ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 වසරට අදාළ මහ බැංකු ආර්ථික විශ්ලේෂණය ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික ආර්ථික විවරණය නමින් පසුගියදා නිකුත් කරන ලදී. ඒ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමු දෙකක් පවත්වන අතර එම වාර්තාව එයට පසුබිම් වී ඇති හේතු හා අප ඉදිරි කාලයේ ගමන් කළ යුතු මඟ සම්බන්ධයෙන් “වාර්ෂික ආර්ථික විවරණය හෙළි කරන ආර්ථික යථාර්ථය“ නමින් රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජානක එදිරිසිංහ විසින් සිදු කළ සාකච්ඡාවක් ඇසුරින් මේ ලිපිය සකස් කර ඇත.
මහ බැංකු විවරණය ගැන බුද්ධිමතුන්ගේ විවාදයක් අවශ්‍යයි
– ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන
මහ බැංකුවේ ආර්ථික විවරණය මුදල් ඇමැතිවරයා හරහා පාර්ලිමේන්තුවට පිළිගැන්වීම සිදු කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වන වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය මෙන්ම ආර්ථිකය හැසිරවීම පිළිබඳ බහුතර බලයක් ඇත්තේද පාර්ලිමේන්තුවටය.
එමනිසා මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂණය ලාංකික ජනතාවටම ලබාදෙන පණිවිඩයකි. ඒ විශ්ලේෂණය හරහා රටේ නිමැවුම්, ආදායම, මිල මට්ටම, ගෙවුම් ශේෂය, සේවා නියුක්තිය, ආයෝජන වැනි සාර්ව ආර්ථික විවරණයන් කුමනාකාරයෙන් හැසිරී ඇත්ද, ඒ හැසිරීම රටට සුබදායකද අසුබවාදිද යන්න මේ විවරණයේ දක්වා ඇත.
එසේම මේ විශ්ලේෂණය සකස් කෙරෙනුයේ ලෝකයේ සිටින්නා වූ සෙසු ආර්ථික විශාරදයන්, විශ්ලේෂකයන්, බැංකුකරුවන් පිළි ගන්නා ලෙසිනි.
එහෙයින් තම තම නැණ පමණින් මහ බැංකු ආර්ථික විශ්ලේෂණය අර්ථ ගැන්වීම සිදු කළ නොහැකිය. එය එක් අතකින් තර්කානුකූල ලියවිල්ලක් ලෙසින් පෙන්වා දිය හැකිය.
විශේෂයෙන්ම මෙරට නිදහස ලැබීමෙන් පසුව හමුවූ ඉතාම අසුබවාදී වසර ලෙස 2022 වසර පෙන්වා දිය හැකිය. එම කාලයේ මෙරට ආර්ථිකය උපරිම ලෙසින් හැකිළී ගියේය. ආර්ථිකය ඍණ 7.3ක් දක්වා පහත වැටුණි. ඒ හරහා රටේ කෘෂිකර්මය කඩා වැටුණි. කර්මාන්ත අඩපණ විය, සංචාරකයන් නොපැමිණියහ. බැංකු පද්ධතිය හෙල්ලී ගියේය. සංචිත සිඳී ගියේය. තෙල් නැව් පැමිණ මුදල් නොමැති නිසා අතරමඟ නැවතී සිටියේය. ගෑස් නොමැතිව රට පුරා පෝලිම්වල ජනතාව පොරකන්නට වූහ. විදුලිය පැය 10ක් 12ක් කපා හැරීමට සිදු විය.
ඒ හරහා ජනතා අරගල ඇති විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහ මඟ ඝාතනය විය. නිරායුධ ජනතාවගේ නිවාස ගිනිබත් විය. මහා ආර්ථික සමාජ පීඩනයකින් රටම වෙළා ගන්නා ලදී.
