Home » 2022 මැයි 12දා සිට

2022 මැයි 12දා සිට

by Mahesh Lakehouse
May 11, 2024 12:30 am 0 comment

රුධිරය, මහන්සිය, කඳුළු සහ දහඩිය හැර මට පිරිනැමීමට කිසිවක් නැත.” යැයි කියමින් වින්සන්ට් චර්චිල් බ්‍රිතාන්‍යයේ අගමැති තනතුර භාර ගත්තේ 1940 මැයි 10 වෙනිදාය.

චර්චිල් එදා භාර ගනු ලැබූවේ බ්‍රිතාන්‍යයේ ඉරණම පමණක් නොවේ. එකඟත්වයකින් හා සම්මුතියකින් ඉදිරියට ගිය චර්චිල් ලෝකයම භීෂණයෙන් මුදා ගත්තේය.

අගමැති තනතුර භාර ගැනීම සඳහා හෙතෙම, බකිංහැම් මාලිගය වෙත පැමිණෙන කල්හි, රටේ නව නායකයා පිළිගැනීම සදහා ධජ පතාක වනන, ජය ඝෝෂා පවත්වන ජනකාය මහ පාරේ රොද බැඳ සිටියේ නැත. නෙවිල් චේම්බර්ලේන් අගමැතිධුරයෙන් ඉල්ලා අස් වී තිබුණි. අභියෝගය භාර ගැනීම සඳහා වූ නායකයෙක් බ්‍රිතාන්‍ය සොයමින් සිටින මොහොත, රටක් අසරණ වූ අවස්ථාවක් හෙයින් කිසිවෙක් ඒ මොහොතේ ජයග්‍රහණයේ අරුණෝදය දුටුවේ නැත. චර්චිල් වෙත තිබුණේ එක් විකල්පයක් පමණය. එතෙක් බ්‍රිතාන්‍යයට හමු නොවූ දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හැර වෙනත් විසඳුමක් චර්චිල් ඉදිරියේ තිබුණේ නැත. ජර්මනිය සහ එම අක්ෂයේ බලඇණි මිත්‍ර පාක්ෂික රටවල් වෙත පන්න පන්නා පහර දෙන ස්වරූපය දුටු බොහෝ දේශපාලන විචාරකයන් හිට්ලර්ගේ ජය නියත බව කියමින් ගියා මිස, බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෝකය වෙනස් කරනු ඇතැයි අනාවැකි පැවසුවේ නැත.

“ඊට වඩා අපි සටන් කළ යුත්තෙමු.” චර්චිල් ප්‍රකාශ කළේය. ලෝකයේ අනාගතය වෙනස් වූයේ එතැන් පටන්ය. අද අප දකින ලෝකය, එදා චර්චිල් බලයට පත්වීමේ ප්‍රතිඵලයය. රටේ අගමැතිවරයා අර්බුදය හමුවේ ඉල්ලා අස්ව ගොස් තිබූ බැවින් සහ හිට්ලර්ගේ හමුදා බලය, වඩ වඩාත් උත්සන්න වෙමින්, ලෝකය තව ටික දිනකින් අතට ගැනීම නියත තත්ත්වයක් මවා තිබූ හෙයින්, ‘එම අනාගතය’ සඳහා සැරසෙනු විනා, විකල්පයක් නැතැයි සිතූ සියලු දෙනා අතරේ චර්චිල් උඩුගං බලා පිහිනීම ආරම්භ කළේය. ඔහු එකඟත්වය හා සම්මුතිය අතට ගෙන සතුරු කඳවුරට එරෙහිව නව බලයක් පිහිටුවන්නට පටන් ගත්තේය.

2022 මැයි 12 වෙනිදාව යනු ශ්‍රී ලංකාව ද එවන් මොහොතක් ගතකළ අවස්ථාවකි. අදට හරියටම වසර දෙකක්ය. මේ දිග හැරුම ඒ වෙනුවෙනි.

අර්බුද ගහන මැයි මාස දෙකක් අපේ කතා නායකයා සිය දේශපාලන ජීවිතයේදී සාර්ථක ලෙස ජය ගත්තේය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ආමර් වීදියේ බෝම්බ ප්‍රහාරයකින් මළ කල්හි, රට අරාජිකත්වයට යා නොදී, ඊළඟ දේශපාලන ව්‍යාපෘතිය හසුරුවන ලද්දේ ඔහු විසිනි. පළමුවරට රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත්වන්නේ මැයි පළමු වෙනිදා සන්ධ්‍යාවකය. ඒ 1993 වසරයි. දිවුරුම් දීමේ නැකත් හෝ පාක්ෂිකයන්ගේ ප්‍රීති ඝෝෂා එදාද ඔහු වටා තිබුණේ නැත. රට පුරා ඇඳිරි නීතිය පනවා තිබුණි. එතැන් සිට රටේ නීතිය සහ සාමය ස්ථාපිත කරමින්, අස්ථාවර දේශපාලන වටපිටාව ස්ථාවර කළ මිනිසා ලෙස ඔහු සේවය කළේය.

