Home » මියයන බව දැන ජීවත්ව අවසන් මොහොතෙන් ද මට ජීවිතය කියාදුන් පියා

මියයන බව දැන ජීවත්ව අවසන් මොහොතෙන් ද මට ජීවිතය කියාදුන් පියා

by Mahesh Lakehouse
May 18, 2024 12:30 am 0 comment

 විසින් මෙතෙක් ලියන ලද කිසිදු ලිපියක් ලිවීමට මේ තරම් අසීරු වී නැත. වචනයේ පරිසමාප්ත අර්ථයෙහිම පියකු නම් ඔහු තම ජානමය ප්‍රතිභා, දැනුම, ජීවන දර්ශනය, භෞතික උරුම, දායාද උපරිමයෙන් ස්වකීය දූ දරුවන් වෙත පවරා දීමට දැනුම්වත්ව හෝ නොදැනුවත්ව ක්‍රියා කිරීමෙහි කිසිදු අරුමයක් නැති. ශ්‍රේෂ්ඨ පියවරුන් එසේ කළ පමණින්ම දූ දරුවෝ මේ සියල්ල අවශෝෂණය කොට නොගනිති. ඒ සඳහා මංගල සුතුරට අනුව සුදුසු පරිසරයක ජන්ම ලාභය ලැබූවත් (පතිරූපදේස වාසෝච) පෙරපින් ඇති බව (පුබ්බේ ච කතපුඤ්ඤතා) සම්පූර්ණ විය යුතුය. එහෙයින් තාත්තා මා හට දුන් සියලු සාධනීය දේ එකක් නොහැර මම උරා ගතිමි. එතුමා දිවංගත වූයේ මා තුළ ඔහු ජීවත් කරවමිනි. මගේ සිරුරෙහි දිවෙන ස්වකීය රුහිරු ධාරාව මතු නොව ජාන පද්ධතිය සේම ඒ විසල් දැනුම් සම්භාරය ද මා තුළ එතුමෝ සුගෝපිත කළහ. එතරම්ම දුර්ලභ, ශ්‍රේෂ්ඨ පියෙකි, එතුමා.

“පුතු සෙනේ මස් නහර හම සිඳ ඇට සොයා ගොස් ඇට තුළට වැද ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා” යනුවෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් “සිංහබාහු” පතිකෘතියෙහි කී පිය සෙනෙහස ප්‍රත්‍යක්ෂ වශයෙන්, තාත්තා එකම පුතු ලෙස මවෙත පෑ අනන්ත අපරිමිත දරු සෙනෙහසෙන් මම දුටිමි. එකී “පිය සෙනේ” මට දැනුණේද එලෙසින්මය. එහෙයින් “පුතු සෙනේ පිය හද තුළම මිස නැත පුතුන් හද තුළ රඳන්නේ” යනුවෙන් එහිම සරච්චන්ද්‍රයන් කී බස් මම මට සාපේක්ෂව ප්‍රතික්ෂේප කරමි.

සංසාර විෂ වෘක්ෂස්‍ය
ද්වය මේවා මෘතේ ඵලේ
සුභාෂිත රසාස්වාද :
සජ්ජනේෂුච සංගම:

අප සියලු දෙනම සැරිසරන්නා වූ මේ භයංකර වූ සංසාරය නමැති විෂ රුකෙහි අමා ඵල දෙකක් තිබේ. උසස් කලා රසඥතාව ඉන් එකකි. අනෙක සජ්ජනයන්, බහුශ්‍රැතයන් ඇසුරු කිරීමය. එකී අමෘත ඵල ද්වයම තාත්තා මා හට ලබා දුන්නේය. එතුමෝ කවර කලා මාධ්‍යයක වුව ද සම්භාව්‍ය කෘති රසාස්වාදයෙන් තියුණු රසඥතාවක්, පරිචයක් වගා කර ගනු පිණිස මා හට අනුබල දුන්හ. ඉන් නොනැවතී නා නා විධ බහුශ්‍රැතයන්ගේ, සකල කලා විබුධයන්ගේ සේවනයට මා පත් කළහ. ඔවුන් හා ඉන් ඉදිරිව මා හට ශිල්ප දුන්හ. ජීවිතයේ භෞතික වස්තූන්ට වඩා ගුණ නුවණෙහි අගය වටහා දුන්හ. මා බහතෝරන වියේ සිට පියාණන් වටා සිටි මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ කලාකරුවන්, පඬිවරුන්, ප්‍රාඥයන් ඇසුරෙහි මම වැඩුණෙමි. ඉන් ඇතැමුන් මධු මද මුදිතව වුවත් පැවසු සුබසින්, අනුභූතීන්ගෙන්, තර්ක, විතර්ක, විසංවාදවලින්, සම්භාෂණවලින් මා ලද සුපෝෂණය විශ්වවිද්‍යාලයක ශාස්ත්‍රෝද්ග්‍රහණයටත් වඩා ප්‍රශස්ත විය. “මේ මගේ අනර්ඝ උරුමයයි” යනුවෙන් කලා වැව පෙනවා ධාතුසේන රජු කීවාක් මෙන් තාත්තා මට නිවෙසේ මහා පුස්තකාලය පෙන්වීය.