එය 1956 හර්තාලයටත් වඩා බොහෝ දරුණු විය. ඒ හරහා මෙරට තුළ සිදු වුණු ආර්ථික හානිය බොහෝය. මෙරට නිමැවුම් ඍණ විය. උද්ධමනය දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් විය. එය 70%ක් පමණ දක්වා ඉහළ ගියේය. පොලී අනුපාතය විශාල ලෙස ඉහළ ගියේය. විදේශ විනිමය සංචිත නොමැති විය. ඩොලර් නොමැතිව එය රුපියල් 420ක් පමණ දක්වා ඉහළ නැඟුණි. රුපියල කඩා වැටුණි.
එදා තිබුණු තත්ත්වය අනුව අද වන විට ආර්ථිකය ඍණ 2.3ක් දක්වා ධනාත්මක තත්ත්වයට පත්ව ඇත. මහ බැංකු විශ්ලේෂණයට අනුව 2024 වසරේ 3%ක ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වේ. 70%ක් වූ උද්ධමනය තනි ඉලක්කමට පැමිණ ඇත. බඩු මිල වැඩිවීමේ වේගය අඩුව තිබේ. රුපියල් 2500ක් තරමට ඉහළ ගිය කැරට් මිල අද වන විට බොහෝ සේ අඩුව ඇත. පොලී අනුපාතද තනි ඉලක්කමට වැටී ඇත.
මහ බැංකු විවරණයට අනුව ගෙවුම් ශේෂය පළමු වරට ධන මට්ටමට පැමිණ තිබේ. රාජ්‍ය අයවැය ගිණුමේ අතිරික්තයක් ඇතිව තිබේ. ඩොලරය රුපියල් 300 මට්ටමට පැමිණ තිබේ. මෙවන් තත්ත්වයක අප සිටියත් තවමත් අප ණය නොගෙවන තත්ත්වයක සිටින බව අමතක නොකළ යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ එහි ප්‍රධානී මෙරටින් පිටව යාමට පෙර ශ්‍රී ලංකාව තවමත් ගමන් කරන්නේ පිහිතල ඇතිරූ මාවතක බව ප්‍රකාශ කළේ එහෙයිනි. 2027 වසර දක්වා අපට ගමන් කරන්නට සිදුව ඇත්තේ එවන් මාවතකය. ඉතා සීරු මාරුවෙන් යා යුතු ගමනක් අපට තිබේ.
අප ආ ගමනට වඩා යාමට ඇති ගමන දුර බව සිහිතබා ගත යුතු වේ. ඒ දුර ගමනට නිවැරදි සංඥා බොහොමයක් 2023 වසර වෙනුවෙන් මහ බැංකු විවරණය තුළ දක්නට ඇත. එම නිසා මහ බැංකු විවරණයේ ඇති දත්ත සම්බන්ධයෙන් පමණක් දින 3ක පමණ විවාදයක් පැවැත්වෙන්නේ නම් එයද රටේ ජනතාව පැත්තෙන් විශාල ප්රගමනයක් ඇතිකර ගැන්මට හේතු සාධක වනු ඇත.
මේ වන විට රජයේ දෛනික ආදායම රුපියල් කෝටි 842ක් වන අතර දිනක පුනරාවර්තන වියදම රුපියල් කෝටි 1467කි. ඒ අනුව දෛනික පුනරාවර්තක වියදම් සිදු කරන්නට රුපියල් කෝටි 625ක හිඟයක් පවතී.
මේ තත්ත්වය 1988 වසරේ සිට වසර 35ක් පමණ දක්නට තිබේ. එම නිසා කුමන ජනාධිපතිවරයකු සිටියත් කුමන ආණ්ඩුවක් බලයේ සිටියත් මේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට නොහැකිය.
2003 වසරේ බදු හා බදු නොවන රජයේ ආදායම ට්‍රිලියන 3කි. එම වසරේ වියදම් ට්‍රිලියන 4.6කි. එවන් තත්ත්වයක් තුළ රටක් කළ හැක්කේ කෙසේද?
