ලෝකය දිනා රටට ගෙනත් දුන් අසීමිත මිනිස්සු විරල නැත. ඔවුහු ලෝකයේ කොතැනක හෝ හිඳිමින් අනාගත දියුණු රටක් නිර්මාණය කරගැනීමේ අභිලාෂ සහිතව ස්වකීය අනන්‍යතා ආලෝක දල්වමින් සිටිති. එවැනි විශිෂ්ට ලාංකිකයෙක් හමුවීමි. ඔහු වසර 30කට පෙර ජපානයේ දී ශ්‍රී ලාංකිකයකු විසින් ආරම්භ කරන ලද වාහන අපනයන සමාගමේ හිමිකරුය. 24 වියේදී සරසවි සිසුවෙක් ලෙස සිය කුලී නිවෙසේ කාමරයක ආරම්භ කළ එම ව්‍යාපාරය අද ලෝකය පුරා රටවල් 28ක ව්‍යාප්තය. ඔහු ජගත් රාමනායක ය. RamaDBK Ltd හි හිමිකරු ය. උද්යෝ්ගයෙන්, නොපසුබට උත්සාහයෙන් සහ කැපවී වැඩ කිරීමෙන් මිනිසකුට අත්පත් කරගත හැකි ලෝකයේ ප්‍රමාණය ජගත් අපට කියන්නේය. ඔහුගේ ජීවිත ප්‍රවෘත්තිය පිළිබඳ කෙරෙන මේ සංක්ෂිප්ත සංවාද සටහන යහපත් හෙටක් ප්‍රාර්ථනා කරන මිනිසුන් වෙනුවෙන් බලාපොරොත්තු මාත්‍රයක් දැල්වීම සඳහාය.
“මම ඉපදිලා තියෙන්නේ මීරිගමට නුදුරු පල්ලෙවෙල කියන ගමේ. ඒ්ත් අපි පදිංචි වෙලා හිටියේ දෙහිවල වාසල පාරේ. මම පෙර පාසල් ගියෙ විශාඛා මොන්ටිසෝරියට. පළමු පන්තියේ ඉඳන් අධ්‍යාපනය හදාරන්න කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වුණා.
පවුලේ අම්මයි තාත්තයි අක්කයි නංගිලා දෙන්නයි. අම්මා නන්දා රාමනායක. ඇය ගුරුවරියක්. තාත්තා විමලසිරි රාමනායක. ජපානයෙන් රීකන්ඩිෂන් වාහන ආනයනය කළ ව්‍යාපාරිකයෙක්. පවුලෙ එකම පිරිමි දරුවා නිසා මම තමයි ඉතින් පුංචි කාලේ දඟ වැඩ කළේ. ඒ වගේම මම ක්‍රීඩාවට වැඩිම නැඹුරුවක් තිබ්බ කෙනෙක්. ක්‍රිකට් වගේම රග්බි ක්‍රීඩාවත් කළා. රොෂාන් මහනාම සහ අසංක ගුරුසිංහ හිටියේ මගේ පන්තිවල. අසංක හිටියෙත් දෙහිවල අපේ ලේන් එකේ. අපි හවසට එකට එකතු වෙලා හොඳට සෙල්ලම් කරනවා. ඇත්තටම අධි තක්සේරවක් කරනවා නෙමෙයි. සැහැල්ලු පන්දු ක්‍රීඩා කරද්දී රොෂාන්, අසංක සහ මම හිටියෙ එකම තලයෙ. ඒත් මට ක්‍රීඩාව ප්රමුඛ කරගන්න ගෙදරින් කිසිම අවසරයක් දුන්නේ නෑ. අම්මා ගුරුවරයක් වීමත් සමඟ ඇය වැඩි අවධානයක් යෙදෙව්වේ මගේ අධ්‍යාපන කටයුතුවලට. ක්‍රිකට් කියන්නේ අධ්‍යාපනය අඩපණ කරන ක්‍රීඩාවක්ය යන මතය ඇය තුළ තිබුණා. ඒ වගේම අද වගේ විශාල ගමනක් ක්‍රිකට් ක්රීඩකයකුට තියන ලකුණු ඒ වකවානුවේ පෙනුණෙත් නැහැ. අසංක සහ රොෂාන් පාසල් කණ්ඩායමට යනකොට මම හවසට ඔවුන් එක්ක සොෆ්ට් බෝල් ගහලා සතුටු වුණා.