ඒ. ඩී. රන්ජිත් කුමාර, බිරිය දමයන්ති ජයසූරිය, පුතු නුවන් නයනජිත් කුමාර, ලේලිය නදීකා සහ මුනුපුරන් වෙන නිරාශ් හා නිර්වාන් සමඟ

ඒ. ඩී. රන්ජිත් කුමාර, බිරිය දමයන්ති ජයසූරිය, පුතු නුවන් නයනජිත් කුමාර, ලේලිය නදීකා සහ මුනුපුරන් වෙන නිරාශ් හා නිර්වාන් සමඟ

පවුලේ එකම දරුවා වූ මම කුඩා කාලයේ පියාණන් නොමැතිව නින්දට නොගියෙමි. එනිසා රාත්‍රියේ සුමධුර, ඉපැරැණි හින්දි චිත්‍රපට ගීතයකට සවන් දෙමින් තාත්තා පොතක පිටකවරයක් සිතුවම් කරද්දී හෝ චිත්‍රපටයක නාමාවලියක් නිර්මාණය කරද්දී මම ඔහු අසල දැවටෙමින් සිටිනෙමි. චිත්‍රපටයක නාමාවලිය නිර්මාණයේදී පින්සල තාත්තාගේ අතට බොහෝ සේ තෙරපීමෙන් ඇඟිලිවල මතු වන කරගැට ඔස්සේ සිනමාව අරභයා ඔහු තුළ තිබූ දෘඪ කැපවීමත්, ඇල්මත්, වීර්යයත් මම දුටුවෙමි. පරිගණක තාක්ෂණයෙහි ආධාරයෙන් පොත් කංචුක හා නාමාවලි නිර්මාණය අද්‍යතනයෙහි කෙතරම් පහසු වී ඇත්ද? එකල මෙකල මෙන් නොව චිත්‍රපටයක සියලු නාමාවලිය (Credit Titles) ඔහු සුරතින්ම ඊට උචිත කාඩ්පතක හෝ වීදුරු තහඩුවක ඇන්දේය. තාත්තා, පියසිරි ගුණරත්නගේ “මොකද වුණේ” (1969) චිත්‍රපටයේ සිට චිත්‍රපට 200 ක පමණ නාමාවලිය නිර්මාණය කළේත් කරුණාරත්න සපුතන්ත්‍රිගේ “පව් පඳුරු” (1965) ග්‍රන්ථයෙන් පටන් ගෙන පොත් 300 ක පමණ පොත් කම්බ අලංකරණය කළේ ද තම සුරතින්ම මිස කිසිදු පරිගණක තාක්ෂණයක ආධාරයෙන් නොවේ. අනෙක් අතට එවක මෙරට පරිගණක තාක්ෂණය භාවිත කෙරුණේ ද නැත. එතුමා කීර්තිමත් ආදි ආනන්දියකු ලෙස ආනන්දයේ සියලු ග්‍රන්ථ හා සමරු කලාපවල පාහේ වසර 60 ක කාලයක් පුරා භාවිත කෙරුණු “ආනන්දය” අකුරු පෙළ නිර්මාණය කරමින් ද ශ්‍රී ලංකාවේ පළමුවරට පාසල් සිසුන් තැනූ කෙටි චිත්‍රපටයට (වෙර – 1965) හා වෘත්තාන්ත චිත්‍රපටයට (නිම්වළල්ල – 1970) තම නිර්මාණශීලී දායකත්වය රංජිත් ලාල්ට ලබාදෙමින් ද කිසිදා බිඳ දැමිය නොහැකි වාර්තාවක් තැබුවේය. තාත්තා දිවමන්ව සිටි වසර 77 ක කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඔහු කැප කළේ සිනමාව හා සිනමා පුවත්පත් කලාව වෙනුවෙනි. දෛවෝපගත ලෙසින් ලාංකේය කථානාද සිනමාව ආරම්භ වූ 1947 වසරෙහිම මා පියාණන්ගේද උප්පත්තිය සනිටුහන් විය. දූ දරුවන් පස්දෙනෙකුගෙන් සැදුම් ලත් පවුලක දෙවැනි දරුවා ඔහු විය. කලා අධ්‍යක්ෂණය, තිර රචනය, සහය අධ්‍යක්ෂණය, මාධ්‍ය සම්බන්ධීකරණය ආදී විවිධ අංශවලින් සිනමාවට දායක වූ ඔහු “කොස්ගස්හන්දිය”, “අනුභූතිය හා නිර්මාණය”, ගාමිණි : හෙළ සිනමාවේ සක්විති”, “රුක්මණී දේවී : යුගයක ස්වර්ණ ගීතය”, “සඳ ළඟ තරු” ඇතුළු ග්‍රන්ථ රාශියක් ලියා පළ කළේය. ආනන්දයේ එකම පන්තියේ ඉගෙනුම ලැබූ පාසල් මිතුරු කීර්තිශේෂභාවෝපගත ප්‍රේමකීර්ති ද අල්විස් සූරීහු 1969 දී තාත්තාව ගුවන් විදුලියට හඳුන්වා දුන්හ. ගුවන්විදුලි ළමා පිටියේදී “දියසායම් තවරා” මැයෙන් තාත්තා ලියූ එකම ගීතය ලීවේ අම්මාට (දමයන්ති ජයසූරිය) ගායනා කිරීමටය.ඉන්පසුව ඔහු ගීත ලීවේ නැත. ඒ ගැන විමසූ විට “අම්මා යාළු කරගන්න ඒ ගීතය ලිව්වා. යාළු වුණාට පස්සේ ගීත ලිවීම නැවැත්තුවා” යැයි පැවසුවේය.