පුනරාවර්තන වියදම් ලෙසට රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ආතුළු සහනාධාර මෙන්ම රාජ්‍ය ණය පොලීද ඇතුළත්ය. එම නිසා හිඟ මුදල වන ට්‍රිලියන 1.6ක මුදල වෙනුවෙන් ණය ලබා ගැනීමට සිදු වේ. එසේම ආනයනය භාණ්ඩ වෙනුවෙන්ද අපට ගෙවන්නට සිදු වේ. මේ හිඟය සෑම මසකම එක් වී අවසානයේ රටට මේ තත්ත්වය ඇතිකර තිබේ.
එම නිසා අපට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයා දී ඇති මේ ගමන් මඟ අධ්‍යයනය කර ඒ අනුව කටයුතු කිරීම අනිවාර්ය වන්නේය.
අය වැය පරතරයේදී රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම අතිශයින් වැදගත්
– කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
මහ බැංකු වාර්තාවකින් මූලිකව ආර්ථිකයේ දත්ත විවරණය කිරීම සිදු කෙරේ. විශේෂයෙන්ම අදාළ වර්ෂය තුළ සාර්ව ආර්ථික කාර්ය සාධනය සිදු වූයේ කෙසේද? එමෙන්ම ඊට අදාළ මූලික සිද්ධාන්තයන්ද එහි දැක්වේ. එහිදී දේශීය මූල්‍ය ස්ථාවරත්වය, උද්ධමන පාලනය, ආර්ථික අංශය, විදේශ අංශවල තත්ත්වය යනාදිය පැහැදිලි කෙරේ.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ස්ථාවරත්වය ඇති කිරීමට විදේශ විනිමය සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වෙළෙඳ පොළ මූල්‍ය ක්ෂේත්රය ස්ථාවරව තබා ගැනීමට ගත් ක්‍රියාමාර්ගද අඩංගුය.
එසේම ඉදිරි සාර්ව ආර්ථික තත්ත්වයන් පිළිබඳව විවරණය කිරීමද මෙහි අඩංගුය.
ඒ වෙනුවෙන් විශාල දත්ත ප්‍රමාණයක් එහි අන්තර්ගතය. එමෙන්ම පෙර නිකුත් කරනු ලබන මහ බැංකු වාර්තාවන් මෙන් නොව 2023 වාර්ෂික ආර්ථික විවරණයේ මේ දත්ත සිද්ධාන්තයන්හි ගැඹුරු විශ්ලේෂණයක් දක්නට ඇත. එසේම ආර්ථිකයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කළ යුතු දේද මෙහි අන්තර්ගතය.මෙවන් ප්‍රතිපත්ති රටකට අත්‍යවශ්‍ය වේ. එම දත්ත විස්තර ප්‍රතිපත්ති සම්පාදකයන්ට, දේශපාලකයන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටද අවශ්‍ය වනු ඇත. එහිදී මෙරට ආර්ථිකය කුමන දිසාවට ගමන් කළ යුතුද? ඒ සඳහා සිදු කළ යුතු අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද? ඒවා නොකළහොත් සිදුවිය හැකි ප්‍රතිවිපාක තත්ත්වයන් කවරේද? මේ සියල්ල මහ බැංකු වාර්තාවේ අඩංගුය.
මෙවන් ක්‍රමවේද සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ. විශේෂයෙන්ම ලෝක ප්රවණතා අනුව අප ගමන් කළ යුත්තේ කෙසේද යන්න ගැන අපට දැනුවත් බවක් මේ හරහා ලැබෙනු ඇත.
මහ බැංකුව ස්වාධීනව මත ප්‍රකාශ කිරීම හරහා සාමාන්‍ය ජනතාවට ඉතා හොඳ මඟ පෙන්වීමක් ලැබෙනු ඇත.
