හර්ෂ විජයවර්ධන බින්දුව සොයා ගත්තේ සීගිරි කෞතුකාගාරයේ ගඩොලක සංකේතයෙන්
ඊශ්‍රායලයේ හෆියා නගරයේ හෙබ්‍රෙව් රියලි පාසලේ, පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන්, පන්ති භාර ගුරුතුමිය ප්‍රශ්නයක් විමසා සිටියාය. “ඔය ගොල්ලෝ ඉගෙන ගන්නේ ඇයි?” අත් ඔසවා එකිනෙකා සිය පිළිතුර දෙන්නට පටන් ගත්තේය. “කොහොමද සල්ලි හොයන්නේ කියලා දැනගන්න ” යැයි පළමු සිසුවා උත්තර දුන්නේය. “සත්තු සහ ගහ කොළ මේ විදිහට වර්ධනය වෙන්නේ කොහොමද කියන එක, මට දැන ගන්න ඕනේ” තව අයෙක් එසේ පිළිතුරු දුන්නේය. ඊළඟ අවස්ථාව පැමිණියේ අමීර් ඩි. ඇක්සෙල් ශිෂ්‍යයා වෙතය. ඔහුට අවශ්‍ය වූයේ “අංක පැමිණියේ කොහේ සිටද?” කියා දැන ගන්නටය. පන්ති භාර ගුරුතුමිය මොහොතකට තුෂ්නිම්භූත වූවාය. පසු කලෙක අමීර් ඇක්සෙල් ගණිතය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා, ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් සංඛ්‍යාලේඛන පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තේය.
කැලිෆෝනියා, ඇලස්කාව, මැසචුසෙට්ස්, ඉතාලිය සහ ග්‍රීසියේ විශ්ව විද්‍යාලවල ගණිතය පිළිබඳව මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ ඔහුගේ විෂය ක්ෙෂ්ත්‍රය වූයේ ගණිතය සහ ගණිතය සහ විද්‍යාව පිළිබඳ ඉතිහාසය යන බර සාර ක්ෙෂ්ත්රයය. ඇක්සෙල් වෙත පළමු ශ්‍රේණියේදී තිබූ වුවමනාව මේ හැම කාලයේදීම ඔහුගේ ජීවිතය පුරා දිව ගියේය. එහි මුදුනත වූයේ බින්දුව උපන්නේ කෙසේද යන්න සඳහා ඔහු පෙලඹීමය.
බින්දුව වූ කලී අපූර්ව ඉලක්කමකි. අන් සැම ඉලක්කමකටම අගයක් ඇත්තේය. ‘නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතේ’ කියූ විට ‘දෙක’ යන්නේ නිරූපණය අප දන්නේය. දස මහා යෝධයන් කියූ විට එම ඉලක්කමෙන් ප්‍රමාණයක් අපගේ සිතට එන්නේය. ඒ ආකාරයට සංඛ්‍යා මඟින් අගයක් නියෝජනය වන්නේ මුත් බින්දුව කුමන අගයක් නිරූපණය කරන්නේ දැයි අපට නොතේරේ. තනි බින්දුව හෝ මුලට බින්දුව එසේ වූවාට වෙන සංඛ්‍යාවක් අගට හෝ සංඛ්‍යා දෙකක් මැද්දට බින්දුව ආ කල්හි එයින් අගයක් ජනිත කරන්නේය. මෙතැන මිනිස්සු බින්දුවක් සිටිය නොහැකිය. එහෙයින් බින්දුව සඳහා එවන් නිරූපණයක් නැත. එසේ වුවාට සංඛ්යාවේදයේ බින්දුව නැතිව කතාවක් නැත. අනෙක් අතට බිංදුව පුදුමාකාරය. බින්දුවක් යම් සංඛ්‍යාවකට එකතු කළාට වෙනසක් නැත. බින්දුවක් යම් සංඛ්‍යාවකින් අඩු කළාට වෙනසක් නැත. යම් සංඛ්‍යාවක් බින්දුවෙන් වැඩි කළොත් බින්දුව වන්නේය. බින්දුවෙන් යම් සංඛ්‍යාවක් බෙදුවොත් අනන්තය වන්නේය. බින්දු වෙනි බලය සෑමවිටම එකට සමාන වන්නේය.