තාත්තාගේ සුරතෙන් නොලියුණු කලාකරුවකු මෙරට නොමැති තරම්ය. අද ප්‍රවීණයන් බවට පත්ව සිටින බොහෝ කලාකරුවන් රන් කිරි කට ගෑවේ ඔහු ලියූ පුවත්පත් ලිපිවලිනි. බොහෝ කලාකරුවන්ගේ, මාධ්‍යවේදීන්ගේ වෘත්තිමය ජීවිතයේ සාර්ථකත්වය පසුපස ඔහු අප්‍රසිද්ධියේ නිහඬව සිටියේය. කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි (කොස්ගස් හන්දියේ) ගමේ යෙහෙළිය වූ ස්වර්ණා මල්ලවආරච්චි හට “සත්සමුදුර” (1967) චිත්‍රපටයෙන් නිළියක ලෙස දොරට වැඩීමට සම්මුඛ පරීක්ෂණයට යෑමට බලවත් සේ අනුබල දුන්නේ ඔහුය. එතුමෝ “නිම්වළල්ල” (1970) චිත්‍රපටයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පාසල් සමයේදීම චිත්‍රපට ගේය කාව්‍ය රචනයට හඳුන්වා දුන්හ. ආනන්දයේ ස්වකීය කලණ මිතුරා වූ කුලරත්න ආරියවංශයන් සම්මානනීය, ප්‍රවීණ ගෙය කාව්‍ය රචකයකු බවට පත් කරමින් ඔහුගේ අගය වටහා දුන්හ. මගේ පියා නොවන්නට රන්ජන් රාමනායකට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “අවරගිර” (1987) චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ නැත. එදා තාත්තා සුප්‍රකට නිෂ්පාදක විජය රාමනායක, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් වෙත කැඳවාගෙන යෑමේ මහාර්ඝ ඵල වූයේ ආචාර්ය ලෙස්ටර් “කලියුගය” (1983) හා “යුගාන්තය” (1985) බිහි කිරීමෙන් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තුන් ඈදුතු නවකතා සිනමා කෘති බවට පත්වීම සම්පූර්ණ වීමය.