නමුත් මම දෙවැනි ක්‍රීඩාව ලෙස තෝරගත්තා රගර්. රගර් සෙල්ලම් කළේ ගේ ළඟ තිබුණු පීටර්සන් කියන ක්ලබ් එකේ. පුංචි කාලයේ සිටන්ම එතැන ක්‍රීඩා කළා. අවුරුදු 13 -14 වෙනකොට දැනුමක් එක්ක මට රගර් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා.
අවුරුදු 16 දී තමයි මට මුලින්ම පාසලේදී ක්‍රීඩාවක් කරන්න ගෙදරින් අවසර ලැබුණේ. ඔබ දන්නවා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැඟෙන ආකාරය. 11න් පහළ සිට ඉතාම ක්රමික පුහුණුවක් එක්ක කණ්ඩායමක් ගොඩනැගෙන්නේ. ඉතින් අවුරුදු 16දී ගිහින් මම පාසලේ ක්‍රිකට් ගහන්න බෑ. ඒත් රගර් එහෙම නෑ. අවුරුදු 16 දී මට තිබුණු රග්බි දැනුම එක්ක මාව කෙළින්ම 19න් පහළ පාසල් කණ්ඩායමට තෝරා ගත්තා. ඊට පස්සේ නාලන්දා විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නායකත්වය හිමි වුණා. මට වඩා කලින් රග්ර් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් හිටියට පළමුවෙන්ම මුල් පෙළ කණ්ඩායමට ක්‍රීඩා කළ සම වයස් අය අතර ජ්‍යෙෂ්ඨයා වුණේ මම. ඒ නිසා මම කණ්ඩායමේ නායකත්වයට පත් වුණා“.
ජගත් අප සමඟ කියන්නේ ඔහුගේ ක්‍රීඩා ජීවිතය ගැනය. නාලන්දාවේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් ලෙස මෙන්ම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් ලෙස ප්‍රගුණ කළ නායකත්වය පෞරුෂය ගැනය. එහෙත් පසු කලෙක ගුරු අධ්‍යාපනඥ සේවයට ඇතුළු වන ජගත්ගේ අම්මා ඔහුව අධ්‍යාපනයට නැඹුරු කරවීම සඳහා පාසලේ ගුරුවර ගුරුවරියන් සමඟ නොනිත් උත්සාහයක යෙදෙන්නේය. එය ඔහුගේ අධ්‍යාපනයේ සාර්ථකත්වයට ප්‍රබල හේතුවක් විය. වර්ෂ 1987 දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිටින ජගත් කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබුව මුත් ගතවෙමින් තිබුණේ විකල් සමයකි. 88 – 89 වකවානුව බිහිසුණු ලේ වැගිරුණු අතීතයක මතක සිහි කරන්නේය. සරසවි වැසී තිබිණි. සරසවි සිසුන් ජීවිත තර්ජන සහිත පිරිසක් වී සිටියහ. පවතින තත්ත්වය තුළ උසස්පෙළ විභාගයෙන් පසු උසස් අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය වෙත යෑමට සැලසුම් කර තිබූ ජගත්ගේ සැලසුම වෙනස් වී ජපානයෙන් කෙළවර වී තිබුණේ මවුපියන්ගේ ඉල්ලීම මතය. එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කරවූ ඒ ගමන ගැන ඔහු අද එය සිහි කරන්නේ සතුටිනි.