මේ වන විට ඇතැම් පාර්ශ්වයන් විසින් පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විවිධ නිර්දේශ ඉදිරිපත් කරනු ලබන බවයි. අරමුදල නොමැති නම් අපට එවන් කාර්යයන් සිදු නොකළ යුතු බවයි. එහෙත් අපට තේරුම් ගත යුත්තේ අප දිගින් දිගටම අය වැය පරතරයක සිටින නිසා මේ පරතරය අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවයි. විශේෂයෙන්ම ආයෝජන හා ඉතිරි කිරීම් අතර පරතරය නිවැරැදි කිරීමට අප ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න අප තේරුම් ගත යුතුයි. අප පමණක් නොව මෙවනි ආර්ථික අර්බුදයන්ට වැටුණු අනෙක් රටවල් පවා එම ප්‍රතිපත්ති අනුගමනය කර තිබේ. එම නිසා අපද එම සිද්ධාන්ත අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතුය.
විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීම අතිශයින් වැදගත් වන්නේ අය වැය පරතරය අවම කිරීමට එය බෙහෙවින්ම බලපාන හෙයිනි. එහි එක් පියවරක් ලෙස මහ බැංකුව ස්වාධීන කිරීම පෙන්වා දිය හැකිය. ලතින් අෙමරිකානු රටවල් එම ක්‍රියාමාර්ග ගනු ලැබුවේ 1990 වසරේදී පමණ බවද මෙහිදී සිහි තබා ගත යුතුය. වසර 34කට පසුව හෝ අප එවැනි ක්‍රියාමාර්ග ගැනීම ඉතාම අවශ්‍ය වූවකි. ඒ හරහා රජය විසින් සිදු කරනු ලබන වියදම් අඩපණ කළ හැකිය. විශේෂයෙන්ම මහජන මුදල් තම දේශපාලනික කටයුතු වෙනුවෙන් උපයෝගී කර ගැනීම මේ අනුව වැළකී යනු ඇත. මහ බැංකුවේ මුදල් උපයෝගී කරගෙන මැතිවරණ පොරොන්දු ලබා දෙමින් එම මුදල් හරහා මැතිවරණය ව්‍යාපාර සිදුකිරීම මේ අනුව වැළකී යනු ඇත. එක් දේශපාලන පක්ෂයක් එක් පොරොන්දුවක් දුන් විට එය පරයා යමින් තවත් පක්ෂයක් ඊට වඩා යමක් දෙන්නට පොරොන්දු වීම අපට දක්නට ලැබේ.
එම නිසා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගෙන ඇති පියවර අගය කළ යුතුය. මහ බැංකුව ස්වාධීන කිරීම මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හරහා මෙරට ආයෝජනයට ඉතා හිතකර තත්ත්වයක් නිර්මාණය වනු ඇත. එසේ නොකළහොත් විදේශීය ආයෝජන නොව දේශීය ආයෝජකයෙක් පවා ආයෝජනයට මැළිකමක් දක්වනු ඇත.
ස්වාධීන ආයතන සමඟ ගනුදෙනු කිරීම අපට නුහුරු දෙයක් වන හෙයින් ඇතැම් අය විවිධ මත ප්‍රකාශ කිරීම සිදු වේ.
ඒ අනුව රජයේ ප්‍රතිපත්ති සහ මහ බැංකුවේ ප්‍රතිපත්ති ඒකාබද්ධව ඉදිරියේදී කටයුතු කිරීමෙන් අප පත්ව ඇති මේ මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබෙනු ඇත.
එසේ නොමැතිව පවත්නා රජයන් අය වැය පියවා ගැනීමට මහ බැංකුවට යන්නට ගියහොත් අපට හිතකර ආර්ථික පරිසරයක් නිර්මාණය නොවනු ඇත. එසේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව රජයටද අරමුදල් ඵලදායි නොවන ආයෝජනයන්ට යෙදීමට හැකියාවක් නොලැබෙනු ඇත. අපට සංවර්ධනයක් කරා යාමට නම් එවන් මූල්‍ය විනයක් තිබීම අත්‍යවශ්‍ය වන්නේය. එවන් විනයක් ඇති කර ගැනීමට නම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කර ඇති ආර්ථික විවරණය ගැන අවධානය යොමු කළ යුතුමය.
