මේ වන විට අයි.පී.එල්. තරග දහයකට වඩා ඉතිරිව නැත. තරගාවලියේ උණුසුම කෙසේ වෙතත් අයිපීඑල් කණ්ඩායම් උඩුයටිකුරු වන ආකාරය නම් අතිශයින්ම විස්මයජනකය. අයිපීඑල් තරග පැවැත්වෙන්නේ රෙස්ලිං තරග මෙන් කලින් සූදානම් කරගත් පිටපතකට අනුව නොවේදැයි කෙනෙකු සිතන තරමටම එය විමතිය දනවනසුලුය. අයිපීඑල් පිටියේ සාර්ථකම කණ්ඩායම මුම්බායි ඉන්ඩියන්ස් පසුවන්නේ අන්තිම අඩියේය. අවුරුදු 10කින් කුසලානයක් දිනා නැති කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉදිරියට පැමිණ සිටී. එහි හිමිකරුවා ෂාරුක් ඛාන් ය. 2008 වසරින් පසු මෙතෙක් අයිපීඑල් කුසලානයක් දිනා නැති රාජස්තාන් රෝයල්ස් පිලත් මුල් කණ්ඩායම් අතර සිටී. ඒ අතරේ තවත් කතා බොහෝ ය.
ගත්තු ගාණටවත් සාධාරණයක් නොකළ ක්‍රීඩකයෝ
අහස උසට බලාපොරොත්තු තබමින් කණ්ඩායම් හිමිකරුවන් අයිපීඑල් ක්‍රීඩකයන්ගේ වෙන්දේසියේදී මිල දී ගත්, එහෙත් ‘ගත්තු ගාණටවත්‘ සාධාරණයක් ඉටු නොකළ ක්‍රීඩකයෝ ද මෙවර තරගාවලියේ සිටිති. බටහිර ඉන්දීය කොදෙව් දේශයෙන් පැමිණි අල්සාරි ජෝසෙෆ් ඉන් එක් ක්‍රීඩකයෙකි. රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලොර් පිල ඔහු මිලට ගත්තේ ඉන්දීය රුපියල් කෝටි 11.5කටය. ඔහු පළමු තරග තුනේ දීම දවාගත්තේ එක කඩුල්ලක් පමණි. ඔස්ට්‍රේලියාවෙන් පැමිණි ස්පෙන්සර් ජොන්සන් ද ඊට දෙවැනි නැත. ගුජරාට් ටයිටන්ස් පිලේ හිමිකරුවන් ඔහු මිල දී ගත්තේ රුපියල් කෝටි 10කට ය. ඉන්දීය රුපියල් කෝටි 8.4කට චෙන්නායි සුපර් කිංග්ස් හිමිකරුවන් විසින් මිල දී ගනු ලැබූ ඉන්දීය ක්‍රීඩක සමීර් රිස්වි පිතිකරුවකු වශයෙන් අන්තිම අසාර්ථකය. ෆෝබ්ස් ඉන්ඩියා වෙබ් අඩවිය පසුගිය මාසයේ නිකුත් කළ මෙවර අයිපීඑල් පිටියේ මිල අධිකම ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුවේ මේ තිදෙනා පිළිවෙළින් 5,6 සහ 7 ය. එමෙන්ම ක්‍රිකට් ටයිම්ස් වෙබ් අඩවියේ වටිනාකමට වඩා වැඩිපුර ගෙවූ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවෙත් මේ තිදෙනාම වෙති.
අයිපීඑල් පිටියට පැමිණි ආර්යන්ගේ පෙම්වතිය
ෂාරුක් ඛාන්ට නොදෙවැනි අවධානයක් දිනා සිටින්නේ ඔහුගේ වැඩිමල් පුත්‍රයා ආර්යන්ය. ඔහු ද නිතර නිතර අයිපීඑල් පිටියේ සැරි සරන්නෙකි. මෑතකදී පැවැති කල්කටා නයිට් රයිඩර්ස් පිලේ තරගවලදී ඔහුට වඩා ප්‍රේක්ෂකයන්ගේ අවධානය යොමු වූ තවත් අයකු විය. ඇය ලරිසා බොනේසිය. කවුරුත් කියන්නේ මේ බ්‍රසීල මෝස්තර නිරූපණ ශිල්පිනිය ෂාරුක්ගේ අනාගත ලේලිය බවය. ඉන්දීය සමාජ මාධ්‍යජාලයේ වැඩිම අවධානයට ලක් වූ විදෙස් රූමතිය ද ඇය වන අතර, ආර්යන් සහ ලරිසා ගැන කසුකුසුවක් පැතිරී ගියේ ඇය බොලිවුඩ් සිනමාවට ද පා තැබීම නිසාය. ඇය ගැන වැඩි අවධානයක් බොලිවුඩ් ප්‍රේක්ෂකයන් අතර ඇති වූයේ අක්ෂේ කුමාර් සහ ජෝන් ඒබ්‍රහම් සමඟ දේසි බෝයිස් රෝමාන්තික ප්‍රහසන චිත්‍රපටයේ නර්තනයට එක්වීමෙන් පසුය. අයිපීඑල් පිටියට ඇය පැමිණීමත් සමඟ එය දෙගුණ තෙගුණ විය.