2022 මැයි 12 වෙනිදාව ද එසේය. ඇඳිරි නීතිය රටපුරා පනවා තිබුණේ මුත් ඒවා තකන කිසිවෙක් සිටියේ නැත. ගිනි තබන ලද නිවාස, ජීවිත තර්ජන ආදිය දේශපාලඥයන් සඳහා උරුම වී තිබුණි. මහ පාරේදී රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පහරදී මරා දමා තිබුණි. ආර්ථික අර්බුදය හේතුවෙන් විදුලිය පැය ගණනක් විසන්ධි වී තිබුණි. ඉන්ධන සහ ගෑස් සඳහා පෝලිම් තිබුණේ සැතපුම් ගණන් නොව දින ගණන්ය.

මැයි 12 වෙනිදා සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවේ විසි හයවෙනි අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන විට, ඔහු කරෙන් ගෙන යන ජයග්‍රාහී පාක්ෂික ප්‍රජාවක් රැස්ව සිටියේ නැත. කොඩි වනා, ජයවේවා කීමට පාක්ෂිකයන් මඟට බැස සිටියේ නැත. ඔහුට තිබුණේ අත්දැකීම් සහ අධිෂ්ඨානයක් පමණය. තමන්ගේ පක්ෂයේ කියා මන්ත්‍රීවරයෙක් හෝ පාර්ලිමේන්තුවේ ඔහුට නොසිටියේය. ලක්ෂ හැට නවයක ජනවරමක් තිබූ ජනධිපතිවරයා අසරණයෙක් වී, මන්දිරයක සිරකාරයෙක් ලෙස ජීවත් වෙමින් සිටියේය. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය තිබූ ආණ්ඩුව සීසී කඩ ගොස් හිටපු අගමැතිවරයා ත්‍රිකුණාමලයේ හමුදා කඳවුරක රහසේ කල් ගෙවමින් සිටියේය.

මේ අදට වසර දෙකකට පෙර අපේ කතාවය.

රනිල් වික්‍රමසිංහ හය වෙනි වරටත් අගමැති ලෙස දිවුරුම් දී භාර ගන්නේ, දේශපාලන අස්ථාවරභාවයේ කරවටක් ගිලී තිබූ රටක් පමණක් නොවේ. ‘නහයට උඩින්’ ආර්ථිකය ද ගිලී බංකොලොත්ව තිබූ රටක්ය.

අගමැතිකම සඳහා නම් කැඳවා සිටියේ මුත් සියල්ලෝ රට ගැන නොව තමන්ගේ දේශපාලන අනාගතය ගැන සිතා, කොන්දේසි පනවමින් තව තවත් රට හිර කළා පමණය. රනිල් වික්‍රමසිංහ, රට භාර ගත්තේ කොන්දේසි විරහිතවය. ඔහුට තිබුණේ රට ගොඩ ගැනීමේ අපේක්ෂාව මිස සිය දේශපාලන අනාගතය සඳහා සැලසුමක් නොවේ. අරගලයේ මුවාවෙන් දේශපාලන වාසි ගැනීමට තැත් කළ දනෝ ලෙයම ඉල්ලා සිටින කල්හි සිය ජීවිතය වුව ද නොතකා රනිල් එදා අගමැති නොවූයේ නම් මේ රටේ ඉරණම අදට වඩා බොහෝ වෙනස් වෙනවා ඇත.

දැන් ආර්ථිකය පිබිදී එන්නේය. මෙම වසරේ ආර්ථිකයේ වර්ධනය සියයට තුනක් වේ යැයි අපේක්‍ෂා කරන මට්ටමට රටේ ගමන ඉදිරියට ගොස් ඇත්තේය. විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන තරමේ ආර්ථික හයියක් රටට ශේෂ වී ඇත.

මේ සියල්ල පටි තද කරගෙන, ජනතාවගේ බෙල්ල මිරිකා, ලබා ගත් උදානයන් නොවේ.

දෙවන ලෝක යුද්ධය සඳහා චර්චිල් මුහුණ දෙන මොහොතේ ‘අනුන්ගේ යුද්ධයක් නිසා’ මේ රටේ ජනතාව ද බජිරි කන තත්ත්වයක් මතුව තිබුණි. ජනතාව වෙත සහනාධාර ලබා දුන් පළමු මොහොත එය විය. එදා සිට මේ දක්වා සහනාධාර සඳහා වැඩිම මුදලක් වෙන් කරන ලද්දේ සහ වැඩිම ජනතාවක් වෙත සහනාධාර ලබාදෙන ලද්දේ අස්වැසුම වැඩපිළිවෙළ යටතේය.

සින්නක්කර ඉඩම් අයිතිය සිහිනයක් වූ රටක ලක්ෂ විස්සක ජනතාව වෙත ඉඩම් අයිතිය ලබාදීම ආදිය බලන විට අප ගෙවී ගිය දෙවසර චර්චිල් හිට්ලර්ගෙන් මුදාගත් ලෝකය වැනිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division