මෙය ලියැවෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලියේ අවසන් තරගය ආසන්නයේදීය. ඉන්දියාවේ නගර 13කදී කණ්ඩායම් 10ක් තරග 73කට සහභාගි වූයේ පසුගිය මාර්තු මාසයේ 26 වැනිදා සිටය. 17 වැනි අයිපීඑල් අවසන් මහා තරගය ඉරිදා රාත්‍රියේ පැවැත්වෙන්නේ චෙන්නායි නුවරදීය. 21 වැනිදා වන විට අවසන් කණ්ඩායම් හතර තීරණය වී තිබුණු අතර, කොල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රබාද්, රාජස්තාන් රෝයල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් අතරින් අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් කවරේදැයි මේ ලිපිය ලියැවෙන මොහොතේ තීරණය වී නොතිබිණි. ඉන්දීය රුපියල් කෝටි 20ක මුදල් මල්ලත්, කුසලානයත් දිනා ගන්නා කණ්ඩායම මේ අතරින් එකකි. අයිපීඑල් ඉතිහාසය පුරා ආධිපත්‍ය දැරූ මුම්බායි ඉන්ඩියන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් ඉවතට විසිවී හමාරය. එබැවින් කවුරු දිනුවත් එය වාර්තාවකි. සන්රයිසස් පිල 2016න් පසු කුසලානයක් දිනා නැත. කොල්කටා පිල අවසන් වරට කුසලානය දිනා ගත්තේ 2014 වසරේදීය. 2008 පළමු තරගාවලියේ ශූරයන් වූ රාජස්තාන් පිලත් ඉන් පසුව කුසලානයක් අත්කරගෙන නැත. ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල එතෙක් මෙතෙක් කුසලානයක් දිනාගෙනම නැත.
ගවස්කර් – කෝලි පැටලෙයි
අයිපීඑල් තරගාවලියේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කළ ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු වන සුනිල් ගවස්කර් අන් කවරදාටත් වඩා කෝපයට පත්ව සිටී. ඔහුගේ කෝපයට හේතු වී ඇත්තේ පසුගියදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර පිලේ ආරම්භක පිතිකරු විරාට් කෝලි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ගවස්කර් දැඩි විවේචනයට ලක් කිරීම නිසාය. කෝලි එසේ විවේචනය කර තිබුණේ ගවස්කර් ඔහු ගැන කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
ගවස්කර්ගේ විවේචනය වූයේ අයිපීඑල් තරගාවලියේදී කෝලි අඩු ප්‍රහාරාත්මක වේගයක් පවත්වා ගැනීම ගැනය.
‘මගේ පිතිහරඹ වේගය ගැන කතා කරන්නේ දඟ පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වුණු අයයි. මට කාගෙන්වත් උපදෙස් ගන්න ඕන නෑ. මම දන්නවා මම මොකක්ද කරන්නේ කියලා. විස්තර විචාරක කුටියක වාඩිවෙලා ඕන දෙයක් කියන්න ලේසියි. පිටියට ඇවිත් බලන්න ඕන තත්ත්වය මොකක්ද කියලා. පිටත ඉඳලා කෑගහන අයව මම ගනන් ගන්නේ නෑ.‘ කෝලි එසේ කීවේය.
ගවස්කර්ගේ කෝපයට හේතු වූයේ ‘පිටත සිට කෑගසන අය‘ ලෙස ඔහු තමා හැඳින්වීම ගැනය.
පිටත සිට කෑගසන අයව ගනන් ගන්නේ නැත්නම් ඇයි ඒවාට උත්තර දෙන්නේ ?‘ දැඩි කෝපයට පත්ව සිටින ගවස්කර් එසේ අසන්නේ කෝලිගෙනි.
කෝලිගේ වාර්තාව කැඩූ අලුත්ම වීරයා
අයිපීඑල් පිටියේ වීරයන්ගෙන් අඩුවක් නැතිවුවද, වසර ගණනාවක් ආධිපත්‍ය පතුරුවමින් සිටින නොම්මර එකේ ක්‍රීඩකයන්ගේ වාර්තා බිඳ වැටෙන්නේ ඉඳහිටය. එවැනි වීරයන් බිහි වන්නේ ද කලාතුරකිනි. ඊයේ පෙරේදා සන්රයිසස් හයිද්‍රබාද් පිලට අවසන් කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබීමට වැඩි දායකත්වයක් ලබා දුන් 23 හැවිරිදි යොවුන් පිතිකරු අභිෂේක් ෂර්මා එවැනි කලාතුරකින් බිහි වූ වීරයෙකි.
හයිද්‍රබාද් පිලේ යොවුන් තරුව බිඳ දැමුවේ විරාට් කෝලිගේ අවුරුදු අටක් පැරණි අයිපීඑල් පිටියේ තනි තරගාවලියක වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ ඉන්දීය පිතිකරුවාගේ වාර්තාවය. පන්ජාබ් කිංග්ස් පිලට එරෙහිව පැවති තීරණාත්මක තරගයෙන් හයිද්‍රබාද් පිල කඩුලු 4ක ජයක් ලැබූ අතර, ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා ලකුණු 66ක්ම රැස් කළේ හයේ පහර 6කුත් සමඟය. ඒ සමඟම ඔහුගේ මෙවර අයිපීඑල් හයේ පහර සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගිය අතර, කෝලි 2016 තරගාවලියේදී හයේ පහර 38ක් එල්ල කරමින් එම වාර්තාවට හිමිකම් කීවේය.
