Home » රට වටේ යන ගමන් මිනිසුන් අන්දා රන්වලට විදින රත්නපුරේ හොර ජෝඩුව

රට වටේ යන ගමන් මිනිසුන් අන්දා රන්වලට විදින රත්නපුරේ හොර ජෝඩුව

by thanushika
May 18, 2024 12:30 am 0 comment

සොරකම්, කොල්ලකෑම් සිදුකරන පුද්ගලයේ විවිධ අවස්ථාවල විවිධ වෙස් ගනිති. එලෙස වංචනික ක්‍රියා සිදුකර ජනතාව මුළාවේ දැමූ යුවළක් අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් පිරිසකට හැකි වූයේ පසුගියදාය. තැන තැන ඇවිදිමින් මඟතොටදී හමුවන යමක්-කමක් තිබෙන බව හැඟෙන අය සමඟ හාද වෙමින් ඒ අය සතු කණකර, මුදල් මෙන්ම ජංගම දුරකතන ද කොල්ලකෑ එම යුවළ අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන්ට හැකි වූයේ එම නිලධාරීන් සිදුකළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය.

අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරිගේ මෙහෙයවීමෙන් විමර්ශන අංක 3 ස්ථානාධිපති ඩී.එල්.පී.එස්. බාලසූරිය ඇතුළු කණ්ඩායම සිදුකළ පුළුල් විමර්ශනයකින් වංචනික ක්‍රියා සිදුකළ යුවළ අත්අඩංගුවට ගැනුණු ආකාරය පොලිස් පොත්වල ලියැවෙන්නේ මෙලෙසිනි.

පසුගිය දිනෙක අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබුණේ තලාව, මල්වානේගම පදිංචි 19 හැවිරිදි තරුණියකගෙනි.

“සර්… මං කෙනෙකුට රැවටුණා… එයා බොරු කියලා මාව අනුරාධපුර ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් ගාවට යැව්වා… මං ඒ මනුස්සයට මගේ රත්තරන් බඩුයි ෆෝන් එකයි දීලා තමයි ඩොක්ට ගාවට ගියේ… බලනකොට ඒ මිනිහා කියපු එහෙම දොස්තර කෙනෙකුත් නෑ… මං මිනිහා කියපු තැනට ගිහින් එනකොට ඒකා මගේ බඩු ටිකත් අරන් පැනලා ගිහින්… මට කොහොමහරි මගේ බඩු ටික හොයලා දෙන්න සර්…“ යැයි එම තරුණිය හැඬු කඳුළින් යුතුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් ඉදිරියේ පැමිණිල්ල කළාය.

එම පැමිණිල්ලට අනුව රත්රන් සහ ජංගම දුරකතනයක් වංචා කර තිබිණි. එහි වටිනාකම රුපියල් හත්ලක්ෂ විසිහත් දහස් හත්සීය පනහකි. අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලැබුණු එම පැමිණිල්ල වැඩිදුර විමර්ශනය සඳහා අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත යොමු කෙරුණේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙතය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරිගේ මෙහෙයවීමෙන් එම විමර්ශනය බාර කෙරුණේ විමර්ශන අංක 3 ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩී.එල්.පී.එස්. බාලසූරිය ඇතුළු කණ්ඩායම වෙතය.

සති තුනකට පමණ පෙරදී අනුරාධපුර මූලස්ථාන පොලිසියට තලාව, මල්වානේගම පදිංචි අදාළ තරුණිය කරන ලද පැමිණිල්ල පිළිබඳව උපපොලිස් පරීක්ෂක බාලසූරිය පුළුල් විමර්ශනයකට මුල පිරුවේ එම සොරකම ගැන තොරතුරුකරුවන් ද දැනුම්වත් කරමිනි. එහිදී පෞද්ගලික තොරතුරුකරුවකුගෙන් උපපොලිස් පරීක්ෂක බාලසූරියට විශ්වසවන්ත තොරතුරක් ලැබුණේ පසුගිය දිනෙකය.

“බාලසූරිය මහත්තයා… ඔය කියන කපල් එකේ ගෑනු කෙනා වගේ කෙනෙක් මීට දින කීපයකට කලින් තලාවේ ටවුන් එකේ හිටියා… හැබැයි එයා දැන්නම් ඉන්නේ රත්නපුරේ…“ යැයි එම තොරතුරුකරු පොලිස් නිලධාරීන් එසේ දැනුම්වත් කළේය.

