Home » හෝමාගම හඳයාගේ මත්කුඩු ජාලය බිඳින්න පොලිසිය ගහපු ගේම

හෝමාගම හඳයාගේ මත්කුඩු ජාලය බිඳින්න පොලිසිය ගහපු ගේම

by thanushika
May 4, 2024 12:30 am 0 comment

මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ‘හෝමාගම හඳයාගේ’ නම පසුගිය දිනවල වැඩිපුර කියැවුණේ ඔහුගේ මෙහෙයවීමෙන් මොරගහහේන ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව මිනිස් ඝාතනය සම්බන්ධයෙනි. මීට පෙර අවස්ථාවලදී ද එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ මත්ද්‍රව්‍ය ජාවාරම්වලදී අල්ලා ගන්නා ලද පුද්ගලයකුගෙන් හෙළි වූයේ මේ ජාවාරමේ පසුපස ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘හෝමාගම හඳයා’ නමැති සංවිධානාත්මක අපරාධකරු සිටින බවයි.

හෝමාගම හඳයාගේ මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යුක්තිය මෙහෙයුම යටතේද විමර්ශන සිදු කරගෙන යන අතර හෝමාගම හඳයාගේ ජාවාරම් ප්‍රබල සහ ඉතා සංවිධානාත්මක ලෙස සිදු කරගෙන ගිය ගෝලබාලයන් දෙදෙනා අල්ලා ගැනීමට පොලිසියට පසුගියදා හැකි විය.

හෝමාගම හඳයා මූලිකව සිදු කරන ලද මිනිස් ඝාතන දෙකක පොලිස් විමර්ශන ආරම්භ වූයේ පසුගියදාය. එහි ප්‍රතිඵලයක් ලෙස එම ඝාතන සිදු කළ බවට සැක කරන ගුවන් හමුදා රගර් ක්‍රීඩකයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූයේ ද එම දිනවලමය. මේ අතර පොලිසියේ දැඩි අවධානය යොමු වන්නේ හෝමාගම හඳයාගේ මත්ද්‍රව්‍ය ජාලය සහ සංවිධානාත්මක අපරාධ ජාලය මෙරට මෙහෙයවන ගෝලබාලයන් අල්ලා ගැනීම සඳහාය.

යුක්තිය මෙහෙයුමේ නිරතව සිටින හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිසියේ ස්ථානාධිපති උප පරීක්ෂක අජන්ත ප්‍රභාකරට සිය පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙන් තොරතුරක් ලැබෙන්නේ හෝමාගම හඳයාගේ ප්‍රධාන ගෝලයා හෙරොයින් මත්ද්‍රව්‍යද සමඟ මෝටර් බයිසිකලයකින් ගමන් කරමින් සිටින බවයි.

වහාම ක්‍රියාත්මක වූ උප පරීක්ෂකවරයා නිලධාරීන් කණ්ඩායමක් සමඟ හෝමාගම, මාකුඹුර අධිවේගී පිවිසුම අසලට යන්නේ හඳයාගේ ගෝලයා එතැන පසුකරගෙන යන බවට ලැබුණු තොරතුරක් මතය.

මාකුඹුර අධිවේගී පිවිසුම අසල ගුවන් පාලමට නුදුරින් පොලිස් කණ්ඩායම ස්ථානගතව සිටියදී ඒ ඔස්සේ ගමන් කළ මෝටර් බයිසිකල් කීපයක්ද පරීක්ෂාවට ලක් කෙරිණි. ඒ අවස්ථාවේ එතැනින් යාමට පැමිණි හඳයාගේ ගෝලයා පොලිසිය දැක පලා යෑමට තැත් කළද මහත් පරිශ්‍රමයක් දරා ඔහු අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800ක් සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි වන්නේ ඒ අනුවය.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ ඩුබායිහි සැඟවී සිටින හෝමාගම හඳයාගේ උපදෙස් මත මේ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 800 කිසියම් පුද්ගලයකුට අලෙවි කරන්නට යන බවය.

මෝටර් බයිසිකලයේ තිබූ ව්‍යාජ අංක තහතුඩුවද පොලිසිය විසින් ගන්නේ මේ අතරතුරදීය. එම මෝටර් බයිසිකලය පිළිබඳව පොලිසිය තොරතුරු සොයා යද්දී හෙළි වන්නේ එය මීට දින කීපයකට පෙර මීගොඩ ප්‍රදේශයෙන් සොරකම් කළ එකක් බවය. හෝමාගම හඳයාගේ නියෝගය මත තමන් දිනකට හෙරොයින් මත්කුඩු පැකට් 60ක් අනිවාර්යයෙන් අලෙවි කළ යුතු බවත් ඒ සඳහා හඳයා තමන්ට එකකට රුපියල් 300ක ‘කමිෂන්‘ මුදලක් ලබා දෙන බවත් සැකකරු පොලිසියට පවසා ඇත. හඳයා එසේ මේ සැකකරුට අලෙවි කිරීමට දුන් රුපියල් 1,60,000ක් පමණ වටිනා හෙරොයින් මේ සැකකරුම පානය කර ඇති බවද ඒ නිසා හඳයා තමා සමඟ තරහෙන් පසුවන බවද සැකකරු පොලිසියට පවසා ඇත.

පසුව සැකකරුගේ නිවෙස පරීක්ෂා කළ පොලිසිය එහි තිබී කඩුවක්ද සොයාගෙන තිබිණි. සැකකරු හෝමාගම මාගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු 35 හැවිරිදිය. අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩුගේ උපදෙස් මත හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පරීක්ෂක අජන්ත ප්‍රභාතර, කොස්තාපල් (93371) රොෂාන්, කාන්තා කොස්තාපල් (11914) මේකලා, පොලිස් කොස්තාපල් රියැදුරු (103148) විජේසිරි යන නිලධාරීන් විසින් වැටලීම සිදු කරන ලදි.

මේ අතර හෝමාගම හඳයාගේ මත්ද්‍රව්‍ය ජාලය සහ සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන ‘මාදුලාවේ නිමේෂ් මල්ලි’ නමැති ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධරයන් කණ්ඩායමකට හැකි වන්නේ ද පසුගියදාය. පොලිසිය ‘මාදුලාවේ නිමේෂ් මල්ලී’ කොටුකරගන්නේ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍යද සමඟය.

සැකකරුගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවන්නේ ඔහු ඊසි කෑෂ් ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු බවය. විවිධ පුද්ගලයන් විසින් එවන ලද මත්කුඩු මේ ජාවාරම්කරු විසින් බෙදාහරින බවද විමර්ශනයෙදී හෙළි විය. සැකකරුට විරුද්ධව මත්ද්‍රව්‍ය චෝදනා මීට පෙර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහාධිකරණ නඩු ඇති බවද අනාවරණය විය.

හඳයාගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් එම සැකකරුගෙන් මේ වන විට අනාවරණය වී ඇත.

බස්නාහිර දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජානක කුමාරගේ උපදෙස් මත එහි ස්ථානාධිපති සුමින් ජයසිංහ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, ඒකක 02 ස්ථානාධිපති උප පරීක්ෂක කේ.ඩී. අයි. එස් . දසනායක, සැරයන් (38723) රංජිත්, කොස්තාපල්වරුන් වන (84782) කුමාර, (83774) සුධීර, (88721) යාපා බණ්ඩාර, (104706) සේනාරත්න යන නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division