තම ගුරුවරයා වූ අජිත් තිලකසේනයන්, විජය කුමාරතුංගයන්ට හඳුන්වාදීමෙන් ආචාර්ය ධර්මසේන පතිරාජයන් ලවා “පාරදිගේ” නිර්මාණය කිරීමේ පසුපස සිටි ප්‍රබල සාධකය තාත්තාය. තාත්තා නොවන්නට පතිරාජයන්ගේ “පාරදිගේ” බිහි නොවේ. අවැසි නම් මෙවැනි උදාහරණවලින්ම මේ ලිපිය නිම කරන්නට මට පිළිවන. ඔහු කලාකරුවන්ගේ ගෞරවය ආරක්ෂා කළේය. ඔහු දහස් ගණනින් ලියූ කිසිදු ලිපි‍යකින් කලාකරුවන්ගේ සිත් රිදවූයේ නැත. ඔවුන්ගේ ප්‍රතිරූප බිඳ දැමුවේ නැත. ප්‍රතිරූප බිඳ දැමීමේ පුවත්පත් කලාව (Iconoclastic Journalism) එතුමෝ තරයේ ප්‍රතික්ෂේප කළහ. එපමණකුදු නොව මෙරට දැවැන්ත, ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඇතැම් අවස්ථාවාදීන්ගේ කේලම් බස්වලින් විරසක වූ අවස්ථාවලදී ඔවුන් නැවතත් සමගි කිරීමේ සාම නියෝජිතවරයා ඔහු විය. තාත්තා නොවන්නට මෙරට මහා රූපණවේදීන් වූ ගාමිණි ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම මියයන්නේ පස මිතුරන් ලෙසිනි. මහාචාර්ය සනත් නන්දසිරින් සහ ආචාර්ය වික්ටර් රත්නායකයන් යළි මිතුරු වූයේ ඔහු නිසාය. තාත්තා කලාකරුවන්ට බොහෝ උපකාර කොට ආපසු ඔවුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු නොවීම ශ්‍රේෂ්ඨ ගුණාංගයකි. අනෙක් අතට මුල මතක ඇති, කළගුණ දත් උසස් කලාකරුවන් විරල බව එතුමෝ මුල සිටම අවබෝධ කොට ගෙන සිටියහ. තාත්තාගේ පුවත්පත් කලා ජීවිතයේ මුල් අඩ මුළුමනින්ම සරසවිය පුවත්පතට හා සරසවිය සම්මාන උලෙළටත් ඉතිරි අඩ සුමති ටෙලි සම්මාන උලෙළටත් කැප වූයේය. පුවත්පත් කලාවේදියකු ලෙස ලේක්හවුස් ආයතනයේ සරසවිය පුවත්පතට 1969 එක්වෙමින් එහි උපකර්තෘ (1970-1979) නියෝජ්‍ය කර්තෘ (1979-1989) තනතුරු හොබවමින් අවසන එතුමා ප්‍රධාන කර්තෘවරයා (1989-1994 ) බවට පත්විය.

සරසවිය පුවත්පත වෙනුවෙන් තාත්තාගේ කැපවීම කෙසේද යත් “අම්මේ තාත්තා වැඩිය ආදරේ මට ද සරසවිය පත්තරේට ද?” යැයි කුඩා කාලයේ අම්මාගෙන් ඇසීම මම පුරුද්දක් කොට ගත්තෙමි. තාත්තා රාජකාරිය දේවකාරිය සේ සැලකුවේය. ලේක්හවුස් ආයතනයට එතුමා අප්‍රමාණව ගරු කළේය. ලේක්හවුස් ආයතනය පසු කරමින් වාහනයෙන් ගමන් කරන සෑම අවස්ථාවකම ඔහු අසුනෙන් නැඟිට්ටේය. 70 දශකයේදී වරක් දේශපාලන විරෝධතාවක් හේතුකොට ලේක්හවුස් ආයතනයට ගිනි ඇවිළී ගිය අවස්ථාවක බොහෝ සේවකයන් එතැනින් ඉවත්ව පලා යද්දී තාත්තා ඒ අසල හිඳිමින් කඳුළු සැලූ බැව් මා අසා ඇත. තාත්තා බොහෝ දේශපාලනඥයන් සමීපව ඇසුරු කළේය. පක්ෂ භේදයකින් තොරව රාජ්‍ය නායකයෝ, දේශපාලනඥයෝ එතුමාට ගරු කළහ. කලාකරුවකු ලෙස, මාධ්‍යවේදයකු ලෙස නිවාස, ඉඩකඩම්, තනතුරු මේ කිසිවක් තාත්තා ඔවුන්ගෙන් ලබා ගත්තේ නැත. රැකියා උසස්වීම් ලැබුවේ නම් ඒ දිගු කලක් සේවය කොට, පියවරෙන් පියවර ඉහළට පැමිණි දක්ෂතාව, ජ්‍යේෂ්ඨත්වය, හැකියාව හා පළපුරුද්ද හේතු කොටගෙනය. තාත්තා තරම් ණය වීමට බිය වූ මිනිසකු මා දැක නැත. ඒ බිය එතුමෝ මා හට ද කාවැද්දූහ. එහෙයින් තාත්තා කිසිවකුට ණය නොවී රටට ද ණය නැති මිනිසකු ලෙස සැනසීමෙන් දිවංගත විය. ඔහු කිසිවිටෙක තනතුරෙන් බැබළුණු මිනිසකු නොවී දැරූ තනතුර බැබළ වූයේය. එතුමෝ උපන් පොළවේ පය ගසා අල්පේච්ඡතාවෙන්, යථාලාභ සන්තුෂ්ටිය පරම ධනය කොට ජීවත් වූහ.

