පසුගියදා දෙරණ 360 වැඩසටහනේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම සඳහා “වැල් පාලමේ” ගමන් කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමඟ වැල් පාලම් කතාව සමාජ මාධ්‍ය ජාලාවල කැලඹීමක් ඇති කර තිබේ. වැල් පාලම මෑත කාලයේදී මුලින්ම සංවාදයට ලක් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඒ ඔහු ගෝඨාභය රාජපක්ෂ රජයේ අගමැති ධූරයට පත්වීමෙන් පසුවය.
2022 මැයි 09 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය. මැයි 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්විය. මැයි 16 වෙනිදා ඔහු අගමැතිවරයා ලෙස ජාතිය අමතා කතා කළේය. එහිදී වැල්පාලම කතාව ඔහු මහජනතාවගේ අවධානයට ලක්කළේ පහත සඳහන් අයුරිනි.
“මම භාර ගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෘෘෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල්පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙල ගැඹුරුයි. පතුල පේන්නේ නෑ. පාලම හදලා තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාලා තියෙනවා. ඒකෙ අඩියෙ තියෙන්නේ තියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නේ. මේ අභියෝගය මා භාර ගත්තේ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයකු, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනීම නොවේ. මුළු රටේම ජනතාව බේරා ගැනීමයි; මුළු රටම බේරා ගැනීමයි; තරුණ පරපුරේ අනාගතය බේරා ගැනීමයි. ජීවිතය පරදුවට තබා මේ අභියෝගයට මා මුහුණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගේම සහයෝගය මට දෙන්න. මා මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා. ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.
දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන ඇතැම් පිරිස්වලට වැටහීමක් නොතිබුණ නමුත් ගෘෘෂාගේ වැල්පාලම් තරණය පිළිබඳව තොරතුරු ඉදිරිපත් වන්නේ හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව නාට්‍යයෙනි. ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ CaucasianChalk Circle කෘතිය ආශ්‍රයෙන් හෙන්රි ජයසේන 1967දී හුණුවටයේ කතාව වේදිකාගත කළේය. රටේ කැරැල්ලක් ඇතිවී රට පාලනය කළ යුවරජු පරාජය වී මරණයට පත්වන විට ඔහුගේ බිරිය, ආයම්මා ඇතුළු සියලු දෙනා ඔහුගේ දරුවා එහි දමා පලා යති. ගෘෘෂා එම දරුවා රැගෙන දුෂ්කර ගමනකින් පසු සිය සොහොයුරිය හමුවට ගොස් දරුවා බේරාගන්නා අතර, දරුවාට අයිතිවාසිකම් කීමට පලා ගිය මව ඇතුළු පිරිස නැවත ඉදිරිපත්වීම ඇසුරින් මෙම නාට්‍යය ගොඩනැඟී ඇත. ගෘෘෂා වැල්පාලම තරණය කරන්නේ දරුවා බේරාගෙන සිය සොහොයුරිය වෙත යන ගමනේදීය. ප්‍රේක්ෂකයන් කම්පාවට හා ත්‍රාසයට පත්වන පාලම තරණය හුණුවටයේ කතාව නැරඹූ ඕනෑම කෙනකුට යළි ආවර්ජනය කළ හැකි යැයි සිතමි.
රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත පැවරී ඇති දුෂ්කර කාර්යය කොයිතරම් බැරෑරුම් එකක් ද යන්න පැහැදිලි කිරීම සඳහා ගෘෘෂාගේ වැල්පාලම් තරණය පිළිබඳ උදාහරණය යොදාගෙන තිබේ. ඔහුගේ ඉහත කී කතාවේදී රට මුහුණදී සිටි තත්ත්වය විස්තර කළ ආකාරයෙන් ඒ පිළිබඳ අදහසක් ඇතිකර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. “2019 නොවැම්බර් මාසයේදී අපේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 7.5 ක් තිබුණා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් මිලියන 5ක්වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයාදීමට හැකියාවක් නෑ”
“සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම්ම ගැටලු කිහිපයක් තියෙනවා. ඉදිරි දින කිහිපයේදී පෝලිම් පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනමින් අමෙරිකානු ඩොලර් මිලියන 75 ක් පමණ සොයාගත යුතුව තියෙනවා”. මේ වනවිට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි, ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. ඉන්දීය ණය ආධාර වැඩපිළිවෙළ යටතේ මැයි 19 සහ ජුනි 01 වෙනි දින තවත් ඩීසල් නෞකා 2 ක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා 2 ක් පැමිණීමට නියමිතව තියෙනවා. අදට දින 41 ට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොරතෙල් සහ දැවිතෙල් නෞකා 03 ක් නවතා තියෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළෙඳපොළෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරනවා. විදුලි අවශ්‍යතාවෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදා ගන්නෙත් ඉන්ධන. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15 ක් වීමටත් ඉඩ තියෙනවා.