“ඒ කාලේ අපිට පොඩි පරාසයයි තිබුණෙ තෝරා ගන්න. ටික කාලයක් හිතුව පයිලට් කෙනෙක් වෙනවා කියලා. ඉංජිනේරුවෙක් වෙන්නත් හිතුවා. නමුත් ව්‍යාපාරිකයෙක් වෙන්න ඕන කියන එක තාත්තාගේ අභාසයෙන් ඇවිත් තිබුණා. පාසල් ජීවිතය ඉවර වුණාම උසස් අධ්‍යාපනයට යූකේ යන්න හිතන් හිටියේ. ඒත් තාත්තාගේ ව්‍යාපාරය වාහන ආනයනය. ඒ කාලේ ලංකාවේ එහෙම වාහන ආනයනය කළේ ටික දෙනයි. ඇත්තටම අපට හොඳ ආර්ථික ශක්තියක් ඒ වකවානුවෙත් තිබුණා. තාත්තා මට යෝජනා කළා ජපානෙන් වාහන ගන්න නිසා උසස් අධ්‍යාපනයට ජපානයට යන්න. ජපන් භාෂාව ඉගෙන ගෙන සම්බන්ධතා ගොඩනඟා ගත්තොත් ව්‍යාපාරය ඉදිරියට කරගැනීම පහසුයි කියලා. මේ වන විට මගේ අක්කා සහ නංගිලාට පිටරට යන්න ශිෂ්‍යත්ව ලැබුණා. නංගි රුසියාවට ගියා. අක්කා ගියා අමෙරිකාවට. ඒ ඔක්කොම ගියේ ශිෂ්‍යත්වවලින්. නමුත් මට විතරක් ජපානයට එන්න සියලුම මුදල් ගෙදරින් ගෙවපු නිසා ඒක මට විශාල මානසික පීඩාවක් වුණා. තාත්තා මට එකවුන්ට් එකක් ඇරලා සල්ලි දාලා දුන්නා ජීවත් වෙන්න සහ පාසල් මුදල් ගෙවන්න. මූලික කොන්දේසිය තමයි ජපන් භාෂාව ඉගෙන ගෙන ඇවිත් තාත්තගේ ව්‍යාපාරයට උදව් කරන්න කියන එක. ඒත් අම්මගෙයි තාත්තගෙයි වියදමින් ඇවිත් මේ විදිහට ජපානයට වෙලා ඉන්න එක හරි මදි වගේ දෙයක් හිතේ වැඩ කළා.
ඒ මුල් වකවානුවේදී ජපානයේ ජීවත් වීම ඒ තරම් පහසු වුණේ නෑ. ඉංග්‍රීසි භාෂාව හසුරුවන ජපන් ජාතිකයන් අඩුයි. ඒ නිසා සන්නිවේදන ගැටලුව ආවා. ඒ වකවානුවෙදී ජපන් ජාතිකයන් විදේශිකයන්ට ඒ තරම් සමීප නෑ. ඉතින් මට තිබුණේ හුදෙකලාවීමක් වගේ මනෝභාවයක්. මගේ තනියට තාත්තා ඥාති සහෝදරයෙකුත් මා සමඟ එව්වා ජපානයේ රැකියාවකට. ඒත් මුල් කාලයේ මේ ආගන්තුක පරිසරය දරා ගත්තෙ අසීරුවෙන්. නිතරම ගෙදර මතක් වෙනවා. මම ගොඩාක් කල්පනා කළා. භාෂාව ඉගෙන ගන්න එක අවුරුදු දෙකක පාඨමාලාවක්. ඊට පස්සේ 1991දී මම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා උසස් අධ්‍යාපනයට. මේ කාලය තුළම තාත්තා තැන්පත් කළ මුදල ඉතාම අරපරිස්සමින් තමයි මම වියදම් කළේ. ඒ නිසා යම් මුදලක් මා සතුව තිබුණා. මම කළේ ඒ මුදලින් කොටසක් ආයෝජනය කරලා මගේ එපාර්ට්මන්ට් එකේම කාමරයක පොඩි කාර්යාලයක් විවෘත කරගෙන ජපානයෙන් වාහන ලංකාවට එවීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඒක පටන් ගන්නකොට මට වයස අවුරුදු 24යි. එක ජපන් ජාතිකයකුත් වැඩට ගත්තා. ඔහුව කාමරේ තියලා මම යුනිවර්සිටි යනවා. ඔහු එතැන ඉඳන් වාහනයක් හොයලා දුන්නම වාහනය පිටරට යවන වැඩ ටික මම කරනවා. ජපානයේ දී ශිෂ්‍යයන්ට ව්‍යාපාර කරන්න බෑ. ඒ නිසා මගෙ ළඟ වැඩට ආපු කෙනාගේ නමට තිබිලා වහපු කම්පනි එක සල්ලි දීලා අරන් ඒ කම්පනි එකේ නම වුණු ‘ඩී. බී. කේ‘ කියන කොටස මුලට අරන් තමයි පසුව මම ‘රාමා ඩීබීකේ‘ කියලා මගේ ව්‍යාපාරය පසුව දියුණු කළේ.
