1971 දී ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ වීමට හා විප්ලවයක් කිරීමට අනුගාමිකයන්ට උපදෙස් දුන්නේ රෝහණ විජේවීර ය. හේ ඒ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ නායකයාය. කැරැල්ලට තරුණයින්ව උසිගැන්වූ ඔහු,නමුත් කැරැල්ලේ වගකීම තමාගේ නොවන බව කැරැල්ලේ පරාජයෙන් පසු කීවේය. ඒ වෙනුවට ඔහු 1971 නැගිටීම ලඝු කළේ ලොකු අතුල විසින් දියත් කරන ලද ප්‍රහාරයක් ලෙසටය.
තමන් අප්‍රේල් කැරැල්ලට පෙර 1971 පෙබරවාරි මාසයේ 21 දින කොළඹ හයිඩ්පාර්ක් පිටියෙහි ජනතා විමුක්ති පෙරමුණේ අවසාන ප්රචාරක මහා රැලිය පැවැත්වූ අතර එය අමතා කතා කළ රෝහණ විජේවීර ”පොලිස් මර්දනය කවදාද? එදිනට ලාංකික විප්ලවයත් දියත් කෙරෙන” බව අවධාරණයෙන් කියා සිටියේය. එම කතාවේ එක් තැනක ඔහු ”ගජබා නැවත් අවුරෝරාවක් වේවා”යි කියා සිටි අතර, එමඟින් ගම්‍ය කරන ලද්දේ ආණ්ඩුවේ සන්නද්ධ අංශවල සහයෝගයත් තමන්ට ඇති බව යයි එම කතාව විශ්ලේෂණය කරන්නෝ පවසති.
‘ගජබා’ යනු ලංකා නාවික හමුදාවේ යුද නෞකාවක් වූ අතර, 1917 ඔක්තෝබර් විප්ලවයේ දී සාර් පාලනයට එරෙහිව පළමු වෙඩිමුරය එල්ල කරන ලද්දේ ‘අවුරෝරා’ නැවෙන් යැයි සඳහන් වේ.
කෙසේ වෙතත් සන්නද්ධ අරගලයට ස්වකීය අනුමැතිය දුන් විජේවීර කැරැල්ලට පරාජය දීමෙන් පසු අත සෝදා ගත්තේය.
මේ කතාව අදටත් වලංගු ය.
එදා රෝහණ විජේවීර 71 කැරැල්ලෙන් අත පිහදාගෙන වරද ලොකු අතුලට පැවරුවේ යම් සේද ඒ විදිහටම මෙදා උමා ඔයෙන් අනුර දිසානායක අත පිහදාගෙන එහි වගකීම සමන්ත විද්‍යාරත්න පැවරීය.
උමා ඔය පිළිබඳව මුලින්ම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ
2005 ජනවාරී 26 වනදා., එකල කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාර්මාර්ග ඇමැතිවරයා වූ අනුර කුමාර දිසානායක විසිනි. මේ අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ජවිපෙ පාලනය යටතේ පැවති අතර එහි නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ බිමල් රත්නායකය.
2005 ජනවාරි 4 වන දින අංක 05/0036/039/002 දරණ ජවිපෙ ඇමැතිවරයාගේ මේ කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන් විය:
උපුටා දැක්වීම
“ශ්‍රී ලංකාවේ අග්නිදිග වියළි කලාපය (විශේෂයෙන්ම හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක) දියුණු කිරීම සඳහා උමාඔයෙන් ජලය ලබාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.”
“හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක ආර්ථික වශයෙන් දියුණු කිරීමේ උපාය මාර්ගය මෑත කාලයේ වෙනස් වී ඇත. උමා ඔය කිරිඳි ඔයට හැරවීමේ ව්‍යාපෘතිය දැන් සලකා බලනු ලබන්නේ මෑතක සිට ප්‍රචලිත වී ඇති රුහුණුපුර සංවර්ධනය පිළිබඳ සංකල්පය අනුවය. රුහුණුපුර සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ හම්බන්තොට වරාය මේ කලාපයේ නවීන වරායක් බවට පත් කිරීම, මොනරාගල දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හා තෙල් පිරිපහදුවක් ඉදිකිරීම යන අංගයන්ගෙන් සමන්විත ව්‍යාපෘතියකි. ඉන්දියන් සාගරයේ සැරි සරන නැව් විශාල ගණනක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බවටත්, ඒ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරයද ඇතුළුව කාර්මික කටයුතු විශාල ගණනක් සිදුවනු ඇති බවටද බලාපොරොත්තු වේ.
මේ නව සංවර්ධන කටයුතු සඳහා 2030 වන විට ජල අවශ්‍යතාවය මෙට්‍රික් කියුබික් මීටර් 100ක් වනු ඇති බවට ගණන් බලා ඇත. එම ප්‍රදේශයේ ස්ථාවර ජල සැපයුමක් නොමැති නිසා උමා ඔයෙන් ජලය ලබා ගැනීම මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති එකම විකල්පය වශයෙන් සැලකේ.”
“එමනිසා මෙම ව්‍යාපෘතියට ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතුය.
ඒ අනුර දිසානායකගේ කැබිනට් පත්‍රිකාව ය.
නමුත් අනුරලා ආණ්ඩුව හැරගිය පසු උමා ඔය ව්‍යාපෘතියට ජවිපෙ එරෙහි විය. එරෙහි වූවා පමණක් නොව ඊට එරෙහිව අරගල කිරීම සමන්ත විද්‍යාරත්නට භාර දුන්නේය. සමන්ත විද්‍යාරත්න උමා ඔය ව්‍යාපෘතිය ට එරෙහි සටන අතට ගත්තේ ඒ අනුවය. උපවාස,අරගල, හර්තාල් දියත් කරමින් ඔහු මුළු ඌවම උමා ඔයට එරෙහිව උසිගන්වනු ලැබීය.