බැංග්ලෝර් පිලට වාසනාව ගෙනා දෝනිගේ හයේ පහර
රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිල මෙවර අයිපීඑල් තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබුවේ අන්තිම දශමයෙනි. චෙන්නායි සුපර් කිංග්ස් පිල සමඟ බැංගලෝර්හි පැවති තරගය දෙපිලේහිම ඇතිවීම හෝ නැතිවීම තීරණය කළ අතර, පළමුව පන්දුවට පහර දුන් බැංග්ලෝර් පිල ලකුණු 218ක් රැස් කළේය. අවසන් කණ්ඩායම් හතරට යෑමට චෙන්නායි පිලට ජයග්‍රහණය අවශ්‍ය නොවීය. එහෙත් ඔවුන්ට සුදුසුකම් ලැබීමට අවසන් ඕවරය වන විට ලකුණු 17ක් අවශ්‍ය වී තිබිණි. පළමු පන්දුවට දෝනි හයේ පහරක් එල්ල කළේය. ඊළඟ පන්දුවේදී ඔහු දැවී ගිය අතර, සෙසු පිතිකරුවන්ට අවශ්‍ය ඉලක්කයට යෑමට නොහැකි විය. බැංග්ලෝර් පිලේ හිටපු ක්‍රීඩක දිනේෂ් කාර්තික් කියන්නේ සිය කණ්ඩායමට වාසනාව ගෙන දුන්නේ දෝනිගේ හයේ පහර බවය.
ඒ වෙද්දී පිටියේ තිබූ තෙතමනය සහිත කාලගුණික තත්ත්වය නිසා පන්දුව තෙත බරිත වී තිබූ අතර, පන්දුව මාරු කිරීමට අවස්ථා ගණනාවකදීම විරාට් කෝලි සහ ෆෆ් ඩු ප්ලෙසි කළ ඉල්ලිම් විනිසුරුවරුන් ඉවත දමා තිබිණි. දෝනි හයේ පහර එල්ල කළේ ඒ අතරතුරදීය. එය මීටර් 110ක හයේ පහරකි. පන්දුව ගිය තැනක්වත් සොයාගත නොහැකි වූ අතර, එය යළි ලැබුණේ නැත. නව පන්දුවකට යෑම හැර විනිසුරුවරුන්ට වෙන විකල්පයක් ද නොතිබිණි. අවසානයේ බැංග්ලෝර් පිල කළ ඉල්ලීම පල දැරූ අතර, දෝනි දැවී ගියේ එම නව පන්දුවෙනි.
නීටා අම්බානි දුක් වෙයි
අයිපීඑල් ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන මුම්බායි ඉන්ඩියන්ස් මෙවර තරගාවලිය අවසන් කළේ ‘අන්තිමයා‘ හැටියටය. තරග 14න් 10ක්ම පරාජයට පත් විය. ලක්නව් සුපර් ජයන්ට්ස් හමුවේ අවසන් තරගයෙනුත් පරාජයට පත්වූවාට පසු ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට පැමිණියේ ඉන්දියාවේ නොම්මර එකේ ධනවතාගේ බිරිය නීටා අම්බානි ය. මුම්බායි ඉන්ඩියන්ස් පිලේ හිමිකාරිනිය වූ ඇයට මේ පසුබැස්ම ගැන තම ක්‍රීඩකයන්ට දිය යුතු පණිවුඩයක් තිබිණි.
‘හරිම කනගාටුදායකයි’ ඇය කතාව ආරම්භ කළේ එලෙසිනි.
‘අපිට ඕන විදිහට කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. කණ්ඩායමේ අයිතිකාරිය විතරක් නෙවෙයි මුම්බායි ඉන්ඩියන්ස් පිලේ ලොකුම රසිකාවියත් මමයි. මම හිතන්නේ අපේ කණ්ඩායමේ ජර්සිය පැලඳ සිටීම ලොකු ගෞරවයක් වගේම අභිමානයක් කියලයි. අපි හැමෝම ආපහු මුලට ගිහින් වැරදුණේ කොතැනද කියලා කල්පනා කළොත් හොඳයි.’
කණ්ඩායමේ සිටි ජාත්‍යන්තර ක්‍රීඩකයන්ට එළැඹෙන විස්සයි20 ලෝක කුසලානයට සුබ පැතූ ඇය හැරුණේ රෝහිත් ෂර්මා වෙතටය.
‘රෝහිත්ට, හර්දික්ට, සූර්යකුමාර්ට වගේම ජස්ප්‍රිට් බුම්රාටත් කියන්න ඕන දෙයක් මට තියෙනවා. මම හිතන්නේ හැම ඉන්දියානුවෙක්ම ඔයාලාට ‘චියර්’ කරනවා. මම ඔයාලට සුබ පතනවා.‘ ඇය එසේ කීවේ මුම්බායි ඉන්ඩියන්ස් පිල වැඩිපුරම බලාපොරොත්තු තැබූ ක්‍රීඩකයන්ටය. විචාරකයන්ට අනුව නම් ඇය නොකියා කියන්නේ ඊළඟ අයිපීඑල් තරගවාරයේදී මේ සිව්දෙනාට මුම්බායි ඉන්ඩියන්ස් පිලේ දොරටු විවර නොවන බවය.
ෆවුස් මොහොමඩ්