ඒ කාලේ වාහන වෙබ් අඩවි හරහා විකිණීමක් ගැන කිසිවෙක් කල්පනා කර තිබුණේ නැත. ගතවෙමින් තිබුණේ වෙබ් අඩවි ව්‍යාපාර ලෝකයට හඳුන්වා දෙමින් පැවති අවස්ථාවකි. ජගත් ගේ වාහන ව්‍යාපාරය තීරණාත්මක තැනකට පසු කලකදී පත් කරන තීන්දුව ඔහු ගන්නේ මේ කාලයේ දී ය. ඔහු ඒ අතීතය යළි අප හා ආවර්ජනය කළේය. “ඒ කාලයේ තමයි වෙබ් අඩවියක් කියන එක මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නේ. මම අන්තර්ජාලය සහ වෙබ් අඩවිවල ශඛ්‍යතාව ව්‍යාපාරවලට යොදා ගත හැකි ආකාරයේ අදහස් විශ්වවිද්‍යාලයේ දී ඉගෙන ගත්තා. මගේ සහෝදරියගේ සැමියා ඉන්ෆෝ ලංකා කියන වෙබ් අඩවිය පවත්වා ගෙන ගියා. ඔහු මට එක දවසක් කිව්වා වාහන පින්තූර ටිකක් දාලා වෙබ් සයිට් එකක් හදන්න පුළුවන්. අපි හදලා බලමු ද කියලා. මම ඉතාම කැමැත්තෙන් හා කිව්වා”
එහෙම තමයි වෙබ් එක පටන් ගත්තේ www.ramadbk.com කියලා. ඒ කාලයේ ජපානයේ වෙබ් සයිට් එකකින් කාර් එකක් විකුණනනවා කියන තැන ආයතන දෙකක් හෝ තුනකට වඩා තිබුණේ නෑ. අපි ඉතාම කුඩා වුණත් අපේ වෙබ් සයිට් එක පිටු තුනක වෙබ් සයිට් එකක්. එතකොට මට ගොඩාක් දෙනෙක් හිනා වුණා “මේ මිනිහට පිස්සු. කවුද කාර් ගන්නේ වෙබ් සයිට් බලලා කියලා.”
ඒත් මම ඒක මායිම් කළේ නෑ. ඒ කාලයේ මම වාහනයේ නියම ඡායාරූපය, විස්තර එක්ක වාහනයේ මිල ගණන් වෙබ් අඩවියේ පළ කළා. මේ අවස්ථාව කවුරුත් අරන් තිබ්බෙ නෑ ඒ වෙනකොට. ඒ නිසාම ලෝකයේ බොහොමයක් දෙනා වාහනවල මිල ගණන් බලා ගන්න සයිට් එක විසිට් කළා. විශාල ෆලෝවර්ස්ලා ගණනක් හැදුණා. ඒ වගේම ලෝකේ වටේ ආයතනයේ නම ප්‍රචලිත වෙන්න ගත්තා. එය ඒ වෙලාවේ ගත්ත ඉතාම හොඳ ව්‍යාපාරික පියවරක් වුණා. ඒක තමයි බිස්නස් එක එකපාරටම උත්ප්‍රේරණය වෙන්න හේතුව වුණේ.” එසේ පටන් ගන්නා ව්‍යාපාරයේ උත්ප්‍රේරිත ස්වර්ණමය යුගය එන්නේ ඉන් අනතුරුවය. ඒ වනවිටත් ඔහු සරසවි සිසුවෙකි. ඒ මතකය ඔහුට අදටත් ආශ්වාදයකි.