මෙවැනි ගණිතමය හාස්කම් දක්වන බින්දුව මිනිස් සිතට ආවේ කෙසේද…? එය සංකේතයක් ලෙස මිනිසා භාවිතයට පටන් ගත්තේ කවදාද? මහාචාර්ය අමීර් ඇක්සෙල් සොයාගෙන ගියේ එම කතාවය. අගයක් නොමැති යමක් සඳහා මිනිසා අගයක් ලබා දුන්නේ කෙසේද සහ ඒ සඳහා සංකේතයක් නිර්මාණය වන්නේ කෙසේද යන්න සොයා යන ගමනේදී ඔහුට බින්දු කිහිපයක් හමු විය. 13 වන සියවස වන තෙක් යුරෝපීයයන්ට ශුන්‍ය සංකල්පයක් නොතිබුණි. බින්දුව නොමැතිව එතෙක් කලක් යුරෝපය වැඩ කළා යැයි සිතීම ද උගහට ය.
ආචාර්ය ඇක්සෙල් මෙසේ බින්දුවේ කතාව ඉතිහාසය පීරා සොයන විට ශ්‍රී ලංකාව බිහි කළ අග්‍රගණ්‍ය ගණිතඥයා වූ ආචාර්ය නලින් ද සිල්වා ද 1980 දශකයේ සිට බින්දුව පිළිබඳව ගවේෂණය ආරම්භ කර තිබුණි. නාගර්ජුන හිමියන්ගේ මාධ්‍යමික ශුන්‍යතාවාදය කියවූ ආචාර්ය නලින්, බෞද්ධ චින්තනය මත මිස, බින්දුව වැනි සංකල්පයක් පහළ නොවන බව ගවේශනය කළේය.ආචාර්ය නලින්ගේ සාධනය වූයේ බටහිර ද්විකෝටික තර්ක ක්‍රමය තුළ බින්දුව වැනි සංකල්පයක් උපදින්නේ නැති බවය. මේ ආකාරයට න්‍යායාත්මක ආකාරයට බින්දුව සම්බන්ධයෙන් ආචාර්ය නලින් තර්කන ගොඩනඟන කල්හි බින්දුවේ ඉතිහාසය සම්බන්ධයෙන් මහාචාර්ය ඇක්සෙල් විසින් රචිත කෘතියක් ඇතැයි ආචාර්ය නලින් ද සිල්වා දැනුවත් කරන ලද්දේ ඩේලිනිව්ස් පුවත්පතේ වත්මන් ප්‍රධාන කර්තෘ කේසර අබේවර්ධන විසිනි. මහාචාර්ය ඇක්සෙල්ගේ ෆයින්ඩින් සීරෝ නම් ග්‍රන්ථය කේසර මිලට ගෙන තිබුණේ ඔහු නිව්යෝර්ක් නගරයේ පොත් සාප්පුවකට ගොඩ වැදුණු අවස්ථාවකය.
මහාචාර්ය ඇක්සෙල් බින්දුව සොයා ඉන්දියාවේ පුරාවිද්‍යා ස්ථාන ගණනාවක සංචාරය කර තිබුණි. එහි අවසානය වූයේ කාම්බෝජයය. බින්දුවේ සංකල්පය පිළිබඳව ගවේෂණය සඳහා මහාචාර්ය ඇක්සෙල් මුණ ගැසෙන්නේ කාම්බෝජයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකි. උන් වහන්සේගෙන් ඇක්සෙල් අසා ගනු ලබන්නේ බින්දුව සඳහා පදනම් වන ථෙරවාදී තර්ක ක්‍රමය වන චතුස්කෝටිකය පිළිබඳවය. එය ථේරවාදී බෞද්ධ සංකල්පයක් හෙයින් ඒ පිළිබඳව නිරවුල් ආකාරයෙන් සිතිය හැක්කේ ථේරවාදී බෞද්ධයන් වෙත පමණක් බැවින් ඇක්සෙල් කාම්බෝජයේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් සමඟ මේ ගැන සාකච්ඡාවක් පවත්වන්නේය.