සමන්ත විද්‍යාරත්න උමා ඔය සමඟ විශාල ජනතා ආකර්ෂණයක් ලබා ගත්තේය. හැබැයි එය පිල්ලියකි. අනුරලාම හිතා හෝ නොහිතා සමන්ත විද්‍යාරත්න මත අතහැරිය පිල්ලියකි.
සමන්ත විද්‍යාරත්න මීට වසර කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ජනප්‍රිය චරිතයක් ලෙස පෙරට ආ අතර ඔහුගේ පෙරට ඒම අනුරලාට අභියෝගයක් විය. විශේෂයෙන්ම ඔහු ග්‍රාමීය ජනතාව සහ තරුණ පරම්පරාව අතර ඉමහත් වේගයෙන් ජනප්‍රිය විය. ඔහුගේ ස්වරය රෝහණ විජේවීරට කිට්ටු විය.
එය නොරිස්සූ අය සමන්තව පැත්තකට කළේ උමා ඔයට සිරකොටය.
ලාල් කාන්තට වූයේද ඒකමය.
ගෙවල් ගිලා බසින හැටි, ගෙවල් ඉරි තලන හැටි, බදුල්ලම ගිලා බසින හැටි එදා සමන්ත බිය වපුරුවමින් කීවේය.
පිදුරුතලාගලින් ආරම්භ වන උමාඔය ජල විදුලිය නිපදවීම සඳහාත්, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ගේ වගා බිම් සශ්‍රීක කිරීම සඳහා යොදා ගැනීම සඳහාත් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි.
අදියර දෙකක් යටතේ මෙගාවොට් 120ක් ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමත්,ගොවි බිම් අක්කර දහස් ගණනක් සඳහා අවශ්‍ය ජලය සැපයීමත්, බණ්ඩාරවෙල ඇතුළු නාගරික ජන ප්‍රජාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමත් මේ ව්‍යාපෘතියේ අරමුණ විය. උමා ඔය බහු කාර්ය යෝජනා ක්රමයේ සුවිශේෂත්වය වන්නේ පොළොව යටින් ගමන් ගන්නා උමං මාර්ග හරහා ජලය ගලා යෑමට සැලැස්වීම පමණක් නොව විදුලිය නිපදවන විදුලි බලාගාරය පවා භූගතව හෙවත් පොළොව යටින් නිර්මාණය වීමය.
ගාලු මුවදොර අද්දර ඉදි වූ “පෝර්ට් සිටි”යට අාඩපාලි කියූ ඔවුන්, අධිවේගී මාර්ගවලට ආඩපාලි කියූ ඔවුන්, විරුද්ධ නොවූ ව්‍යාපෘතියක් නැත.
විජේවීරට මාක්ස්වාදය පිළිබඳ ගැඹුරු දැනුමක් නොතිබි බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසති. එසේම විචාර බුද්ධියෙන් යුතු ප්‍රශ්න අසන්නන් විජේවීර විසින් තම ව්‍යාපාරයෙන් කපා දැමූ බව විරාජ් ප්‍රනාන්දු සහ අනගාරික ධර්මසේකර පෙන්වා දෙති. ඔහු විචාර බුද්ධියෙන් අඩු ආවේගශීලී කොටස් ඉලක්ක කළ බව වික්ටර් අයිවන් සඳහන් කරයි. මෙම විචාර බුද්ධියෙන් අඩු ආවේගශීලී කොටස් සඳහා ඇතැම් පොත් කියවීම ඔහු තහනම් කළ අතර එක් ආකාරයකට මෙම කොටස් අතර මුග්ධභාවයක් ඔහු නඩත්තු කළේය.
එය එදා සිටම ජවිපෙ හැටිය.
මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එපා කියා ජවිපෙ ලැබෙන පර්මීට් රහසින්ම විකුණති. මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කියන ජවිපෙ මන්ත්‍රීවරු විශ්‍රාම වැටුප ගනිති. සමන්ත විද්‍යාරත්න, වසන්ත සමරසිංහලා පමණක් නොව ජනහිතකාමී ලාල් කාන්තලාද විශ්‍රාම වැටුපෙන් බුදිති.
අවභාවිතා ගැන කෑ ගසන ජවිපෙ ලාල් කාන්ත ඔහුට හිමි නැති මන්ත්‍රී නිවාසයක සිටි.
ඒ අයගේ සදාචාරය ද කෙරුවාවද එහෙමය.
අසූව දශකයේ අග භාගයේ ‘භීෂණ සමයේදී’ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මුල්වරට 2014දී කීවේය.
පසුගියදා විදෙස් සංචාරකදී පිරිසක් හමු වූ අවස්ථාවේදී මේ ඝාතන පිළිබඳව නැවත විමසූ විට ඔහු කීවේ ” සොරි” කියලා ය. ජීවිත දහස් ගණනක් අමු අමුවේ බියගුළු ලෙස විනාශ කිරීමේ බිහිසුණු අපරාධයෙන් ඔහුට “සොරි” කියා නිදහස් වීමට හැකිය. ඒ තරමට එය ඔවුන්ට සරලය. සැහැල්ලුය. අද උමා ඔය ව්‍යාපෘතිය නිසා ගොඩ ගියේ රටේ ජනතාවය.
එදා සමන්ත විද්‍යාරත්නව ඊට එරෙහිව උසි ගැන් වූ අනුරලා හෝ ජවිපෙ හෝ මෙදා සද්ද නැත.
අනුරාධ සේනාරත්න