හරක් හොරකම ඈත අතීතයේ සිටම පැවතුණද, වර්තමානයේ එය ‘සංවිධානාත්මක ජාවාරමක්’ බවට පත්ව ඇත්තේය. මෙම ජාවාරමට සම්බන්ධ වූවන් පාතාල අපරාධකරුවන්ට දෙවැනි නොවේ. ඔවුන් විසින් සිදුකළ අපරාධ රැසක් පසුගිය කාලය පුරාම විවිධ ප්‍රදේශවලින් වාර්තා වූයේ බොහෝ දෙනෙකු කම්පාවට පත්කරමිනි. එවැනිම ජාවාරම්වලට මාතර කනංකේ, වැලිගම, යක්කලමුල්ල, අකුරැස්ස පොලිස්බල ප්‍රදේශ කාලයක් නම් දරා ඇත්තේ හරක් ජාවාරම්කරුවන් නිසාවෙන්මය. මීට වසර තුනකට ප්‍රථම හරක් අතුරුදහන්වීම් සියයකට ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රදේශවලින් වාර්තා වූයේය. පොලිසියට මෙන්ම බොහෝ දෙනාගේ ඇස් වසා මෙම ජාවාරමේ යෙදෙන්නට සංවිධානාත්මක ජාවාරම්කරුවන් සමත් වුවද, ඇතැම් පොලිස් නිලධාරින්ගේ දක්ෂතා නිසාවෙන්ම ජාවාරම්කරුවන්ට වැරදුණු තැන් ද ඇත්තේය. එවැනි සිදුවීමක් පසුගියදා වාර්තා වූයේ කනංකේ පොලිස් වසමෙන්ය.
පූස් පැටියෙක්වත් හොරෙන් කනංකේ පාලමෙන් ගෙන යා නොහැකි බවට කතාවක් පැතිර ගියේ මීට කාලයකට ඉහතදීය. එකල එතරම්ම පොලිසිය අවදියෙන් සිටි කාලයක් විය. වර්තමානයේ ද එවැනිම පසුබිමක් නිර්මාණය වී ඇති බව නොරහසකි. රාජකාරිය දේවකාරියක් ලෙස සලකා කටයුතු කිරීම නිසාවෙන්ම හරක් ජාවාරම් යම් අන්දමකින් අඩාළ වීමක් පසුගිය කාලයේ දක්නට ලැබිණි.
කනංකේ මංසන්ධියට ආසන්න ප්‍රදේශය ඉකුත්දා උණුසුම් වූයේ හරක් ජාවාරම්කරුවන් සහ පොලිසිය අතර සිදුවූ වෙඩි තැබීමක් සමඟය. කාලයකට පසුව හරක් හොරුන් කනංකේදී එළියට බැස්සේ පසුගිය 11 වැනි දින උදැසන 4.00ට පමණය. ඩිමෝ බට්ටෙක් යොදා ගනිමින් සංවිධානාත්මක මේ ජාවාරම්කරුවන් පැමිණ තිබුණේය. කලින් දින හරක් පාරට ගෙනැවිත් ගැට ගසා මේ අහිංසක සතුන් පැටවීම සිදු කරනු ලැබුවේ කාටත් නොදැනීමය. සිද්ධිය වූ දිනට ප්‍රථම මේ හරක් ලොරි රථයකට පටවන්නට සූදානම් කැරිණි. මේ අනුව සිද්ධිය වූ දින හිමිදිරියේම හරක් ජාවාරම සැලසුම් පරිදි ක්‍රියාත්මක වූයේය.
එහෙත් පොලිසියට මේ ජාවාරමේ තොරතුරු ලැබුණු බව මේ ජාවාරම්කරුවන් දැන නොසිටින්නට ඇත. එක් හරකෙක් වාහනයට දමනවාත් සමඟම පොලිස් කැබ් රථය පැමිණියේය. ජංගම රාත්‍රි මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වහා ක්‍රියාත්මක වූහ. කරකියා ගත නොහැකි වූ ජාවාරම්කරුවන් වාහනයෙන් පලායන්නට උත්සුක වූයේ සැලසුම් වැරදුණු බව දැනුණ නිසාවෙන්මය. වැඩි දුරක් යන්නටත් පෙර පටවන ලද හරකා ද වාහනයේ වේගයත් සමඟම බිමට ඇද වැටුණේය. පොලිසිය අහසට වෙඩි තැබුවේ මේ ජාවාරම්කරුවන් පාලනය කරන්නටය. පිස්තෝලයක් ඉණේ ගසාගෙන සිටි ජාවාරම්කරු පොලිසියට වෙඩි තබන බව පෙන්වීමට ඉඟි පළ කළේය. තත්ත්වය පාලනය කර ගත නොහැකි බව හැඟෙනවාත් සමඟම පොලිසිය වාහනයට වෙඩි තැබීය. වාහනයේ එක් රෝදයකට වෙඩි වැදුණේය. ඒ සමඟම වාහනයේ ගමන් ගත් පුද්ගලයෙකුට ද වෙඩි වැදුණ අතර වාහනය මඳ දුරක් නොනවත්වා ධාවනය කළේය.