ඇක්සෙල් සිදු කළ ගවේෂණයේදී ඔහුට දැන ගැනීමට ලැබෙන්නේ, ප්‍රංශ යුදෙව්වකු වූ සෙඩෙස් විසින් 1929 දී කාම්බෝජයේ නොම් පෙන් නුවරට කිලෝමීටර් 300ක් පමණ ඈතින් වූ බෞද්ධ පන්සලක ශක වර්ෂ 605 දී ලියූ ශිලා ලේඛනයක් හමු වී ඇති බවය. ක්‍රිස්තු වර්ෂ 683 දී මෙසේ 605 යනුවෙන් සටහන් කරන ලද ශිලා ලේඛනයේ, වෘත්තාකාර බින්දුව සංකේතවත් කර ඇත්තේ තිත යෙදීමෙනි. ඇක්සෙල්ගේ ගවේෂණයට අනුව ලෝකයේ පැරණිම බින්දුව ඇත්තේ එතැනය. සෙඩෙස්ට හමු වූ ‘605 සටහන් ශිලා ලේඛනය’ පොල් පොට්ගේ මැරයන් කොහේ හෝ දමා ගොස් තිබූ බැවින් එය ගවේශනය කිරීම අපහසු කාරණයක් වූයේය. ඇක්සල්ට අවශ්‍ය වී තිබුණේ එම ශිලා ලේඛනය නැවත සොයා ගැනීමය. උත්සාහය අත් නොහරින ලද ඇක්සල් මේ ශිලා ලේඛනය කාම්බෝජයේ ජාතික කෞතුකාගාරයේ තිබී සොයා ගෙන ගත්තේය.
ආචාර්ය නලින් ද සිල්වා මේ පිළිබඳව දිගටම සිය විමර්ශනයේ යෙදෙන විට ඔහුට තවත් ආරංචියක් ලැබෙන්නේය. ඒ හර්ෂ විජයවර්ධන නම් ඉලක්කම් පිළිබඳව විශේෂඥයෙක් පිළිබඳවය. හර්ෂ විජයවර්ධන සේවය කරනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ, පරිගණක අංශයේ, තීක්ෂණ ඒකකයේය. ඔහු බින්දුව සොයාගෙන යන්නේ ඇක්සෙල් සේ ඉලක්කම් සඳහා ඉතිහාසය සෙවීමට හෝ ආචාර්ය නලින් ද සිල්වා සේ, ශුන්‍යය යන සංකල්පය පිළිබඳව ගවේෂණය සඳහා නොවේ. සිංහල අකුරු පරිගණකය සඳහා යෙදවීමටය.