“තනතුරු අද තියෙයි හෙට නැතිවෙයි.එය අනුන්ගේ. තනතුරුවලින් උදම් වෙලා තමන්ගේ මුල, අතීතය, මනුස්සකම අමතක කරන්නේ මෝඩයෝ. තමන් උපයාගත් මනුස්සකම, හැකියාවෙන් රටට කළ සේවය පමණක් මියගියාට පසුවත් පවතීවි.” එතුමෝ නිතර කීහ. කරණීය මෙත්ත සූත්‍රයෙහි දක්නා ලැබුණු පරිදි එතුමා තම එකම පුතු ලෙස ම වෙත පෑ සතර බ්‍රහ්ම විහරණ (මෙත්තා, කරුණා, මුදිතා,උපේක්ෂා) මෙරට සියලු දූ දරුවන් වෙත පතුරුවාලමින් ඔවුන්ටත් ආදරණීය පියකු විය. බොහෝ දූ පුතුන් තාත්තාගේ දේහය අසල හඬා වැටුණේ මෙකී පීතෘත්වය හේතු කොටගෙනය.

තාත්තා මරණයට සූදානම් වූයේ දිගු කලක සිටය. ඔහුගේ 75 වැනි උපන් දිනයදා (2022 අප්‍රේල් 7 වැනිදා) එතුමෝ අන්තිම කැමැති පත්‍රය ලියා ලොකු ලියුම් කවරයක බහා (මෙය තාත්තා අවසන් වරට මාධ්‍ය සම්බන්ධීකරණය කළ “ක්ෂීර සාගරය කැලඹිණ” චිත්‍රපටයේ ප්‍රචාරය වෙනුවෙන් මුද්‍රණය කළ ලොකු ලියුම් කවරය වේ) මට දුන්හ.“මං මැරුණාම මේ කවරය විවෘත කරලා කියවලා ඒ විදියටම අවසන් කටයුතු කරන්න” යැයි තාත්තා කී නමුත් එතුමාට රහසේ මම එය කලින්ම කියවීමි. තාත්තාගෙන්ම විමසා පැහැදිලි කර ගැනීමට කිසිවක් එහි නොවීය. තාත්තා 100 % ක් නිවැරැදිය. තාත්තාගේ අන්තිම කැමැති පත්‍රය මෙසේය.

ඇතැමුන්ගේ කාරුණික ඉල්ලීම් පවා නොතකා තාත්තාගේ අන්තිම කැමැත්ත මම අකුරටම ඉටු කළෙමි.

