තුන්ලෝකාග්‍ර වූ ගෞතම බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ලෝ වැසි බෞද්ධ ජනතාව වෙසක් පොහෝ දිනය උත්සවාකාරයෙන් සමරති. ශ්‍රී ලංකාවාසී අපට එහිදී සුවිශේෂ වැදගත්කමක් හිමිවන්නේ පිවිතුරු බුද්ද ධර්මය පන්දහසක් කල් පවතින නිසා පමණක් නොවේ නිවන් මාර්ගය පිළිබඳ දැනීම ආඛණ්ඩව පවත්වාගෙන එන ජන කොටසක් ද වන නිසාය. වර්තමානයේ එය ප්‍රාග්ධනකරණයට ලක්ව විවිධ ස්වරූප ගත්තද එහි මානවීය හරය එයයි.
අපට එය වැදගත් වන්නේ මානව චිත්තවේගී ජීවිතයෙහි පැවැත්ම සහ එහි නිස්සාරත්වය ප්‍රකට කරන නිසා පමණක් නොවේ. එය ජීවන අභ්‍යාෂයක් ද ප්‍රකට කරන හෙයිනි. ඉන් කිසිවිටෙකත් විනෝදකාමී සමාජකාමී පරිසරය ඉවත් නොකෙරිණි. සීගිරිය දක්වා පවතින සංස්කෘතික නැමියාව ඊට කදිම සාක්ෂිය.
මෙනිසා බෞද්ධයන් තෙමඟුල සමරන්නේ උත්සවාකාරයෙන් ඉතා ගරුගාම්භීරවය. ඒ තම ජීවන ධර්මයේ අග්‍ර ඵලය තමන්වෙත දුරාවබෝධ නොවන ලෙස වටහාදුන් උත්තමගනයේ මනුෂ්‍යයාවෙත දක්වන පූජෝපහාරයක් විලසිනි.
මෙම සැමරුමේදී වෙසක් තොරණට විශේෂ තැනක් හිමිවන්නේ එය ශ්‍රී ලාංකේය බෞද්ධ ජන ප්‍රජාව තුළ පමණක් නොව සෙසු ආගමික ප්‍රජාවන් තුළද කිසියම් භක්ත්‍යාදර විනදනීය ස්වරූපයක් ප්‍රකට කරන නිසාය. අද මෙන් විනෝදකාමී අවස්තා නොතිබුණු කාලයක වෙසක් තොරණ් බැලීමට ගම් පිටින් කොළඹට රොද බඳිනු කුඩා කල සිටම අප දැක තිබේ. වර්තමානය වන විට විවිධ තාක්ෂණික උපාංග හා මාධ්‍ය බිහිවීමෙන් මෙම වින්දනීය අවස්ථාව කිසියම් ආකාරයකට දුරස් වුවද අදත් එය විවිධ ස්වරූපයන්ගෙන් ඉදිරිපත් කරමින් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව තිබේ.
වෙසක් තොරණ ඉතිහාසය විමසා බලන විට එය බිහිවීම පිළිබඳ නිශ්චිත කරුණු දැක් වීමක් කළ නොහැකි වුවද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් හි පිහිටා ඇති මඟුල් ලකුණු අතර තොරණ දෙකක් තිබූ බව ජනප්‍රවාදයේ දැකිවේ. එනිසා බුදුන්වහන්සේ ලෙස පිදුම් ලබන චෛත්‍යය, බෝධිය, පිළිමගෙය, දේවාලය ආදී පූජනීය ස්ථානවලට ඇතුළු වන දොරටුව තොරණකින් සැරසීම ගෞරව දැක්වීමේ චාරිත්‍රයක් බවට පෙරළි තිබූ බව පෙනී යයි.
ඒ අනුව බුදුන්ට සම්බන්ධ යැයි සැලකෙන සුවිශේෂ සංකේත කලාකරුවන්ගේ විශේෂ අවධානයට යොමුව වර්තමානයේ අප දකින චිත්‍රාවලියකින් සහ විදුලි බුබුළුවලින් අලංකාර කරන ලද තොරණ නිර්මාණය වූවා යැයි සිතිය හැකිය. මෙලෙස පැවත අවුත් වාණිජකරණය වූ තොරණ ඇතුමුන් තමනට ගොචරවන ආකාරයෙන් තොරණ ඉතිහාසය ලෙස දක්වති. එහිදී ඇතැමෙක් විහාර උළුවහු කැටයම්, සාංචි ආදිය දක්වති. තවත් සමහරෙක් මහාභාරතය හා වීදි තොරණ ගැන කියැවෙන ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසෙහි ලියැවුණු බව සලකන ශිලප්පදිකාරාම් සහ මණිමේඛලායි යන ද්‍රවිඩ මහා කාව්‍යයන් දක්වති.