ඒ අනුව තොරතුරුකරු කී එම කත සිටි රත්නපුර, කොස්ගල, කහංගම නිවසක් ගැන හෙළි වීමත් සමඟ උපපොලිස් පරීක්ෂක බාලසූරිය ඇතුළු කණ්ඩායම අනුරාධපුරයේ සිට රත්නපුර, කොස්ගල, කහංගම අදාළ නිවස සොයා ගියහ.

එම නිවසේ සිටියදී අදාළ කාන්තාව පොලිසිය බාරයට ගත්ත ද ඇය සමඟ සොරකමට සම්බන්ධ වූ පිරිමි පුද්ගලයා එම නිවසේ ඒ මොහොතේ නොවීය.

“කෝ… තමුන් සමඟ හොරකමේ ගිය පිරිමියා…?“ පොලිස් නිලධරයෝ ඇගෙන් එසේ ප්‍රශ්න කළහ.

“සර්… එයා දැන් ඉන්නේ බන්ධනාගාරේ….“ යැයි පොලිස් බාරයට ගත් කාන්තාව කීවාය.

එසේම ඇය පොලිසියට හෙළි කළේ ඔහු තමාගේ අනියම් සැමියා වන ‘ඉන්දික පුෂ්පකුමාර‘ බවය. ඔහු දැනට අයිස් මත්ද්‍රව්‍ය සමඟ හසුවී ගාල්ල බන්ධනාගාරයේ පසුවන බව ද ඇය පොලිස් නිලධරයන්ට පැවැසුවාය.

එම කාන්තාව පදිංචිව සිටි නිවස පරීක්ෂාවේදී තලාවේ තරුණියගෙන් සොරකම් කරන ලද ජංගම දුරකතනය එම නිවසේ තිබී සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය. අනතුරුව පොලිසිය බාරයට ගත් සැකකාර කාන්තාව අනුරාධපුරයට රැගෙනවිත් පොලිස් නිලධාරීන් වැඩිදුර ප්‍රශ්න කළේ සොරකම් කළ රත්රන් ගැන විමසමිනි.

“කෝ… අර ගෑනු ළමයගේ රත්රන් බඩු ටික…?“ පොලිස් නිලධරයෝ සැකකාරියගෙන් තදින් විමසූහ.

“සර්… ඒ රත්රන් ටික හොරොව්පොතානේ ජුවලරි එකකට විකිණුවා…“ යැයි ඇය ප්‍රකාශ කළාය.

ඒ සමඟම ක්‍රියාත්මක වූ උපපොලිස් පරික්ෂක බාලසූරිය ඇතුළු කණ්ඩායම ඇය ද රැගෙන හොරොව්පොතානට ගොස් ස්වර්ණාභරණ වෙළෙඳසලකට විකුණා තිබූ එම රත්රන් පොලිසිය බාරයට ගැනීමත් සමඟ එතෙක් පොලිසිය බාරයේ සිටි එම කාන්තාව අත්අඩංගුවට ගැනිණි.

විමර්ශන නිලධරයෝ අනතුරුව අනුරාධපුරයේ සිට ගාල්ල බන්ධනාගාරයට පැමිණ ඉන්දික පුෂ්පකුමාරගෙන් ද ප්‍රශ්න කළහ. අත්අඩංගුවට ගත් කාන්තාව 41 හැවිරිදි රසිකා නිරංජිය. ඇය ඉන්දික හා අනියම් සබඳතාව පවත්වාගෙන යාමට පෙර විවාහ වූ කතකි. එම විවාහයෙන් පසු ඇයට මීට වසර 5කට පමණ පෙරදී මුණගැසුණේ ඉන්දික පුෂ්පකුමාරය. 34 හැවිරිදි ඉන්දික රත්නපුර, මොරපිටියේ පදිංචිව සිටි අයෙකි.

රසිකා නිරංජිගේ හමුවීමත් සමඟ ඉන්දික ද ඇගේ පදිංචි නිවස පිහිටි කොස්ගල, කහංගම නිවසට ගියේය. එම නිවසේ රසිකා සහ ඉන්දික සමඟ රසිකාගේ මව ද ජීවත් වූවාය.

අත්අඩංගුවට ගත් රසිකා, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එම සොරකමේ විමර්ශන එලෙස සිදු වෙද්දී විමර්ශන නිලධාරීන්ට තොරතුරුකරුවකු මාර්ගයෙන් තවත් තොරතුරක් ලැබිණි.

