ලෝක ප්‍රකට BTS සංගීත කණ්ඩායම මේ දිනවල සංගීත කටයුතුවල නිරත වන්නේ නැහැ. ඒ එම කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනාම දකුණු කොරියානු හමුදාවේ සේවයට බැඳී සිටින නිසයි. ඔවුන් සංගීත කටයුතුවලින් ඈත්ව සිටීම එම කණ්ඩායමේ බොහෝ රසික රසිකාවියන් තුළ යම් කනගාටුවක් ඇති කර තිබෙන බවත් රහසක් නොවෙයි. කෙසේ හෝ වේවා, මෙම රසික පිරිස තුළ යම් සතුටක් ඇති කළ හැකි කාරණයක් ද පසුගිය දිනවල වාර්තා වුණා. එනම් — BTS කණ්ඩායමේ වැඩිමල්ම සාමාජිකයා වන ජින් ලබන මාසයේ සිය හමුදා සේවය අවසන් කිරීමට නියමිත බවයි. කණ්ඩායමේ සාමාජිකයන් අතරින් ඔහු තමයි මුලින්ම හමුදාවට බැඳුණේ. ජින් හමුදා සේවයට එක් වුණේ 2022 වසරේ යි.
වයස අවුරුදු 18ට වැඩි සෑම දකුණු කොරියානු පිරිමියකුම අනිවාර්යයෙන්ම යම් කාලයක් හමුදාවේ සේවය කළ යුතුයි. ඒ අනුව තමයි BTS සාමාජිකයනුත් හමුදාවට බැඳුණේ. මේ වනවිට ජින්ගේ වයස අවුරුදු 31ක්. ඔහු හමුදා සේවයට එක් වූයේ ඔහුගේ 30 වැනි උපන් දිනය යෙදී තිබූ 2022 දෙසැම්බර් මාසයේ යි. ජින්ගේ උපන් දිනය 1992 දෙසැම්බර් 4 වැනි දා යි.
මේ වනවිට ජින් මාස 18ක කාලයක්, එනම් අවුරුදු එකහමාරක් හමුදාවේ සේවය කර තිබෙනවා. ජුනි මස 12 වැනි දින ඔහු එහි සේවය අවසන් කිරීමට නියමිත යි. ඒ සඳහා ඇත්තේ හරියටම තව මාසයක කාලයක් පමණයි. මෙම ආරංචිය මේ වනවිටත් ජින් ගේ රසික රසිකාවියන් සතුටට පත් කිරීමට හේතු වී තිබෙනු සමාජ මාධ්‍ය තුළ ඔවුන් පළ කරන සටහන්වලින් දැක ගත හැකියි.
පසුගිය වසරේ ජින් සිය උපන් දිනය සැමරුවේ හමුදා කඳවුරේ යි. එම අවස්ථාවේ ඔහු සිය සමාජ මාධ්‍ය පිටුවක සංවේදී සටහනක් තබා තිබුණා. තමා හැම අවුරුද්දකම සිය රසිකයන් සමඟ උපන් දිනය සැමරීමෙන් විශාල සතුටක් ලැබූ නමුත් මේ වසරේ එසේ කරන්නට නොහැකි වීම තමා තුළ කනගාටුවක් ඇති කරන බවයි ජින් පවසා තිබුණේ.
“මම හමුදාවට බැඳිලා මේ වනවිට අවුරුද්දක් ගත වෙලා ඉවරයි. තවත් දිගු කාලයක් ඉතිරි වී තිබෙනවා. නමුත් ඔබලා අතරට නැවත පැමිණීම ගැන සිතද්දී දැනටත් මගේ සිත නොසන්සුන් වෙනවා.” ජින් තවදුරටත් සඳහන් කර තිබුණා.
ජින් හෙවත් කිම් සොක්-ජින් BTS කණ්ඩායමේ ගායකයකු ලෙස සිය කටයුතු ආරම්භ කළේ 2013 වසරේ යි. එදා සිට මේ දක්වා ඔහු සිය දක්‍ෂතා තුළින් රසිකයන් අතර සුවිසල් ජනප්‍රියත්වයක් දිනාගෙන සිටිනවා. අද ගායකයකු ලෙස ලෝක ප්‍රසිද්ධියක් දිනා සිටියත් මුලින් ඔහුට අවශ්‍යව තිබී ඇත්තේ නළුවකු වීමට යි. කලක් ඔහු මාධ්‍යවේදියකු වීමටත් සිතාගෙන සිටි බව පැවසෙනවා. නළුවකු වීමේ සිහිනය සිත තබාගෙන සිටි ජින් විශ්වවිද්‍යාලයකට බැඳී සිනමාව ගැන ඉගෙන ගෙනත් තිබුණා.
BTS රසික රසිකාවියන්ට තවත් සතුටුදායක පුවතක් පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබෙනු දැක ගන්නට ලැබුණා. එනම් ඔවුන් ලබන වසරේ ලොව පුරා සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වීමට ඉඩ ඇති බවයි. ඔවුන් එය පවත්වනු ඇත්තේ කණ්ඩායමේ සියලු දෙනා හමුදා සේවය අවසන් කිරීමෙන් පසුව යි. අන්තිමටම හමුදාවට බැඳුණු ජිමින් සහ ෂුන්කුක් හමුදා සේවය අවසන් කරන්නේ 2025 ජුනි මාසයේ යි. සංගීත ප්‍රසංග මාලාවක් පවත්වනවා නම් එය ආරම්භ කරනු ඇත්තේ එයින් පසුව යි.
BTS කණ්ඩායමේ කටයුතුවලට සම්බන්ධ සමාගමක කෙනෙකු මේ ප්‍රසංග මාලාව ගැන පවසා තිබුණත් තවමත් එය නිල වශයෙන් තහවුරු කර නැහැ. එසේ වුවත් මේ ආරංචිය නිසා BTS රසික රසිකාවියන් මහත් උද්දාමයට පත්ව සිටිනු දැකිය හැකියි. මෙම ප්‍රසංග මාලාවට ප්‍රසංග 50ක් පමණ ඇතුළත් වීමට ඉඩ ඇති බවකුත් සඳහන්ව තිබුණා.
කසුන් අරවින්ද