්ෂණික වශයෙන් ,ශිල්පීය සබඳතා තුළින් අපට යම් ගැටලුකාරී තත්ත්වයන් මුලදී ගොඩනැගුණා.අපට ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් ස්වයං පරීක්ෂණ තුළින්ම නිවැරදි කර ගැනීමට අපට හැකි වුණා. එකී කාර්යය කිරීමේදී මහිම රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වන නාමල් බුද්ධික එදා සිට මේ දක්වා සුවිශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම නිවේදක මඬුල්ලේ ශක්තියත් අතිවිශාලයි. මීට අමතරව විෂුවල් රේඩියෝ සංකල්පය සමාජගත කරන්නටත් අපට හැකියාව ලැබුණා. වර්තමානයේ බොහෝ දෙනා විෂුවල් රේඩියෝ ගැන කතා කළත් අප එය සමාජයට දායාද කළේ මීට වසර හයකට කලිනුයි.

සංඛ්‍යාත රේඩියෝ හා වෙබ් රේඩියෝ අතර පවතින මූලික වෙනස්කම් මොනවා ද?

සංඛ්‍යාත රේඩියෝවක් විකාශනය වන්නේ fm තරංග හරහායි. ඒ නිසා එය ඕනෑම රේඩියෝවකින් ශ්‍රවණය කිරීමට හැකියාව ලැබෙනවා. නමුත් අන්තර්ජාලීය රේඩියෝවක් පදනම් වන්නේ අන්තර්ජාලය මතයි. ඒ නිසා ජංගම දුරකතනය හරහාත් එය ශ්‍රවණය කළ හැකියි. මහිම වෙබ් රේඩියෝ ශ්‍රවණය කළ හැක්කේ www. mahima.lk වෙබ් අඩවිය හරහායි. එය පැය විසි හතරක් පුරා ක්‍රියාත්මක වන රේඩියෝ නාළිකාවක් නිසා ඕනෑම වෙලාවක ඒ හා සම්බන්ධ විය හැකියි.

අලුත් සමාජ ජාලා ඔස්සේ හැල්මේ දුවන යුගයක මෙන්ම රේඩියෝ කල්පැන ඇතැයි සිතන යුගයක ඔබ කරන ව්‍යායාමය සාර්ථක වෙයි කියලා හිතනව ද?

ඔව් අප අනිවාර්යයෙන්ම එය විශ්වාස කරනවා. රේඩියෝව මිනිසුන්ගෙන් මේ වන විට ඈත් වී හමාරයි. ඒ වගේම තරුණ පරපුර සිටින්නේ ස්මාර්ට් යුගයකයි. ඒ නිසාම රේඩියෝවත් ස්මාර්ට් කරන්න අප හිතුවා. වෙබ් අඩවියකට ගිහින් ප්‍රවෘත්ති හොයන මෙවන් යුගයක රේඩියෝ සංකල්පය නව මානයකින් බලන්න අප කල්පනා කළා. ඒ තාක්ෂණික වේගයත් එක්ක අපේ රේඩියෝ වැඩසටහන් පෙළගැස්මත් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ නිසා අප තරුණ පරපුරට හා නව තාක්ෂණයට ගැළපෙන්න සමාජගත වූවා යැයි අප විශ්වාස කරනවා.

මහිම රේඩියෝවේ වැඩසටහන් නිර්මාණය කරද්දි හා පෙළගැස්වීමේදී, මිනිසුන්ගේ රසඥතාවය ගැන යම් පරීක්ෂණයක් ඔබ සිදු කරනව ද?

ඔව් අනිවාර්යයෙන්ම. එය අප ක්‍රම දෙකකට සිදු කරනවා. අප දැනුමෙන් ලබාගත් අත්දැකීම් තුළින් එකී වැඩසටහන් නිර්මාණය කරනවා සේම සමාජය හා මිනිසුන්ගේ එක් එක් රස වින්දන පරාසයන් අධ්‍යයනය කරමින් පරීක්ෂණාත්මකව අප අපගේ රේඩියෝවේ වැඩසටහන් නිර්මාණය කරනවා. ඒ නිසා අපි සෑමවිටම යාවත්කාලීනයි.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division