“සර්… අර ගෑනු කෙනා ඇරස්ට් කළ ගෙදර වළ දාලා තව ෆෝන් වගයක් තියෙනවා කියලයි ආරංචිය…“ යැයි කියමින් තොරතුරුකරුවකු විමර්ශන නිලධාරීන් දැනුම්වත් කිරීමත් සමඟ විමර්ශන අංක 3 ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක බාලසූරිය ඇතුළු කණ්ඩායම නැවත රත්නපුරේ, කහංගම රසිකා පදිංචි නිවසට ගොස් එම නිවස නැවත පරීක්ෂා කළහ. එහිදී නිවසේ ගබඩා කාමරයක සඟවා තිබූ ජංගම දුරකතන 17ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. ඊට අමතරව ඒටීඑම් කාඩ්පත් තුනක් ද සොයා ගැනීමට පොලිසිය සමත් විය.

ඒ මොහොතේ නිවසේ සිටියේ රසිකාගේ මව පමණි. ඇය 74 හැවිරිදි කාන්තාවකි. ඇගෙන් ප්‍රශ්න කළ ද ඇය කීවේ ම එම භාණ්ඩ තම දියණියට ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.

“හැබැයි සර් ඒ දෙන්නා ගෙදරින් එළියට ගිහින් දවස් දෙක තුන ඉඳලා එන අවස්ථා තිබුණා…“ යැයි එම වැඩිහිටි කත පොලිසියට කීවාය.

එලෙස මේ යුවළ නිවසින් ගොස් තිබුණේ තමන් පාණදුර ප්‍රදේශයේ බේකරියක් පවත්වාගෙන යන බවට කහංගම ගම්වැසියන්ට ද ‘බොරු බේගලය‘ක් ඇද බාමිනි. පොලිස් නිලධරයෝ ගාල්ල බන්ධනාගාරයට ගොස් නැවත ඉන්දිකගෙන් ප්‍රශ්න කළහ.

“තමුන්ට කොහෙන්ද අර හෑන්ඩ් ෆෝන්…?“ පොලිස් නිලධාරියෙක් ඉන්දිකගෙන් එලෙස ඇසීය.

“සර්… ඒවා බූරු ගහන්න ගියාම උකස් ගත්තු ඒවා… ඒ ෆෝන් තමයි දැන් සර්ලා දැක්කේ…“ යැයි ඔහු කීවද එය අසත්‍යයක් බව පොලිස් නිලධාරීන් සිදුකළ පුළුල් විමර්ශනයෙන් අනතුරුව හෙළිදරව් විය. ඒ අනුව ඉන්දික සහ රසිකා රටපුරා යමින් සිදුකර ඇති සොරකම් සහ වංචනික ක්‍රියා පිළිබඳව හෙළිවන්නේ මෙවැනි කතාවකි.

නිවසින් පිටත්වන මේ දෙදෙනා බස් රථයකට ගොඩ වෙති. එමඟින් කොළඹට හෝ කුමන දිශාවකට හෝ ගමන් කරති. බස් රථයේදී ද කිසියම් කෙනෙකු සමඟ හාද වීමට ඔවුහු මාන බලති. එහෙත් ඊට ඉඩ ප්‍රස්ථාවක් නොලැබුණහොත් බස් රථයෙන් බැස සිටින විටදී හෝ කිසියම් අයකු සමඟ හාද වන්නට කටයුතු කරයි.

ඒ අනුව මේ දෙදෙනාට අනුරාධපුරේදී හමුවන්නේ තලාවේ, මල්වානේගම 19 හැවිරිදි තරුණියකි. ඇය අනුරාධපුර නගරයට පැමිණ තිබුණේ උපකාරක පන්තියකට යාමටය.

“නංගි මට ඔයාව හොඳට දැකලා පුරුදුයි… ආදි නොයෙක් ‘චාටූ‘ බස් කියමින් එම තරුණිය සමඟ ඉන්දික කුලුපගතාවක් ඇතිකරගෙන තිබිණි.

“නංගි මං දන්න මගේ හිතවත් දොස්තර කෙනෙක් ඉන්නවා… අනුරාධපුර හොස්පිට්ල් එකේ… එයා ඔයාලා වගේ දුප්පත් ළමයින්ට හරියට උදවු කරනවා… ඒ දොස්තර මහත්තයට පිටරටින් ආධාර වගයකුත් ලැබිලා තියෙනවා… ලැප්ටොප්… ස්මාර්ට් ෆෝන්… ටැබ් වගේ ඒවත් තියෙනවා. ඩොක්ටර් දුප්පත් දරුවන්ට ඒවා බෙදලා දෙනවා… ඉගෙන ගන්න ළමයින්ට සෑහෙන්න උදවු කරනවා… ඩොක්ටර් හම්බවෙන්න ගියොත් නංගිට මොනවහරි දෙයක් ගන්න පුළුවන් වෙයි…“ යැයි ඔහු කී විට එකපයින් ඊට කැමැති වූ එම තරුණිය ඉන්දික සහ රසිකා සමඟ අනුරාධපුර රෝහලට ගියහ.

