හොරණ ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ වෙඩි තැබීම මේ වන විට රටම දන්නා සිද්ධියකි. පසුගිය 5 වැනිදා පෙරවරුවේ හොරණ නගරයේ ග්රේස්ලන්ඩ්වත්තේ, ඇල්බට් පීරිස් මාවතේ සිදුවූ එම වෙඩි තැබීමෙන් සංජය අයන්ත නමැති අයකු බරපතළ තුවාල ලැබීය. එහිදී වෙඩි ප්‍රහාර තුනක් එල්ල වී තිබුණේ ඔහුගේ මුව හරහාය.
විවාහකයකු වන 34 හැවිරිදි සංජය අයන්ත මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් පොලියට මුදල් දීමේ ව්‍යාපාරයකද නිරතව සිටි අයෙකි. ඉකුත් 5 වැනිදා හොරණ නගරයට ගිය අයන්ත පෙරවරු 10.45ට පමණ තම සුඛෝපභෝගී කැබ් රථයෙන් ග්රේස්ලන්ඩ්වත්තේ ජේ.එස්.එන්. මහල් නිවාසයේ පිහිටි නිවස අසලට පැමිණියේ බිරිය සහ දරුවා සමඟිනි. ඔහු බිරිය සහ දරුවා නිවසට ඇරලවා නැවත කැබ් රථයෙන් වෙනත් ගමනක් යාමට මහල් නිවාසය ඉදිරිපිට මාර්ගයේ රථය පණ ගන්වාගෙනම සිටියේය. ඒ මොහොතේ තැඹිලි පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් පසුපැදිකරු කැබ් රථයේ රියැදුරු අසුනේ සිටි අයන්තගේ මුවට වෙඩි ප්‍රහාර තුනක් එල්ලකර පලා ගියේය. එම යතුරුපැදියේ දෙදෙනා එම ස්ථානයට එන ආකාරය සඳහන් දර්ශන මහල් නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරාවන්හිද මනා ලෙස සටහන් වි තිබිණි.
එම සිද්ධිය හොරණ මූලස්ථාන පොලිසියට වාර්තා වීමත් සමඟ කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී. සුගතපාල සහ පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායකගේ උපදෙස් මත හොරණ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා, අවට පොලිස් ස්ථාන වන මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න සහ අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ඇතුළු කණ්ඩායමක්ද එක්ව වෙඩි ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න හඳුනා ගැනීමට මූලික විමර්ශන ඇරැඹීය.
එහිදී වෙඩි වැදුණු අයන්ත, ‘අසාන්… අසාන්…‘ යැයි කියමින් කෑගසා තිබිණි. ඒ අනුව විමර්ශන නිලධාරින් ‘අසාන්‘ කවුරුන්ද යන්න හඳුනා ගැනිණි.
ඔහු ගොඩැල්ලගේ දොන් අසාන් ජනිත් කුමාරය. 31 හැවිරිදි අසාන් හොරණ, හොරකැටිය, කුඩාඋඩුව පදිංචිකරුවෙකි. පුතුන් දෙදෙනෙකුගේ පියකු වන අසාන් පසුගිය කාලයේ ඩුබායිහි සිටි අයෙකි. විමර්ශන නිලධාරින්ට සැල වූයේ අසාන් පසුගිය 29 වැනිදා මෙරටට පැමිණ ඇති බවය. එසේම තොරතුරුකරුවන් මාර්ගයෙන් පොලිසියට සැල වූයේ අසාන් වෙඩි තැබීම සිදුවූ දින පෙරවරුවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ අයන්තගේ නිවස අවට සැරිසරා ඇති බවයි. එසේම ඔහු එලෙස සැරිසරා ඇති ආකාරය අයන්ත ද දැක ඇති බවත් එම නිසා අසාන්ගේ නම කීම අතර සබඳතාවක් තිබෙන්නට ඇති බවය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් අසාන් කොයි මොහොතක හෝ රටින් පිටවී යයි යන සැකය මත ඔහු පිළිබඳ ඡායාරූප, ගුවන් ගමන් බලපත්‍ර විස්තර ඇතුළු සියලු තොරතුරු කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීමෙන් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරින්ට ලබා දී තිබිණි. ඒ අතර අළුබෝමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ද සිදුවීම වූ සැණින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් තිබුණේ අසාන් කොයි මොහොතක හෝ රටින් පිටවී යැයි යන සැකය මත ඔහු ගුවන් තොටුපොළේදී හඳුනාගෙන කොටුකර ගැනීමටය. පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා හොරණ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී අසාන් සූදුවේ යෙදී සිටියදී මීට වසර කීපයකට පෙර පොලිස් පරීක්ෂක අසංක විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එම නිසා පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා අසාන් ගැන බොහෝ තොරතුරු දැන සිටියා සේම ඔහුගේ රුව ද දැක තිබූ නිලධාරියා විය.
