පිරිසුදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් 2013 වසරේ අගෝස්තු මස පළමු 1 වැනිදා වැලිවේරිය නගරයේ පැවති මහජන විරෝධතාවයට වෙඩි තබා පුද්ගලයන් හතර දෙනෙකුට මරණය සිදු කිරීම සහ පහළොස් දෙනකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි යුද හමුදා බ්‍රිග්‍රේඩියර්වරයෙක් ඇතුළු හතර දෙනකු ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පෙරේදා (17) නිදොස් කොට නිදහස් කෙරිණි.
බ්‍රිග්‍රේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන, අරුණගේ සිරිසේන, ජේ. එම්. තිලකරත්න හා ලලිත් ගේ යන සිව් දෙනා ඔවුනට එරෙහිව ඉදිරිපත් වී තිබූ සියලුම අධිචෝදනාවලින් නිදොස් කර නිදහස් කර හැරිණි.
මහාධිකරණ විනිසුරුවරුන් වන නිමල් රණවීර සහන් මාපා බණ්ඩාර හා රශ්මි සිංගප්පුලි ලියන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩු විභාගය පැවැතිණ. රතුපස්වල නැදුන්ගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය හේතු කරගෙන ප්‍රදේශයේ භූගත ජලය අපරිසිදු වීම නිසා තමන්ට පිරිසුදු පානීය ජලය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් රතුපස්වල, නැදුන්ගමුව, වැලිවේරිය හා බැලුම්මහර යන ප්‍රදේශවල ජනතාව දින ගණනාවක් මෙම විරෝධතා පවත්වනු ලැබූහ.
එම විරෝධතාවලට සිදු කළ වෙඩි තැබීමේදී දොන් අකිල දිනේෂ් රම්ලි, සවිශාන් පෙරේරා, නිලන්ත පුෂ්ප කුමාර හා ඩී සාමින් චාමික යන සිව් දෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය අතර තවත් පහළොස් දෙනකු බරපතළ තුවාල ලැබූහ.
අයුතු ජනරාශිය, වෙඩි තබා පුද්ගල ඝාතන සිදු කිරීමට තැත් කිරීම හා පුද්ගල ඝාතන හතරක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා 75ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබිණ.
අයුතු ජනරාශිය යන චෝදනාව පිළිබඳව කරුණු දක්වා සිටි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා “වැලිවේරිය නගරයේ එම සිද්ධිය වූ ස්ථානය පිළිබඳව ගම්පහ අපරාධ ස්ථානාගාර පරීක්ෂණ අංශය හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සිදු කර තිබූ විමර්ශනවලට අනුව නගරයේ ගල් මුල් වැලි බෝතල් යනාදී භාණ්ඩ රැසක් හඳුනාගෙන තිබී ඇති බවත් ඒ අනුව පෙනී යන්නේ අයුතු ජනරාශිය විරෝධතාවයේ සිටි ජනතාව විසින් සිදු කර ඇති බවය.
මෙහිදී ගිනි අවි දෙසීය අනූවකින් දහසයක් විමර්ශන කටයුතු සිදුකර නොතිබීම තවත් අඩුපාඩුවක් වන බවය. තවද හමුදාව බලෙන් එම ස්ථානයට පැමිණි බව ප්‍රකාශ කොට තිබුණත් ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් එවකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව උසස් හමුදා නිලධාරීන් දැනුවත් කොට මෙලෙස හමුදාව කැඳවා තිබූ බව පැමිණිල්ලේ සාක්කි මගින් අනාවරණය වී තිබෙනවා“ යැයි පෙන්වා දුන්නේය.
“දෙක, තුන හා හතර විත්තිකරුවන්ට වෙඩි තැබීම සඳහා පළමු වන විත්තිකරු විසින් නියෝග ලබාදී නොමැති බව එකී විත්තිකරුවන්ගේ ප්‍රකාශ මගින් ඔප්පු වෙන බවත් සිද්ධිය වූ ස්ථානයට පිටස්තර තවත් වෙඩි තැබීම් කීපයක් සිදුව තිබෙන අතර ඒ දිනයේදී විවිධ හමුදා අනුකණ්ඩ ප්‍රදේශයේ ස්ථාන ගණනාවක ස්ථානගත කොට තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා“ සඳහන් කළේය.
“එමගින් ප්‍රකාශ වන්නේ එම දිනයේදී විශාල හමුදා බට පිරිස් එම ප්‍රදේශයට පැමිණ ඇති බවයි.
කිරිදිවැල - උපාලි රණවීර