මහ බැංකුවේ අරමුණ ලාභ ලැබීම නොවෙයි
– ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජානක එදිරිසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුව 1950 ස්ථාපිත කෙරෙන්නේ 1949 මුදල් නීති පනත අනුවය. එහෙත් 2023 අංක 16 දරන පනතින් ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ අණ පනත් සංශෝධනය විය. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව නව පනතට අනුව කටයුතු කෙරෙන හෙයින් මහ බැංකු වාර්තාව වෙනුවට ශ්‍රී ලංකා මහ බැංකු ආර්ථික විශ්ලේෂණයක් එළි දක්වනු ලැබේ. ඒ අනුව පෙර මෙන්ම මුදල් වර්ෂයක් අවසන්ව මාස 4ක් ඇතුළත මහ බැංකුව විසින් අදාළ මූල්‍ය වාර්තාව ඉදිරිපත් කළ යුතුමය.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ආර්ථික පුරෝකථන, මහ බැංකුව විසින් ගනු ලබන ප්‍රතිපත්ති සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය ආර්ථිකය විශ්ලේෂණය කර මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් ඇමැති හරහා එම විශ්ලේෂණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. මෙය අනිවාර්ය කටයුත්තක් වන්නේමය.
මහ බැංකුවේ ප්‍රධානතම කාර්ය වන්නේ කුමක්ද? බොහෝ අය මේ තත්ත්වය වරදවා වටහා ගෙන ඇති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමටද කළ යුතු වන්නේය. මහ බැංකුවේ ප්‍රධාන අරමුණ ආර්ථිකය තුළ දේශීය මිල ස්ථායිතාවය පවත්වාගෙන යාමයි. දෙවැන්න වන්නේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වාගෙන යාමය. මේ අරමුණු දෙකට අදාළ ප්‍රතිපත්ති කාර්යයන් සිදු කිරීමේදී මහ බැංකුව ලාභයක් හෝ අලාභයක් ලැබිය හැකිය. මහ බැංකුවේ අරමුණ වන්නේ ලාභ ලැබීම නොවන බව මෙහිදී පෙන්වා දිය යුතුය.
සාමාන්‍ය ව්‍යාපාරයක් අවසානයේ ලාභ ගණන් හදන්නාක් මෙන් මෙහිදී කරුණු සලකා බැලිය නොහැකිය. මහ බැංකුවේ කටයුතුවල සාර්ථක අසාර්ථකභාවය තීරණය කෙරෙන්නේ එහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවුණු ප්රවණතාවයන් අරමුණු කරගෙනය. රට වෙනුවෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසි ලෙසින් සිදු කර ඇත්නම් එහිදී මහ බැංකුව සාර්ථක බව පෙන්වා දිය හැකිය. විවිධ ආයතන විවිධ අරමුණු උදෙසා ස්ථාපිත කර ඇත. මහ බැංකු පනතෙන්ම මහ බැංකුවට අදාළ කාර්යයන් ස්ථාපිත කර තිබේ.
එම නිසා මහ බැංකුව විසින් සිදු කරනු ලබන්නේ අවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් විනිමය අනුපාතය වෙනුවෙන් මැදිහත් වී කටයුතු කිරීමයි. ඒ අනුව අධික ලෙස විනිමය අනුපාතය පහළ බසින්නේ නම් හෝ ඉහළ නඟින්නේ නම් හෝ ඒ වෙනුවෙන් මැදිහත්ව වෙළෙඳ පොළට සංචිත නිකුත් කිරීම හෝ මිලදී ගැනීමට පමණක් මහ බැංකුව කටයුතු කරනු ඇත.
