වෙසක් සඳේ දහම් සිසිලෙන් සියලු හදවත් නිවී සැනසෙද්දී කොළොම්පුරය ද වෙසක් සිරියෙන් අසිරිමත් විය. සුපුරුදු පරිදි මෙවරත් කොළඹ ඩී. ආර්. විජයවර්ධන මාවතට වෙසක් අසිරිය ගෙන ආවේ පත්තර මහගෙදර ලේක්හවුස් ආයතනයයි.
වසර ගණනාවක් තිස්සේ ලේක්හවුස් බෞද්ධ සංගමය හා පාලන අධිකාරිය එක්ව සංවිධාන කරන ලේක්හවුස් අමාදහර සදහම් වෙසක් කලාපය මෙම වෙසක් පුන් පොහෝ දින ද මහත් හරසරින් පවත්වනු ලැබිණි. මෙවර වෙසක් පොහෝ දා සන්ධ්‍යාව වඩාත් පුණ්‍යවන්ත වූයේ ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් පවත්වනු ලැබූ බැති ගී සරණිය සහ අයිස් ක්‍රීම් දන්සල නිසාය. ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන මූල්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, මෙහෙයුම් අධ්‍යක්ෂ මංජුල මාකුඹුර සහ සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල යන මහත්වරුන් විසින් අයිස් ක්‍රීම් දන්සල විවෘත කරනු ලැබිණි. අයිස් ක්‍රීම් දන්සලට සහභාගි වූවන් අතර විදේශිකයන් ද වීම විශේෂත්වයකි.
හවස 7ට ආරම්භ වූ ලේක්හවුස් බැති ගී ප්‍රසංගය එදින රාත්‍රී 10 පමණ වනතුරු පැවති අතර එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, සුප්‍රියා අබේසේකර ආදී ප්‍රවීණ කලාකරුවන් සමඟ ලේක්හවුස් ආයතනික සාමාජික සාමාජිකාවන් ද ගායනයෙන් ඊට එක් විය. ලේක්හවුස් මන්දිරය සහ අවට විදුලි ආලෝකයෙන් වඩාත් සුන්දර කර තිබූ අතර එම අසිරිය වෙසක් සිරි නැරඹීමට පැමිණි බොහෝ දෙනකුගේ නෙත් සිත් පැහැර ගෙන තිබිණි.
සුරේකා ඉලංකෝන්