Home » හොර දොස්තරලාට දැඩි දඬුවම් පනත් සංශෝධනය කෙරේ

හොර දොස්තරලාට දැඩි දඬුවම් පනත් සංශෝධනය කෙරේ

by Mahesh Lakehouse
May 18, 2024 12:40 am 0 comment

නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතළ සෞඛ්‍ය තර්ජනය මැඬ පැවැත්වීමට ජාතික ඖෂධ නියාමනය පනත හා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට පියවර ගෙන තිබේ.

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයන් 40,000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා සිටින බවත් ඔවුන් නිසා ජනතාවගේ සෞඛ්‍යයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවත් පසුගිය කාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පෙන්වා දී තිබුණි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සිළුමිණට පැවසුවේ ව්‍යාජ ලෙසින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නන්ට රුපියල් 3000ක් වැනි සාමාන්‍ය මුදලක් දඩයක් ලෙස නියම කරනු ලබන හෙයින් එම දඩ මුදල ගෙවා පැමිණ යළිත් එම වරදම සිදු කිරීමට එම පුද්ගලයන් කටයුතු කරන බවයි.

මේ නිසා තම සංගමය විසින් අවස්ථා ගණනාවකදී කළ යෝජනාවන් අනුව දඩ මුදල සැලකිය යුතු ලෙසින් වැඩි කිරීමටත් බරපතළ සිර දඬුවම් නියම කිරීමටත් හැකි වන පරිදි ජාතික ඖෂධ නියාමනය පනත හා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට පියවර ගෙන ඇති බවත් මේ වන විට එහි මූලික අදියර අවසන්ව ඇති බවත් පැවසුවේය.

එමෙන්ම ඉදිරියේදී මෙවන් වංචා වාර්තා කිරීමට ක්ෂණික දුරකථන අංකයක් ලබා දීමට කටයුතු කෙරෙනු ඇතැයිද යුක්තිය මෙහෙයුමේදී දත්ත පද්ධතියක්ද මේ වෙනුවෙන් සකස් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් කටයුතු කර ඇති බවද ඔහු කීවේය. එමෙන්ම තම සංගමය ශ්‍රී ලංකා පොලිසිය හා පසුගිය දා මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සිදු කළ බවත් එහිදී ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගෙන කඩිනමින් අධිකරණයට පැමිණවීම දක්වා වන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට සහාය ලබා දිය හැකි ආකාරය සාකච්ඡා කළ බවද පෙන්වා දුන්නේය.

වෛද්‍ය සභාවේ නියමයන් හා දැනුවත් කිරීම් අනුව ඉදිරියේදී මේ වැටලීම සිදු කෙරෙන අතර ව්‍යාජ වෛද්‍යවරුන්ට රුපියල් ලක්ෂ 10ක් වැනි විශාල දඩයක් හා සිරදඬුවම් පැමිණවීමට හැකි වන පරිදි අදාළ පනත් දෙකම සංශෝධනය කෙරෙනු ඇත.

අධිකරණ අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිසිය ඇතුළු අදාළ සියලු රාජ්‍ය ආයතන එක්ව මේ සම්බන්ධයෙන් මේ වසරේදීම අදාළ නිර්ණායක ලබා දීමට නියමිතය.

විදේශගතව ඇති වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි අංක භාවිත කිරීම, මිය ගිය වෛද්‍යවරුන්ගේ අංක භාවිතය මෙන්ම ව්‍යාජ අංක භාවිතයද ඇතැම් පුද්ගලයන් සිදු කර ඇති අතර මේ සියලු දෙනාම යම් හෝ ලෙසකින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් බවද අනාවරණය වී ඇත.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division