පසුගිය සය මසක කාලය තුළ වරින් වර ග්ලාන මිලානව මඤ්ච පරායණ වූ තාත්තාගේ ජීවිතය බේරා ගැනීමට අප්‍රමාණ ප්‍රයත්නයක් දැරූ, ආදි ආනන්දීය විශේෂඥ වෛද්‍ය හරින්ද්‍ර කරුණාතිලක මහතා ඇතුළු ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට මම පින් දෙමි. එසේම තාත්තාගේ අවසාන කාලයේත් ගවේෂණාත්මක ලේඛකයකු හා කෘතහස්ත මාධ්‍යවේදියකු ලෙස එතුමාගේ පන්හිඳ පසෙක නොතබා සක්‍රීයව තබා ගැනීමටත් ඉන් සුජීවත්ව දිරිමත් වීමටත් අනුබල දෙමින් ලිපි පළ කළ ප්‍රවීණ මාධ්‍යවේදී සිරි රණසිංහ සූරීන්ටත් (ලංකාදීප) දිනමිණ ප්‍රධාන කර්තෘ මනෝජ් අබේදීර සුළවතාණන්ටත් ගෞරවනීය කෘතවේදීත්වය මම පළ කරමි. රෝගාතුර වූ තැන් පටන් කුඩා දරුවකු ලෙස රෑ දවල් නොතකා එතුමාට ඇප උපස්ථාන කිරීමට අම්මාටත්, මටත්, බිරිය නදීකාටත් භාග්‍ය ලැබීම තාත්තාගේ වියෝවෙන් අප සිත් හි ජනිත වූ ශෝකය අල්ප වශයෙන් හෝ තුනී කර ගැනීමට මහත් අස්වැසිල්ලක් විය. මා සරසවිය කර්තෘ ධුරයට පත්වීමෙන් ඉක්බිතිව පැවැත්වූ පළමු සරසවිය සම්මාන උලෙළ දෛවෝපගත ලෙස ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූයේ පසුගිය අප්‍රේල් 7 වැනිදා එනම් තාත්තාගේ අවසන් ජන්ම දිනයදාය. එතුමෝ ඉමහත් සන්තුෂ්ටියෙන් නිවෙසේ සිට එය නැරැඹූහ. මෙබඳු දෛවෝපගත තිළිණ රාශියක් තාත්තා සුජීවත්ව සිටියදී පිරිනැමීමට එකම පුතු ලෙස මම පුණ්‍යවන්ත වීමි.

ආදරණීය පියාණන් දිවමන්ව සිටියදී උපන් දින එළඹුණු බොහෝ අවස්ථාවලදී මා පැතූ දේම නොවෙනස්ව, එතුමා වෙසක් මාසයේ දිවංගතව සිටින මේ මොහොතේදී ද මම පතනෙමි. ඔබතුමා කළ කුසල් හා පින් බලයෙන් ද මා කළ සියලු පින් අනුමෝදන් වීමෙන් ද ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්වලින් හෙබි අගක් මුලක් නැති මේ භයංකර සසරෙන් හැකි ඉක්මනින් එතෙර වී බුදු දහමේ සිසිලසින් නිවී සැනසීම ලැබේවා!