එලෙස විමර්ශන සිදු වෙද්දී 5 වැනිදා පස්වරු 5.35ට ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව යාමට නියමිතව තිබූ ‘ෆ්ලයි ඩුබායි‘ ගුවන් සේවයේ FZ-550 දරන ගුවන් යානයෙන් රටින් පලා යාමට තැත් කළ අසාන්ව ගුවන් තොටුපොළෙහි ස්වයංක්‍රීය මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය (AFRS) මඟින් හඳුනා ගැනීමත් සමඟ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගත් අසාන් කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමත් සමඟ පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා විසින් ඔහු රැගෙන ආවේ හොරණ මූලස්ථාන පොලිසිය වෙතය.
මේ අතර අයන්තට වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ස්කූටි යතුරුපැදිය එදිනම සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හැකි විය. ඒ පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ ස්ථාපිත මූලස්ථාන විශේෂ මෙහෙයුම් ඒකකයෙහි පොලිස් පරීක්ෂක ඩී.එස්. ජයලත් ඇතුළු කණ්ඩායමක් විසින් හොරණ පොලිස් වසමේ අංක 59, ජී.එම්. පෙරේරා මාවත, ලිහිණිය අරඹවත්ත, හල්කොළ පාර, හොරණ යන ලිපිනයේ සිදුකළ සෝදිසියකිනි. එහිදී යතුරුපැදිය සමඟ වෙඩික්කරුවන් හැඳ සිටි බවට සැක දම් පැහැති අත්දිග කමිසයක් සහ කළු පැහැති ඩෙනිම් කලිසමක්ද තිබිණි. එම යතුරුපැදිය ගැන පොලිසිය සිදුකළ විමර්ශනයේදී එය යක්කල ප්‍රදේශයෙන් පසුගිය මස 22 වැනිදා සොරකම් කරන ලද්දක් බවද එය ගාල්ල ප්‍රදේශයේ අයකුගේ නමට ලියාපදිංචි කර ඇති බවද හෙළි වේ.
වෙඩි ප්‍රහාරය අයන්තට එල්ල වූයේ පාණදුර පොලිස් කොට්ඨාසය තුළදී වුවත් වෙඩි ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගත් අසාන් පිළිබඳ ඉදිරි විමර්ශන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දනගේ ප්‍රධානත්වයෙන් යුත් කළුතර අපරාධ කොට්ඨාසය වෙත භාර කෙරිණි. ඒ එම කොට්ඨාස නිලධරයෝ පසුගිය කාලයේ එවැනි අපරාධ විසඳීමට දක්වන විශිෂ්ට දක්ෂතාව හේතුවෙනි.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දනගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව ඇතුළු කණ්ඩායම අසාන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කෙරුණේ අයන්තට එල්ල කළ වෙඩි ප්‍රහාරය ගැන විමසමිනි. එහිදී අනාවරණය වූයේ වෙඩි ප්‍රහාරය ඔහු විසින් එල්ල නොකළ බවය. එහෙත් එය ඔහු විසින් කොන්ත්‍රාත්තුවක් දී කුලී ඝාතකයන් යොදවා සිදුකළ වෙඩි ප්‍රහාරයක් බවට හෙළි විය. අත්අඩංගුවට ගත් අසාන් පදිංචිව සිටි හොරණ, කුඩාඋඩුව නිවස පොලිස් නිලධාරින්ගේ දැඩි පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී එම නිවසේ පඩිපෙළ යට වළ දමා තිබූ ටී-56 ගිනිඅවියක් සොයා ගැනුණේ ජීව පතොරම් 30කින් සමන්විත ටී-56 ගිනිඅවියට උණ්ඩ යොදන මැගසිනයක්ද සමඟිනි.