ඒ අනුව ගත් කළ තොරණ විකාශනය මෙසේ පෙළගැස්විය හැකිය. මල් තොරණ, මකර තොරණ, සප්ත නාරි තොරණ, අයිල් තොරණ, රන් තොරණ, රුවන් තොරණ, රිදී තොරණ, පිළි තොරණ, රඹ තොරණ, ගොප් තොරණ, ලිය තොරණ, සිංහ තොරණ, පහන් තොරණ, ගෙඩි තොරණ, පෙරහර තොරණ, වෙසක් තොරණ ආදී ලෙසය.
අතීතයේ උත්සව අවස්ථාවල දී වීදි අලංකාර කොට ඇත්තේ මල් තොරණවලිනි. ථූපවංශයේ ද පූජාවලියේ ද ඒ බව සඳහන් වේ. ඒද ගොක්කොළ ආශ්‍රයෙනි.
“පොරණ මුනි මැඳුර දිරුමට ගිය බැවිනි
සරණ ගත මෙගම් වැසි හැම විය දමිනි
තොරණ සමග යළි පියේවී කර වමිනි
තීරණ කළේ සුමන තෙර නමැති ම විසිනි”
වාද්දුව පොතුපිටියේ වාළුකාරාම විහාර තොරණේ සහ මාතර වැවුරුකන්නල පුරාණ විහාර තොරණේ ඇති මේ කවියෙහි දැක්වෙන්නේ, විහාරගෙය දිරාපත් වී විනාශව යෑමට පැමිණි අවස්ථාවේ ගම් වාසීන්ගේ උදව් උපකාර ඇතිව විහාරගෙය තොරණ සමඟ පිළිසකර කිරීමට සුමන නැමැති හිමිනමක් කටයුතු කර ඇති බවය.
තොරණේ ඉතිහාසය කෙසේ වුවද වානිජකරණය වූ වෙසක් තොරනේ කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැක්කේ තොට ළඟ තොරණය. 1955 වසරේ දී නිර්මාණය වූ එයින් මහා භද්‍ර කල්ප කතාවස්තුව නිරූපණය විය. මේ සඳහා අර්තපතීත්වය දැරුවේ එවකට තොටළඟ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ හෙට්ටිආරච්චිගේ විල්බට් පෙරේරා ප්‍රමුඛ වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසකි. එම තොරණ උස අඩි 85ක් ලෙස දැක්වේ. මෙහි දළ සැලැස්ම කොල්වින් පීරිස් විසින් නිර්මාණය කර තිබුණි.
මේතරම් විදුලි බලය නොතිබූ කාලයේ, ඒ සඳහා විදුලිය ලබාගැනීමට ජෙනරේටර් යොදාගෙන තිබුණු අතර, එමඟින් විදුලි බුබුළු 25000ක් පමණ දල්වා ඇති බව වාර්තා වේ. මෙහි වැඩිම වියදමක් දරා ඇත්තේද විදුලි ආලෝකය සඳහාය. මෙම තොරණෙහි කතා වස්තුව ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක කරුණාරත්න අබේසේකරගේ කටහඬින් පටිගත කර විකාශනය කර තිබුණි. මෙම තොරණ දින දහයක් හෝ දොළහක් ප්‍රදර්ශනය කෙරෙණි. තොරණට විදුලි ආලෝකය ආරියදාස නම් විදුලි කාර්මික ශිල්පියා විසින් සපයා තිබුණි. පසුකාලීනව මේ සඳහා විදුලි බුබුලු හැටදහසකට වඩා යොදා ගැණුනු බව සඳහන් වේ. මෙහි චිත්‍ර ඇඳ තිබුණේ එවක ප්‍රචාරක පුවරු සහ සිනමාපට පුවරු නිර්මාණය කළ චිත්‍ර ශිල්පියකු වූ පුෂ්පානන්ද දෙණිපිටිය විසිනි.