සිංහල අකුරු පරිගණකය සඳහා යොදවන අතරේ සිංහල ඉලක්කම් ද පරිගණක ගත කළ යුතු යැයි අදහසක් මතුව ආවේය. මේ අදහස කෙසේ වෙතත් සිංහලයාට ආවේණික ඉලක්කම් ඇතැයි අද පවා බහුතරයක් සිංහලයෝ දන්නේ නැත. යුනිකෝඩ් ආයතනයේ යතුරු පුවරු නිර්මාණ අංශයේ සිටි මයිකල් එවසන් සිංහල යතුරු පුවරුව සඳහා සිංහල ඉලක්කම් ද ඇතුළත් කර තිබුණි. මේ පිළිබඳව ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සහභාගී වී සිටියේ මහාචාර්ය ජේ. බී. දිසානායක සහ ආචාර්ය එස්. ටී. නන්දසාර යන මහත්වරුය. සිංහල අක්ෂර සඳහා වන යතුරු පුවරු නිමා කළ පිරිස, සිංහල ඉලක්කම් යතුරු පුවරු සඳහා යෙදීම පසුව දැනුම් දෙන බව කියා, ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ අනෙකුත් අධිකාරීන් වෙත දන්වා සිටියේය. කාලය ඉකුත්ව ගියේය. මයිකල් එවසන් මේ පිළිබඳව වරින් වර සිහි කැඳවන හෙයින් සිංහල ඉලක්කම් පිළිබඳව පර්යේෂණයක් ආරම්භ විය. මහාචාර්ය කේ. ඩී. පරණවිතාන සහ හර්ෂ විජයවර්ධන දෙදෙනා මෙහි පර්යේෂකයෝ වූහ. කොළඹ කෞතුකාගාරයේ ඇති පුස්කොළ සහ අත්පිටපත් වැනි දේ පළමුව මේ දෙදෙනා ගවේෂණය කළහ. මහනුවර කෞතුකාගාරයේ ඇති උඩරට ගිවිසුමේ වගන්ති සඳහා ද යොදා තිබුණේ සිංහල ඉලක්කම් බව හර්ෂ විජයවර්ධන නිරීක්ෂණය කළේය. මේ අනුව සිංහල ඉලක්කම් සඳහා වන පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කරගත් කණ්ඩායම යුනිකෝඩ් කණ්ඩායමේ මයිකල් එවර්සන් වෙත එය සැල කිරීම සඳහා අවස්ථාවක් ඉල්ලා සිටියේය. මේ සඳහා විදග්ධ මඟක් භාවිත කළ යුත්තේ හෙයින් හර්ෂ විජයවර්ධන විසින් සිංහල ඉලක්කම් පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් සකස් කර කැලණිය විශ්වවිද්‍යාලයයේ පුරාවිද්‍යා සම්මන්ත්‍රණයකදී එය එළි දැක්වූයේය.
මයිකල් එවර්සන් සමඟ මේ සඳහා හර්ෂ විජයවර්ධන භාවිත කරන වචනය සිංහල ලිත් ඉලක්කම් යන්නය. ලිත් ඉලක්කම්වලට අමතර සිංහලයෝ තවත් ඉලක්කම් කට්ටල කිහිපයක්ම සිය භාවිතය සඳහා ගෙන තිබුණි. මේ සියල්ල ගවේෂණය කළ හර්ෂ විජයවර්ධන සිංහලයා වෙත බින්දුව උදෙසා සංකේතයක් ඇතැයි ප්‍රසිද්ධ කළේය. එසේ වුව ද මයිකල් එවර්සන් ඒ අදහස මුළුමනින්ම බැහැර කරන ලද්දේය. ඔහුගේ තර්කය වූයේ දෙමළ සඳහා ද බින්දුවේ ඉලක්කමක් නැතිනම් සිංහලයේ එය තිබිය නොහැකි බවය.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් චාරිකාවක් සඳහා සීගිරිය බලා යන්නේ මේ කාලයේය. හර්ෂ විජයවර්ධන ද සිය භාර්යාව සහ කුඩා දියණිය කැටුව ඒ සඳහා සහභාගී විය. දියණිය කුඩා බැවින් සීගිරි පර්වතය නඟිනු වෙනුවට පහළ ඇති සිගිරි කෞතුකාගාරය බැලීම සඳහා තිදෙනා ගියහ. මේ අතරේ හර්ෂ දුටුවේ, කෞතුකාගාරයේ ඇති ගල් සමුහයකි. ඒවා දඹුල්ල මැණික්දෙන විහාරයේ ධාතු ගර්භයේ තිබූ ගඩොල්ය. එකල සිංහලයෝ එම ගල් ඇතිරීමේ රටාව පිළිවෙළ කරගනු පිණිස යොදන ලද අක්ෂර බඳු ඉලක්කම් ද එහි විය. කොම්බුවේ සංකේතය එහි බොහෝ විට යොදා තිබුණේ පසුපසින් හෙයින් ඒවා අක්ෂර නොව ඉලක්කම් බව හර්ෂ පහසුවෙන් හඳුනා ගත්තේය. එක් තැනක කොම්බුව සමඟ හල් කිරීමක් වැනි ඇල ඉරක්, මඳක් ඉහළින් තිබුණි. මෙවන් සංකේත ගණනාවක් බැලූ විට එය සිංහලයේ බින්දුව බව හර්ෂ අවබෝධ කර ගත්තේය.