එම ගිනිඅවිය අත්අඩංගුවට ගෙන පරීක්ෂාවේදී විමර්ශන නිලධාරීන්ට දැක ගැනීමට හැකි වූයේ එම ගිනිඅවියට අදාළ අවි අංකයද ග්‍රයින්ඩරයක් වැනි උපකරණයක් යොදාගෙන විනාශ කර ඇති බවය. එම ගිනිඅවිය ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එය මීට වසර හයකට පමණ පෙරදී ඔහු ලබාගත් එකක් බව හෙළිදරව් විය. ඒ අනුව එම ගිනිඅවිය අසාන්ට ලැබුණේ කාගෙන් ද ඔහු එය කුමක් සඳහා තබාගෙන සිටියේද යන්න කළුතර අපරාධ කොට්ඨාස නිලධරයෝ මේ වන විට ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටී.
අත්අඩංගුවට ගත් අසාන් පොලිස් නිලධාරීන් විසින් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබිණි.
ඒ සමඟම කළුතර අපරාධ කොට්ඨාස නිලධාරීන් අසාන්ගෙන් ප්‍රශ්න කරන්නට වූයේ අයන්ත ඝාතනයට තැත් කළේ කුමක් නිසා ද යන්න අනාවරණය කරගැනීමේ අටියෙනි.
“තමුන්… ඇයි කුලී මිනීමරුවෝ දාලා ඒ මනුස්සයව මරන්න හැදුවේ…?“ යැයි පොලිස් නිලධාරීන් අසාන්ගෙන් ප්‍රශ්න කරන්නට විය.
“සර්… ඒ මිනිහා මගේ අක්කගේ ජීවිතේ විනාශ කළා… එයාගේ කසාදෙත් නැති කළා… අක්කා අද විඳින දුක දැක්කම මට වාවගන්න බැරුව ගියා…“ යැයි කී අසාන් දීර්ඝ පාපෝච්චාරණයක් පොලිස් නිලධරයන් ඉදිරියේ සිදු කරන්නට විය. ඒ අනුව හෙළි වන්නේ මෙවැන්නකි.
සංජය අයන්ත සහ අසාන් ජනිත් දෙදෙනාම හොරණ පදිංචිකරුවෝය. ඔවුන් හොඳ මිතුරන් වී සිටියේය. මුල් කාලයේ අයන්ත ජීවත් වූයේ ආර්ථික අපහසුතා මධ්‍යයේය. එහෙත් අසාන්ලාට කිසිම ආර්ථික අපහසුතාවක් නොතිබිණි. මීට වසර 10කට පමණ පෙරදී අසාන්ගේ වැඩිමහල් සොහොයුරිය සහ අයන්ත අතර ප්‍රේම සබඳතාවක් හටගෙන තිබිණි. එහෙත් එම ප්‍රේම සබඳතාවට අසාන්ලාගේ පාර්ශ්වයෙන් එතරම් කැමැත්තක් දක්වා නැත. කෙසේ හෝ අයන්ත අසාන්ගේ සහෝදරිය හා විවාහ වී තිබිණි. එහෙත් විරෝධතා හේතුවෙන් දෙදෙනාට එක්ව ජීවත්වීමට අවස්ථාවක් ලැබී නැත.
කල් යද්දී අයන්තට මුදල් යහමින් ලැබුණේ ඔහුගේ ව්‍යාපාර දියුණුවත් සමඟිනි. ඔහු මේ වන විට වෙනත් විවාහයක් සිදුකරගෙන දරුමල්ලන් ද සිටින අයෙකි. එසේම ඔහු හොරණ මහල් නිවසක සුඛෝපභෝගී දිවියක් ගත කරමින් මූල්‍ය ආයතනයක්ද පවත්වාගෙන යයි. අසාන්ගේ සහෝදරියද වෙනත් විවාහයක් කර ගත්තාය. දෙපාර්ශ්වය එලෙස ජීවත්වෙද්දී අසාන් සහ අයන්ත අතර යම් සුහද බවක් තිබී ඇත.
මේ අතර මීට වසර දෙකකට පමණ පෙරදී එක්වරම අසාන්ගේ සහෝදරියගේ සැමියා අතුරුදන් වූයේ කිසිවකුටත් නොකියාය. ඊට හේතුවක් ද අසාන්ලාට දැනගන්නට නොවීය.