අනතුරුව 1956 දී නවලෝක තොරණ නිර්මාණය වූ අතර පෑලියගොඩ නවලෝක සමූහ ව්‍යාපාරය ඉදිරිපිට එය ඉදි විය. ඒ නව ලෝක සමූහ ව්‍යාපාරය විසින් එහි අර්ථපතීත්වය දැරීම නිසාය. අලංකාරයෙන් යුතුව ඉදිවූ මේ තොරණ සඳහා නවීන තාක්ෂණික විදුලි උපකරන යොදා ගැනුනු අතර ඒවා පසුකාලීනව වඩා ජනප්‍රිය විය. මේ තොරණ ශිල්පීන් ලෙස කටයුතු කළේ ද ඉහත ශිල්පීන් වීමද විශේෂය.
පසුකාලීනව සරත් ආනන්ද විමලවීර, සිසිර කුමාර මාණික්කආරච්චිද තොරන් කතා ලිවීමට කටයුතු කළ අතර මර්වින් සේනාරත්න ලවා ඒවා ගායනා කර තිබුණි. පසුව මර්වින් සේනාරත්න විසින්ම කතා ලියා ගායනා කිරීමට කටයුතු කර ඇත. ඔහු ලියූ පළමු තොරණ වන්නේ ‘ක්ෂාන්තිවාදී’ ජාතක ඇසුරින් 1961දී අයි.ඩී.එච්. හන්දියේ ඉදි කළ තොරණය.
දර්ශනීය තොරණක කතා රචකයාට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. සංගීතවත් වූ භක්ත්‍යාදර ගී හා කවි රසවත්ව නිර්මාණය කරන්නේ කතා රචකයාය. ඔහුට බෞද්ධ සාහිත්‍ය පිළිබඳ පරිචයක් පැවතීම අනිවාර්යයකි.
අනතුරුව තොරන් රාශියක් නිර්මාණය වූ අතර ඉන් දෙමටගොඩ එක්සත් වෙළෙඳුන්ගේ වෛශාඛ්‍යදාන සමිතිය, පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය සහ පිටකොටුව මැනිං මාර්කට්හි වෙළෙඳ සංගමය විසින් ඉදි කළ තොරණ ලංකාවේ තොරණ කලාවේ ආරම්භය සනිටුහන් කළ තොරණ අතර බෞද්ධයන්ගේ මතකයෙන් තවමත් ඈත්ව ගොස් නොමැත. 1970 දශකය වන විට ඉදි වූ ‘‘රත්මලානේ යෝධ පහන් කූඩුව’’ ද පසුකාලීනව බෙහෙවින් ජනප්‍රිය වූ වෙසක් විශේෂාංග අතරට එක්විය.
අද වන විට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙම වෙසක් තොරණ විවිධ අංගයන්ගෙන් වර්ධනය වී තිබේ.
මෙවර බෞද්ධ පුනර්ජීවනයේ නගරය ලෙස සැලකෙන පානදුර නගරයේ ඉදිවන වෙසක් තොරණ අඩි 86කින් හා පළල අඩි 86න් සමන්විත වේ. එය තොටළඟ තොරණ අඩි 85ක් ලෙස මෙතෙක් තබා තිබූ වාර්තාව අභිබවා යාමකි. එපමණක් නොව එය ගිනිස් වාර්තාවටද ඉව අල්ලමින් තිබීම විශේෂය. පානදුර එක්සත් පොදු වෙළද පොළ බෞද්ධ සමිතිය පරිත්‍යාගශීලීන්ගේ ආධාර ඇතිව මෙම තොරණ ඉදි කර ඇති අතර එමඟින් නන්දිවාණිජ කතා වස්තුව පිළිබිඹු කෙරෙයි. මෙම තොරණ අලංකාර රටාවන්ගෙන් ආලෝක කිරීම සඳහා බල්බ් එක්ලක්ෂ දහදහක් පමණ යොදාගෙන තිබෙන අතර මෙය ඉදිකිරීම සඳහා යොදාගෙන ඇති පුවක් කොට ප්‍රමාණය 425ක් පමණ වන බවත්, රූප රාමු පහළවකින් සමන්විත වන බවත් කටු තොරණේ සැලසුම් ශිල්පී ශිරන්ත පීරිස් සිළුමිණට පැවසීය.