සාමාන්‍ය වශයෙන් වෙළෙඳ පොළ විනිමය තීරණය කිරීම ඉල්ලුම හා සැපයුම අනුව තීරණය කෙරෙන අතර, පසුගිය අර්බුදකාරී වකවානුවේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැඩි මූල්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරන ලදී. ඒ අනුව රටින් විනිමය ගෙනයද්දී හා රට තුළට විනිමය ගෙන ඒමේදී එම ප්‍රතිපත්ති දැඩිව ක්‍රියාත්මක කිරීම තුළින් වෙළෙඳ පොළ ස්ථායි මට්ටමට සකස් කරන ලදී. එහෙත් මේ වන විට එම විනිමය සීමාවන් ඉවත් කර ඇත. එම නිසා උණ්ඩියල් වැනි අවිධිමත් ක්‍රමවේදයන් ඔස්සේ විනිමය හුවමාරු ක්‍රම භාවිත කිරීම ඉතාම අඩුව ඇත. අර්බුදකාරී සමයේ සිදු කළ විනිමය ප්‍රතිපත්ති නිසා සැලකිය යුතු ලෙස ජයග්‍රහණ රැසක් අපට අත් කර ගැන්මට හැකිව තිබේ. විශේෂයෙන්ම 2022 වසරේදී විදෙස්ගත ශ්‍රමිකයන්ට නියමිත ක්‍රමවේද ඔස්සේ මෙරටට මුදල් එවීමට කටයුතු කරන ලෙස දැනුම් දෙන්නට පවා රජයට සිදු වූ බව පෙන්වා දිය යුතුය.
එසේම ආර්ථිකය යහපත් ලෙස වර්ධනය වන විට දළ නිල සංචිත රැස් කිරීමද මහ බැංකුව විසින් කරනු ඇත. චීනයෙන් ලද ණයද ඇතුළත්ව 2022 වසර අවසන් වන විට මෙරට සංචිත ලෙස තිබුණේ බිලියන 1.9ක් පමණකි. එහෙත් පසුගිය අප්‍රේල් මස අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය බිලියන 5.43ක් දක්වා ඉහළ නැඟ තිබුණි.
ඒ අනුව වෙළෙඳ පොළ බලවේග මත විනිමය අනුපාත තීරණය වන බව පැහැදිලිය. රුපියල් 370ක්ද ඉක්මවා තිබුණු ඩොලරයේ මිල මේ වන විට රුපියල් 300ටත් වඩා අඩු තත්ත්වයකට පත්ව ඇත්තේ එහෙයිනි. ඉහළ ගොස් තිබූ වෙළෙඳ පොළ 2023 වසරේදී 12.1කින් ශක්තිමත් වුණු අතර මේ වසරේ පළමු කාර්තුවේදීද 8.4කින් ශක්තිමත්ව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව හා රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීන්දු නිසා මේ වන විට අපේ රටේ ආර්ථිකය යහපත් මට්ටමට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. එම නිසා 70%ක්ව තිබුණු උද්ධමනය තනි ඉලක්කමට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. මෙරට ආර්ථිකය පසුබෑමට ලක්වූ අවදියේ ආර්ජන්ටිනාව, පාකිස්ථානයද දැඩි ආර්ථික පසුබෑමකට ලක් වූ අතර අද වන විට එම රටවල උද්ධමනය 200%ක් පමණ දක්වා ඉහළ නැඟ ඇත. එහෙත් අප අනුගමනය කළ ප්‍රතිපත්ති නිසා උද්ධමනය මෙසේ අඩු කර ගැන්මට හැකි විය.
වත්මන් මහ බැංකු අධිපතිවරයා පැමිණි විගස බැංකු පොලී අනුපාතය එක්වරම ඒකක 8කින් පමණ ඉහළ නැංවීමට කටයුතු කරන ලදී. ඒ අනුව වෙළෙඳ පොළ උද්ධමනය පාලනය කිරීමේ පළමු පියවර තබන ලදී. එහෙත් අද වන විට එම ඉහළ ගිය පොලි අනුපාත සියල්ලම යළිත් සාමාන්‍යකරණයට පත් කර තිබේ. ඒ බව මහ බැංකුවේ 2023 ආර්ථික විවරණයෙන් පැහැදිලිය.