‘කොරේ පිටට මරේ යන්න‘ කතාවක් ජනවහරේ ඇත්තේය. එසේම වාහනයේ වේගයත් සමඟ ඩිමෝ බට්ටා පිටුපස ගමන්ගත් ජාවාරම්කරුවෙකුද බිමට වැටුණේය. මේ අතර කනංකේ පොලිස් ස්ථානාධිපති චාමර සිල්වා සහ අපරාධ විමර්ශන අංශයේ කාරියවසම් ඇතුළු පොලිස් නිලධාරින් ද වහා ක්‍රියාත්මක වූහ. පොලිස් නිලධාරින් එහි ළඟා වන විටත් පොලිසියේ සහායට මහජනයා ද ක්‍රියාත්මක වූහ. ජාවාරම්කරුවන් පැමිණි වාහනයට ගල් ප්‍රහාර කිහිපයක්ද එල්ලකර ඇති අයුරු දක්නට ලැබුණි. වෙඩි කිහිපයක්ම ජාවාරම්කරුවන් පැමිණි වාහනයට වැදිණි. හරක් ජාවාරමේ එක් සැකකරුවෙකු තුවාල ලබා මාර්ගයේ වැටි සිටියදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්තේය. එකම විකල්පය පලා යාම බව වටහාගත් ජාවාරම්කරුවන් වෙනත් වාහනයකින් ගල්ලල හරහා පැන ගියේ තම සගයා ද බිල්ලට දෙමිනි. වහා ක්‍රියාත්මක වූ පොලිසිය බිම වැටී සිටි හරක් ජාවාරම්කරු 1990 ට කතාකර ඉමදූව රෝහලට රැගෙන ගියේය. ඉන් පසුව ගාල්ල කරාපිටිය රෝහලට මාරුකර යැවිණි. ගමේ ඇත්තන් මෙන්ම බොහෝ දෙනෙකු බිය ගන්වා ඇත්තේ තුවාලකරු සතුව පැවති සෙල්ලම් පිස්තෝලයක් බව පසුව අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් විය. මේ ජාවාරම්කරුවන් පැමිණි වාහනයේ අංක තහඩු තුනක් ඉදිරිපස සහ පසුපස එකිනෙකට යාව සවිකර තිබුණි. අවශ්‍ය අවස්ථාවකදී ඒවා මාරුකර ගත හැකි පරිදි ඒවා සවිකර ඇති ආකාරය මෙහිදි දක්නට ලැබුණේය.
මේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට කනංකේ පොලිසිය මේ වන විටත් දුරකතන අංක පරික්ෂා කරමින් සැකකරුවන් ඉක්මනින්ම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත. එහෙත් මේ සංවිධානාත්මක අපරාධකරුවන්ය. මහජන සහාය නිසාම මේ තත්ත්වය පාලනය කරන්නට පොලිසිය සමත් වූවා සේම හරක් ජාවාරම කරගෙන යාම එතරම්ම පහසු කටයුත්තක් නොවි ඇත්තේ හරක් රැගෙන යනු ලබන මාර්ගවල මේ වන විටත් පොලිස් මාර්ග බාධක මෙන්ම මුර සංචාර අඛණ්ඩව ක්‍රියාත්මක වීම හේතුවෙනි. එය පොලිසියට පමණක් කළ හැක්කක් නොවන බව මේ සිදුවීමෙන් ද තහවුරු වී ඇත්තේය. ‘මෙවැනි හරක්‘ගෙන් ගව සම්පත ආරක්ෂා කරගන්නට ජනතා සහාය පොලිසියට ලබා දුනහොත් මේ ජාවාරම්කරුවන් කොටුකර ගන්නට හැකි වනු ඇත්තේය.
ටී.කේ. මහින්ද - වැලිගම සමූහ