අසාන්ගේ සහෝදරිය ඒ සමඟම මහත් සේ දුක්ඛිත දිවියක් ගත කළේ පවුල් දිවියටද කණකොකා හැඬීම නිසාය. ඒ අතර සහෝදරියගේ සැමියා ඩුබායි සිටින බව අසාන්ට සැලවී තිබිණි. අසාන් ද ඩුබායි ගියේය. අසාන් සිය සහෝදරියගේ සැමියා ඩුබායිහි සිටින ස්ථානය මහත් පරිශ්‍රමයක් දරා සොයා ගත්තේය. අනතුරුව දිනක් ඔහු සිය මිතුරෙකු සමඟ සහෝදරියගේ සැමියා නැවතී සිටි ඩුබායිහි හෝටලයකට ගියේ ඔහු හමුවීමටය. ඒ අක්කා සමඟ වූ දීගය අත්හැර අතුරුදන් වූයේ කුමක් නිසාද යන්න දැනගැනීමේ අටියෙනි.
ඒ මොහොතේ සහෝදරියගේ සැමියා අසාන්ට පෙන්වා තිබුණේ ඔහුගේ සහෝදරිය ඊට පෙර විවාහ වී සිටි අයන්ත සමඟ ගත කළ සමයේ ලබාගත් වීඩියේ සහ ඡායාරූප කීපයකි. ඒවා ඔහුට එවා තිබුණේ ද අයන්ත බවට එම පුද්ගලයා අනාවරණය කැරිණි.
“ඊට පස්සේ තමයි සර් මට මේ මිනිහා ඉවරයක් කරලා දාන්න හිතුණේ… මගේ අක්කගේ ජීවිතේ විනාශ කළේ මේකා කියන තරහ මට තදින්ම දැනුණා…“ යැයි අසාන් පොලිස් නිලධාරින් ඉදිරියේ පැවැසීය.
එම ආවේගයත් සමඟ ඉකුත් 29 වැනිදා ඩුබායි සිට මෙරටට පැමිණි අසාන් අක්කාගේ ජීවිතය විනාශ කළ අයන්ත ඝාතනයට ‘ප්ලෑන‘ක් ගැසුවේ කුලී ඝාතකයන් මාර්ගයෙනි. ඒ අනුව ඔහු කුලී ඝාතකයන් යොදවා අයන්ත ඝාතනයට අවස්ථා කීපයකදීම තැත් කර තිබිණි.
ඉකුත් 5 වැනිදා ඒ සඳහා කුලී ඝාතකයන් යෙදවුවද අයන්තගේ වාසනාවට ඔහුට තවමත් ජීවත්වීමට අවස්ථාව ලැබුණේ එම කුලී ඝාතකයන් භාවිත කළ ගිනිඅවියෙන් පතොරම් තුනක් පිට වීමත් සමඟ ගිනිඅවිය හිරවීම නිසා බව විමර්ශන නිලධරයෝ සැක කරති. වෙඩි වැදුණු අයන්ත මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මේ වන විට විමර්ශන නිලධාරීන් අසාන් යෙදවූ කුලී ඝාතකයන් දෙදෙනා සහ ඊට යොදාගත් ගිනිඅවිය සොයා පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටින්නේ අසාන්ගෙන් ද දීර්ඝ ලෙස කරන ලද ප්‍රශ්න කිරීම් ඔස්සේය. අත්අඩංගුවට ගත් අසාන් ඉකුත් 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
විමර්ශන කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති අයි.බී.ටී. සුගතපාල, පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දනගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, උපපොලිස් පරීක්ෂකවරුන් වන උපුල් හර්ෂ, මධුෂාන්, සැරයන්වරුන් වන 55301 ගුණේන්ද්‍ර, 41104 සමන්තිලක, කොස්තාපල්වරුන් වන 79335 තුෂාර, 98857 අංජුල සහ කොස්තාපල් රියැදුරු 89774 සංකල්ප යන නිලධාරිහු විමර්ශන සිදු කරති. ඊට අමතරව හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක පනාවල, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා, මොරගහහේන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න සහ අළුබෝමුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුණා ද විමර්ශන සඳහා එක් වූහ.
ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ
අමිල මලවිසූරිය