“මම සරසවිය ඉන්න කාලේ මාත් එක්ක මගේ ආයතනයේ වැඩ කළා උදය කියලා කෙනෙක්. බර්නාඩ් කියලා කෙනෙක්. එක්කෙනකුගේ වගකීම වාහන ගන්න එක. අනෙක් කෙනාගෙ වගකීම වාහන විකුණන එක. අනෙක් වැඩසටහන කළේ ජපන් කට්ටිය. උදය, බර්නාඩ් සහ මම කියන තුන්දෙනයි ජපන් දෙන්නයි. අපි පස් දෙනා ඉන්න කාලෙ නියමයි. සියලු දෙනාම තරුණයි. එකට සෙල්ලම් කරනවා. වැඩ කරනවා. අභියෝගයකට වගේ ගැඹුරින් ක්‍රීඩාවක් කරනව වගේ උද්යෝගයෙන් අපේ ව්‍යාපාර කටයුතු කරනවා. ඒ කාලේ ලංකාවට වාහන වැඩි අවශ්‍යතාවක් තිබුණත් ගන්න විදිහක් තිබුණේ නෑ. අපි ඉතා පහසුවෙන් ඒ සේවාව සැපයුවා. ඒ කාලයේ අපිට ලොකු වියදමක් නෑ. ලොකුවට ව්‍යාපාරය කරන්න පුළුවන් වුණා. වියදම අඩු නිසා ලොකු ඉතිරි කිරීමක් වුණා. හොඳ බූස්ට් එකක් ආවා වෙබ් එකත් එක්ක. ඊළඟට අපිට ජපානයේ ගොඩනැඟිලි ගන්න පුළුවන් වුණා.
මා 1994 දී විවාහ වුණා. ඇය සමන්තා සුබසිංහ. නීතිඥවරියක්. ලංකාවෙදිම තමයි ඇය මට හම්බ වෙන්නේ. පස්සේ සමන්තාත් ජපානයට ඇවිත් ව්‍යාපාර කටයුතුවලට හවුල් වුණා. වෙබ් එකට එන ඊමේල්වලට පිළිතුරු සැපයීමේ වගකීම පැවරුණේ ඇයට. අනෙක් කට්ටිය ලංකාවට වාහන සපයද්දි සමන්තා ලෝකයට වාහන අලෙවි කිරීමේ පැත්ත දියුණු කළා. ඒ නිසා අපට හොඳ අවස්ථාවක් ආවා. එතැනින් තමයි ඉන්ටර්නෙට්වලින් ව්‍යාපාර කරගෙන යන්න ලොකුම විභවය ලැබුණු කාලේ. දැනට රටවල් 28ක සක්‍රියව තියෙන අපේ ව්‍යාපාරය ගොඩනැඟුණේ එහෙමයි“. ජගත් සිනාවෙමින් පවසන්නේය. අපට පෙනෙන්නේ නොපසුබස්නා වීර්ය සහිත ඉලක්ක කරා හඹා යන දිරිමත් ආදර්ශයකි.
ඔහු මේ වනවිට ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයාය. එම කවුන්සිලය ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ වැඩ කරන ප්රමුඛ සංවිධානයකි. එයට අමතරව ඔහු ජපානයේ ශ්‍රී ලාංකේය වාහන අපනයනකරුවන්ගේ සංගමයේ අධ්යක්ෂවරයෙකි. ශ්‍රී ලංකා මෝටර් රථ අපනයන සංගමයේ ආරම්භක සභාපතිවරයාව සිට දැන් එහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන්නේය. ව්‍යාපාර ලෝකයේ පසුගිය විසිවසර පුරාවට ඔහුගේ කැපී පෙනෙන නායකත්වය අගයමින් ජනාපයේදී සම්මානයකටද පාත්‍රයට විය. ජපානය සමඟ දියුණු ගනුදෙනුවක් කරමින් ජාත්‍යන්තර තලය දිනා සිටින මේ ශූර මිනිසාගෙන් අපට ඇසිය යුතු කරුණු රැසකි.
අනාගතයේ මේ රටට අයෝජන අවකාශ ගොඩනඟා ගෙන ලෝකයට විවෘත විය යුතු අයුරු පිළිබඳ ඔබට අදහසක් තිබෙනව ද?” ඔහුව විමසුවෙමි.