යුනිකෝඩ් සඳහා සිංහල ඉලක්කම් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන තම සොයාගැනීම හර්ෂ ග්රන්ථයක් ලෙස රචනා කරනුයේ, සිංහල අක්ෂර සහ ඉලක්කම් පරිගණකය සඳහා ඇතුළත් කිරීමේ කතන්දරය පහදනු පිණිසය.
ඇක්සෙල්ගේ බින්දුව සොයා යෑම ගැන කතා කරමින් සිටි ආචාර්ය නලින් ද සිල්වා වෙත හර්ෂ විජයවර්ධනගේ මෙම පර්යේෂණ ග්‍රන්ථය කියවන්නට ලැබුණි. වහා මහාචාර්ය නලින් අවබෝධ කර ගත් කාරණයක් වූයේ, සිංහලයාගේ බින්දුව ඇක්සෙල් කම්බෝජයේදී දුටු බින්දුවටවඩා බෙහෙවින් පැරණි බවය. ඒ සමඟම සිංහල සංස්කෘතිය තුළින් බින්දුව යන සංකල්පය උපන් ආකාරය පිළිබඳව නලින් ද සිල්වා නව ප්‍රවාදයක් නිර්මාණය කළේය.
ඒ අනුව කාම්බෝජයට යනවිට සිංහල හල් කිරීම, නම් බින්දුවේ සංකේතය, තිතක් බවට පත්වන්නේ කෙසේදැයි නලින් පැහැදිලි කළේය. ඒ සඳහා ලිපි බර ගණනක් සහ සාකච්ඡා ගණනාවක් නලින් ද සිල්වා සිදු කළේය. ආචාර්ය නලින් මේ සම්බන්ධයෙන් පැමිණි අවසාන නිගමනය වූයේ, ලෝකයට බින්දුව දුන්නේ සිංහලයන් බවය.
ඇක්සෙල් කුඩා දරුවෙක් ලෙස ඉලක්කම් හි ආරම්භය සොයා ගියේය. එහි අවසානය වුයේ බින්දුවේ ඉතිහාසය ඔහු කාම්බෝජය දක්වා රැගෙන යෑමය. ආචාර්ය නලින් ද සිල්වා බින්දුව නම් සංකල්පය ගැන වසර තිහකට වැඩි කාලයක් කතා කළේය. හර්ෂ විජයවර්ධන බින්දුව සොයා යන්නේ පරිගණකයේ යුනිකෝඩ් අක්ෂර මාලාව සකස් කිරීම පිණිසය. එයට අවශ්‍ය හෙයින් සිංහල ඉලක්කම් ද ඔහු සොයා යෑමේ ප්‍රතිඵලයක් වුයේ මැණික්දෙන විහාරයේ ධාතු ගර්භයේ ඇති ගඩොල් ඇසිරීම සඳහා සිංහල ඉලක්කම් ලියා තිබූ ආකාරයය. එතැන සිංහල බින්දුවේ ඉලක්කම සටහන්ව තිබුණේ, දැනට ලෝකයේ බින්දුව සංකේතයක් ලෙස ඇති පැරණිම ස්ථානය ලෙසය.
මනෝජ් අබයදීර