මුළුමණින්ම පුවක් කොට යොදා ගනිමින් ලංකාවේ දැනට ඉදිකෙරෙන විශාලතම තොරණ මෙය වන අතර මේ සඳහා අවශ්‍ය පුවක් ගස් බුලත්සිංහල, යක්කලමුල්ල, මතුගම ආදී ප්‍රදේශවලින් සපයා ගෙන ඇත. මේ සඳහා ජී.අයි. පයිප්පවලින් තැනූ ආකෘති යොදා නොගෙන පුවක් ගස් යොදා ගන්නේ ඇයි දැයි මෙහි ප්‍රධාන නියමුවා වන පානදුර එක්සත් පොදු වෙළෙඳ පොළ බෞද්ධ සමිතියේ සභාපති මහේෂ් ප්‍රනාන්දුගෙන් අප කළ විමසීමේදී හෙතෙම පවසා සිටියේ මහ වැස්ස සමඟ හමායන සුළංවලට ඔරොත්තු දීමේ හැකියාවක් ජී.අයි. පයිප්පවලින් තැනූ ආකෘතිවලට නොමැති බවයි. ඒ සඳහා ඊට ඔරොත්තු දෙන නම්‍යශීලී මාධ්‍යයක් යොදා ගැනීම ප්‍රායෝගික වන බවත් මේ සඳහා පුවක් කොට යොදා ගැනීමට ප්‍රධාන හේතුව එය බවයි.
මෙම ඓතිහාසික තොරණ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කරන්නේ ප්‍රකට සිතුවම් නිර්මාණ ශිල්පියකු වන වර්ණගේ සසිත චතුරංගය. සිතුවම් මාධ්‍ය ලෙස ඇක්‍රලික් තීන්ත යොදා ගනිමින් මෙම සිතුවම් නිර්මාණය කර ඇති අතර ප්‍රධාන සිතුවම් සීකුයින් යොදා ත්‍රිමාණ බව ඇති කිරීමට උත්සාහ කර තිබීම ද විශේෂය. මෙම තොරණේ විදුලි ශිල්පියා ලෙස කටයුතු කරන්නේ පී. නිමල් ප්‍රනාන්දුය. වොට් 5 බල්බ 55,000ක්, එල් ඊ ඩී බල්ට් 25,000ක්, 1.10 බල්බ 21,000 සහ ෆික්සල් බල්බි 2500කට ආසන්න ප්‍රමාණයක් මෙවර නිර්මාණයට යොදා ගන්නා බව හෙතෙම පවසයි. ලොව ඉදිවන විශාලතම තොරණ වන මෙය 23 දින සිට මැයි 30 දින දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙවර ඉදිවන අනෙකුත් සුවිශේෂී තොරණ අතර ගොඩකවෙල කොස්නාතොට, අරඹදෙනිය ප්‍රදේශයේ ඉදිකරන තොරණද විශේෂ තැනක් ගනී. ඒ එය මෙරට කාන්තාවක විසින් නිර්මාණය කරනු ලබන ප්‍රථම තොරණ වන නිසාය. තොරන් පිළිබඳ මේ දක්වා ඇති ඉතිහාසය විමසා බලන විට ඒ එකදු තොරණක කාන්තාවක විසින් චිත්‍ර නිර්මාණය කළ බව වාර්තා වී නොමැතිය. මෙහි නිර්මාණ ශිලිපිනිය වන ජනනී අළුදෙනිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර මේ වනවිට පාසල් ගුරුවරියක වශයෙන් සේවය කරන්නීය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල නගරයේ අරඹදෙණිය ග්‍රාමයේ ඉදි කර ඇති මෙම වෙසක් තොරනින් “භද්‍රඝට ජාතකය” නිරූපණය කරන අතර මෙය උසින් අඩි 40ක් පමණ වේ. මෙම තොරනේ සිතුවම් මාසයක් වැනි කෙටි කලකින් නිර්මාණය කර අවසන් කළ බව ඕ පවසන්නීය. මෙම වෙසක් තොරණ වෙසක් පුන් පොහෝදා සිට මැයි 31 වැනිදා දක්වා ප්‍රදර්ශනය වේ.