“නංගි ඔහොම පොඩ්ඩක් ඉන්න… මං ගිහින් ඩොක්ටර් ඉන්නව ද බලලා ඔයා ගැන විස්තර කියලා එන්නම්… ඊට පස්සේ ඔයා යන්න…“ යැයි ඉන්දික ඇයට පවසා ඔහු වෛද්‍යවරුන්ගේ කාමරයක් අසලට ගොස් නැවත පැමිණියේය.

“නංගි ඩොක්ටර් ඉන්නවා… ඔයා ඉක්මනටම යන්න… හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා… ඔයා ඔය විදිහටනම් ගියොත් ප්‍රශ්නයක්… ඔයා දුප්පත් ළමයෙක් වගේ රඟපාන්න ඕනේ… ඒක නිසා ඔය රත්තරන් බඩුයි ෆෝන් එකයි ගලවලා පැත්තක තියලා ගියානම් හොඳයි…“ කියමින් ඉන්දික එම වෛද්‍යවරයා සිටින ස්ථානය යැයි කියන කාමරය අසලටම ගොස් තරුණිය ගැලවූ රත්රන් සහ ජංගම දුරකතනය ද ඉල්ලා ගන්නේ වෛද්‍යවරයා හමුවී පැමිණෙන තෙක් තමන් සන්තකයේ තබාගන්නා බව ඇයට කියමිනි.

එලෙස ඇගෙන් රත්රන් සහ ජංගම දුරකතනය ලබාගත් ඉන්දික සහ රසිකා එම ස්ථානයෙන් පලා යන්නේ ගොදුරක් ඩැහැගත් කුරුල්ලෙකු මෙනි. වෛද්‍යවරයා හමුවට යන තරුණිය ගිය සැණින් නැවත පැමිණෙන්නේ තමන් එවැනි පුද්ගලයකුගේ ඡායාවක්වත් නුදුටු හෙයින් ඉන්දික හට ඒ බව පැවැසීමටය.

එහෙත් ඇය එන විට සියල්ල සිදුවී හමාරය. එම යුවළ එම ස්ථානයෙන් පලා ගොසිනි. එසැණින් තරුණියට හැඟී ගියේ ඇය කූට ජාවාරම්කාරයකුට හසුවී ඇති බවයි. ඒ අනුව ඇය දිව ගියේ රුපියල් හත්ලක්ෂ විසිහත්දහස් තුන්සීය පනහක් වටිනා තම රත්රන් සහ ජංගම දුරකතනය රැගෙන යුවළක් පලා ගිය බවට පැමිණිලි කිරීමට අනුරාධපුර මූලස්ථානය පොලිසිය වෙතය.

එම පැමිණිල්ල අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සිදුකළ විමර්ශනයෙන් ඉන්දික සහ රසිකාගේ දෑත්වලට මේ වන විට මාංචු වැටී අවසානය. මේ වන විට පොලිස් නිලධාරීන් සිදුකළ එම විමර්ශනයෙන් අනාවරණය වන්නේ දෙදෙනා එක්ව වසර හතර පහක පමණ කලෙක සිටම රටේ විවිධ පළාත්වලට ගොස් එලෙස තරුණ තරුණියන් රැසකටම වංචා කර ඇති බවය. එම වංචාවන් මඟින් රුපියල් ලක්ෂ ගණනක සොරකමක් මේ යුවළ විසින් සිදුකර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අනුරාධපුර-පොලොන්නරුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත පොලිස් අධිකාරි ධර්මදාස අධිකාරිගේ අධීක්ෂණයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරිගේ මෙහෙයවීමෙන් විමර්ශන අංක 3 ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ඩී. එල්. පී. එස්. බාලසූරිය, සැරයන්වරුන් වන (82122) කැලුම්, (105195) රවින්ද්‍ර, කොස්තාපල්වරුන් වන (37292) ඩග්ලස්, (33910) ජානක, (39938) අසංක, (75187) අබේසිංහ සහ කොස්තාපල් රියැදුරු (33601) උද්දික යන නිලධාරිහු වැටලීමට එක් වූහ.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division