“ මම මේ කතා කරන්නේ ජපානයේ දී ලබපු විශාල අත්දැකීම් ප්‍රමාණයක් එක්ක. රටක් හැටියට අපේ ඉලක්ක කොතරම් දුරට මේ කාලය තුළ සැලසුම් කර තියෙනව ද, මොනතරම් සම්පූර්ණ කරගෙන තියෙනව ද යන සමාලෝචනය අප විසින් කළ යුතුයි. මා විශ්වාස කරනවා දේශපාලන වෙනස්වීම් සමඟ වගේම, ඒ ඒ අර්බුදකාරී අවස්ථාවල එයට පිළියම් සොයන්න එක රැයකින් නීති රීති වෙනස් කිරීමට යෑමයි ව්‍යාපාර රට තුළ දියුණු නොවෙන්න ප්‍රධානම හේතුව. අප ගන්න තීන්දු පිළිබඳ විද්‍යාත්මක හැදෑරීමක් හෝ එහි පසු විපාක පිළිබඳ හැඟීමක් ඒ නීති සම්පාදකයන්ට නැති බව පෙනෙනවා. හිතන්න… අපි එක රැයකින් ඩියුටි වැඩි කරනවා. ජපානය වගේ මේ තරම් දියුණු රටක් වුණත් වැට් වගේ බද්දක් වැඩිකරන්න අවුරුදු දෙකක්වත් සැලසුම් කර පෙර දැනුම්දීමක් කරලයි ඒ තීන්දුව ගන්නේ. එහෙම නොකර ගන්න හැම තීන්දුවකින්ම සිද්ධ වෙන්නේ ව්‍යාපාරිකයන් අසීරුවට පත් වීමයි. ජපානයේ දශක ගණනක් ව්‍යාපාර කරන මගේ පුරවැසි වගකීමක් තමයි මගේ රටට ආයෝජකයන් යොමු කිරීම. එත් මේ වගේ එක් රැයකින් නීති රීති වෙනස් වෙන පරිසරයකට ඇවිත් ආයෝජනය කරන්න ව්‍යවසායකයන් බයයි. අප ඒ වැරැද්ද රටක් ලෙස මූලිකව නිවැරදි කරගත යුතුයි. රටක් විදිහට එක ස්ථාවර ප්‍රතිපත්ති මාර්ගයක් හදාගෙන ඒ ඔස්සේ නොගියොත් අපට දියුණු ආර්ථික පරිසරයක් හදා ගන්න අමාරුයි.” ඔහු කියන්නේය.
ජගත් රාමනායක මේ වනවිට රටට යෝජනා කරමින් ඇති ආකර්ෂණීය ව්‍යවසායන් කීපයකි. ඒ අතර විදේශවල රැකියා අවස්ථා විවර කරගත හැකි මං වැඩි දියුණු කරන ව්‍යාපෘති ද ඇතුළත්ය. “ ලංකාවේ පරණ වාහන ගොඩාක් තියෙනවා. වාහන ව්‍යාපාරය විවෘත කරනවා නම් පරණ වාහන සඳහා ලෝකයේ වෙනම මාර්කට් එකක් තියෙනවා. පැරණි මැනුවල් වාහනවලට අප්‍රිකාව වැනි රටවල හොඳ මිලක් තියෙනවා. අපි පැරණි වාහන ලංකාවේ අලුත්වැඩියා කරලා අපේ රටෙන් එක්ස්පෝට් කරන්න හැකි සැලසුමක් මා ළඟ තියෙනවා. එය විශාල රැකියා උත්පාදන අවස්ථාවක්. විදේශ විනිමය රටට ගෙන එන්න පුළුවන් වැඩක්. ඒ අතරෙ අලුත් වාහන සඳහා බදු මුදල් අඩු කළොත් අපට රටක් විදිහට මිනිස්සුන්ගේ පරිභෝජන ජීවිතය උසස් කළ හැකියි. මෙය සංකල්පයක් නොවෙයි. ප්‍රායෝගිකව කළ හැකි දෙයක්.” ඔහු කියන්නේය.
ලෝකයේ ආර්ථික විභව අත්පත් කරගැනීමට අවශ්‍ය වන්නේ අලුතින් හිතන දිරිමත් මිනිසුන්ය. එවැනි මනුෂ්‍යයන්ට මේ රට ගොඩනැඟීමට අසීරු නොවන බව ජගත් රාමනායක අපට කියන්නේය. රට බලාපොරොත්තු වන වෙනස ඇත්තේ අවබෝධාත්මක සිතිවිල්ලක දුරින් බව කිව යුතුව ඇත.
ටානියා මෝසස්