අන්තිම කැමැති පත්‍රය

1.2022 අප්‍රේල් මස 7 වැනිදා මගේ ජීවි­ත­යට 75 වස­රක් සපි­රිණි. මට ජීවත් වීමට ඇත්තේ ටික කලෙකි. ඒ සඳහා ගමන් මල්ල සකස් කර­ගෙන මර­ණය එන­තුරු මම බලා සිටිමි.
2. මට දැන් කිසිදු දුකක් නැත. ගෙද­රට මම හැකි උප­රිම යුතු­කම් ඉටු­කර ඇත්තෙමි. ඒ නිසා මට සැන­සිල්ලේ මිය­යා­මට පුළු­වන. මා සතුව කිසි දෙයක් නැත. මගේ අව­ම­ඟු­ලට යන විය­දම් සඳහා බැංකුවේ ඉතිරි කර ඇති මුදල් ගත යුතුය.
3. මා ලියූ (පුව­ත්පත්, සඟ­රා­ව­ලට) ලියූ ලිපි එකතු කර ඇත. නුවන් පුතා ඒවා පරි­ස්ස­මෙන් කියවා සංස්ක­ර­ණය කොට මුද්‍ර­ණය කරන්න.
4. මා මළ පසු නුවන් පුතා හා නදී දුව අම්මාව (දම­යන්ති) හොඳින් බලා ගන්න. එයාගේ ලෙඩ රෝග­ව­ලට ප්‍රති­කාර ලබා දෙන්න. එය මට කරන පින්කම ලෙස සල­කන්න.
5. මගේ ජීවි­තයේ සෙව­ණැල්ල මෙන් 50 වස­ර­කට ආසන්න කාල­යක් ඇස් දෙක මෙන් බලා ගත්තේ දම­ය­න්ති­යයි. මගේ අකා­රු­ණි­ක­කම්, අස්ථා­නයේ නැඟෙන කෝපය, කඳු­ළ­කින් සිනා­සෙ­මින් දරා සිටියේ දම­ය­න්තිය. මා ඉපැයූ හැම මුද­ලක්ම කළ­ම­නා­ක­ර­ණය කර පරෙ­ස්ස­මින්, ඉව­සී­මෙන් විය­දම් කළේ ඇයයි. ඇය රැක­බලා ගැනීම නුවන් පුතාට, නදී දුවට, නිරාශ්, නිර්වාන් මුනු­පු­රන්ට අයිති කාර්ය­යකි.
6. මා සියලු දේ අත්හැර සිටි­යත්, නිරාශ් නිර්වාන් මුනු­පු­රන්ට, මගේ පුස්ත­කා­ල­යට තියෙන ඇල්ම නම් නැති වන්නේ නැත. එය රැක­ගැ­නීම පුතාට හා ඉන්ප­සුව මුනු­පු­රන්ට භාරය.
7. මා මිය­ගිය පසු අනු­ග­ම­නය කළ යුතු ආකා­රය මෙසේය. මේ සඳහා මම ඩී. එෆ් කාරි­ය­ක­ර­වන මහ­තාගේ අන්තිම කැමැත්ත ආද­ර්ශය කර ගතිමි.
8. මා මළ පසු මෘත ශරී­රය මොනම හේතු­වක් නිසා­වත් නිවෙ­සට ගෙන එන්න එපා. ජීව­ත්වන අයට විෂ­බීජ පැති­ර­වී­මෙන් වැළැ­ක්වීම සඳහා මෙය හේතු වේවි.
9. මා ස්වාභා­වික මර­ණ­යට පත් වුව­හොත් අල්මා­රියේ ඇති සුදු සරම, සුදු අත් දිග කමි­සය අන්දවා, ලාභ පෙට්ටි­යක බහා, කතා, දේශ­පා­ල­ඥ­යන්ගේ පණි­වි­ඩ­ව­ලින්, බැනර්, දැන්වීම්, මල්ව­ඩම් සැර­සි­ලි­ව­ලින් තොරව හැකි ඉක්ම­නින් කොත­ලා­වල වෛද්‍ය පීඨ­යට භාර­දිය යුතුය. ඊට අදාළ පෝරම මෙහි ඇත. වෛද්‍ය පීඨ­යට සිරුර භාර­දී­මට නොහැකි වූයේ නම්, එදින එහි නිවාඩු දින­යක් නම් පවුලේ අය පම­ණක් හැකි තරම් ඉක්ම­නට දේහය ආදා­හ­නය කළ යුතුය. දීර්ඝ දේශනා නැති ආග­මික කට­යුතු කිරීම පවුලේ අයට භාරය. කිසිම අයු­ර­කින් පෙට්ටිය විවෘත නොක­රන්න. මගේ පරණ මත­කය සමඟ මට අව­සාන ගමන යා හැකිය. අව­සන් කට­යුතු නිම කිරී­මෙන් පසු අන්‍ය­යන්ට දැනුම් දෙන්න. දින හතේ දි පුලි­න­ත­ලා­රාම පන්සලේ අප හිත­වත් ස්වාමීන් වහ­න්සේ­ලාට දාන­යක් දී කෙටි අනු­ශා­ස­නා­වක් සමඟ පින් පමු­ණු­වන්න. දේහය වෛද්‍ය විද්‍යා­ල­යට බාර දීමෙන් පසු මිනී පෙට්ටිය වැඩි­හිටි නිවා­ස­ය­කට භාර දෙන්න.
10. මා වෙනු­වෙන් අනු­ස්ම­ර­ණ­යක්, උප­හාර ග්‍රන්ථ­යක් පළ කිරී­මට ඉඩ දිය යුතු නැත.
11. මගේ අව­සාන ප්‍රාර්ථ­නය.
එකට කකා, බිබී, යටින් විණ කටින, අත දුන් අත හපා­කන, යටින් කුම­න්ත්‍රණ, යටි­කූට්ටු වැඩ කරන දුර්ජ­න­යන් නොමැති තැනක ඉපදී තම දරු­වන්ට මෙන්ම අනෙක් දරු­වන්ට ආද­රය කරන, මෛත්‍රී කරන යහ­පත් මනු­ෂ්‍ය­යන් ඇසුරු කිරී­මට ලැබේවා.

ආචාර්ය නුවන් නයනජිත් කුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division