“ආදරේ පාට දෑසක්
ඒ දෑස කියන රහසක්
අහගන්න විදින වෙහෙසක්
ඔබ තාම දන්නෙ නෑ
ඔබ තාම දන්නෙ නෑ
දවස දවස අලුත් වන බැඳීම් හරි පුුදුමයි. ඒ බැඳීම් සමඟ එන ආදරය ඊටත් වඩා පුදුමයි. තරුණියක තරුණයකු ආදරෙන් බැඳෙන්නේ කොයි මොහොතෙ ද කියලා කාට ද කියන්න පුළුවන්. ඇතැම්විට දෙදෙනාම දැන හඳුනා නොගත්තත්, තනි හිතින් ආදරේ හිතේ තියාගෙන දුක්වන, විඳවන අය අපි අනන්තවත් දැකලා තියෙනවා. ආදරෙයි කියලා වචනයෙන් නොකිව්වත් ඇස් කොණින් ආදරේ ප්‍රකාශ කරලා වෙන් වෙච්ච පෙම්වතුන් මෙන්ම ජීිවිතේ එක වහලක් යටට වුණ පෙම්වතුන් ද අපට මේ සමාජයේ එදා මෙදාතුර කොතෙක් නම් හමුවෙලා තියෙනවද? ඔය කොහොම කිව්වත්, කවුරු මොනදේ කිව්වත් ආදරය කරන හිත් හරි පුුමයි. දවස් ගණන් නෙමෙයි මුළු ජීවිත කාලයම ආදරේ හිත අස්සේ සඟවාගෙන ජීවිතේම විඳවන හිත් අපට හමුවෙලා තියෙනවා. සමහර වෙලාවට අපට මෙහෙම හිතෙනවා ‘අයිති කර ගන්නම ඕන නෑ ….ඒ්ත් මට එයාට ආදරය කරන්න තිබුණොත් ඇති‘ කියලා. ඔය කොහොම වුණත් ඔය හැම හිතක් ගැනම නිර්මාණකරුවකුට හරි අපූරුවට ලියන්න පුළුවන්. එහෙම ලියැවුණ සුන්දර පද පෙළක් තමයි “ආදරේ පාට දෑසක්“ කියන ගීතය.
අලුත්ම ගී අතර වෙනස්ම රසයක් දුන් මේ ගීතය ලියන්නේ ජනප්‍රිය ගී රැසක් ලියා ඇති නාරද විජේසූරිය. කලකට පෙර වෘත්තියෙන් ගුරුවරයකු වන ඔහු දැන් වැඩිපුරම කාලය ගෙවන්නේ රටින් රට සංචාරය කරමින්. ඇතැම් විට ඔහු නරඹන දකින සොඳුරු තොරතුරු මුහුණු පොත හරහා ද පොතක ලියා පළ කරමින් ද අපට තොරතුරු ගෙන එනවා.
නාරද විසින් ලියන ලද මේ ගීතය ගයන්නේ නව පරපුරේ ගායිකාවක වන අංජලී හේරත්. ගීතය සංගීතවත් කරන්නේ අනුරාධ අබේසිංහ.
‘ආදරේ පාට දෑසක්‘මේ දිනවල ලංකාවේ ගත කරන නාරදගෙන් අපි ඇහුවා මේ ගීතය ලියැවෙන්න බලපාපු හේතු සාධක සහ අදහස ගැන.
“මිනිස්සු ආදරේ ප්‍රකාශ කරන්නේ ඇස්වලින්. සමහර වෙලාවට කෙනකුට නොතේරෙන්න පුළුවන්. ඒ තමන්ගේ හිත ගිය කෙනා එක්ක අපි මුලින්ම කතා කරන්නේ ඇස්වලින්. එහෙම ආදරේ පිරුණු ඇස් තියෙනවා. කෙනෙක් කිව්වොත් ආදරේට පාටක් නෑ කියලා ඒක පිළිගන්න බෑ . ආදරේට පාටක් තියෙනවා. ඒ පාට ගැන තේරුම් ගන්න පුළුවන් සැබෑ ආදරවන්තයන්ට පමණයි. ඒ පාට ගැන දැන ගන්නම් ආදරයක පැටලෙන්නම ඕන. ආදරය ගැන වචනයෙන් ප්‍රකාශ කරලත් නැතිව දුරින් ඉන්න අනෙකාගේ ආදරය දැනුණාම හිතට දැනෙන හැඟීම් වචනයෙන් විස්තර කරන්න අපහසුයි. ඒ අපහසුව ගැන තමයි මේ කියන්නේ. අපි බලාගෙන ඉන්නවා අපේ හිත ගිය කෙනා හමුවන තුරු. ආදරේ පිරුණ ඇස්වලින් වරු ගණන් එකිනෙකා දිහා බලාගෙන ඉන්න පුළුවන්. ආදරය ගැන වචනයෙන් කතා නොකර ඉන්න පුළුවන්. ඒත් කතා කරන ඇස්වලට දැනෙන ඒ ආදරේ හරි මිහිරියි. ඒක හරියට භාවනාවක් වගෙයි. මම ඔන්න ඔය අදහස එන්න තමයි ගීතය ලිව්වේ.
මම මේ ගීතය අංජලීට දුන්නේ ඇය තරගය ජයග්‍රහණය කරන්නත් කලින්. ඇය හරිම දක්ෂ ගායිකාවක්. ඒ වනවිටත් අංජලීට ආදරය කරන ලක්ෂ ගණනක් ප්‍රේක්ෂකයන් හිටියා. අංජලී ගැන මට මුලින්ම කියලා ඇයට ගීතයක් ලියමු කියන යෝජනාව ගෙනාවේ එංගලන්තයේ ඉන්න නෝනා කෙනෙක්. මේක පටිගත කරන දවසේ මම ලංකාවේ හිටියේ. සාමාන්‍යයෙන් මට පුරුද්දක් තියෙනවා මම සින්දුවක් ලිව්වාම ඒ සින්දුවේ වචන උච්චාරණය, පද බෙදීම ගැන හරිම සැලකිලිමත් වෙනවා. අංජලීට මම මුලින්ම ගීතයේ වචන යැව්වා. නමුත් ඇය ඒ දිනවල බොහෝම කාර්යබහුලයි. ඇයට ඒ ගැන පෙර පුහුණුවීම් කරන්න බැරි වෙලා තිබුණා. අපි මුලින්ම හමුවුණේ සින්දුව රෙකෝඩ් කරන දවසේ. පෙර පුහුණුවක් නැති වුණාට එදා අංජලී එක වරින්ම ගීතය ගායනා කළා. ඒ හරිම වටිනවා. ගීතයේ තනු නිර්මාණය සහ සංගීතය නිර්මාණය කළේ අපට සිටින දක්ෂ ශිල්පියකු වන අනුරාධ අබේසිංහ. අනුරාධ මේ වෙනුවෙන් ලොකු මහන්සියක් ගත්තා. අද වන විට ගීතයට තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දැක්කාම මට බොහෝම නිහතමානී සතුටක් දැනෙනවා.“
මින් පෙර ද ප්‍රේම ගී රැසක් ලියා ඇති නාරද හැමවිටම විවිධ අත්දැකීම් ඔස්සේ හරි අපූරු ලෙස ප්‍රේමය පසුබිම් කරගනිමින් හදවතට කතා කරන පද පබඳින්නට දක්ෂය.
ඉනෝකා සමරවික්‍රම