ෂාරුක් ඛාන් ක්‍රීඩකයන්ට වතුර ඇදලා
මෙවර අයිපීඑල් ෆ්‍රැන්චයිස් හිමිකරුවන්ගෙන් වැඩිපුරම සිනාසෙන්නේ ෂාරුක් ඛාන් ය. මේ ලිපිය ලියන මොහොතේ තරගාවලියේ පෙරමුණේ පසුවන්නේ ඔහුගේ කල්කටා නයිට් රයිඩර්ස් පිලය. අන් කිසිදු ෆ්‍රැන්චයිස් හිමිකරුවකුටම වඩා වැඩිපුර ක්‍රීඩකයන් අතර ගැවසෙන්නේ ද ඔහුය. ඔහු පමණක් නොව ඔහුගේ මුළු පවුලම එතැනය. අද කල්කටා පිල මෙතරම් ඉහළින් සිටියත් මුල් වසර කිහිපයේදී සිය කණ්ඩායම දැඩි අභියෝග රැසකට මුහුණ පා සිටි බව ඊයේ පෙරේදා ඔහු සිහිපත් කළේය.
‘2012දී මුලින්ම අපි චැම්පියන්ස්ලා වෙනකල්ම අවුරුදු ගාණක් දුක් වින්දා. පළමුවෙනි අවුරුදු පහ – හය අන්තිම අභියෝගාත්මක වුණා. මම ක්‍රිකටර් කෙනෙක් නෙවෙයි. ඒත් ඇත්තටම මම තමයි ඒ කාලේ කල්කටා නයිට් රයිඩර්ස් පිලේ 12 වැනි ක්‍රීඩකයා වගේ හිටියේ. 12 වැනි ක්‍රීඩකයා තමයි පිට්ටනියට වතුර අදින්නේ. ක්‍රීඩකයන්ට තුවාය අරන් යන්නේ.’ඔහු එසේ කීවේ ස්ටාර් ස්පෝර්ට්ස් රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකදීය.
සූර්යකුමාර්ට ඩීඑන්ඒ පරීක්ෂණයක්
මෙවර අයිපීඑල් පිටියේ අන්තිම අඩියට වැටී සිටි මුම්බායි ඉන්ඩියන්ස් යන්තම් එක් පියවරක් ඉදිරියට තැබුවේ සූර්යකුමාර් යාදෙව්ට පින්සිදු වන්නටය. මේ ප්‍රහාරාත්මක පිතිකරුවා පසුගියදා සන්රයිස් හයිද්‍රාබාද් පිල සමඟ පැවැති තරගයේදි මුම්බායි පිලේ ගෞරවය රැක ගනිමින් කඩුලු 7ක ජයක් ගෙන දුන්නේ නොදැවී ශතකයක් ද රැස් කරමිනි. දැඩි ජයග්‍රහණ පිපාසයකින් පීඩා විඳිමින් සිටි මුම්බායි ඉන්ඩියන්ස් පිලට එය ඉහටත් උඩින් සැමරීමට තරම් ප්‍රමාණවත් විය. පන්දු 51කින් ඔහු රැස් කළ ශතකය ඔහුට වාර්තා කිහිපයක්ම අත්කර දුන්නේය. රෝහිත් ෂර්මාට පසුව අයිපීඑල් පිටියේ ශතක දෙකක් රැස් කළ දෙවැනි මුම්බායි ඉන්ඩියන්ස් පිලේ පිතිකරුවා ඔහුය. වැඩිම විස්සයි20 ශතක රැස් කළ ඉන්දියානුවා ලෙස ඔහු ලෝකේෂ් රාහුල් සහ රතුරාජ් ගයික්වාඩ් සමඟ සම වාර්තාවට ද හිමිකම් කීවේය.
මේ තරගයෙන් පසු සූර්යකුමාර් යාදෙව් ගැන විස්තර විචාරකයන් මෙන්ම හිටපු ක්‍රීඩකයන් ද කතා කළේ මහා ඉහළිනි. රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිලේ හිටපු වේගපන්දු යවන්නා වන දකුණු අප්‍රිකානු ක්‍රීඩක වේන් පානෙල් ඒ අතර කීවේ අමුතු කතාවකි. ඔහු කීවේ මේ පිතිකරුවාට ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කළ යුතු බවය. ඔහු විස්සයි20 තරග බිමට කොතරම් වටිනා පිතිකරුවකුදැයි තෝරා බේරා ගැනීමට ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කළ යුතු නොවේදැයි එක්ස් සමාජ මාධ්‍යජාලයේ ඔහු තැබූ සටහන ‘වයිරල්‘ වී ගියේය.
ෆවුස් මොහොමඩ්