මෙවර ඉදිවන තොරණ අතර තවත් සුවිශේෂි තොරණ වන්නේ අකුරැස්සේ මාරඹ වැව මැද ඉදිවන වෙසක් මහා තොරණයි. එකමුතුකමට කළ නොහැකි දෙයක් නැත්තේය යන්නට කදිම නිදසුනක් වන්නේ මාරඹ වැව මැද ඉදිවන මෙම තොරණයි. ගම් 18 ක සහයෝගයෙන්, විහාරස්ථාන හතරක (04) ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හා බාල, තරුණ, වැඩිහිටි යන සියල්ලන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවන මෙම තොරණ වෙනුවෙන් දිනපතා වෙහෙස මහන්සි වන පිරිස පන්සියය ඉක්මවා ඇත්තේ එකමුතුකමේ බලය ලෝකයටම පෙන්වා දෙමිනි.
දීර්ග ඉතිහාසයකට උරුමකම් කියන මාරඹ තොරණ හැමදා ඉදිවන්නේ ගම්වැසියන්ගේ මූල්‍ය මෙන්ම ශ්‍රමදායකත්වය ඇතිවයි. ඒ හැම තොරණකටම වඩා මෙවර ඉදිවන තොරණ විශේෂ වන්නේ අඩි දහ අටක් විස්සක් පමණ ගැඹුරු වැව තුළ පුවක් කඳන් ආධාරයෙන් සකස් කරන ලද පහුරක් මත තොරණ ගොඩනැංවීම හා විදුලි බුබුළු හතළිස් හයදාහකින් (46000) යුතුව තොරණ විවිධ ආලෝක රටා ඔස්සේ වර්ණවත් කිරීම පාසල් දැරියක හා ඇයගේ පියා විසින් සිදු කිරීමය.
අඩි පනහක උසකින් හා අඩි පනහක පළලකින් යුතු මෙවර තොරණ ඉදිකිරීම සඳහා නායකත්වය දෙනු ලබන්නේ ඩී. එල්. චාමින්ද කුමාරය. ඔහුගේ වැඩිමහල් දියණිය වූ මෙත්මි භාග්‍යා ද පියාගේ අඩි පාරේ යමින් තොරන් නිර්මාණයට දායක වී ඇත. මෙවර මාරඹ වැවේ ජලකඳ මත තැනෙන තොරණේ ආලෝක වර්ණ රටා නිර්මාණය මුළුමනින්ම සිදුවන්නේ මෙත්මි භාග්‍යාගේ පරිගණක නිර්මාණ ඇසුරිනි. මෙත්මි අඳින රටා ඔස්සේ විදුලි බුබුළු සවි කර එය හැඩගැන්වීම හා බලගැන්වීම කුමාර විසින් සිදු කරයි.
“මේ තොරණ ඉදිවෙන එක හරිම අපූරුයි. මම එහෙම කියන්නේ සියලු දෙනා එකාවගේ එකතුවෙලා මේ කරන මහාකාර්‍යය දැකලයි. අපි දැන් මාස හතරක් පුරා වැඩ කරනවා. මේ දක්වා සිදු වුණු ක්‍රියාකාරකම්වලට මුදල් වියදම් කළා නම්; මම නිකමට වගේ ගණන් හදල බැලුවා. එය රුපියල් ලක්ෂ තිස්පහකට අධිකයි. ඒත් සත පහක්වත් ගියේ නැතුව මේක ගොඩනැඟුණේ මිනිස්සුන්ගේ එකමුතුකම නිසා බව කුමාර සිළුමිණට පැවසීය. කට්ටහාරි ජාතකය පිළිබිඹු කරමින් අකුරැස්ස මාරඹ වැවේ ඉදිවන මෙම තොරණ වෙසක් පුන් පොහෝ දින (23) සිට ජුනි මස 01 දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එසේම සාම්ප්‍රදායිකව ප්‍රධාන නගරවල ඉදිවන තොරන් දැක බලා ගැනීමේ අවස්ථාව මෙවරත් මෙරට වාසී සියලු ජනතාවට අවස්ථාව උදාවී තිබේ.
පසුබිම් වාර්තාකරු ජයසිරි පේදුරුආරච්ච් ගන්දර සමූහ
රසික කොටුදුරගේ