එදා රනිල් වික්‍රමසිංහ මහතාට රටේ ජනතාව බේරා ගැනීමට වැල් පාලමේ යෑමට සිදුවු ආකාරය පිළිබඳව අදහසක් මීට දින කීපයකට පෙර, එනම් 2024 මැයි මස 09 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් ඇති කරගත හැකිය. ඔහු පෙන්වා දුන්නේ එදා වන විට ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 5 ඉක්මවන අගයකට ඉහළ නැංවී ඇති බවයි. ගෑස් නැව්ගත කිරිම සඳහා ගෙවීමට අවශ්‍ය ඩොලර් මිලියන 5ක්වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයාදීමට හැකියාවක් නැති බව අගමැතිකම භාරගෙන ජාතිය අමතමින් ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා, මේ මස 09 වෙනිදා ප්‍රකාශ කළේ රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එදා රටේ පැවති තත්ත්වය පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑම කෙනකුට එදා සහ අද තත්ත්වය පිළිබඳව පැහැදිලි වැටහීමක් ලබා ගැනීමට හැකිවේ. ගෑස් නැවක් ගෙන්වා ගැනීමට ඩොලර් මිලියන 5 ක් සොයා ගැනීම එදා දුෂ්කර කාර්යයක් වී තිබුණි. රට මුහුණදුන් අර්බුදයේ ස්වරූපය එය විය. එයින් ගොඩඒමට අගමැතිවරයාට තරණය කිරීමට තිබුණේ හුණුවටයේ ගෘෘෂාට ගමන් කිරීමට සිදු වූ වැල් පාලමටත් වඩා අතිශය බියකරු වැල් සිඳීගිය ලණුපටක් හරහායි. රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ගෘෘෂාටත් වඩා දුෂ්කර ගමනක් යාමට තමාට සිදුව ඇති බවයි.
2022 මැයි මස 16 වෙනි දින ඩොලර් මිලියන 5 ක් අත්‍යාවශ්‍යම දෙයකට සොයා ගැනීමට පවා නොහැකි වූ රටකට ඉන් වසර දෙකක් ගතවීමට පෙර අද වන විට තම සංචිතය මිලියන 5000 දක්වා වැඩිකර ගැනීමට හැකිවී තිබේ. එවැනි සාර්ථකත්වයක් අත්කරගෙන තිබුණ ද ජනාධිපතිවරයා තවමත් ප්‍රකාශ කර සිටින්නේ අර්බුදය සම්පූර්ණයෙන් විසඳී නැති බවත්, ඉදිරියට තවත් දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවන බවත්ය. එවැනි පසුබිමක පසුගිය මැයි 06 වෙනිදා දෙරණ 360 වැඩසටහනේදී කළිඳු කරුණාරත්න සහ අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සංවාදයේ කොටසක් ඒ අයුරින්ම පහතින් දක්වමි.
“අනුර කුමාර – අපි ආණ්ඩුවක් ගන්න මොහොතේදී මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙලා නැත්තම් සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමක් සඳහා අපි මැදිහත් විය යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා නම් අපි අර වැල්පාලමට ගියා කියල, මේ වැල්පාලමේ මැද ඉන්නේ. ආපහු වැටෙන්නත් බෑ, මේකෙම තමා ටික දුරක් අපිට ඉස්සරහට ……. එක එක එක …..
නිවේදකයා – ඔබතුමා භාර ගත්තා වැල්පාලමේ ඉතුරු ටික යන්න වෙනවා කියලා….
අනුර කුමාර – මේ මේ මේ ප්‍රතිව්‍යුහගත කර ගැනීම නැතිව මෙතනින් යන්න බෑ. දැන් එතකොට අපිට මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා මේ පාරේ යන්න වෙනවා.
නිවේදකයා – එකඟතාවක් නිර්මාණය වුනොත් ඒ අවසාන එකඟතාව ශ්‍රී ලංකා රජය සහ ණය හිමියන් සමඟ. ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ඔබතුමන්ලාගේ ආණ්ඩුවක් යටතේ යන්න ණය හිමියන් තමන්ගේ අභිලාෂය දෙන්න ඕන. එසේ නොවුණහොත් නැවතත් අපි බංකොලොත් තැනකට යනවා.
අනුර කුමාර – ඔව්. මම කියන්නේ, මම කියන්න හදන්නේ ඕක නොවෙයි. අපි අපේක්ෂා කරන එකඟතාව නෙවෙයි නම්, හරි නැවත අපිට ණය අර්බුදයක් ඇති වෙනවා. නැවත අපිට ණය ප්‍රතිව්‍යුගතකරණයකට යන්න සිද්ධ වෙනවා.
නිවේදකයා – එහෙම නැතුව ඔබතුමන්ලා ආවොත් ණය ප්‍රතිව්‍යුහගතකරණය…..
අනුර කුමාර – නෑ ඒක කරන්න බැහැනේ. ඒ කියන්නේ අපි කොහොමද රජය එකඟ වෙලා, ණය හිමියන් එකඟ වෙලා, ගෙවීමේ කාල රාමු එකඟ වෙලා, අපිට ගිහිල්ලා නැවත මීට වඩා ප්‍රශස්ත එකක් දෙන්න කියල අපිට යෝජනා කරන්න බැහැ.”
ඒ තුළ ඕනෑ නම් යමකුට රනිල් වික්‍රමසිංහ මහතා යාමට සූදානම් වූ වැල් පාලමේ ගමන හැර වෙනත් ගමනක් නැති බවටත් දැන් අනුර කුමාර මහතා වැල්පාලමට ගොඩවීමට සූදානම් වුවත්, රනිල් වික්‍රමසිංහ මහතා වැල්පාලමෙන් රට එතෙර කර ඇති බවක් වැටහෙනු ඇත.
මැයි මස 07 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කළ “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟවී රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ ඒ තියෙන දිසාවටම, ඒ මාර්ගයේම ගියොත් තමයි මේ ඇතිකරගෙන තිබෙන ආර්ථික ස්ථායීතාව ස්ථිරසාර ස්ථායීතාවක් බවට පත්කර ගත හැක්කේ”යනුවෙන් කළ ප්‍රකාශය ද ගෲෂාගේ වැල්පාලමේ ගීතය ද සිහියට නංවන්නකි. “ අපට පුතේ මඟක් නැතේ, මේ මඟග මිස…. යමං පුතේ” යන්නයි.
සුනන්ද මද්දුමබණ්ඩාර
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය