Home » අම්බලන්ගොඩ තාත්තයි පුතයි ‘කූල්’ එකේ කරපු ජාවාරම

අම්බලන්ගොඩ තාත්තයි පුතයි ‘කූල්’ එකේ කරපු ජාවාරම

by thanushika
May 11, 2024 12:33 am 0 comment

රට පුරා ආරම්භ කළ යුක්තිය මෙහෙයුම යටතේ අපරාධකරුවන්, පාතාල කණ්ඩායම් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගෙන මේ අපරාධවලින් රටේ අනාගත පරපුර බේරා ගැනීමට ශ්‍රී ලංකා පොලිසියත්, විශේෂ කාර්ය බළකාය සහ අනෙකුත් ආරක්ෂක අංශත් මේ දිනවල දිවා රෑ නොබලා වැටලීම්වල නිරතව සිටිති. මේ නිසා දිනපතාම රටේ විවිධ ප්‍රදේශවලින් පොලිස් අත්අඩංගුවට පත්වන එවැනි අපරාධකරුවන් සහ ජාවරම්කරුවන් ගැන පුවත් නිතර අසන්නට ලැබේ.

ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මෙන්ම ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධරයන් ද එම ප්‍රදේශවල සිටින අපරාධකරුවන් සහ ජාවරම්කරුවන් සොයා දිවා රෑ මෙහෙයුම් කරති.

ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරංග චින්තනට අයිස් ජාවාරම්කරුවකු ගැන හෝඩුවාවක් ලැබෙන්නේ මේ අතරතුරේය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායම එම හෝඩුවාව ඔස්සේ පරීක්ෂණ සිදුකර අම්බලන්ගොඩ පොලිස් වසමේ පිහිටි ආඳාදොළ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී අලෙවිය සඳහා ග්‍රෑම් එක බැගින් පැකට් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 57ක් අත්අඩංගුවට ගනු ලැබීය. එම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 57 වටිනාකම රුපියල් ලක්ෂ දහයක් පමණය. ඒ සමඟම මෙම ජාවාරමෙන් සැකකරු උපයාගෙන තිබූ මුදල් රුපියල් තුන්ලක්ෂ අනූපන් දහසක් ද සන්තකයේ තිබියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

මීට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ජාවරමට යොදාගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතනයක් සහ තවත් ජංගම දුරකතන තුනක් ද සැකකරු ළඟ තිබී පොලිස් අත්අඩංගුවට ගැනිණි.

පොලිසිය මේ ජාවාරම්කරු කොටුකර ගැනීමට පෙර ඔහු ළඟ තිබූ තවත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අලෙවිකර ඇති බවට ද පොලිසිය සැක කරයි.

කෙසේ නමුත් සැකකරුගෙන් පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ සැකකරුගේ පුතෙක්ද මේ අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවය. සැකකරුගේ එම පුත්‍රයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවර්ණය වී තිබේ.

එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවදුරටත් මෙහෙයුම් කරමින් සිටී. මෙම සැකකරු කාලයක් තිස්සේ මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටත් ඔහු අම්බලන්ගොඩ, ඇල්පිටිය, තෙල්වත්ත ආදි ප්‍රදේශවල මෙම ජාවාරම සිදුකර ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.

මේ අතර මොහුට සම්බන්ධ තවත් ජාවාරම්කරුවන් සිටීද යන්න පිළිබඳවත් පොලිසියේ අවධානය යොමුවී තිබේ.

අත්අඩංගුවට ගත් එම සැකකරු ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අම්බලන්ගොඩ පොලිසියට භාර දීමෙන් පසු බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරු තවදුරටත් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා බළපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී. ජනක මහතා නියෝග කර ඇත.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.යූ.කේ. ලොකුහෙට්ටිගේ උපදෙස් පරිදි ඇල්පිටිය කොට්ඨාස (01) පොලිස් අධිකාරී රවිඳු සිල්වාගේ සහ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත බස්නායකගේ අධීක්ෂණයෙන් ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරංග චින්තන, සැරයන්වරුන් වන (15010) විමලරත්න, (5462) ක්‍රිශාන්ත, (58409) ජයලාල්, (69874) සම්පත්, කොස්තාපල්වරුන් වන (82030) උදයකුමාර, (28923) මහේෂ්, (12597) යමුනා, සැරයන් රියදුරු (12743) වික්‍රමසිංහ යන පොලිස් කණ්ඩායම මෙම වැටලීම සිදුකර තිබේ.

චන්ද්‍රසිරි ගුණසේකර - ඇල්පිටිය සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division